“නොවැම්බර් 9–15. ඊතර් 1–5: ‘අවිශ්වාසයේ තිරය දෙකඩ කරන්න,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“නොවැම්බර් 9–15. ඊතර් 1–5,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
ඇල්බින් වෙසෙල්කා විසින්, යාරෙද්වරුන් බාබෙල් හැරයමින්
නොවැම්බර් 9–15
ඊතර් 1–5
“අවිශ්වාසයේ තිරය දෙකඩ කරන්න”
ඊතර්ගේ පොත යනු නෙපිවරුන්ට සියවස් ගණනාවකට පෙර පොරොන්දු දේශයට පැමිණි, යාරෙද්වරුන්ගේ වාර්තාවයි. අපේ කාලයට අදාළ වන නිසා ඊතර්ගේ වාර්තාව මොර්මොන්ගේ පොතට ඇතුළත් කිරීමට දෙවියන්වහන්සේ මොරෝනිට පෙළඹවීමක් ලබාදුන්නේය. එය ඔබේ ජීවිතයට අදාළ යැයි ඔබට හැඟෙන්නේ කෙසේද?
ඔබේ හැඟීම් සටහන් කරන්න
දෙවියන්වහන්සේගේ මාර්ග අපට වඩා උසස් බව සත්‍යයක් වන අතර, එමෙන්ම අප සැමවිටම උන්වහන්සේගේ කැමැත්තට යටත්විය යුතු අතර, අප ගැන සිතීමට හා අප වෙනුවෙන් ක්‍රියා කිරීමට උන්වහන්සේ අපව දිරිමත් කරයි. ඒ යාරෙද් සහ ඔහුගේ සහෝදරයා ඉගෙනගත් එක් පාඩමකි. නිදසුනක් වශයෙන්, “සියලු පොළොවේ උතුම් දේශයක් තුළට” නව දේශයකට යෑමේ අදහස යාරෙද්ගේ මනසෙහි ආරම්භ වූ බවක් පෙනෙන්නට තිබූ අතර, ස්වාමින්වහන්සේ “අනුකම්පා කරමින්” එම ඉල්ලීම ලබාදෙන බවට පොරොන්දු වෙමින්, මෙසේ කීවේය, “තවද මෙසේ මම නුඹ හට කරන්නෙමි, මක්නිසාද මෙපමණ දිගු කාලයක් නුඹ මා හට මොරගැසුවෙහිය” (ඊතර් 1:38–43 බලන්න). ඔවුන්ගේ පොරොන්දු දේශයට ගෙන යන බත්තල් තුළ එය කෙතරම් අඳුරු දැයි යාරෙද්ගේ සහෝදරයාට වැටහුණු විට, “මා කුමක් කරනවාට නුඹලා කැමතිද?” යන, අප සාමාන්‍යයෙන් උන්වහන්සේගෙන් අසන ප්‍රශ්නයක් උන්වහන්සේ විසින් අසමින්, විසඳුමක් යෝජනා කරන ලෙස ස්වාමින්වහන්සේ ඔහුට ආරාධනා කළේය (ඊතර් 2:23). එයින් ලබාදෙන පණිවිඩය නම් දෙවියන්වහන්සේ සෑම දෙයකදීම අපට අණ කරනු ඇතැයි අප අපේක්ෂා නොකළ යුතු බවයි. අපට අපගේම සිතුවිලි හා අදහස් උන්වහන්සේ සමග බෙදාගත හැකි අතර, උන්වහන්සේ සවන්දෙමින් උන්වහන්සේගේ තහවුරු කිරීම ලබාදෙනු ඇත. සමහරවිට අප සොයන ආශිර්වාද වලින් අපව වෙන් කරන එකම දෙය අපගේම “අවිශ්වාසයේ තිරය” වන අතර අපට “එම තිරය දෙකඩ කිරීමට” හැකි නම් (ඊතර් 4:15), ස්වාමින්වහන්සේ අප වෙනුවෙන් කුමක් කිරීමට කැමතිද යන්න ගැන අප පුදුමයට පත්විය හැකිය.
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
මම ස්වාමින්වහන්සේට මොරගසන විට, උන්වහන්සේ මා කෙරෙහි අනුකම්පා කරනු ඇත.
