“අගෝස්තු 24–30. හිලමන් 7-12: ‘ස්වාමින්වහන්සේව මතක තබාගන්න,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“අගෝස්තු 24–30. හිලමන් 7-12,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
ජෙරී තොම්ප්සන් විසින් උද්‍යාන කුළුණක නෙපිගේ නිදර්ශනය
අගෝස්තු 24–30
හිලමන් 7–12
“ස්වාමින්වහන්සේව මතක තබාගන්න”
නෙපි, ලෙහි සහ අනෙක් අය “දිනපතා බොහෝ එළිදරව්” ලැබූහ (හිලමන් 11:23). නිතර එළිදරව් ලැබීම අනාගතවක්තෘවරුන් සඳහා පමණක් නොවේ—එය ඔබටද ලබාගත හැකිය. ඔබේ හැඟීම් සටහන් කිරීමෙන් ඔබට නිරතුරුවම එළිදරව් ලැබිය හැකිය.
ඔබේ හැඟීම් සටහන් කරන්න
නෙපිගේ පියා, හිලමන්, තම පුතුන්ගෙන් ඉල්ලා සිටියේ “මතක තබාගන්න, මතක තබාගන්න” කියාය: ඔහුට අවශ්‍ය වූයේ ඔවුන් තම මුතුන්මිත්තන් සිහිපත් කිරීම, අනාගතවක්තෘවරුන්ගේ වචන මතක තබාගැනීම සහ බොහෝ විට “ක්‍රිස්තුස්වහන්සේ වන අපගේ මිදුම්කරුවාණන්ව” මතක තබාගැනීමයි (හිලමන් 5:5 –14 බලන්න). නෙපිට මතක තබාගත් බව පැහැදිලිය, මන්ද ඔහු වසර ගණනාවකට පසු “වෙහෙසට පැමිණීමෙන් තොරව” (හිලමන් 10:4) ජනතාවට ප්‍රකාශ කළ පණිවිඩය මෙයයි. “ඔබේ දෙවියන්වහන්සේව ඔබ අමතක කරන්නේ කෙසේද?” (හිලමන් 7:20), ඔහු ඇසුවේය. දේශනා කිරීම, යාච්ඤා කිරීම, ප්‍රාතිහාර්යයන් කිරීම සහ සාගතයක් නිසා දෙවියන්වහන්සේට ආයාචනා කිරීම වැනි—නෙපිගේ සියලු උත්සාහයන්—දෙවියන්වහන්සේ වෙතට හැරී උන්වහන්සේව සිහිපත් කිරීමට මිනිසුන්ට උපකාර කිරීමේ උත්සාහයන්ය. බොහෝ ආකාර වලින්, දෙවියන්වහන්සේව අමතක කිරීම උන්වහන්සේව නොදැන සිටීමට වඩා විශාල ගැටළුවක් වන අතර, “මෙලොව ඇති නිෂ්ඵල දේවලින්” අපගේ මනස වෙනතකට යොමුවී පාපයෙන් වැසී ඇති විට උන්වහන්සේව අමතක කිරීම පහසුය (හිලමන් 7:21; හිලමන් 12:2 ද බලන්න). එහෙත්, නෙපිගේ දේවසේවය පෙන්වන පරිදි, මතක තබාගැනීමට හෝ “ඔබේ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ වෙතට හැරීමට” කිසිවිටෙකත් ප්‍රමාද නැත (හිලමන් 7:17).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
අනාගතවක්තෘවරුන් දෙවියන්වහන්සේගේ කැමැත්ත හෙළිකරයි.
මෝර්මොන්ගේ පොත පුරා බොහෝ අනාගතවක්තෘවරුන් විස්තර කර ඇති නමුත් හිලමන් 7–11 යනු අනාගතවක්තෘවරයෙකු යනු කව්ද, ඔහු කුමක් කරන්නේද සහ ඔහුගේ වචන අප ලබාගන්නේ කෙසේද යන දේවල් ඉගෙනගැනීමට විශේෂයෙන් හොඳ ස්ථානයකි. ඔබ මෙම පරිච්ඡේද කියවන විට, නෙපිගේ ක්‍රියා, සිතුවිලි සහ ස්වාමින්වහන්සේ සමග අන්තර්ක්‍රියා කෙරෙහි අවධානය යොමුකරන්න. අපේ කාලයේ අනාගතවක්තෘවරයාගේ කාර්යභාරය වඩා හොඳින් තේරුම්ගැනීමට නෙපිගේ දේවසේවය ඔබට උපකාර කරන්නේ කෙසේද? මෙන්න උදාහරණ කිහිපයක්. ඔබ සොයාගන්නා වෙනත් දේවල් මොනවාද?
