එන්න, මා අනුගමනය කරන්න
පෙබරවාරි 9–15. “නෝවා ස්වාමින්වහන්සේගේ දෑස් හමුවේ කරුණාව ලැබුවේය”: උත්පත්ති 6–11; මෝසෙස් 8


“පෙබරවාරි 9–15. ‘නෝවා ස්වාමින්වහන්සේගේ දෑස් හමුවේ කරුණාව ලැබුවේය’: උත්පත්ති 6–11; මෝසෙස් 8,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“පෙබරවාරි 9–15. ‘නෝවා ස්වාමින්වහන්සේගේ දෑස් හමුවේ කරුණාව ලැබුවේය’,” එන්න, මා අනුගමනය කරන්න: 2026

නෝවා සහ ඔහුගේ පවුලේ අය පර්වතයක් මත සිටගෙන සිටින විට සතුන් නැවෙන් පිටවෙමින්

සෑම් ලෝලර් විසින්, Jehovah Keeps a Promise [යෙහෝවාවහන්සේ පොරොන්දුවක් ඉටු කරයි]

පෙබරවාරි 9–15:“නෝවා ස්වාමින්වහන්සේගේ දෑස් හමුවේ කරුණාව ලැබුවේය”

උත්පත්ති 6-11; මෝසෙස් 8

පසුදවස්වල ජීවත් වන අපට, ජලගැල්ම පිළිබඳ මෙම කතාව ගැන අවධානය යොමු කිරීමට විශේෂ හේතුවක් තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා අප බලා සිටිය යුතු ආකාරය ගැන උන්වහන්සේ උගන්වද්දි, උන්වහන්සේ මෙසේ පැවසුවා, “නෝවාගේ දවස්වලදී තිබුනාක් මෙන්, මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමත් එලෙසම වන්නේය” (ජෝසෆ් ස්මිත්—මතෙව් 1:41). ඊට අමතරව, “දූෂ්‍ය” සහ “බලහත්කාරයෙන් පිරුණු” වැනි නෝවාගේ දවස විස්තර කරන වචන මගින් අපගේ කාලයත් පහසුවෙන් විස්තර කරන්න පුළුවන් (උත්පත්ති 6:12–13; මෝසෙස් 8:28). උඩඟු බව ගැන ඇති විස්තරයක් සහ පසුව ව්‍යාකූලත්වය සහ පසුව බෙදීම ගැන කියවෙන බාබෙල් කුළුණේ කතාවත් අද අපේ කාලයටද අදාළ වන බව හැඟෙනවා.

මෙම පුරාණ වාර්තා වටිනා වන්නේ ඉතිහාසය පුරාම දුෂ්ටකම නැවත නැවතත් සිදු වන බව අපට පෙන්වා දෙන නිසා පමණක් නොවේ. වැදගත්ම දෙය තමයි, ඒවා අපට ඒ සඳහා කළ යුතු දේ ගැන උගන්වනවා. නෝවා “ස්වාමින්වහන්සේගේ දෑස් හමුවේ කරුණාව ලැබුවේය” (මෝසෙස් 8:27). ඒවගේම යාරෙද්ගේ සහ ඔහුගේ සහෝදරයාගේ පවුල් ස්වාමින්වහන්සේ වෙතට හැරී බාබෙල්හි ව්‍යාකූලත්වයෙන් හා භේදයෙන් ආරක්ෂා වුණා (බලන්න ඊතර් 1:33–43). දූෂණය සහ ප්‍රචණ්ඩත්වය අතරතුර අපව සහ අපේ පවුල ආරක්ෂා කර ගන්නේ කෙසේදැයි අප කල්පනා කරන්නේ නම්, මෙම පරිච්ඡේදවල කථා අපට බොහෝ දේ උගන්වනවා.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

උත්පත්ති 6; මෝසෙස් 8

සෙමනේරි නිරූපකය
ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීමේදී ආත්මික ආරක්ෂාවක් ලැබේ.

නෝවාගේ දවස පිළිබඳ විස්තරය තුළ, අපේ කාලයේ තත්වයන්ට සමාන යමක් ඔබ දකිනවාද? විශේෂයෙන්ම, මෝසෙස් 8:15–24, 28 තුළ බලන්න. ඔබ නැවත නැවත දකින තේමාවන් මොනවාද?

