අගෝස්තු 31–සැප්තැම්බර් 6 ‘හුස්ම ඇති සියල්ලෝම ස්වාමින්වහන්සේට ප්‍රශංසා කෙරෙත්වා’”: ගීතාවලිය 102–103; 110; 116–119; 127–128; 135–139; 146–150’ එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
අගෝස්තු 31–සැප්තැම්බර් 6 ‘හුස්ම ඇති සියල්ලෝම ස්වාමින්වහන්සේට ප්‍රශංසා කෙරෙත්වා,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
කෙල්සි සහ ජෙසී ලයිට්වේව් විසින්, Reverential Return [ගෞරවනීය නැවත පැමිණීම]
අගෝස්තු 31–සැප්තැම්බර් 6: “හුස්ම ඇති සියල්ලෝම ස්වාමින්වහන්සේට ප්‍රශංසා කෙරෙත්වා”
ගීතාවලිය 102–103; 110; 116–119; 127–128; 135–139; 146–150
ගීතාවලිය පොත සඳහා සම්ප්‍රදායික යුදෙව් නම ටෙහිලිම් යන හෙබ්‍රෙව් වචනයක් වන අතර එහි අර්ථය “ප්‍රශංසා” යන්නයි. එය හලෙලූයා (“යෙහෝවාවහන්සේට ප්‍රශංසා කිරීම” හෝ “ස්වාමින්වහන්සේට ප්‍රශංසා කිරීම” යන අර්ථය) යන හඬනගා කරන ප්‍රකාශයට සම්බන්ධයි. ගීතාවලියේ ප්‍රධාන පණිවිඩය සාරාංශ කිරීමට ඔබට එක් වචනයක් තෝරා ගැනීමට සිදු වූයේ නම්, ප්‍රශංසා කිරීම හොඳ තේරීමක් වනු ඇත. සමහර ගීතිකා වල “ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න” (විශේෂයෙන් බලන්න ගීතාවලිය 146-50) යන සෘජු ආරාධනය අඩංගු වන අතර, ඒ සියල්ලටම නමස්කාරය හා ප්‍රශංසාව ඇති කරන්න පුළුවන්. ස්වාමින්වහන්සේගේ බලය, උන්වහන්සේගේ දයාව සහ උන්වහන්සේ කර ඇති ශ්‍රේෂ්ඨ දේ පිළිගැනීමට ගීතාවලිය අපට ආරාධනා කරනවා. මේ කිසිම දෙයකට අපට කිසිදාක උන්වහන්සේට ආපසු ගෙවන්න බැහැ, නමුත් අපට උන්වහන්සේට ප්‍රශංසා කරන්න පුළුවන්. එම ප්‍රශංසාව විවිධ පුද්ගලයන් සඳහා විවිධ ආකාර ගන්න පුළුවන්—එයට ගායනා කිරීම, යාච්ඤා කිරීම හෝ සාක්ෂි දැරීම ඇතුළත් වෙන්න පුළුවන්. එය බොහෝ විට ස්වාමින්වහන්සේ කෙරෙහි ගැඹුරු කැපවීමකට සහ උන්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමට මග පාදනවා. ඔබේ ජීවිතයේ “ස්වාමින්වහන්සේට ප්‍රශංසා කිරීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක් වුවත්, ඔබ ගීතාවලිය කියවන විට සහ එය මෙනෙහි කරන විට එසේ කිරීමෙන් ඔබට ආශ්වාදයක් සොයාගන්න පුළුවන්.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
ගීතාවලිය 102–3; 116
මගේ දුක් වේදනාවලදී ස්වාමින්වහන්සේට මාව සනසන්න පුළුවන්.
