පුස්තකාලය
සැප්තැම්බර් 13–19. 2 කොරින්ති 8–13: ‘සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරනසේක’


“සැප්තැම්බර් 13–19. 2 කොරින්ති 8–13: ‘සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරනසේක’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“සැප්තැම්බර් 13–19. 2 කොරින්ති 8–13,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

යේසුස්වහන්සේ කුඩා දරුවෙකුට කථාකරමින්

සැප්තැම්බර් 13–19

2 කොරින්ති 8–13

“සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරනසේක”

අධ්‍යාත්මික හැඟීම් වාර්තා කිරීම ශුද්ධලියවිලි අධ්‍යයනයේදී ඔබ ඉගෙනගත් දේ මතක තබාගැනීමට උපකාරී වේ. ඔබට අධ්‍යයන සඟරාවක ලිවීමට, ඔබේ ශුද්ධලියවිලි පදවල මායිම්වල සටහන් කිරීමට, ඔබගේ ශුභරංචි පුස්තකාල යෙදුමේ සටහන් එකතු කිරීමට හෝ ඔබේ සිතුවිලි හඬපට ලෙස පටිගත කිරීමට හැකිය.

ඔබේ හැඟීම් සටහන් කරන්න

වෙනත් ප්‍රදේශයක සාන්තුවරයන්ගේ සභාවක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ඔබට අසන්නට ලැබුනොත් ඔබ කරන්නේ කුමක්ද? කොරින්ති සාන්තුවරයන්ට 2 කොරින්ති 8–9 දක්වා පාවුල් විස්තර කළ තත්වය මෙයයි. කොරින්තියේ සාන්තුවරයන් ඔවුන්ගේ සමෘද්ධි බව සමහරක් අවශ්‍යතා ඇති සාන්තුවරයන්ට පරිත්‍යාග කිරීමට පෙළඹවීමට ඔහු බලාපොරොත්තු විය. නමුත් පරිත්‍යාග ඉල්ලීමකට වඩා, දීම පිළිබඳ ගැඹුරු සත්‍යයන්ද පාවුල්ගේ වචනවල අඩංගු වේ: “කණගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා: මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරනසේක” (2 කොරින්ති 9:7). අපේ කාලයේ, උපකාර අවශ්‍ය සාන්තුවරයන් ලොව පුරා තවමත් සිටිති. සමහරවිට අපට ඔවුන් වෙනුවෙන් බොහෝවිට කළහැකි දේ නම් නිරාහාරව සිටීම සහ උපවාස පිදුම් පරිත්‍යාග කිරීමයි. වෙනත් අවස්ථාවලදී, අපගේ දීම වඩාත් සෘජු හා පෞද්ගලික විය හැකිය. අපගේ පරිත්‍යාගයන් කුමන ආකාර වලින් ගත්තද, ලබාදීම සඳහා අපගේ අභිප්‍රේරණයන් පරීක්ෂා කිරීම වටී. අපගේ පරිත්‍යාගයන් ප්‍රේමයේ ප්‍රකාශයන්ද? සෑමදෙයකින්ම පසුව, ලබාදෙන්නෙකුව ප්‍රීතිමත් කරන්නේ ආදරයයි.

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

2 කොරින්ති 8:1–15; 9:5–15

දුප්පතුන්ට සහ අගහිඟකම් ඇති අයට ආශිර්වාද කිරීමට මට ඇති දේ සතුටු සිතින් බෙදාගත හැකිය.

ලොව පුරා අවශ්‍යතා ඇති බොහෝදෙනෙක් සිටිති. අපට ඇත්තෙන්ම වෙනසක් කළ හැක්කේ කෙසේද? වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් මෙම උපදේශය ලබාදුන්නේය: “දුප්පත් හෝ පොහොසත් වුවත්, අනෙක් අය අවශ්‍යතාවයකින් යුතුව සිටියදී ‘අපට හැකි දේ කිරීම’ අප කළ යුතුය [මාර්ක් 14:6, 8 බලන්න]. … ඔබ හෘද සාක්ෂියට එකඟව හා යාච්ඤා කරමින්, උන්වහන්සේ අපට නැවත නැවතත් දී ඇති ආඥාවක් පිළිපැදීමට මාර්ග සොයන්නේ නම් [දෙවියන්වහන්සේ] ඔබට දයානුකම්පිත අනුගාමිකත්ව ක්‍රියා සඳහා උපකාර කරමින්, මගපෙන්වනු ඇත” (“Are We All Not Beggars?” Ensign or Liahona, Nov. 2014, 41).