ඔබ දකින එක් වැදගත් සමානකමක් තමයි, දෙවියන්වහන්සේ නෝවාව අනාගතවක්තෘවරයෙකු ලෙස කැඳවා තිබූ අතර, අදත් උන්වහන්සේ අනාගතවක්තෘවරයෙකුව කැඳවා තිබෙනවා. මෝසෙස් 8:13–30 තුළින් අනාගතවක්තෘවරුන් ගැන ඔබ ඉගෙන ගන්නා සත්‍යයන් ලැයිස්තුවක් සෑදීම ගැන සලකා බලන්න. අපගේ ජීවමාන අනාගතවක්තෘවරයා නෝවා හා සමාන වන්නේ කෙසේද? ඇත්ත වශයෙන්ම, අද දින ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයා ජලගැල්මක් ගැන අනතුරු අඟවන්නේ හෝ නැවක් තැනීමට උදව් කිරීමට අපට ආරාධනා කරන්නේ නැහැ. නමුත් ඔහු අපට අනතුරු අඟවන්නේ මොනවා ගැනද? ඒවගේම ඔහු අපට ආරාධනා කරන්නේ මොනවා කිරීමටද? සමහරවිට ඔබට විශේෂයෙන් වැදගත් යැයි පෙනෙන එක් අනතුරු ඇඟවීමක් සහ එක් ආරාධනාවක් තෝරාගන්න පුළුවන්.

වැඩිහිටි ඇලන් ඩී. හෙයිනි මෙසේ ඉගැන්වුවා, “ස්වර්ගයේ සිටින පරිපූර්ණ සහ ආදරණීය පියෙකු, අනාගතවක්තෘවරයෙකු හරහා තම දරුවන්ට සත්‍යය හෙළි කිරීමේ රටාව තෝරාගෙන ඇත” (“පසුදවස් සඳහා ජීවමාන අනාගතවක්තෘවරයෙක්,” ලියහෝනා, මැයි 2023, 25). අනාගතවක්තෘවරයෙකු සිටීම සඳහා හේතුව, ස්වර්ගීය පියාණන්වහන්සේගේ ප්‍රේමයේ ලකුණක් යන බව සොයමින්, වැඩිහිටි හෙයිනිගේ පණිවිඩය අධ්‍යයනය කිරීම සලකා බලන්න. ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීම පසුදවස්වල ආරක්ෂිතව ජීවත් වීමට ඔබට උපකාර වී ඇත්තේ කෙසේද?

1:37

Why Do We Have Prophets?

උත්පත්ති 6:5-13

එම ජලගැල්ම දෙවියන්වහන්සේගේ දයාවේ ක්‍රියාවකි.

“මනුෂ්‍යයාව විනාශ කිරීමට” ජලගැල්මක් යැවීමේ දෙවියන්වහන්සේගේ යුක්තිය ගැන සමහරු පුදුම වෙනවා (උත්පත්ති 6:7). “මෙම ජලගැල්මට පෙර, ආත්මයන් සාධාරණ ලෙස මෙම පොළොවට යැවිය නොහැකි තරමට එම තෝරාගැනීමේ නිදහසේ දූෂණය වීම, දරුණු” වූ බව වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් පැහැදිලි කළා (We Will Prove Them Herewith [1982], 58). මෙම ජලගැල්ම දයාවේ ක්‍රියාවක් වූ ආකාරය ගැනද ඔබට සලකා බලන්න පුළුවන්. ඔබ උත්පත්ති 6:5–13 තුළ දකින, ස්වාමින්වහන්සේගේ මුදු මොළොක් දයාව සහ පුද්ගලයින් කෙරෙහි ඇති උන්වහන්සේගේ ප්‍රේමය පෙන්නුම් කරන දේවල් මොනවාද?

උත්පත්ති 9:8-17

සංඥා හෝ සංකේත මට ස්වාමින්වහන්සේ සමඟ ඇති කරගත් ගිවිසුම් මතක තබාගැනීමට උදව් කරයි.

උත්පත්ති 9:8–17 ට අනුව, දේදුන්නක් ඔබේ මනසට ගෙන එන්නේ කුමක්ද? ඔබගේ ගිවිසුම් ඔබට මතක් කිරීමට දෙවියන්වහන්සේ ඔබට දී ඇති වෙනත් දේවල් (සංකේත, වස්තූන් හෝ වෙනත් ඕනෑම දෙයක් වැනි) ලැයිස්තුවක් සෑදීම ගැනද ඔබට සලකා බලන්න පුළුවන්. මේ දේවල් ඔබට උගන්වන්නේ මොනවාද? ඔබට මතක තබාගැනීමට ඒවා උපකාරයක් වන්නේ කෙසේද?

