පුස්තකාලය
සැප්තැම්බර් 6–12. 2 කොරින්ති 1–7: ‘ඔබ දෙවියන්වහන්සේ සමග සමගිවන්න’


“සැප්තැම්බර් 6–12. 2 කොරින්ති 1–7: ‘ඔබ දෙවියන්වහන්සේ සමග සමගිවන්න’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“සැප්තැම්බර් 6–12. 2 නෙපි 1–7,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

සැප්තැම්බර් 6–12

2 කොරින්ති 1–7

“ඔබ දෙවියන්වහන්සේ සමග සමගිවන්න”

කොරින්තිවරුන්ට ලියූ පාවුල්ගේ ලිපි ඔබ අධ්‍යයනය කරන විට, ඔබ සොයාගත් ශුභාරංචි මූලධර්ම කිහිපයක් ලියා ඒවා ඔබේ ජීවිතයට අදාළ කරගත හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

සමහරවිට, සභාවේ නායකයෙකු වීම යනු දුෂ්කර දේවල් පැවසීමට සිදුවීමයි. මෙය අද මෙන් පාවුල්ගේ දවසේදීත් සත්‍යයක් විය. පෙනෙන විදිහට පාවුල් කොරින්තියේ සාන්තුවරයන්ට ලියූ ලිපියට දඬුවම් කිරීම් හා සිත් රිදවීම්ද ඇතුලත් විය. 2 කොරින්ති බවට පත්වූ ලිපියෙන් ඔහු තම රළු වචන වලට පෙලඹවීම වූයේ කුමක්ද යන්න පැහැදිලි කිරීමට උත්සාහ කළේය: “මක්නිසාද බොහෝ දුක් වලින්ද හෘදය වේදනාවෙන්ද බොහෝ කඳුළෙන්ද යුක්තව නුඹලාට ලිවීමි. එසේ කළේ නුඹලා ශෝකයට පත්කරන්ට නොව නුඹලා කෙරෙහි ඇත්තාවූ මාගේ ඉතා මහත් ප්‍රේමය නුඹලා විසින් දැනගන්නා පිණිසය” (2 කොරින්ති 2:4). ඔබ නායකයෙකුගෙන් යම් නිවැරදි කිරීමක් ලැබෙමින් සිටින විට, එය ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයෙන් ලද පෙළඹවීමක් බව දැනගැනීම නියත වශයෙන්ම උපකාරී වේ. එය එසේ නොවන අවස්ථාවන්හිදී පවා, පාවුල්ට දැනුණු ආකාරයේ ප්‍රේමයක් ඇතිව අන්‍යයන්ව දැකීමට අප කැමති නම්, ඕනෑම සිත්රිදවීමකට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීම පහසුය. වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් උපදෙස් දුන් පරිදි, “ස්වේච්ඡා, ලෞකික පුරුෂයන් හා ස්ත්‍රීන් විසින් මෙහෙයවනු ලබන සභාවක ඔබේ මෙන්ම ඔබ සමග සේවය කරන අයගේද මිනිස් දුර්වලකම් ගැන කාරුණිකවන්න. උන්වහන්සේගේ එකම පරිපූර්ණ පුත්‍රයාණන් හැරුණු විට, දෙවියන්වහන්සේට මෙතෙක් වැඩ කිරීමට සිදුවී ඇත්තේ අසම්පූර්ණ මිනිසුන්ටය” (“Lord, I Believe,” Ensign or Liahona, May 2013, 94).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

2 කොරින්ති 1:3–7; 4:6–10, 17–18; 7:4–7

මගේ පීඩා ආශිර්වාදයක් විය හැකියි.

තම දේවසේවයේදී පාවුල් මුහුණ දුන් පීඩා සැලකිල්ලට ගත්විට, පීඩා වල අරමුණු හා ආශිර්වාද ගැන ඔහු බොහෝ දේ ලිවීම පුදුමයක් නොවේ. 2 කොරින්ති 1:3–7; 4:6–10, 17–18; සහ 7:4–7 කියවන විට ඔබේ පීඩා ආශිර්වාදයක් විය හැකි ආකාරය ගැන සිතා බලන්න. නිදසුනක් වශයෙන්, දෙවියන්වහන්සේ “[ඔබේ] සියලු පීඩා වලදී [ඔබව] සනසන” ආකාරය ඔබට මෙනෙහි කළ හැකි අතර එලෙසම “කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට” ඔබට හැකි ආකාරයද මෙනෙහි කළ හැකිය (2 කොරින්ති 1:4). නැතහොත් ඔබ “කරදරයට” හා “ව්‍යාකූලත්වයට” පත්වී සිටියත් ඔබට “අපගේ හදවත් තුළ බබළන” යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය කෙරෙහි අවධානය යොමුකළ හැකිය (2 කොරින්ති 4:6–10).

