එන්න, මා අනුගමනය කරන්න
මතක තබාගත යුතු සිතුවිලි: ගිවිසුම


“මතක තබාගත යුතු සිතුවිලි: ගිවිසුම,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“ගිවිසුම,” එන්න, මා අනුගමනය කරන්න: 2026

සිතුවිලි නිරූපකය

මතක තබාගත යුතු සිතුවිලි

ගිවිසුම

පරණ ගිවිසුම පුරා, ඔබ නිතර නිතර ගිවිසුම යන වචනය කියවනවා. අද අපි සාමාන්‍යයෙන් සිතන්නේ ගිවිසුම් කියන්නෙ දෙවියන්වහන්සේ සමඟ ඇති පූජනීය පොරොන්දු බවයි, නමුත් පුරාණ ලෝකයේ, මිනිසුන් එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කිරීමේදීත් ගිවිසුම් වැදගත් අංගයක් වුණා. ඔවුන්ගේ ආරක්ෂාව සහ පැවැත්ම සඳහා, මිනිසුන්ට එකිනෙකාව විශ්වාස කිරීමට හැකි විය යුතු වුණා, ඒවගේම ගිවිසුම් ඒ විශ්වාසය සුරක්ෂිත කිරීමට මාර්ගයක් වුණා.

එමනිසා දෙවියන්වහන්සේ ඒනොක්, නෝවා, මෝසෙස් සහ වෙනත් අය සමඟ ගිවිසුම් ගැන කතා කරද්දි, උන්වහන්සේ ඔවුන්ට ආරාධනා කළේ උන්වහන්සේ සමඟ විශ්වාසයෙන් යුතු සබඳතාවයකට ඇතුල් වන ලෙසයි. අපි මෙම ගිවිසුම නව සහ සදාකාලික ගිවිසුම හෝ ආබ්‍රහමික ගිවිසුම ලෙස හඳුන්වනවා —මෙයින් කියන්නෙ දෙවියන්වහන්සේ ආබ්‍රහම් සහ සාරා සමඟ ඇති කරගත්, පසුව ඔවුන්ගෙන් පැවත එන ඊසාක් සහ යාකොබ් (ඉශ්‍රායෙල් ලෙසද හැඳින්වේ) සමඟ අලුත් කරන ලද ගිවිසුම ගැනයි. පරණ ගිවිසුමේ එය සරලව “ගිවිසුම” ලෙස හඳුන්වනවා. පරණ ගිවිසුම මූලික වශයෙන් මෙම ගිවිසුමේ උරුමක්කාරයන් ලෙස ඔවුන්වම දුටු මිනිසුන්ගේ—එනම් ගිවිසුම් ජනතාවකගේ කතාව බව ඔබට පෙනෙයි.

ආබ්‍රහමික ගිවිසුම අදටත්, විශේෂයෙන්ම පසුදවස්වල ශුද්ධවන්තයන්ට වැදගත්. ඒ ඇයි? මොකද, අපි ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ගෙන් කෙලින්ම පැවත එන්නන් වුණත් නැතත්, අපිත් මේ ගිවිසුම් සෙනඟට අයිතියි. මේ හේතුව නිසා, ආබ්‍රහමික ගිවිසුම යනු කුමක්ද සහ එය අද අපට අදාළ වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම වැදගත්.

ආබ්‍රහමික ගිවිසුම යනු කුමක්ද?

ආබ්‍රහම්ට “ධර්මිෂ්ඨකම අනුව යන බලවතෙක් වීමට” (ආබ්‍රහම් 1:2) අවශ්‍ය වුණා, ඒනිසා දෙවියන්වහන්සේ ඔහුට ගිවිසුම් සම්බන්ධතාවයකට ආරාධනා කළා. මෙම ආශාව ඇති වූ පළමු තැනැත්තා ආබ්‍රහම් නොවන අතර, ගිවිසුමක් ලබාගත් පළමු තැනැත්තාද ඔහු නොවේ. සියල්ලට පසු, එය සදාකාලික ගිවිසුමක්. ආබ්‍රහම් “පියවරුන්ගේ ආශිර්වාද” (ආබ්‍රහම් 1:2) සෙව්වා—එනම් ඒ ආදම් සහ ඒවට ගිවිසුමක් මගින් පිරිනමන ලද ආශිර්වාද සහ පසුව මෙම ආශිර්වාද උනන්දුවෙන් සෙවූ මිනිසුන්ට ලබාදුන් එම ආශිර්වාදයි.