ගීතාවලිය 102:1–11 තුළ අභියෝග වලදී බොහෝ විට පැමිණෙන කාංසාව සහ හුදකලා හැඟීම් විස්තර කරන ආකාරය සැලකිල්ලට ගන්න. සමහරවිට ඔබ හෝ ඔබ දන්නා වෙනත් අය එවැනි හැඟීම් අත්විඳලා ඇති. ඔබ ගීතාවලිය 102:12–28; 103; 116 කියවන විට, ඔබේ පරීක්ෂාවලදී “ස්වාමින්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කිරීමට” ඔබට විශ්වාසයක් ලබා දෙන වාක්‍ය ඛණ්ඩ සොයන්න (ගීතාවලිය 116:13). ඔබට උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් ඇති කරන වාක්‍ය ඛණ්ඩ සලකුණු කිරීමට, කටපාඩම් කිරීමට හෝ අන් අය සමඟ බෙදා ගැනීමට ඔබට අවශ්‍ය විය හැකිය.
තවත් බලන්න යෙසායා 25:8; හෙබ්‍රෙව් 2:17–18; ඇල්මා 7:11–13; කමීල් එන්. ජොන්සන්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහනයයි,” ලියහෝනා, මැයි 2023, 81–83.
කාල් හෙන්රිච් බ්ලොච් (1834-1890), 1883 Christ Healing the Sick at Bethesda [බෙතෙස්ඩා හිදී ක්‍රිස්තුස්වහන්සේ රෝගීන් සුව කිරීම], කැන්වසය මත තෙල්, අඟල් 100 3/4 × 125 1/2 බ්‍රිගම් යන්ග් විශ්ව විද්‍යාලයේ කලා කෞතුකාගාරය, ජැක් ආර්. සහ මේරි ලොයිස් වීට්ලි විසින් 2001 දී ලබා දුන් අරමුදල් වලින් මිලදී ගන්නා ලදි.
ගීතාවලිය 110; 118
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගීතාවලියේ අනාවැකි සම්පූර්ණ කළ සේක.
ගීතාවලිය තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය හා දේවසේවය දෙසට යොමුවන ඡේද අඩංගු වෙනවා. මෙන්න උදාහරණ කිහිපයක්:
-
ගීතාවලිය 110:1–4 (බලන්න මතෙව් 22:41–45; හෙබ්‍රෙව් 5:4–10; 6:20)
-
ගීතාවලිය 118:22 (බලන්න මතෙව් 21:42; ක්‍රියා 4:10–11; 1 පේත්‍රැස් 2:7)
-
ගීතාවලිය 118:25–26 (බලන්න මතෙව් 21:9)
මෙම පද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබට උගන්වන්නේ මොනවාද? උන්වහන්සේ ගැන මෙය දැනගැනීම වැදගත් වන්නේ ඇයි?
ගීතාවලිය 119
දෙවියන්වහන්සේගේ වචනය මා උන්වහන්සේගේ මාර්ගයෙහි තබනු ඇත.
ගීතාවලිය 119 හි අපගේ ජීවිතය නැවත ස්වර්ගීය පියාණන්වහන්සේ වෙත යන ගමනකට සංසන්දනය කරන බොහෝ වාක්‍ය ඛණ්ඩ අඩංගු වෙනවා. ඔබ කියවන විට, “ඇවිදීම”, “මාර්ගය”, “මාවත”, “පාද” සහ “ඉබාගාතේ” වැනි වචන සොයන්න. ඔබ සිටියේ කොහේද, ඔබ දැන් සිටින්නේ කොතැනද සහ ඔබ ගමන් කරන්නේ කොතැනටද කියා—ඔබේම ජීවිත ගමන ගැන මෙනෙහි කරන්න. ඔබ නිවස වෙත නැවත යන මේ ගමන ගැන ඔබ ගීතාවලියෙන් ඉගෙන ගන්නේ මොනවාද? අන් අයගේ මාර්ග බලා ඔබ ඉගෙන ගෙන ඇත්තේ මොනවාද? මෙම ගීතිකාවට අනුව, උන්වහන්සේගේ මාර්ගයේ රැඳී සිටීමට ඔබට උපකාර කිරීමට දෙවියන්වහන්සේ සපයා ඇත්තේ මොනවාද?