තවත් බලන්න මොසායා 24:13–17; Gospel Topics, “Adversity,” topics.ChurchofJesusChrist.org.

2 කොරින්ති 2:5–11

මම සමාව දෙනවිට මට ආශිර්වාද ලැබෙන අතර සමාව දෙනවිට අන් අයට ආශිර්වාද කරමි.

2 කොරින්ති 2:5–11 හි පාවුල් සඳහන් කළ මිනිසා ගැන අපි වැඩියමක් නොදනිමු—ඔහු වරදක් කර ඇති බවත් (5–6 පද බලන්න) සහ සාන්තුවරයන් ඔහුට සමාවදීම පාවුල්ට අවශ්‍ය වූ බවත් පමණක් දනිමු (7–8 පද බලන්න). අපව අමනාප කර ඇති කෙනෙකු කෙරෙහි “[අපගේ] ප්‍රේමය තහවුරු කිරීමට” අප සමහර අවස්ථාවන්හි අසමත් වන්නේ ඇයි? (8 පදය). සමාවදීම අත්හිටුවීම අන් අයට හා අපට හානිකරන්නේ කෙසේද? (7, 10–11 පද බලන්න). අන් අයගෙන් සමාවදීම අත්හිටුවීමෙන් “සාතන්ට… අප කෙරෙහි වාසියක්” ලබාදීම යන්නෙන් ඔබට අදහස් වන්නේ කුමක්ද? (11 පදය).

දහම සහ ගිවිසුම 64:9–11 ද බලන්න.

2 කොරින්ති 5:14–21

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් මට දෙවියන්වහන්සේ සමග සමගි විය හැකියි.

ඕනෑම කෙනෙකුට මෙන්, “අලුත් මැවිල්ලක්” වීම කෙබඳු දැයි පාවුල් දැනසිටියේය. ඔහු කිතුනුවන්ට පීඩාකරන්නෙකු ලෙස සිට ක්‍රිස්තුස්වහන්සේගේ නිර්භීත ආරක්ෂකයෙකු දක්වා ගියේය. “කිසිම පාපයක් නොදැන සිටි” යේසුස්වහන්සේට අපගේ පාපය ඉවත්කර උන්වහන්සේගේ “ධර්මිෂ්ටකම” නැවත ලබාදෙන්නේ කෙසේද කියා ඔහු දැනසිටියේය. ඔබ මෙම පද කියවන විට, වෙනත් පුද්ගලයෙකු සමග සමගිවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි සිතා බලන්න. දෙවියන්වහන්සේ සමග සමගිවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම්ගැනීමට මෙය ඔබට උපකාර කරන්නේ කෙසේද? දෙවියන්වහන්සේගෙන් ඔබව වෙන්කරන්නේ කුමක් දැයි සිතා බලන්න. උන්වහන්සේ සමග වඩාත් සම්පුර්ණයෙන්ම සමගි වීමට ඔබ කළ යුත්තේ කුමක්ද?

2 නෙපි 10:23–25 ද බලන්න.

2 කොරින්ති 7:8–11

දේව ශෝකය පසුතැවිල්ලට මගපාදයි.

අපි සාමාන්‍යයෙන් ශෝකය හොඳ දෙයක් ලෙස නොසිතන්නෙමු, නමුත් පාවුල් “දේවභක්තික ශෝකය” ගැන පසුතැවිලිවීමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස කථා කළේය. පහත සඳහන් ඒවායින් ඔබ දේව ශෝකය ගැන ඉගෙනගන්නේ කුමක්ද? 2 කොරින්ති 7:8–11; ඇල්මා 36:16–21; මෝර්මොන් 2:11–15; සහ Gospel Topics, “Repentance,” topics.ChurchofJesusChrist.org. ඔබට දේව ශෝකය දැනුනේ කවදාද, සහ එය ඔබේ ජීවිතයට බලපෑවේ කෙසේද?