ඊතර් 1:33–43 දක්වා යාරෙද්ගේ සහෝදරයාගේ යාච්ඤා තුනක් ගැන පවසයි. මේ සෑම යාච්ඤාවකටම ස්වාමින්වහන්සේ දැක්වූ ප්‍රතිචාරයෙන් ඔබ ඉගෙනගන්නේ මොනවාද? ඔබ ස්වාමින්වහන්සේට යාච්ඤාවෙන් හඬා වැලපෙන විට ඔබ අනුකම්පාව අත්විඳි අවස්ථාවක් ගැන සිතන්න. ඔබට මෙම අත්දැකීම වාර්තා කර, ඔබගේ සාක්ෂිය ඇසීමට උවමනා අයෙකු සමග බෙදාගැනීමට ඔබට අවශ්‍ය විය හැකිය.
මගේ ජීවිතය වෙනුවෙන් මට එළිදරව් ලැබිය හැකිය.
සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසීය: “එළිදරව්ව ලැබීමට ඔබේ අධ්‍යාත්මික හැකියාව වැඩි කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. … ශුද්ධාත්මයාණන්ගේ දීමනාව භුක්තිවිඳීමට අවශ්‍ය ආත්මික වැඩ කිරීමට තෝරාගෙන ආත්මයාණන්වහන්සේගේ හඬ නිතර නිතර හා පැහැදිලිව ඇසීමට තෝරාගන්න” (“සභාව සඳහා එළිදරව්, අපගේ ජීවිත සඳහා එළිදරව්,” එන්සයින් හෝ ලියහෝනා, මැයි 2018, 96).
ඔබ ඊතර් 2; 3:1–6; සහ 4:7–15, අධ්‍යනය කරන විට; පුද්ගලික එළිදරව් ලබාගන්නේ කෙසේද යන්න තේරුම්ගැනීමට ඔබට උපකාරවත් වන සත්‍යයන් මොනවාද? යාරෙද්ගේ සහෝදරයාට තිබූ ප්‍රශ්න හෝ උත්සුකයන් සහ ඔහු ඒවා ගැන කළ දේ ඔබට එක් වර්ණයකින් සලකුණු කළ හැකි අතර, තවත් වර්ණයකින් ස්වාමින්වහන්සේ ඔහුට උදව් කොට උන්වහන්සේගේ කැමැත්ත ප්‍රකාශ කළ ආකාරය සලකුණු කළ හැකිය. යාරෙද්ගේ සහෝදරයා ස්වාමින්වහන්සේ සමග කතා කළ ආකාරය ගැන ඔබව පුදුම කරන්නේ කුමක්ද, එමෙන්ම ඔබේ ජීවිතයේ එළිදරව් වැඩි කරගන්නේ කෙසේද යන්න ගැන ඔබ මෙයින් ඉගෙනගන්නේ මොනවාද?
මාගේ “මහා ගැඹුර” තරණය කිරීමට ස්වාමින්වහන්සේ මා සූදානම් කරනු ඇත.
පොරොන්දු දේශයට යෑමට යාරෙද්වරු විශාල බාධාවකට මුහුණ දුන්හ: එනම් “මහා ගැඹුර” තරණය කිරීමය (ඊතර් 2:25). “මහා ගැඹුර” යන වාක්‍ය කණ්ඩය අපගේ පීඩා සහ අභියෝග සමහරවිට දැනෙන ආකාරය විස්තර කිරීමට සුදුසු ක්‍රමයක් විය හැකිය. සමහරවිට, යාරෙද්වරුන්ට මෙන්, අපගේම “මහා ගැඹුර” තරණය කිරීම අප වෙනුවෙන් දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉටුකිරීමට ඇති එකම ක්‍රමයයි. ඊතර් 2:16–25 හි ඔබේ ජීවිතයට සමානකම් ඔබ දකින්නේද? ඔබේ අභියෝග සඳහා ස්වාමින්වහන්සේ ඔබව සූදානම් කර ඇත්තේ කෙසේද? අනාගතයේදී ඔබ විසින් කළයුතු දේ සඳහා සූදානම් වීම සඳහා දැන් උන්වහන්සේ ඔබෙන් ඉල්ලා සිටින්නේ මොනවාද?
මාව දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇත.
ෂෙලම් කන්දේදී, යාරෙද්ගේ සහෝදරයා දෙවියන්වහන්සේ ගැන සහ තමා ගැන බොහෝ දේ ඉගෙනගත්තේය. දෙවියන්වහන්සේගේ අධ්‍යාත්මික හා භෞතික ස්වභාවය ගැන ඔබ ඊතර් 3 හි ඉගෙනගන්නේ මොනවාද? ඔබගේ දිව්‍යමය අනන්‍යතාවය සහ විභවය තේරුම්ගැනීමට මෙම සත්‍යයන් ඔබට උපකාර කරන්නේ කෙසේද?
අපි සියල්ලෝම දෙවියන්වහන්සේගේ දරුවෝ වෙමු.
