එන්න, මා අනුගමනය කරන්න
මාර්තු 23–29. ඊනොස් - මොර්මොන්ගේ වචන: උන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රියාකරන්නට උන්වහන්සේ මා තුළ ක්‍රියාකරන සේක


“මාර්තු 23–29. ඊනොස් - මොර්මොන්ගේ වචන: උන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රියාකරන්නට උන්වහන්සේ මා තුළ ක්‍රියාකරන සේක,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“මාර්තු 23–29. ඊනොස් - මොර්මොන්ගේ වචන,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

ඊනොස් තරුණ පිරිමි ළමයෙකු ලෙස තම පියා, යාකොබ් සහ මව සමග

ස්කොට් ස්නෝ විසින්, යාකොබ් සහ ඊනොස්

මාර්තු 23–29

ඊනොස්-මොර්මොන්ගේ වචන

උන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රියාකරන්නට උන්වහන්සේ මා තුළ ක්‍රියාකරන සේක

ඔබ මොර්මොන්ගේ වචන හරහා ඊනොස් කියවන විට, ඔබට හෝ ඔබේ පවුලේ අයට වටිනාකමක් විය හැකි පණිවිඩ සොයන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

සතුන් දඩයම් කිරීම සඳහා ඊනොස් වනාන්තරයට ගිය නමුත් ඔහු “මුළු දවස පුරාම… රාත්‍රිය පැමිණි විටත්” යාච්ඤා කිරීම සඳහා එහි නැවතී සිටියේය (ඊනොස් 1:3–4). ඔහුගේ පාපයට සමාව ලබාගැනීම සඳහා ඔහුගේ ආත්මය සැබවින්ම කුසගින්නෙන් සිටි නිසා, අවශ්‍ය තාක්කල් යාච්ඤා කිරීමටත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි “පොරබැදීමටත්” පවා ඊනොස් කැමති විය (ඊනොස් 1:2). අවංක යාච්ඤාව යනු එයයි: අපට අවශ්‍ය සෑමදෙයක්ම ඉල්ලීම පමණක් නොව දෙවියන්වහන්සේ සමග අදහස් හුවමාරු කරගැනීමට සහ අපගේ කැමැත්ත උන්වහන්සේගේ කැමැත්තට පෙළගැස්වීමට දරන අවංක උත්සාහයකි. ඔබ මේ ආකාරයෙන් යාච්ඤා කරන විට, ඔබේ හඬ “ස්වර්ගයට” ළඟාවූ විට, දෙවියන්වහන්සේ ඔබට සවන් දුන් බව ඊනොස් කළාක් මෙන් ඔබ සොයාගනී, එමෙන්ම උන්වහන්සේ ඔබ ගැනත්, ඔබගේ ආදරණීයයන් ගැනත්, එමෙන්ම ඔබේ සතුරන් ගැනත් සැබවින්ම සැලකිලිමත් වන සේක (බලන්න ඊනොස් 1:4–17). එම අවස්ථාවලදී, දෙවියන්වහන්සේට උන්වහන්සේගේ කැමැත්ත ගැන ඔබව දැනුවත් කළ හැකි අතර, ඔබ උන්වහන්සේට එකඟව සිටින නිසා ඔබට උන්වහන්සේගේ කැමැත්ත කිරීමට වඩාත් කැමැත්තක් හා හැකියාවක් ලැබෙනු ඇත. මෝර්මොන් මෙන්, ඔබත් “සියළු දේවල් නොදන්නවා විය හැක; එහෙත් ස්වාමින්වහන්සේ පැමිණෙන්නට ඇත්තාවූ සියළුදේ දන්නා සේක … [එමනිසා] උන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රියාකරන්නට උන්වහන්සේ [ඔබ] තුළ ක්‍රියාකරන සේක” (මොර්මොන්ගේ වචන 1:7).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ඊනොස් 1:1–3

දෙමව්පියන්ගේ වචන වලට කල්පවත්නා බලපෑමක් ඇති කළ හැකිය.