මාර්ගයක් හෝ සිතියමක් අනුගමනය කිරීමෙන් ඔබට සාර්ථකව කොතැනකට හෝ ගමන් කිරීමට උපකාර වූ අවස්ථාවක් ගැන සිතන්න. දෙවියන්වහන්සේගේ මාර්ගය අනුගමනය කිරීම ගැන එම අත්දැකීම ඔබට උගන්වන්නේ මොනවාද?
තවත් බොහෝ ශුද්ධලියවිලිවල, ස්වාමින්වහන්සේ සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් විසින් මාර්ගයක් ගැන කතා කරනවා. පහත දැක්වෙන්නේ ඒ සඳහා උදාහරණ කිහිපයක්. මෙම පද උවමනාවෙන් කියවීම සහ ඔබ ඉගෙන ගන්නා දේ ලිවීම හෝ ඒවා අන් අය සමඟ බෙදා ගැනීම ගැන සලකා බලන්න.
|
ශුද්ධලියවිලි |
දෙවියන්වහන්සේ වෙත යන මාර්ගය ගැන මා ඉගෙන ගන්නා දේ |
|---|---|
ශුද්ධලියවිලි ගීතාවලිය 4:11–19 | |
ශුද්ධලියවිලි මතෙව් 7:13–14 | |
ශුද්ධලියවිලි | |
ශුද්ධලියවිලි | |
ශුද්ධලියවිලි | |
ශුද්ධලියවිලි |
මෙම සත්‍යයන් ඔබට දෙවියන්වහන්සේගේ මාර්ගයේ රැඳී සිටීමට උපකාර කරන්නේ කෙසේද?
සභාපති රසල් එම්. නෙල්සන්ගේ පහත උපදේශයෙන් ඔබට ඉගෙන ගත හැකි අමතර අදහස් මොනවාද?
“ජීවිතය හරහා යන අපගේ ගමන සාර්ථක වීමට නම්, අපි දිව්‍යමය මගපෙන්වීම් අනුගමනය කළ යුතුයි. ස්වාමින්වහන්සේ අපට මෙලෙස උපදෙස් දී තිබෙනවා, ‘සෑම සිතුවිල්ලකදීම මා වෙත බලන්න, සැක නොසිතන්න, බිය නොවන්න’ (දහම සහ ගිවිසුම් 6:36). ගීතිකාකරු මෙසේ ලිව්වා, ‘ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය’ [ගීතාවලිය 119:105]. …
“ඔබේ ජීවන ගමනේදී ඔබට බොහෝ බාධක හමුවන අතර ඔබේ අතින් සමහර වැරදි සිදු වෙනවා. වැරදි හඳුනාගැනීමටත්, අවශ්‍ය නිවැරදි කිරීම් කිරීමටත් ශුද්ධලියවිලිමය මගපෙන්වීම ඔබට උපකාර කරනවා. ඔබ වැරදි දිශාවට ගමන් කිරීම නවත්වනවා. ඔබ ශුද්ධලියවිල්ලේ මාර්ග සිතියම හොඳින් අධ්‍යයනය කරනවා. එවිට ඔබ ‘සදාකාල ජීවනයට මගපෙන්වන පටු මාර්ගයට’ [2 නෙපී 31:18] යාමට අවශ්‍ය පසුතැවිලි වීම සහ ප්‍රතිසාධනය සමඟ ඉදිරියට යනවා.” (“Living by Scriptural Guidance,” Ensign, Nov. 2000, 17).
තවත් බලන්න ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ්, “නාස්තිකාරයා සහ නිවසට යන මාර්ගය,” ලියහෝනා, නොවැ. 2023, 86–88.
ගීතාවලිය 134–36
ස්වාමින්වහන්සේ ඕනෑම පිළිමයකට වඩා බලවත්.
