එන්න, මා අනුගමනය කරන්න
නොවැම්බර් 2–8. මොර්මොන් 7–9: “නුඹලා මෙහි සිටින්නාක් මෙන් මම නුඹලාට කතා කරන්නෙමි”


“නොවැම්බර් 2–8. මොර්මොන් 7–9: ‘නුඹලා මෙහි සිටින්නාක් මෙන් මම නුඹලාට කතා කරන්නෙමි,”’ එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“නොවැම්බර් 2–8. මොර්මොන් 7–9,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

මොරෝනි රන් තහඩු මත ලියමින්

ඩාලේ කිල්බෝර්න් විසින්, මොරෝනි රන් තහඩු මත ලියමින්

නොවැම්බර් 2–8

මොර්මොන් 7–9

“නුඹලා මෙහි සිටින්නාක් මෙන් මම නුඹලාට කතා කරන්නෙමි”

ඔවුන්ගේ වාර්තාව අවසාන කාලයේ ජීවත් වන අයට පෙළඹවීමක් ලබාදෙනු ඇති බව මොර්මොන් සහ මොරෝනි විශ්වාස කළෝය. ඔබ මොර්මොන් 7–9 කියවන විට, ඔබ ඉගෙනගන්නා දේ අදාළ කරගත හැකි ආකාරය පිළිබඳ ඔබ වෙත එන හැඟීම් ලියන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

දුෂ්ඨ ලෝකයක තනිව සිටීම හැඟෙන්නේ කෙසේදැයි මොර්මොන් සහ මොරෝනි දැන සිටියෝය. ඔහුගේ පියා සටනේදී මිය ගොස් නෙපිවරුන් විනාශ වූ පසු මොරෝනි සඳහා තනිකම විශේෂයෙන් දරුණු වන්නට ඇත. “ඉතිරි වූයේ මා පමණකි,” ඔහු ලීවේය. “තවද මට යහළුවන්ද නැතහොත් යාමට තැනක්ද නොමැත” (මොර්මොන් 8:3, 5). දේවල් බලාපොරොත්තු රහිත බවක් පෙනෙන්නට තිබුණත්, මොරෝනි ගැලවුම්කරුවාණන් පිළිබඳ සහ “ස්වාමින්වහන්සේගේ සදාකාලික අරමුණු ඉදිරියට යන්නේය” යන දැනුම පිළිබඳ ඔහුගේ සාක්ෂියෙන් බලාපොරොත්තුව සොයාගත්තේය (මොර්මොන් 8:22). ඔහු දැන් කඩිසරව සම්පූර්ණ කරමින් සිටින වාර්තාව, යම් දවසක “අන්ධකාරයෙන් ඉවතට බැබළෙන” සහ බොහෝ මිනිසුන් “ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ දැනුමට” ගෙන එන මෙම වාර්තාව—වන මොර්මොන්ගේ පොත එම සදාකාලික අරමුණු සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බව මොරෝනි දැන සිටියේය (මොර්මොන් 8:16; 9:36). මෙම පොරොන්දු කෙරෙහි මොරෝනිගේ ඇදහිල්ල නිසා මෙම පොතේ අනාගත පාඨකයන්ට මෙසේ ප්‍රකාශ කිරීමට ඔහුට හැකි විය, “නුඹලා මෙහි සිටින්නාක් මෙන් මම නුඹලාට කතා කරන්නෙමි” එමෙන්ම “මාගේ වචනය නුඹලා ලබන්නේ යැයි මම දන්නෙමි” (මොර්මොන් 8:35; 9:30). දැන් අපට ඔහුගේ වචන තිබේ, ස්වාමින්වහන්සේගේ කාර්යය ඉදිරියට යමින් පවතින්නේ මොර්මොන් සහ මොරෝනි, තනිව සිටියදී පවා ඔවුන්ගේ මෙහෙවරට එකඟව සිටි බැවිනි.

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මොර්මොන් 7

මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කර උන්වහන්සේගේ ශුභාරංචිය “අල්ලාගෙන” සිටිය යුතුමය.

