එන්න, මා අනුගමනය කරන්න
පෙබරවාරි 2–8. “ස්වාමින්වහන්සේ තම ජනතාව හැඳින්වූයේ සයොනය ලෙසය”: මෝසෙස් 7


“පෙබරවාරි 2–8. ‘ස්වාමින්වහන්සේ තම ජනතාව හැඳින්වූයේ සයොනය ලෙසය’: මෝසෙස් 7,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“පෙබරවාරි 2–8. ‘ස්වාමින්වහන්සේ තම ජනතාව හැඳින්වූයේ සයොනය ලෙසය’,” එන්න, මා අනුගමනය කරන්න: 2026

ඒනොක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ දර්ශනයක් දකිමින්

ජෙනිෆර් පැජට් විසින්, Enoch Sees the Meridian of Time [ඒනොක් කාලයේ ආරම්භය දකී]

පෙබරවාරි 2–8:“ස්වාමින්වහන්සේ තම ජනතාව හැඳින්වූයේ සයොනය ලෙසය”

මෝසෙස් 7

ඒනොක් සහ ඔහුගේ ජනතාව ඉටු කරගත් දේ සාක්ෂාත් කර ගැනීමට ඉතිහාසය පුරා මිනිසුන් උත්සාහ කර තිබෙනවා: ඒ තමයි දුප්පත්කම හෝ ප්‍රචණ්ඩත්වය නොමැති පරමාදර්ශී සමාජයක් ගොඩනැගීම. දෙවියන්වහන්සේගේ ජනයා හැටියට, අපි සැමටම මේ ආශාව තිබෙනවා. අපි එය සයොනය ගොඩනැගීම ලෙස හඳුන්වනවා, අවශ්‍යතා ඇති මිනිසුන්ට සැලකිල්ල දැක්වීමට සහ සාමය ප්‍රවර්ධනය කිරීමට අමතරව—ගිවිසුම් ඇති කර ගැනීම, ධර්මිෂ්ඨකමින් එකට වාසය කිරීම, එකිනෙකා හා “සයොනයෙහි රජු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ” සමඟ ඒකත්වයක් වීම එයට ඇතුළත් වෙනවා (මෝසෙස් 7:53). ලෝකය, ඔබේ ප්‍රජාව හෝ ඔබේ පවුල ඔබට අවශ්‍ය ආකාරයටම නොමැති නම්, ඒනොක් සහ ඔහුගේ සෙනඟ එය කළේ කෙසේදැයි විමසීම ප්‍රයෝජනවත් වෙයි. ඔවුන් වටා ඇති මතභේද නොතකා ඔවුන් “එක් හදවතක් සහ එක් මනසක්” (මෝසෙස් 7:18) ලෙස සිටියේ කෙසේද? මෝසෙස් 7 හි සයොනය ගැන අපට ලබා දෙන බොහෝ විස්තර අතර, පසුදවස්වල ශුද්ධවන්තයන් සඳහා පහත විස්තරය විශේෂයෙන් වටිනා එකක් වෙන්න පුළුවන්: සයොනය යනු නගරයක් පමණක් නොවේ—එය හදවතේ සහ ආත්මයේ තත්වයකි. ස්වාමින්වහන්සේ උගන්වා ඇති පරිදි සයොනය යනු “හදවතින් පවිත්‍ර වූවන් සිටින ස්ථානයයි” (දහම සහ ගිවිසුම් 97:21). එබැවින් සයොනය ගොඩනැගීමට ඇති හොඳම ක්‍රමය තමයි අපගේම හදවත්වලින් සහ නිවෙස්වලින් එය ආරම්භ කිරීම.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

මෝසෙස් 7:16–21, 27, 53, 62–69

සෙමනේරි නිරූපකය
සයොනය ගොඩනැගීමට මට උදව් කළ හැකිය.

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මුලින්ම ඒනොක් ගැන සහ ඔහුගේ ශුද්ධ වූ නගරය ගැන දැනගත් විට, ඔහුට අනුභාවයක් දැනුණා. “ස්වාමින්වහන්සේ නැවතත් සයොනය මෙම පොළොව මත පිහිටුවන දවස පැමිණ ඇති බව ඔහු දැන සිටියා” (Saints, 1:108–9) එමෙන්ම ඔහු සයොනය ගොඩනැගීම සඳහා ජීවිත කාලය පුරාම දිවෙන ගවේෂණයක් ආරම්භ කළා. මෝසෙස් 7 කියවීම මගින්, එම උත්සාහය දිගටම කරගෙන යාමට අද ඔබට අනුභාවයක් දැනෙන්න පුළුවන්.

“සයොනය යනු කුමක්ද?” සහ “එය ලෝකයේ අනෙකුත් දේවල් වලට වඩා වෙනස් වන්නේ කෙසේද?” යන ප්‍රශ්න ගවේෂණය කිරීමෙන් ඔබට එය ආරම්භ කරන්න පුළුවන්. ඔබ මෝසෙස් 7, විශේෂයෙන් 16–21, 27, 53, 62–69 පද අධ්‍යයනය කරන විට ඔබට ලැබෙන පිළිතුරු ලැයිස්තුගත කිරීම ගැන සලකා බලන්න.