ආබ්‍රහම් සමඟ දෙවියන්වහන්සේගේ ගිවිසුම මගින් පුදුමාකාර ආශිර්වාද පොරොන්දු වුණා: ඉඩම් උරුමයක්, විශාල පරම්පරාවක්, පූජකවර නියෝග සඳහා ප්‍රවේශය සහ ඉදිරි පරම්පරාවන් සඳහා ගෞරවනීය නාමයක්. නමුත් මෙම ගිවිසුමේ අවධානය යොමු වූයේ ආබ්‍රහම්ට සහ ඔහුගේ පවුලට ලැබෙන ආශිර්වාද ගැන පමණක් නොවේ, නමුත් දෙවියන්වහන්සේගේ අනෙකුත් දරුවන්ටත් ලැබෙන ආශිර්වාද ගැනත් එහි අවධානය යොමු වුණා. දෙවියන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා, “නුඹද ආශීර්වාදයක් වෙයන්න, පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය” (උත්පත්ති 12: 2–3).

මෙම ගිවිසුම ආබ්‍රහම්, සාරා සහ ඔවුන්ගෙන් පැවතෙන්නන්ට දෙවියන්වහන්සේගේ දරුවන් අතර වරප්‍රසාද ලත් තත්වයක් ලබාදුන්නාද? එසේ වුණේ අනෙක් අයට ආශිර්වාද කිරීමේ වරප්‍රසාදයක් යන අර්ථයෙන් පමණයි. ආබ්‍රහම්ගේ පවුල “මෙම දේවසේවය සහ පූජකවරය සියලු ජාතීන් හට ඔවුන්ගේ අත්වලින් දරාසිට,” “ගැලවීමේ එමෙන්ම සදාකාල ජීවනයේ ආශිර්වාද වන, ශුභාරංචියේ ආශිර්වාද” බෙදාගත යුතුයි (ආබ්‍රහම් 2:9, 11). දෙවියන්වහන්සේගේ ගිවිසුම් සෙනඟ වීම මගින් ඔවුන් අනෙක් අයට වඩා හොඳ බව අදහස් කළේ නෑ; එයින් අදහස් කළේ අනෙක් අයට වඩා යහපත් වීමට උපකාර කිරීමට ඔවුන්ට යුතුකමක් ඇති බවයි.

ආබ්‍රහම් අපේක්ෂා කළ ආශිර්වාදය මෙම ගිවිසුමයි. එය ලැබීමෙන් පසු ආබ්‍රහම් ඔහුගේ සිතින් මෙසේ පැවසුවා, “ඔබවහන්සේගේ සේවකයා ඔබවහන්සේව ඉතා උනන්දුවෙන් සෙව්වේය; දැන් මම ඔබවහන්සේව සොයා ගත්තෙමි” (ආබ්‍රහම් 2:12).

එය වසර දහස් ගණනකට පෙර සිදු වූ නමුත්, මෙම ගිවිසුම අපේ කාලයේ නැවත පිහිටුවා තිබෙනවා. එමෙන්ම එය දැනට දෙවියන්වහන්සේගේ සෙනඟගේ ජීවිත තුළ ඉටුවෙමින් පවතිනවා. ලොව පුරා සිටින පවුල්වලට ආශිර්වාද කරමින්, දෙවියන්වහන්සේගේ කාර්යයේ ප්‍රගතියත් සමඟ මෙම ගිවිසුමේ ඉටුවීම අවසාන දිනවලදී වේගවත් වෙමින් තිබෙනවා. ඒවගේම, ආබ්‍රහම් මෙන්, ධර්මිෂ්ඨකමේ ශ්‍රේෂ්ඨ අනුගාමිකයෙකු වීමට කැමති ඕනෑම කෙනෙකුට—ස්වාමින්වහන්සේව උනන්දුවෙන් සොයන ඕනෑම කෙනෙකුට—එහි කොටස්කරුවෙකු වෙන්න පුළුවන්.

දේවමාළිගාව ඉදිරිපිට පවුලක්

ආබ්‍රහමික ගිවිසුම මට අදහස් කරන්නේ කුමක්ද?

ඔබ ගිවිසුමේ දරුවෙක්. ඔබ බව්තීස්ම වන විට සහ ඔබ සක්‍රමේන්තුවට සහභාගී වන විට ඔබ දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කරගන්නවා. ඒවගේම දේවමාළිගාවේ පූජනීය නියෝග මගින්, එම ගිවිසුමේ සම්පූර්ණත්වය ඔබට ලැබෙනවා.