ගීතාවලිය 135:15–18 ට අනුව, බොරු දෙවිවරුන් කෙරෙහි විශ්වාසය තැබීම මෝඩකමක් වන්නේ ඇයි කියා බලන්න. පිළිමයකට සමාන දෙයක් විශ්වාස කිරීමට ඔබ පෙලඹිය හැක්කේ කෙසේද? ගීතාවලිය 134–36 තුළ ගීතිකාකරුවන් කළාක් මෙන්, ස්වාමින්වහන්සේට කළ හැකි දේවල් ලැයිස්තුවක් ඔබට හදන්න පුළුවන්. උන්වහන්සේ ඔබ වෙනුවෙන් කර ඇති බලවත් දේවල් මොනවාද?
ගීතාවලිය 139
ස්වාමින්වහන්සේ මගේ සිත දන්නවා.
ස්වාමින්වහන්සේ ඔබ ගැන දන්නා බව ඔබට තේරුම් ගැනීමට උපකාර වන ගීතාවලිය 139 තුළ ඔබ සොයා ගන්නා දේවල් මොනවාද—ඔබේ සිතුවිලි සහ ක්‍රියාවන්, ශක්තීන් සහ දුර්වලතා මොනවාද? මෙම සත්‍යය ඔබේ ජීවිතයට සහ ඔබේ තේරීම්වලට බලපාන්නේ කෙසේද?
ගීතාවලිය 146–50
“ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.”
ඔබ මෙම අවසාන ප්‍රශංසනීය ගීතිකා කියවන විට, ඔබට ස්වාමින්වහන්සේට ප්‍රශංසා කිරීමට ඇති හේතු ගැන සිතන්න. උන්වහන්සේට ප්‍රශංසා කිරීම වැදගත් වන්නේ ඇයි? ඔබට උන්වහන්සේට ප්‍රශංසා කළ හැකි ක්‍රම මොනවාද?
වැඩි විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
ගීතාවලිය 102:1–2
ස්වාමින්වහන්සේ මා සනසන අතර මට බලාපොරොත්තුවක් ලබා දෙන සේක.
-
අපගේ දුෂ්කරතාවලදී ස්වාමින්වහන්සේ අපට උපකාර කරන්නේ කෙසේදැයි සොයමින් ඔබට හෝ ඔබේ දරුවන්ගෙන් කෙනෙකුට ගීතාවලිය 102:1–2 කියවන්න පුළුවන්. අපට උන්වහන්සේගේ උපකාරය සොයාගත හැක්කේ කෙසේද? ඔබට උපකාර අවශ්‍ය වූ විට සහ දෙවියන්වහන්සේ ඔබේ යාච්ඤාවලට ඇහුම්කන් දුන් අවස්ථා ගැන ඔබට එකිනෙකා සමඟ බෙදා ගන්න පුළුවන්.
ගීතාවලිය 119:105
දෙවියන්වහන්සේගේ වචනය ආලෝකයක් වගෙයි.
-
අඳුරේ සිටින විට දැනෙන දේ ගැන කතා කිරීමෙන් ඔබේ දරුවන්ට විනෝද වෙන්න පුළුවන්. නැත්නම් අඳුරේ කරන්න අමාරු දේවල් ගැන කතා කරන්න පුළුවන්. දෑස් වසාගෙන පින්තූරයක් ඇඳීම වැනි යමක් කිරීමට, ඔබට ඔවුන්ට ආරාධනා කරන්න පුළුවන්. ආලෝකය සහ දෙවියන්වහන්සේගේ වචනය ගැන ගීතාවලිය 119:105 තුළින් අප ඉගෙන ගන්නේ මොනවාද?
-
පහත සඳහන් පදවල උන්වහන්සේගේ මාර්ගයේ රැඳී සිටීමට අපට උපකාර කිරීමට ස්වර්ගීය පියාණන්වහන්සේ අපට දී ඇති දෙයක් සොයන්න: ගීතාවලිය 119:47–48; 119:105; 1 නෙපී 11:25; 2 නෙපී 31:20. දෙවියන්වහන්සේගේ මාර්ගයේ සිටීමට අපට කළ හැක්කේ මොනවාද?