මොර්මොන්ගේ අවසන් වරට වාර්තා කරන ලද වචන, මොර්මොන් 7 හි හමුවී ඇති අතර, එය ලාමන්වරුන්ගේ පසුකාලීන පරම්පරාවට ආමන්ත්‍රණය කර ඇත, නමුත් ඒවාහි අප සැමට අවශ්‍ය සත්‍යයන් අඩංගු වේ. මොර්මොන්ගේ පණිවිඩය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය ගැන ඔබට උගන්වන්නේ මොනවාද? මොර්මොන් සිය ලේඛන අවසන් කිරීම සඳහා මෙම පණිවිඩය තෝරාගන්නට ඇත්තේ ඇයි?

මොර්මොන්ගේ 7:8–10; 8:12–22; 9:31–37

මොර්මොන්ගේ පොත ඉතා වටිනාකමකින් යුක්තය.

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඇසුවේය: “ඔබට දියමන්ති හෝ මැණික් හෝ මොර්මොන්ගේ පොත ලබාදුන්නොත් ඔබ තෝරාගන්නේ කුමක්ද? අවංකවම, ඔබට වඩා වටිනාම දේ කුමක්ද? ” (“මොර්මොන්ගේ පොත: එය නැතිව ඔබේ ජීවිතය කෙසේ වේවිද?එන්සයින් හෝ ලියහෝනා, නොවැ. 2017, 61).

ඔවුන් කළ එම වාර්තාව අපේ කාලයේදී ඉතා වටිනා එකක් වනු ඇති බව මොර්මොන් සහ මොරෝනි දැන සිටියෝය, එබැවින් එය සකස් කර ආරක්ෂා කිරීම සඳහා ඔවුන් විශාල කැපකිරීම් කළෝය. ඔබ මොර්මොන් 7:8–10; 8:12–22; සහ 9:31–37 කියවන විට, අපේ කාලයේ එම වාර්තාව මෙතරම් වටිනා වන්නේ මන්දැයි සලකා බලන්න. 1 නෙපි 13:38–41; 2 නෙපි 3:11–12; සහ දහම සහ ගිවිසුම 33:16; 42:12–13 හි ඔබට අමතර අවබෝධයක් ලබාගත හැකිය. මොර්මොන්ගේ පොත ඉතා වටිනා බව දැනගැනීමට ඔබට උපකාරවත් වූ අත්දැකීම් මොනවාද?

විවිධ භාෂා වලින් මොර්මොන්ගේ පොතේ පිටපත්

මොර්මොන්ගේ පොතේ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි අපට අදාළ වේ.

මොර්මොන් 8:26–41; 9:1–30

මොර්මොන්ගේ පොත අපේ දවස සඳහා ලියා ඇත.

මොර්මොන්ගේ පොත එළියට එන විට කුමක් සිදුවේ දැයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මොරෝනිට පෙන්වා දී තිබුණි (මොර්මොන් 8:34–35 බලන්න), එමෙන්ම මොරෝනි දුටු දෙයින් අපේ දවස සඳහා එඩිතර අනතුරු ඇඟවීම් දීමට ඔහු පෙළඹුණි. ඔබ මොර්මොන් 8:26–41 සහ 9:1–30 කියවන විට, ඔබේ ජීවිතයේ මෙම ආකල්ප හා ක්‍රියාවන්හි යම් සලකුණු තිබේද යන්න මෙනෙහි කරන්න. ඔබට වෙනස් ආකාරයකින් කළ හැක්කේ මොනවාද?

නිදසුනක් ලෙස, අපේ දවසේදී ඔහු දුටු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ පුළුල් විශ්වාසයක් නොමැතිකම සඳහා ප්‍රතිචාරයක් ලෙස මොර්මොන් 9:1–30 හි මොරෝනිගේ පණිවිඩය ඇතුළත්ය. පහත දැක්වෙන දේ ගැන ඔහුගේ වචන වලින් ඔබ ඉගෙනගන්නා දේ වාර්තා කිරීම සලකා බලන්න:

  • ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස නොකිරීමේ ප්‍රතිවිපාක (1–6, 26 පද)

  • එළිදරව් හා ප්‍රාතිහාර්යයන්ගෙන් යුත් දෙවි කෙනෙකු විශ්වාස කිරීමේ වැදගත්කම (7–20 පද)

  • අප වෙනුවෙන් මොරෝනිගේ උපදෙස් (21–30 පද)

ස්වර්ගික පියාණන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට අන් අයව සමීප කරවීමට ඔබට උපකාර කළ හැකි මොරෝනිගෙන් ඔබ ඉගෙනගන්නා දේවල් මොනවාද?

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.