මෙම පද වල දෙමාපියන්ට සහ දරුවන්ට ඇති පණිවිඩ මොනවාද?

ඊනොස් 1:4–27

මාගේ හෘදයාංගම යාච්ඤා වලට පිළිතුරු ලැබෙනු ඇත.

යාච්ඤාව පිළිබඳ ඊනොස්ගේ අත්දැකීම ශුද්ධලියවිල්ලේ අමතක නොවන ඒවා වලින් එකකි. ඔබගේ අත්දැකීම් නාට්‍යාකාර බවින් අඩු විය හැකි නමුත් ඒවා අවමව අර්ථවත් වියයුතු නැත. ඊනොස්ගේ අත්දැකීම් ඔබගේ යාච්ඤාව වැඩිදියුණු කළ හැකි ක්‍රම හෙළි කරයි. මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න කිහිපයක් මෙන්න:

  • ඊනොස් යාච්ඤා කරන විට ඔහු දැරූ උත්සාහය විස්තර කරන වචන මොනවාද?

  • ඊනොස් මූලිකවම යාච්ඤා කළේ කුමක් සඳහාද? (බලන්න ඊනොස් 1:4). පිළිතුරක් ලැබීමෙන් පසු ඊනොස්ගේ ප්‍රතිචාරයෙන් ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද? (බලන්න ඊනොස් 1:5–7).

  • තමාට ලැබුණු පිළිතුරු මත ඊනොස් ක්‍රියා කළේ කෙසේද?

  • ස්වාමින්වහන්සේ කෙරෙහි “නොසැලෙන” ඇදහිල්ලක් ඇති කරගන්නේ කෙසේද යන්න ගැන ඊනොස්ගෙන් ඔබට ඉගෙනගත හැක්කේ මොනවාද? (ඊනොස් 1:11).

යාරොම්ඔම්නි

මම අණ පණත් පිළිපදින විට ස්වාමින්වහන්සේ මට ආශිර්වාද කරනු ඇත.

මොර්මොන්ගේ පොතෙහි දෙවියන්වහන්සේ නැවත නැවතත් දුන් පොරොන්දු වලින් එකක් නම් නෙපිවරුන් අණ පණත් පිළිපදින්නේ නම් ඔවුන් සමෘද්ධිමත් වනු ඇති බවයි (බලන්න 2 නෙපි 1:20; යාරොම් 1:9–12; ඔම්නි 1:6). යාරොම් සහ ඔම්නිගේ පොත් මෙම පොරොන්දුව ඉටු කළ ආකාර කිහිපයක් පෙන්වයි. “දේශයේ සමෘද්ධිමත් වීම” සඳහා ඔබට උපකාර වන කුමන දේ මෙම කතා වලින් ඔබ ඉගෙනගන්නේද?

ඔම්නි 1:14, 21

සාරාහෙම්ලා වැසියන් යනු කවුරුන්ද?

නෙපිවරු නෙපි දේශයෙන් පලාගිය පසු, සාරාහෙම්ලා නම් ස්ථානයක වාසය කරන විශාල පිරිසක් ඔවුන් සොයාගත්හ. සාරාහෙම්ලාහි වැසියන් ලෙහිගේ පවුල මෙන් ජෙරුසලමෙන් පිටත්ව ගොස් දෙවියන්වහන්සේ විසින් පොරොන්දු දේශයට ගෙන ගිය ඊශ්‍රායෙලිකයන් පිරිසකගෙන් පැවත එන්නෝ වූහ. ක්‍රි.පූ. 587 දී පමණ බැබිලෝනිවරුන් විසින් අල්ලා ගනු ලැබූ යූදාහි රජු වූ සෙදකියාගේ පුත්‍රයන්ගෙන් එක් අයෙකු වූ මුලෙක්ද ඒ අතර විය (බලන්න යෙරමියා 52:1–11; මොසායා 25:2; හිලමන් 8:21).