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

2 කොරින්ති 3:1–3

රැකියාවක් හෝ පාසැල් අයදුම්පතක් වැනි නිර්දේශ ලිපියක් ලිවීමට ඔබේ පවුලේ සාමාජිකයන් කවදා හෝ යමෙකුගෙන් ඉල්ලා තිබේද? මෙම අත්දැකීම ගැන සහ ලිපිය ඔවුන් ගැන පැවසූ දේ ගැන කතාකිරීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. සාන්තුවරයන්ගේ ජීවිත ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සඳහා නිර්දේශිත ලිපි හා සමාන බව පාවුල් ඉගැන්වීය, ඒවා ලියා ඇත්තේ “තීන්තයෙන් නොව ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයෙන්ය.” ඔබ 2 කොරින්ති 3:1–3 එකට කියවන විට, අපගේ උදාහරණ “සියලු මනුෂ්‍යයන් දන්නා සහ කියවිය හැකි” ශුභාරංචිය සඳහා නිර්දේශිත ලිපි හා සමාන වන්නේ කෙසේදැයි සාකච්ඡා කරන්න. සමහරවිට පවුලේ සෑම සාමාජිකයෙකුටම තවත් පවුලේ සාමාජිකයෙක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු ලෙස හොඳ ආදර්ශයක් වී ඇති ආකාරය පැහැදිලි කරමින් ලිපියක් හෝ “සන්දේශයක්” ලිවිය හැකියි. ඔවුන්ගේ ලිපි පවුලේ අයට කියවා ඔවුන් ලියූ පවුලේ සාමාජිකයාට ඒවා ලබාදිය හැකිය. අපගේ ජීවිත “ක්‍රිස්තුස්වහන්සේගේ ලිපි” බව තේරුම්ගැනීම වැදගත් වන්නේ ඇයි?

2 කොරින්ති 5:6–7

“පෙනීමෙන් නොව ඇදහීමෙන් ගමන් කිරීම” යන්නෙහි අර්ථය කුමක්ද? අපට නොපෙනෙන දේවල් අප විශ්වාස කරන බව පෙන්වීමට අප කරන්නේ කුමක්ද?

2 කොරින්ති 5:17

කැපීපෙනෙන පරිවර්තනයන් හරහා ගොස් නව ජීවීන් බවට පත්වන දේවල ස්වභාවය පිළිබඳ උදාහරණ සොයාගැනීමට—හෝ සිතීමට—ඔබේ පවුලට හැකිද? (මෙම දළ සටහන සමග ඇති පින්තූර බලන්න). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ශුභාරංචිය අපව වෙනස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම උදාහරණ අපට උගන්වන්නේ මොනවාද?

2 කොරින්ති 6:1–10

මෙම පද වලට අනුව “දෙවියන්වහන්සේගේ දේවසේවකයන්” යන්නෙහි තේරුම කුමක්ද?

2 කොරින්ති 6:14–18

අප අවට සිටින අයට හොඳ ආදර්ශයක් වන අතරම, “[අධර්මිෂ්ටයන්ගෙන්] පිටතට පැමිණ ඔබ වෙන්ව සිටින්න” යන පාවුල්ගේ උපදෙස් අනුගමනය කරන්නේ කෙසේද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

භාණ්ඩ යොදාගන්නා පාඩම් බෙදාගන්න. වන්දිගෙවීම වැනි, සමහර ශුභාරංචි සංකල්ප තේරුම්ගැනීමට අපහසු විය හැකිය. ශුද්ධලියවිල්ලෙහි ඔබ සොයාගන්නා මූලධර්ම තේරුම්ගැනීමට ඔබගේ පවුලට උපකාර කළ හැකි පින්තූර හෝ වස්තු භාවිතා කිරීම සලකා බලන්න.

දළඹුවා, පිලාකෝෂය සහ සමනලයා

අපි ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට හැරුණු විට, අපගේ පරිවර්තනය කොතරම් ගැඹුරුද යත්, එය “නව මැවිල්ලක්” බවට පත්වීමක් ලෙස පාවුල් විස්තර කළේය (2 කොරින්ති 5:17).