2 කොරින්ති 8:1–15; 9:6–15 දක්වා කියවා, දුප්පතුන් හා අගහිඟකම් ඇති අයව රැකබලාගැනීම ගැන පාවුල් ඉගැන්වූ ප්‍රතිපත්ති සටහන් කරගන්න. පාවුල්ගේ උපදෙස් ගැන ඔබව පොලඹවන්නේ මොනවාද? අවශ්‍යතා ඇති කෙනෙකුට ආශිර්වාද කිරීම සඳහා ඔබට කළහැකි දේ පිළිබඳව මගපෙන්වීමක් ඉල්ලා ඔබට යාච්ඤා කළ හැකිය. ඔබට ලැබෙන ඕනෑම හැඟීමක් වාර්තා කර ඒවා ක්‍රියාත්මක කිරීමට වගබලාගන්න.

තවත් බලන්න මොසායා 4:16–27; ඇල්මා 34:27–29; Henry B. Eyring, “Is Not This the Fast That I Have Chosen?” Ensign or Liahona, May 2015, 22–25; Linda K. Burton, “I Was a Stranger,” Ensign or Liahona, May 2016, 13–15.

2 කොරින්ති 11

බොරු අනාගතවක්තෘවරුන් රැවටීමට උත්සාහ කරති.

කොරින්තියේ සාන්තුවරයන් අතර “බොරු ප්‍රේරිතයන්” පැන නැගී ඇති බව දැනගැනීමෙන් මෙම පරිච්ඡේදය තේරුම්ගැනීමට එය ඔබට උපකාර කරයි (2 කොරින්ති 11:13). බොරු ඉගැන්වීම් උගන්වන අය ගැන 13–15 පද වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? ක්‍රිස්තුස්වහන්සේගේ දේවසේවකයෙකු ලෙස පාවුල් ලැබූ අත්දැකීම් ගැන කියවන විට සැබෑ අනාගතවක්තෘවරුන් ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? (23–33 පද බලන්න)

2 කොරින්ති 11:3; 13:5–8

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය කෙරෙහි මාගේ ඇදහිලිවන්තකම “පරීක්ෂා කර බැලිය යුතුයි”.

අද දින අපව “ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති සරල බවෙන්” ඉවතට ගෙනයාමට උත්සාහ කරන බොහෝදෙනෙක් සිටින නිසා (2 කොරින්ති 11:3), “නුඹලා ඇදහිල්ලෙහි සිටිනවාද කියා නුඹලාම පරීක්ෂාකර බලාපල්ලා” යන පාවුල්ගේ ආරාධනය ඔබට පිළිගත හැකිය (2 කොරින්ති 13:5). නිදසුනක් වශයෙන්, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමුකිරීමට උපකාරී වන ඔබේ ජීවිතයෙන් ඔබට ඉවත්කළ හැකිදේ ගැන මෙනෙහි කළ හැකිය, නැතහොත් Preach My Gospel, හි 126 වන පිටුවේ “ගුණාංග ක්‍රියාකාරකම්” සම්පූර්ණ කළ හැකිය.

2 කොරින්ති 12:2–4

“තුන්වෙනි ස්වර්ගය” යනු කුමක්ද, සහ එයට “හසුවූ” මිනිසා කවුද?

මෙම පදවල, පාවුල් තමා ගැන කෙලින්ම සඳහන් නොකරම තමා ගැන කතා කරමින් සිටියේය—සමහරවිට ඔහුගේ අපූරු දර්ශනය ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකීසිටීමට එසේ කළා වියහැකිය. “තුන්වන ස්වර්ගය” යන යෙදුම සෙලෙස්ටියල් රාජ්‍ය හැඳින්වීමට භාවිතා කරයි (දහම සහ ගිවිසුම 76:96–98 බලන්න).

2 කොරින්ති 12:5–10

මගේ දුර්වලකමේදී ශක්තිය සොයාගැනීමට ගැලවුම්කරුවාණන්ගේ කරුණාව ප්‍රමාණවත්ය.

පාවුල්ගේ “මාංසයේ උල” යනු කුමක්දැයි අපි නොදනිමු, නමුත් එය ඉවත්කිරීමට ඇති ඔහුගේ ආශාව හා සම්බන්ධවීම පහසුය. අප සියලුදෙනාටම අපගේ ජීවිත වලින් ඉවත්කිරීමට සුදුසු යැයි ස්වාමින්වහන්සේ දැකනැති අභියෝග හා ගැටලු තිබේ. ඔබ 2 කොරින්ති 12:5–10 කියවන විට ඔබේම අභියෝග ගැන සිතන්න. දුර්වලකම ගැන පාවුල් ඉගැන්වූයේ මොනවාද? දෙවියන්වහන්සේගේ කරුණාව ඔබට ප්‍රමාණවත්ය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? දෙවියන්වහන්සේගේ ශක්තිමත් කිරීමේ බලය ඔබ අත්විඳ ඇත්තේ කෙසේද?