මිනිසුන් කඹයකින් සහ පඩිපෙළකින් ඉහළට නගින කුළුණ

ඩේවිඩ් ග්‍රීන් විසින්, The Tower of Babel [බාබෙල් කුළුණ]

උත්පත්ති 11:1-9

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම ස්වර්ගීය පියාණන්වහන්සේ වෙත ඇති එකම මාර්ගයයි.

ඔබ පසුගිය සතියේ අධ්‍යයනය කළ, ඒනොක් සහ ඔහුගේ සෙනඟ සයොනය ගොඩනැගීමේ වාර්තාවට වඩා රසවත් වෙනසක් බාබෙල් නගරයේ මිනිසුන් කුළුණක් තැනීමේ වාර්තාව මගින් සපයනවා. මේ පුද්ගලයින් දෙපිරිසම ස්වර්ගයට යාමට උත්සාහ කළා නමුත් ඒ වෙනස් අකාර වලින්. සයොනයේ වැසියන් ස්වර්ගය ලබාගත්තේ කෙසේද? (බලන්න මෝසෙස් 7:18–19, 53, 62–63, 69). ඔබ උත්පත්ති 11:1–9 සහ හිලමන් 6:26–28 තුළින් බාබෙල්හි ජනයා ගැන ඉගෙනගන්නේ මොනවාද? දෙවියන්වහන්සේගේ අභිමුඛයට නැවත යාමට අප දරන උත්සාහයන් ගැන මෙයින් අපට උගන්වන්නේ මොනවාද? “ස්වර්ගය වෙත ළඟා වීමට” අපට උපකාර කිරීමට දෙවියන්වහන්සේ සපයා ඇත්තේ මොනවාද? (උත්පත්ති 11:4; තවත් බලන්න යොහන් 3:16).

ක්‍රියාශීලීව ඉගෙනගන්න. ඉගෙනීමට කියවීමට හෝ සවන් දීමට වඩා වැඩි යමක් ඇතුළත් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන්, බාබෙල් කුළුණ ගැන ඉගෙන ගන්නා විට, ඔබට සහ ඔබේ පවුලට හෝ පන්තියට, කඩදාසි කැබලි මත, අපව දෙවියන්වහන්සේගෙන් ඈත් කරන දේවල් ලියන්න පුළුවන්. ඉන්පසුව, වෙනත් කඩදාසි වල, අපව දෙවියන්වහන්සේට සමීප කරවන දේවල් ඔබට ලියන්න පුළුවන්. පළමු කඩදාසි ටික කුළුණක හැඩයෙන් සහ දෙවන කඩදාසි ටික දේවමාළිගාවක හැඩයෙන් සකස් කරන්න.

තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 01

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

උත්පත්ති 6:14–22; 7–8; මෝසෙස් 8:16–24

ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීම මටත් මගේ පවුලටත් ආශිර්වාද කරනු ඇත.

  • බොහෝ දරුවන් නෝවා සහ නැව පිළිබඳ කතාවට කැමතියි. ඒ ගැන ඔවුන් දන්නා දේ බෙදාගැනීමට ඔබේ දරුවන්ට අවස්ථාව ලබා දීම ගැන සලකා බලන්න. ඔවුන්ට උපකාර කිරීම සඳහා, ඔබට මෙම දළ සටහනේ ඇති පින්තූර භාවිතා කරන්න පුළුවන්. ඔබේ දරුවන් මේ කතාවේ සමහර කොටස් රඟ දැක්වීමට කැමති වෙන්න පුළුවන්—උදාහරණයක් ලෙස, නැව සෑදීමට මෙවලමක් භාවිත කරන බව මවාපාමින් හෝ නැවට ඇතුළු වන සතුන් මෙන් ඇවිදීමෙන් ඔවුන්ට එය කරන්න පුළුවන්.

  • ඔබ එකට එක් වී නෝවා ගැන කතා කරන විට, අද දින අපට දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු ලැබීම කොතරම් ආශිර්වාදිත දැයි බැලීමට ඔබේ දරුවන්ට උදව් කරන්න. ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරුන් අදටත් උගන්වන, නෝවා ඉගැන්වූ දේවල් සොයා ගැනීමට මෝසෙස් 8:1–24 උවමනාවෙන් කියවීමට ඔබේ දරුවන්ට උදව් කරන්න. මෙම ඉගැන්වීම්වලට කීකරු වන විට අප ආශිර්වාද ලබන්නේ කෙසේද?