මොර්මොන් 7:5–7, 10; 9:11–14

ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම ගැන අපට මෙම පද වලින් උගන්වන්නේ කුමක්ද සහ අපට ගැළවුම්කරුවෙකු අවශ්‍ය වන්නේ ඇයි?

මොර්මොන් 7:8–10

බයිබලය කෙරෙහි අපගේ විශ්වාසය ශක්තිමත් කිරීමට උපකාරවත් වූ මේ වසරේ මොර්මොන්ගේ පොත අධ්‍යයනය කිරීමෙන් අප ඉගෙනගත් දේවල් මොනවාද? සාකච්ඡාවක් ආරම්භ කිරීම සඳහා, ඇල්මා 7:11–13 සහ යෙසායා 53:3–5 හෝ 3 නෙපි 15:16–24 සහ යොහාන් 10:16 වැනි මොර්මොන්ගේ පොතෙන් හා බයිබලයෙන්, එක හා සමාන සත්‍යයන් උගන්වන ශුද්ධලියවිලි කිහිපයක් ඔබට කියවිය හැකිය.

මොර්මොන් 8:1–9

මොරෝනි මෙන් තනිවම සිටීම කෙසේ හැඟෙනු ඇත්ද? ඔහු ඉටු කළ කාර්යය ගැන අප තුළ පැහැදීමක් ඇති කරන්නේ මොනවාද?

මොර්මොන් 8:12, 17–21; 9:31

පවුලක් ලෙස මෙම පද කියවා ඉන්පසු වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ්ගේ පහත ප්‍රකාශය කියවීම සලකා බලන්න: “උන්වහන්සේගේ එකම පරිපූර්ණ පුත්‍රයා හැරුණු විට, දෙවියන්වහන්සේට මෙතෙක් වැඩ කිරීමට සිදුවී ඇත්තේ අසම්පූර්ණ මිනිසුන් සමගයි. … ඔබ අසම්පූර්ණකම දකින විට, සීමාසහිත බව එම කාර්යයේ දේවත්වයේ නොවන බව මතකතබාගන්න” (“Lord, I Believe,” Ensign or Liahona, May 2013, 94). මොර්මොන්ගේ පොත ලියූ අය ඇතුළු, අන් අයගේ අඩුපාඩුකම් කෙරෙහි අවධානය යොමුකිරීම භයානක වන්නේ ඇයි?

මොර්මොන් 8:36–38

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප මත ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ඇය හෝ ඔහු වෙතට පිළිගැනීමට යමෙකු ලැජ්ජා වන්නේ ඇයි? ගැලවුම්කරුවාණන් පිළිබඳ අපගේ සාක්ෂි වලදී අපට නිර්භීත විය හැක්කේ කෙසේද?

මොර්මොන් 9:16–24

විද්‍යා අත්හදා බැලීමක් හෝ වට්ටෝරුවක් සාර්ථකව සිදුකිරීම සඳහා සමහර අමුද්‍රව්‍ය අවශ්‍ය වේ. මොර්මොන් 9:16–24 කියවීමට පෙර පවුලක් ලෙස අත්හදා බැලීමක් කිරීම හෝ ප්‍රියතම වට්ටෝරුවක් සෑදීම ගැන සලකා බලන්න. ඔබ මෙම පද කියවන විට (විශේෂයෙන් 20–21 පද), ප්‍රාතිහාර්යයන් සිදුකිරීමට අවශ්‍ය වන “අමුද්‍රව්‍ය” මොනවාදැයි සොයා බලන්න. අප අවට ලෝකය තුළ සහ අපගේ පවුල තුළ අපට දැකිය හැකි හාස්කම් මොනවාද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

සභාවේ නිල සම්පත් වෙත යොමුවන්න. ඔබට ශුභාරංචි ප්‍රශ්න ඇත්නම්, පිළිතුරු සඳහා හොඳම ප්‍රභවයන් වන්නේ යාච්ඤාව, ශුද්ධලියවිලි, ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ වචන, සහ සභාවේ වෙනත් නිල ප්‍රකාශනයි (බලන්න Teaching in the Savior’s Way, 17–18, 23–24).

මොර්මොන් රන් තහඩු සංක්ෂිප්ත කිරීම

ජොන් මැක්නෝග්ටන් විසින්, මොර්මොන් රන් තහඩු සංක්ෂිප්ත කරමින්