තවත් බලන්න මොසායා 23:21–24; 24:10–15; ඊතර් 12:27; මොරෝනි 10:32–33.

2 කොරින්ති 13:1

“සාක්ෂිකරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු” ගැන පාවුල් පැවසූ විට ඔහු අදහස් කළේ කුමක්ද?

පරණ ගිවිසුමේ කාලවලදී, යමෙකුට විරුද්ධව චෝදනාවක් ඉදිරිපත්කිරීමට සාක්ෂිකරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු අවශ්‍ය විය (ද්විතීය කථාව 19:15 බලන්න). තම තුන්වන කොරින්තියේ සංචාරය ගැන සඳහන් කිරීමේදී පාවුල් මෙම ක්‍රියාව උපුටා දැක්වීය. බහුවිධ සාක්ෂිකරුවන්ගේ මෙම මූලධර්මයට ඇති නූතන නිදසුන් අතර මෝර්මොන්ගේ පොතේ සාක්ෂිකරුවන් තිදෙනා, බයිබලය හා මෝර්මොන්ගේ පොත මගින් සපයන ලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂි, සහ ධර්මදූතයින් දෙදෙනෙකු ලෙස සාක්ෂි දැරිම ඇත.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

2 කොරින්ති 8–9

දුප්පත්කම හා අගහිඟකම් ඇති අය වෙත ළඟාවීමට ඔබේ පවුලට අනුබල දෙන මෙම පරිච්ඡේදවලින් ඔබ සොයාගන්නා දේ මොනවාද? අවශ්‍යතා ඇති අයෙකු සඳහා පවුලක් ලෙස සේවා ක්‍රියාවක් සැලසුම් කිරීමට මෙය හොඳ අවස්ථාවක් විය හැකිය.

2 කොරින්ති 9:6–7

“සතුටු සිතින් දෙන තැනැත්තා” ලෙස හැඳින්විය හැකි අයෙකු ඔබේ පවුලේ අය දන්නවාද? අපගේ සේවය අන් අයට වඩා සතුටු සිතින් කළ හැක්කේ කෙසේද?

2 කොරින්ති 10:3–7

දුෂ්ටකමට එරෙහි අපගේ “යුද්ධය” ගැන ඔබ ඔබේ පවුලට උගන්වන්නේ කෙසේද? පුටු සහ බ්ලැන්කට් සහිත පවුරක් හෝ බලකොටුවක් තැනීමට ඔබේ පවුලේ අය කැමතිද? මෙය දෙවියන්වහන්සේගෙන් අපව ඉවත්කරන සියල්ල විසිකර දමා “ක්‍රිස්තුස්වහන්සේගේ කීකරුකමට සෑම සිතුවිල්ලක්ම වහල්භාවයට ගෙන එන්නේ කෙසේද” යන්න පිළිබඳව සාකච්ඡාවකට මගපෑදිය හැකිය. අපගේ සිතුවිලි පාලනය කිරීම සඳහා අප භාවිතා කරන අධ්‍යාත්මික “ආයුධ” මොනවාද? (එපීස 6:11–18 බලන්න).

2 කොරින්ති 11:3

“ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති සරල බව” කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමට ඔබේ පවුලට කුමක් කළ හැකිද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

හැඟීම් සටහන් කරන්න. වැඩිහිටි රිචඩ් ජී. ස්කොට් මෙසේ පැවසුවේය: “දැනුම ප්‍රවේශමෙන් සටහන් කරගැනීම යනු අවශ්‍ය වේලාවට ලබාගත හැකි දැනුමයි. … [අධ්‍යාත්මික මගපෙන්වීම වාර්තා කිරීම] ඔබට තවදුරටත් ආලෝකය ලැබීමේ සම්භාවිතාව වැඩි කරයි” (“Acquiring Spiritual Knowledge,” Ensign, Nov. 1993, 88; see also Teaching in the Savior’s Way, 1230).

සේවා ව්‍යාපෘතියට සහාය වන තරුණ තරුණයින්

“කණගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරනසේක” (2 කොරින්ති 9:7).