-
හිලමන් 7:17–22.අනාගතවක්තෘවරු පසුතැවිලි වීමට අයදින අතර පාපයේ ප්‍රතිවිපාක ගැන අනතුරු අඟවයි.
-
හිලමන් 7:29; 9:21–36.මිනිසුන්ට ඇසිය යුතු දේ දෙවියන්වහන්සේගෙන් එළිදරව් කිරීමෙන් අනාගතවක්තෘවරු දනිති.
-
හිලමන් 10:7.අනාගතවක්තෘවරුන්ට පොළොවෙහි හා ස්වර්ගයේ මුද්‍රා තැබීමේ බලය ලබාදී ඇත (මතෙව් 16:19; දහම සහ ගිවිසුම 132:46 ද බලන්න).
අපගේ ජීවමාන අනාගතවක්තෘවරයා ගැන ඔබට හැඟෙන ආකාරයට මෙම පද බලපාන්නේ කෙසේද? ඔහු මෑතකදී ඉගැන්වූයේ මොනවාද? ඔහුගේ මගපෙන්වීමට සවන්දීමට සහ අනුගමනය කිරීමට ඔබ කරන්නේ මොනවාද?
සංඥා හා ප්‍රාතිහාර්යයන් උපකාරවත් වන නමුත් කල්පවත්නා ඇදහිල්ල ගොඩනැගීමට ප්‍රමාණවත් නොවේ.
පුද්ගලයෙකුගේ හදවත වෙනස් කිරීමට සංඥා හෝ ප්‍රාතිහාර්යයන් ප්‍රමාණවත් වූයේ නම්, සියලු නෙපිවරු හිලමන් 9 හි නෙපි දුන් කැපී පෙනෙන සලකුණු මගින් පරිවර්තනය වීමට ඉඩ තිබුණි. ඒ වෙනුවට, “ජනතාව අතර බෙදීමක්” (හිලමන් 10:1) ඇති වූයේ ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් “තවමත් ඔවුන්ගේ හදවත් දැඩි කරගෙන ඇති” නිසාය (හිලමන් 10:15). දුෂ්ටයන් බොහෝවිට සංඥා හා හාස්කම් වලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? (බලන්න හිලමන් 10:12–15; තවත් බලන්න 3 නෙපි 2:1–2). සංඥා සාක්ෂියක පදනම බවට පත්වීමේ අන්තරාය කුමක්ද? (බලන්න “Signs,” Gospel Topics, topics.ChurchofJesusChrist.org).
මෙනෙහි කිරීම එළිදරව් සඳහා ආරාධනා කරයි.
ඔබට කවදා හෝ පසුබෑමක්, කනස්සල්ලක් හෝ ව්‍යාකූලත්වයක් දැනී ඇත්නම්, හිලමන් 10:2-4 හි නෙපිගේ උදාහරණයෙන් ඔබට වැදගත් පාඩමක් ඉගෙනගත හැකිය. “අධෛර්යයට පත්වුණා” යැයි හැඟෙන විට ඔහු කළේ කුමක්ද? (3 වන පදය).
සභාපති හෙන්රි බී. අයිරින් මෙසේ ඉගැන්වූයේය, “අප මෙනෙහි කරන විට, අපි ආත්මයාණන්වහන්සේ විසින් පැමිණෙන එළිදරව් සඳහා ආරාධනා කරන්නෙමු. මෙනෙහි කිරීම, ශුද්ධලියවිලි හොඳින් කියවා අධ්‍යයනය කිරීමෙන් පසු මා ඕනෑකමින් කරන චින්තනය හා යාච්ඤාවයි” (“Serve with the Spirit,” Ensign or Liahona, Nov. 2010, 60). මෙනෙහි කිරීමේ පුරුද්දක් ඔබ ඇතිකරගන්නේ කෙසේද? දෙවියන්වහන්සේගේ වචනය නිතිපතා මෙනෙහි කිරීමට එක් ක්‍රමයක් ගැන කියවීමට, සහෝදර ඩෙවින් ජී. ඩුරන්ට්ගේ පණිවිඩය බලන්න “My Heart Pondereth Them Continually” (Ensign or Liahona, Nov. 2015, 112–15).
තවත් බලන්න හිතෝපදේශ 4:26; ලූක් 2:19; 1 නෙපි 11:1; 2 නෙපි 4:15–16; 3 නෙපි 17:3; මොරෝනි 10:3; දහම සහ ගිවිසුම 88:62.
මා උන්වහන්සේව මතකතබාගැනීම ස්වාමින්වහන්සේට අවශ්‍යයි.