ස්වාමින්වහන්සේව දුටු පළමු පුද්ගලයා යාරෙද්ගේ සහෝදරයාද?
යාරෙද්ගේ සහෝදරයාට පෙර දෙවියන්වහන්සේ වෙනත් අනාගතවක්තෘවරුන් ඉදිරියේ පෙනී සිට ඇත (නිදසුනක් වශයෙන්, මෝසෙස් 7:4, 59 බලන්න), එසේනම්, “මම කිසිවිටෙකත් මනුෂ්‍යයාට මා පෙන්වූයේ නැත” කියා ස්වාමින්වහන්සේ ඔහුට කීවේ මන්ද? (ඊතර් 3:15). වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් මෙම පැහැදිලි කිරීම ඉදිරිපත් කළේය: “ක්‍රිස්තුස්වහන්සේ යාරෙද්ගේ සහෝදරයාට මෙසේ කීවේය, ‘මම කිසිදාක මා විසින් මැවූ මනුෂ්‍යයෙකු හට මාව මේ ආකාරයෙන් නොපෙන්නුවෙමි, මක්නිසාද කිසිම මනුෂ්‍යයෙකු කිසිදවසක නුඹ මෙන් මාව විශ්වාස නොකළෙහිය’”(Christ and the New Covenant [1997], 23).
පවුල් ශුද්ධලියවිලි අධ්‍යනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
ඊතර් 1:34–37
අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීම ගැන මෙම පද වලින් අප ඉගෙනගන්නේ මොනවාද? මෙම පද වලින් පෙන්නුම් කරන යාච්ඤාව පිළිබඳ වෙනත් සත්‍යයන් මොනවාද?
ඊතර් 2:16–3:6
අපගේ ගැටලු වලට සහ ප්‍රශ්න වලට පිළිතුරු සොයාගන්නේ කෙසේද යන්න පිළිබඳව යාරෙද්ගේ සහෝදරයාගේ උදාහරණය අපට උගන්වන්නේ මොනවාද? සමහරවිට පවුලේ සාමාජිකයන්ට ස්වාමින්වහන්සේ තුළ සෙවීමෙන් පිළිතුරු ලබාගත් අත්දැකීම් බෙදාගත හැකිය.
ඊතර් 4:11–12
මෙම පද කියවීමෙන් පසු, පවුලේ සාමාජිකයින්ට ඔබගේ පවුල පෙළඹවීම් ඇති කරන (චිත්‍රපට, ගීත, ක්‍රීඩා හෝ පුද්ගලයින් වැනි) එදිනෙදා දේවල් කඩදාසි මත ලියා ඒවා බඳුනක තැබිය හැකිය. එවිට ඔවුන්ට එයින් එකක් තෝරාගෙන එය “යහපත කිරීමට ඔවුන්ව පොළඹවන්නේද” යන්න සාකච්ඡා කළ හැකිය (ඊතර් 4:12). ඔබගේ පවුලේ අයට පෙලඹවීමක් දැනෙන්නේ කුමන වෙනස්කම් කිරීමටද?
ඊතර් 5
ඔබට වස්තුවක් හෝ ආහාරයක් පෙට්ටියක සඟවා තබාගෙන පවුලේ එක් සාමාජිකයෙකුට ඇතුළත බලා පවුලේ සාමාජිකයින්ට එය කුමක්දැයි අනුමාන කිරීමට උපකාරී වෙන ලෙස ආරාධනා කරන්නට පුලුවන්. ඔබ ඊතර් 5 එකට එක්ව කියවන විට, ස්වාමින්වහන්සේ සිය කාර්යයේදී සාක්ෂිකරුවන් භාවිතා කිරීම වැදගත් වන්නේ මන්දැයි සාකච්ඡා කරන්න. මොර්මොන්ගේ පොත පිළිබඳ අපගේ සාක්ෂිය අන් අය සමග අපට බෙදාගත හැක්කේ කෙසේද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම
සැමවිටම සූදානමින් සිටින්න. “අවිධිමත් ඉගැන්වීමේ අවස්ථා ඉක්මණින් ගෙවී යයි, එබැවින් ඒවා පැනනගින විට ඒවායින් ප්‍රයෝජන ගැනීම වැදගත්ය. … නිදසුනක් වශයෙන්, අසීරු තීරණයක් ගැනීමට ඇති යෞවනයෙකුට පුද්ගලික එළිදරව් ලබාගන්නේ කෙසේද යන්න ඉගෙනගැනීමට සූදානම් විය හැකිය” (Teaching in the Savior’s Way, 16).
මාර්කස් ඇලන් වින්සන්ට් විසින්, ඔබ මීට වඩා දැක ඇත්ද?