උත්පත්ති 9:15–16

දෙවියන්වහන්සේ මට දුන් පොරොන්දු ඉටු කරන සේක.

  • දේදුන්න නියෝජනය කරන දේ ගැන ඔබ කතා කරන අතරතුර, ඔබේ දරුවන්ට දේදුන්නක් ඇඳීමෙන් හෝ වර්ණ ගැන්වීමෙන් ප්‍රීති වෙන්න පුළුවන්. නෝවා සහ ඔහුගේ පවුලේ අය දේදුන්නක් දකින විට දෙවියන්වහන්සේට අවශ්‍ය වුණේ ඔවුන් කුමක් සිතනවාටද?

  • මංගල මුද්දක්, පින්තූරයක් හෝ දින පොතක් වැනි ඔබේ ජීවිතයේ වැදගත් දෙයක් මතක් කර දෙන යමක්, ඔබට ඔබේ දරුවන්ට පෙන්වන්න පුළුවන්. ඔබේ දරුවන්ට ඔවුන්ගේම උදාහරණ බෙදාගැනීමට ඉඩ දෙන්න. මෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම සඳහා අපගේ බව්තීස්ම ගිවිසුම මතක තබාගැනීමට උපකාර වන, සක්‍රමේන්තුව වැනි, අපගේ ගිවිසුම් මතක තබාගැනීමට උපකාර වන දේවල් පිළිබඳ සංවාදයකට මගපාදන්න පුළුවන් (බලන්න දහම සහ ගිවිසුම් 20:75–79).

ද්විත්ව දේදුන්න

දේදුන්න කියන්නෙ “මා සහ නුඹලාද නුඹලා සමග සිටින්නාවූ සියලු පණ ඇති සත්ත්වයන්ද අතරෙහි සියලු පරම්පරාවලට මා විසින් කරන මාගේ ගිවිසුමේ ලකුණ” බව දෙවියන්වහන්සේ නෝවාගේ පවුලට පැවසුවා (උත්පත්ති 9:12).

උත්පත්ති 11:1-9

ස්වර්ගයට යන එකම මාර්ගය යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමයි.

  • ඔබේ දරුවන් සමඟ ප්ලාස්ටික් කැබලි හෝ වෙනත් භාණ්ඩ යොදාගෙන කුළුණක් තැනීම විනෝදජනක වෙන්න පුළුවන්. ඔබ එසේ කරන විට, උස කුළුණක් ඉදිකිරීමෙන් ස්වර්ගයට යා හැකි බව බාබෙල්හි වැසියන් සිතූ බව පැහැදිලි කරන්න. ඉන්පසු ඔබට එකට එක්ව ගැලවුම්කරුවාණන්ගේ පින්තූරයක් දෙස බලා, උන්වහන්සේ අපට ස්වර්ගයට යාමට උපකාර කරන්නේ කෙසේදැයි ඔබට ඔබේ දරුවන්ගෙන් විමසන්න පුළුවන්. ඉන්පසු ඔබට ගැලවුම්කරුවාණන්ව අනුගමනය කිරීමට කළ හැකි දේවල් ගැන එකිනෙකා සමඟ කතා කරන්න පුළුවන්.

  • උත්පත්ති 11:1–9 හි ඇති බාබෙල් කුළුණේ කතාව කියවීමට අමතරව, ඔබට සහ ඔබේ දරුවන්ට හිලමන් 6:28 කියවන්න පුළුවන්. මෙම පදයට අනුව, බාබෙල් හි මිනිසුන් ඒ කුළුණ ඉදි කළේ ඇයි? මෙම කුළුණ ඉදිකිරීම ස්වර්ගයට යාමට වැරදි මාර්ගයක් වුණේ ඇයි? ඉන්පසු ඔබට 2 නෙපී 31:20–21 සහ හිලමන් 3:28 උවමනාවෙන් කියවිය හැකි අතර, ස්වර්ගයට යාමට නිවැරදි මාර්ගය සොයාගන්න පුළුවන්. බාබෙල්හි වැසියන්ට අපට ලබාදිය හැකි උපදෙස කුමක්ද?

තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

නෝවාගේ නැව

ඇඩම් ක්ලින්ට් ඩේ විසින්, Noah’s Ark [නෝවාගේ නැව] adamdayart.com

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව: අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීමෙන්, මට සහ මගේ පවුලට ආශිර්වාද ලැබෙනු ඇත.