සාරාහෙම්ලාහි වැසියන් පොරොන්දු දේශයට පැමිණි පසු, ඔවුන්ට කොරියැන්තුමර් හමුවිය (ඔම්නි 1:21 බලන්න), දන්නා තරමින් ජැරඩයිට්වරුන්ගෙන් දිවි ගලවාගත් එකම තැනැත්තා ඔහු වන අතර, ඔහුගේ කතාව ඊතර් පොතේ සඳහන් වේ.

මොර්මොන්ගේ වචන

මොර්මොන්ගේ වචන යනු කුමක්ද?

මෝර්මොන්ගේ වචන මෝර්මොන්ගේ පොත සෑදෙන තහඩු කට්ටල දෙක අතර පාලමක් ලෙස සේවය කරයි. මෙහිදී මෝර්මොන්ගේ මෙම වාර්තා දෙක පිළිබඳව පැහැදිලි කිරීමක් සපයන අතර, උන්වහන්සේගේ මගපෙන්වීම සර්ව සම්පූර්ණව අපට තේරුම්ගත නොහැකි වුවත්, ඔහුගේ වචන අපට ස්වාමින්වහන්සේව විශ්වාස කිරීම පිළිබඳ වැදගත් පණිවිඩයක් උගන්වයි.

නෙපි තම ජනයාගේ වාර්තාව ලියමින් සිටියදී, දෙවියන්වහන්සේ ඔහුට නියම කළේ කුඩා තහඩු සහ නෙපිගේ විශාල තහඩු ලෙස හඳුන්වන තහඩු කට්ටල දෙකක් නිර්මාණය කරන ලෙසය. තහඩු කට්ටල දෙකක් සෑදීමට තමාට අණ කළේ මන්දැයි නෙපි දැනසිටියේ නැත, නමුත් ස්වාමීන්වහන්සේට “ඥාණාන්විත අරමුණක් ඇති බවත් … , එම අරමුණ මා නොදන්නා බවත්” ඔහු විශ්වාස කළේය (1 නෙපි 9:5; තවත් බලන්න “මොර්මොන්ගේ පොත පිළිබඳ කෙටි විස්තරයක්”).

ශතවර්ෂ ගණනාවකට පසු, මොර්මොන් නෙපිගේ විශාල තහඩු සංක්ෂිප්ත කරමින් සිටියදී, ඔහුට කුඩා තහඩු හමුවිය. මෝර්මොන් ඒ වන විටත් සංක්ෂිප්ත කර තිබූ විශාල තහඩු වල විස්තර කර ඇති එකම සිදුවීම් බොහෝමයක් කුඩා තහඩු වලින් ආවරණය වූ නමුත්, කුඩා තහඩු වැඩි අවධානයක් යොමු කළේ අධ්‍යාත්මික කාරණා සහ අනාගතවක්තෘවරුන්ගේ දේවසේවය හා ඉගැන්වීම් කෙරෙහිය. විශාල තහඩු වලට අමතරව නෙපිගේ කුඩා තහඩු ඔහුගේ වාර්තාවට ඇතුළත්කිරීමට දෙවියන්වහන්සේ මෝර්මොන්ට පෙළඹවීමක් ලබාදුන්නේය.

නෙපි මෙන්, මෝර්මොන්ද තහඩු කට්ටල දෙකම තිබීමේ දෙවියන්වහන්සේගේ අරමුණ තේරුම්ගෙන නැත, නමුත් එය “ඥාණාන්විත අරමුණක් සඳහා” බව ඔහු විශ්වාස කළේය (මොර්මොන්ගේ වචන 1:7).