හිලමන් 12 හි, වාර්තාව සංක්ෂිප්ත කරමින් සිටි මෝර්මොන්, පෙර පරිච්ඡේදවල නෙපිගේ වාර්තාවෙන් අපට උගත හැකි පාඩම් කිහිපයක් සාරාංශ කරයි. ඔහුගේ සාරාංශය ඔබේ හදවත පරීක්ෂා කරබැලීමේ අවස්ථාවක් ලෙස සලකා බලන්න. මිනිසුන්ට ස්වාමින්වහන්සේව අමතක කිරීමට හේතුවන මෝර්මොන් පවසන දේවල් ලැයිස්තුවක් පවා ඔබට සෑදිය හැකිය. උන්වහන්සේව මතක තබාගැනීමට ඔබට උපකාරවත් වන්නේ මොනවාද? ඔබ ඉගෙනගත් දේ මත පදනම්ව ඔබ කුමන වෙනස්කම් කිරීමට පෙළඹී ඇත්ද?
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
හිලමන් 7–9
නෙපි කළ දේ සහ අද අනාගතවක්තෘවරුන් කරන දේ අතර අප දකින සමානකම් මොනවාද? අද අපේ අනාගතවක්තෘවරයා උගන්වන්නේ මොනවාද? සමහරවිට අනාගතවක්තෘවරයා විසින් ලබාදී ඇති මෑතකාලීන උපදෙස් කිහිපයක් තෝරාගෙන එය වඩාත් හොඳින් අනුගමනය කළ හැකි පවුල් ක්‍රමයන් සාකච්ඡා කළ හැකිය.
හිලමන් 10:4–5, 11–12
නෙපි තමාගේ කැමැත්තට වඩා ස්වාමින්වහන්සේගේ කැමැත්ත පැතූ බව පෙන්නුම් කළේ කෙසේද? ඔහුගේ ආදර්ශය අපට අනුගමනය කළ හැක්කේ කෙසේද? අපගේ පවුලට ස්වාමින්වහන්සේගේ කැමැත්ත සෙවීමට වඩා හොඳ ක්‍රම මොනවාද?
හිලමන් 11:1–16
නෙපිගේ කැමත්ත වූයේ කුමක්ද සහ ඔහු ඒ ගැන කළේ කුමක්ද? යාච්ඤාව පිළිබඳව නෙපිගේ උදාහරණයෙන් අප ඉගෙනගන්නේ මොනවාද?
හිලමන් 11:17–23
හිලමන් 11: 17-23 හි නෙපිගේ සහෝදරයා වන ලෙහි ගැන අප ඉගෙනගන්නේ මොනවාද? විශාල පිළිගැනීමක් ලබානොගෙන ධර්මිෂ්ට ජීවිතයක් ගතකරන කෙනෙක් අපි දන්නවාද?
හිලමන් 12:1–6
“අස්ථිරභාවය” යන්නෙහි තේරුම ඔබේ පවුලේ අයට තේරුම්ගැනීමට උපකාර කිරීමට ඔබට භාවිතා කළ හැකි වස්තු පාඩමක් ගැන ඔබට සිතිය හැකිද? නිදසුනක් වශයෙන්, පවුලේ සාමාජිකයෙකුට ඔහුගේ හෝ ඇයගේ හිස මත යමක් සමබර කරගැනීමට උත්සාහ කරන ලෙස ඔබට ආරාධනා කළ හැකිය. ස්වාමින්වහන්සේව අනුගමනය කිරීමෙහිලා මිනිසුන් නොසැලී සිටිය හැකි හේතූන් සෙවීම සඳහා හිලමන් 12:1–6 බලන්නැයි ඔබට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කළ හැකිය. අපට අධ්‍යාත්මිකව ස්ථාවරව සිටිය හැක්කේ කෙසේද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.
අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම
සමාලෝචනය කරන්න. පවුලේ සාමාජිකයින්ට ඔවුන් ඉගෙනගන්නා ශුද්ධලියවිලි මතක තබාගැනීමට උදව් කිරීමට අදහසක් මෙන්න: ඔබට අර්ථවත් යැයි පෙනෙන පදයක් තෝරාගෙන එය ඔබගේ නිවසේ ප්‍රදර්ශනය කරන්න, එහිදී පවුලේ සාමාජිකයින් එය නිතර දකිනු ඇත. ප්‍රදර්ශනය කිරීම සඳහා ශුද්ධලියවිලි පදයක් තෝරාගැනීම සඳහා වෙනත් පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න, සහ ආහාර වේල් හෝ පවුලේ යාච්ඤාව වැනි දේවලදී පවුලේ අය රැස්වන විට, ඒ ගැන සාකච්ඡා කරන්න.
© තරුණ පාඨකයන් සඳහා වූ මෝර්මොන්ගේ පොත, සින්තුම් - මිනීමරුවා සොයාගනු ලබයි, බ්‍රියානා ෂෝක්‍රොෆ්ට් විසිනි; පිටපත් නොකළ යුතුය