-
ගීතාවලිය 119:105 තුළ සඳහන් දේවල්වල පින්තූර බැලීමෙන් ඔබේ දරුවන් සතුටු විය හැකිය. ඔවුන් එම පදය කියවන විට ඔවුන්ට ඊට අනුකූලව පින්තූර පිළිවෙලට තබන්න පුළුවන්.
ගීතාවලිය 139:1–3, 23–24
ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා හඳුනන අතර මට ප්‍රේම කරන සේක.
-
ඔබේ සෑම දරුවෙකු ගැනම ඔබ දන්නා දේවල් ගැන කෙටි ලැයිස්තු සෑදීම සලකා බලන්න. ඔබ එම ලැයිස්තු එකින් එක කියවන විට, ඔබ විස්තර කරන්නේ කවුරුන් ගැනද කියා අනුමාන කිරීමට ළමයින්ගෙන් ඉල්ලා සිටින්න. ඉන්පසු එකට එක්ව , ගීතාවලිය 139:1–3 කියවීමෙන් පසු, ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස්වහන්සේ අප ගැන දන්නා දේවල් ඔබට ලැයිස්තුගත කරන්න පුළුවන්.
-
ගීතාවලිය 139:23–24 තුළ දක්වා ඇති වචන කඩදාසි කැබැල්ලක හෝ පුවරුවක ලියන්න. දෙවියන්වහන්සේට අප වෙනුවෙන් කළ හැකි දේවල් විස්තර කරන වචන යටින් ඉරි ඇඳීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න. දෙවියන්වහන්සේ මේ දේවල් කරනවාට අපි කැමති ඇයි?
ගීතාවලිය 146:1, 5–9
මට ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න පුළුවන්.
-
සමහර විට ඔබේ දරුවන්ට කවුරුන් හෝ ප්‍රශංසා කළ විට හෝ ඔවුන් හොඳ කාර්යයක් කළ බව පැවසූ විට ඔවුන් ලබා ඇති අත්දැකීම් බෙදා ගන්න පුළුවන්. ස්වාමින්වහන්සේ ගීතාවලිය 146: 6–9 තුළ කර ඇති හොඳ දේවල් කිහිපයක් බෙදා ගන්න (නුහුරු නුපුරුදු වචන තේරුම් ගැනීමට ඔබේ දරුවන්ට උදව් කරන්න). උන්වහන්සේ අප වෙනුවෙන් කරන වෙනත් දේවල් ගැන කතා කිරීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න. ඒ දේවල් ගැන අපි උන්වහන්සේට ප්‍රශංසා කළ හැක්කේ කෙසේද?
නිවසේදී ඉගෙන ගන්න; අන් අය සමඟ බෙදාගන්න. සභාපති රසල් එම්. නෙල්සන් උගන්වා ඇත්තේ නිවස “ශුභාරංචි ඉගෙනීමේ මධ්‍යස්ථානය” විය යුතු බවයි (“ආදර්ශමත් පසුදවස් වල ශුද්ධවන්තයන් බවට පත්වීම,” ලියහෝනා, නොවැ. 2018, 13). ඔබේ පෞද්ගලිකව හෝ පවුලක් ලෙස ගීතාවලිය අධ්‍යයනය කරන විට එය ගැඹුරු කිරීමට ඔබට මේ සතියේ කළ හැක්කේ මොනවාද? ඔබේ අධ්‍යයනයෙන් පසු, ඔබ ඉගෙන ගත් සහ ඔබට දැනුණු දේ අන් අය සමඟ බෙදා ගැනීම ගැන සලකා බලන්න. ඔබට මෙය සංවාදයකදී, කෙටි පණිවිඩයක් යැවීමේදී හෝ සමාජ මාධ්‍ය හරහා හෝ සභාවේදී කරන්න පුළුවන්.
වැඩි විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.