දෙවියන්වහන්සේගේ අරමුණ වූයේ කුමක්ද යන්න අද අපි දනිමු. 1828 දී ජෝසෆ් ස්මිත් විසින් මෝර්මොන්ගේ සංක්ශිප්තයෙන් කොටසක් වූ නෙපිගේ විශාල තහඩු (අත් පිටපත් පිටු 116) පරිවර්තනය කිරීමෙන් පසුව, මාටින් හැරිස්ට එම පිටු අහිමි විය. නපුරු මිනිසුන් එම වචන වෙනස් කර ජෝසෆ්ව අපකීර්තියට පත්කිරීමට උත්සාහ කරන බැවින් මෙම කොටස නැවත පරිවර්තනය නොකරන ලෙස දෙවියන්වහන්සේ ජෝසෆ්ට අණ කළේය (බලන්න D&C 10, අංශ ශීර්ෂය; D&C 10:14–19, 30–45). ස්තූතිවන්ත වන්නට, දෙවියන්වහන්සේ මෙය කල්තියාම දැක ඇති අතර පිටු 116 සමග නැතිවූ ඉතිහාසයම ආවරණය වන පරිදි කුඩා තහඩු ලබාදී තිබිණ. කුඩා තහඩු රචනා කරන්නේ මොර්මොන්ගේ වචන වලට පෙර එන පොත් වන අතර, මොර්මොන්ගේ විශාල තහඩු වල සංක්ෂිප්තය ආරම්භවන්නේ මොර්මොන්ගේ වචන වලින් පසුවය.

මෝර්මොන් රන් තහඩු සංශිප්ත කරමින්

ජොර්ජ් කොකෝ විසින්, මෝර්මොන් රන් තහඩු සංශිප්ත කරමින්

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.

ඊනොස් 1:1-17

ඔබේ පවුලට ඊනොස් යාච්ඤා කරමින් සිටින පින්තූරයක් දෙස බලා එම පින්තූරයට මාතෘකාවක් ලෙස භාවිතා කළ හැකි වාක්‍ය ඛණ්ඩ ඊනොස් 1: 1–17 කියවීමෙන් සෙවිය හැකිය. ඊනොස්ගේ අත්දැකීම් වලට සම්බන්ධ පින්තූර අඳින්නැයි ඔබට පවුලේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. සමාව ඉල්ලීම ගැන ඊනොස්ගෙන් අප ඉගෙනගන්නේ මොනවාද?

යාරොම් 1:2

මොර්මොන්ගේ පොත පිළිබඳ අපගේ අධ්‍යයනයෙන් අපට “ගැලවීමේ සැලැස්ම අනාවරණය” වී ඇත්තේ කෙසේද?

ඔම්නි 1:12–22

අපගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ වචනය තිබීමේ වැදගත්කම ගැන මෙම පදවලින් උගන්වන්නේ මොනවාද?

මෝර්මොන්ගේ වචන 1:3–9

පුද්ගලික සහ පවුල් වාර්තා තබාගැනීමෙන් අපට ආශිර්වාද ලැබෙන්නේ කෙසේද? අපගේ වාර්තා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි වැඩි අවධානයක් යොමුවන ලෙස සාදන්නේ කෙසේද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.

අපගේ ඉගැන්වීම් වර්ධනය කරගැනීම

නිතිපතා එක්රැස් වන්න. සභාපති හෙන්රි බී. අයිරින් මෙසේ ඉගැන්වීය. “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහම ඉගෙනගැනීමට දරුවන් එක්රැස් කිරීමේ අවස්ථාවක් කිසිවිටෙකත් අතපසු නොකරන්න. සතුරාගේ උත්සාහයන්ට සාපේක්ෂව එවැනි අවස්ථා ඉතා දුර්ලභය” (“The Power of Teaching Doctrine,” Ensign, May 1999, 74).

ඊනොස් යාච්ඤා කරමින්

රොබර්ට් ටී. බැරට් විසින්, ඊනොස් යාච්ඤා කරමින්