මෙම ගිවිසුම් සහ නියෝග තුළින්, අපි දෙවියන්වහන්සේගේ සෙනඟ බවට පත්වෙනවා. අපි “සදාකාලික බැඳීම්වලින්” උන්වහන්සේ සමඟ බැඳී සිටිනවා. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ උගන්වා තිබෙනවා, “අපි දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කරගත් පසු, අපි මධ්‍යස්ථ භූමිය සදහටම අත්හරිමු. දෙවියන්වහන්සේ සමඟ එවැනි බැඳීමක් ඇති කරගත් අය සමඟ උන්වහන්සේ එම සම්බන්ධතාවය අත් නොහරිනු ඇත. ඇත්ත වශයෙන්ම, දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කරගත් සියලු දෙනාටම විශේෂ ආකාරයේ ප්‍රේමයකට සහ දයාවකට ප්‍රවේශය ඇත. … දෙවියන්වහන්සේ සමඟ ඇති අපගේ ගිවිසුම නිසා, අපට උපකාර කිරීමට උන්වහන්සේ දරන වෑයමේදී උන්වහන්සේ කිසිදා වෙහෙසට පත් නොවනු ඇති අතර, අප සමඟ උන්වහන්සේගේ දයාවන්ත ඉවසීම කිසිවිටෙකත් ඉක්මවා යන්නට අපි හේතුවක් නොවන්නෙමු.” පරණ ගිවිසුමේ දෙවියන්වහන්සේගේ ගිවිසුම්ගත ජනයාගේ ඉතිහාසය තුළ ඔබ මෙය දකියි, ඒවගේම උන්වහන්සේගේ ගිවිසුමේ දරුවෙකු ලෙස ඔබ ඔබේ ජීවිතය තුළ එය දකියි.

යේසුස්වහන්සේ අත දිගු කරගෙන ජලය මත සිටගෙන සිටිමින්

ඩෑන් විල්සන් විසින්, Be Not Afraid [බය නොවන්න]

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් හරහා ආබ්‍රහමික ගිවිසුම නැවත පිහිටුවීම නිසා අපට ලබා දුන් වටිනා අවබෝධය මෙයයි. එබැවින් ඔබ පරණ ගිවිසුමේ ඇති ගිවිසුම් ගැන කියවන විට, ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් සමඟ දෙවියන්වහන්සේගේ සම්බන්ධතාවය ගැන පමණක් සිතන්න එපා. ඔබ සමඟ උන්වහන්සේගේ සම්බන්ධතාවය ගැනත් සිතන්න. අසංඛ්‍යාත පරම්පරාවේ පොරොන්දුව ගැන ඔබ කියවන විට, අද ආබ්‍රහම්ව තම පියා ලෙස හඳුන්වන මිලියන ගණනක් ගැන පමණක් සිතන්න එපා. සදාකාලික පවුල් සහ සදාකාලික වර්ධනය පිළිබඳ දෙවියන්වහන්සේ ඔබට ලබා දී ඇති පොරොන්දුව ගැනත් සිතන්න. උරුමයේ දේශයක් පිළිබඳ පොරොන්දුව ගැන ඔබ කියවන විට, ආබ්‍රහම්ට පොරොන්දු වූ දේශය ගැන පමණක් සිතන්න එපා. “ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටින” “නිහතමානී” අයට පොරොන්දු වූ උරුමයක් වන—පොළොවේ සෙලෙස්ටියල් ඉරණම ගැනත් සිතන්න (මතෙව් 5:5; ගීතාවලිය 37:9, 11). ඒවගේම දෙවියන්වහන්සේගේ ගිවිසුම් සෙනඟ “පොළොවේ සියලු පවුල්වලට” ආශිර්වාද කරන බවට වූ පොරොන්දුව ගැන ඔබ කියවන විට (ආබ්‍රහම් 2:11), ආබ්‍රහම්ගේ දේවසේවය ගැනවත් ඔහුගෙන් පැවත එන අනාගතවක්තෘවරුන් ගැන පමණක් සිතන්න එපා. ඔබ අවට සිටින පවුල්වලට ආශිර්වාදයක් වීමට—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගිවිසුමේ අනුගාමිකයෙකු ලෙස—ඔබට කළ හැකි දේ ගැනත් සිතන්න.