අපට සයොනය ගොඩනැගීමට තව බොහෝ දේවල් කිරීමට ඇති බව, මෙම ප්‍රශ්නවලට ඔබේ පිළිතුරුවලින් පැහැදිලි වෙනවා. ඉතින් අපි එය කරන්නේ කොහොමද? ඔබ යමෙකු සමඟ “එක් හදවතක් සහ එක් මනසක්ව” සිටින බව ඔබට හැඟුණු අවස්ථා ගැන සිතීම උපකාරී වෙන්න පුළුවන් (මෝසෙස් 7:18). සමහර විට එය කොට්ඨාශයක, පවුලක හෝ රැකියාවේ හෝ පාසැලේ කණ්ඩායමක වෙන්න පුළුවන්. ධර්මිෂ්ඨ එක්සත්කමක් ඇති කරගැනීමට මිනිසුන් කළේ මොනවාද?

ඔබට අදහස් සහ ආශ්වාදයක් සොයා ගැනීමට ගවේෂණය කළ හැකි වෙනත් සම්පත් කිහිපයක් මෙන්න. අධ්‍යයනය කිරීමට මෙයින් එකක් හෝ කිහිපයක් තෝරාගන්න, ඉන්පසු සයොනය ගොඩනැගීමට ඔබට පෙලඹවීමක් දැනෙන දේ ලියන්න:

කණ්ඩායම් පන්තියකදී මිතුරන් එකිනෙකා සනසමින්

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ සෙනඟ “එක් හදවතක් සහ එක් මනසක්ව” (මෝසෙස් 7:18) සිටීමයි.

මෝසෙස් 7:53

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “සයොනයේ රජු” වේ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ රජු ලෙස සිටීම යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? මෙම පදයේ ඇති යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනෙකුත් නම්ද සැලකිල්ලට ගන්න. ඒවා ඔබට උන්වහන්සේ ගැන උගන්වන්නේ මොනවාද? ඔබ සිතන ආකාරයට, “යමෙක් දොරටුවෙන් පැමිණ, [උන්වහන්සේ] මගින් ඉහළට [නැගීම];” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

මෝසෙස් 7:28–69

දෙවියන්වහන්සේ තම දරුවන් වෙනුවෙන් හඬා, එමෙන්ම ප්‍රීති වන සේක.

අපට සිදුවන දෙයින් චිත්තවේගීයව පීඩාවට පත් නොවන දුරස්ථ ජීවියෙකු ලෙස සමහර අය දෙවියන්වහන්සේව දකිනවා. මෝසෙස් 7 තුළ වාර්තා කර ඇති දර්ශනයෙන් ඒනොක් දෙවියන්වහන්සේ පිළිබඳ වෙනස් දෘෂ්ටියක් ලබාගත්තා. ඔහු දෙවියන්වහන්සේ ගැන ඉගෙනගත්තේ මොනවාද—සහ 28–40 පද වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? ඔබ සිතනා ආකාරයට, දෙවියන්වහන්සේ හැඬීම දැක ඒනොක් පුදුම වුණේ ඇයි? උන්වහන්සේ එසේ කරන බව දැනගැනීම ඔබට වැදගත් වන්නේ ඇයි?

දර්ශනය දිගටම පවතින විට, ඒනොක් ද හැඬුවා. නමුත් ප්‍රීති වීමට හේතුත් දෙවියන්වහන්සේ ඔහු සමඟ පැවසුවා. මෝසෙස් 7:41–69 තුළ ඒවා සොයන්න. ඔබ ඒනොක්ගේ දර්ශනයෙන් ඉගෙනගන්නා, ඔබේ ජීවිතයේ “තිත්තකම” නොතකා “නුඹගේ හදවත ඔසවා, සතුටු වෙන්නට” ඔබට උපකාර කළ හැකි දේවල් මොනවාද (44 වෙනි පදය)?

මෝසෙස් 7:59–67

අවසාන දවස්වලදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙන සේක.

ඒනොක්ගේ දර්ශනය, විශේෂයෙන්ම මෝසෙස් 7:59–67 තුළ සටහන් කර ඇති දේ, ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම පිළිබඳව ඉතිහාසයේ ඇති පළමු අනාවැකිවලින් එකකි. මෙම පදවල අවසාන දවස් ගැන විස්තර කරන ආකාරය ගැන ඔබේ සිත් ඇදගන්නේ මොනවාද? උදාහරණයක් වශයෙන්, 62 වෙනි පදයේ ඇති අනාවැකි ඉටු වන බව ඔබට හැඟෙන ආකාරය ගැන සලකා බලන්න. මෙම වාක්‍ය ඛණ්ඩ ඔබට අවසාන දවස්වල දෙවියන්වහන්සේගේ කාර්යය ගැන උගන්වන්නේ මොනවාද?

තවත් බලන්න හෙන්රි බී. අයිරින්, “සයොනයේ සහෝදරියන්,” ලියහෝනා, නොවැ. 2020, 67–69.

තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 01

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මෝසෙස් 7:18–21, 62–63, 68–69

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අප “එක් හදවතක් සහ එක් මනසක්ව” සිටීමයි.

  • මෙම දළ සටහනේ ඇති ඒනොක්ගේ පින්තූර උදව්වක් වෙන්න පුළුවන්.

  • “එක් හදවතක් සහ එක් මනසක්ව” (මෝසෙස් 7:18) යන්නෙහි තේරුම ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට උපකාර කිරීමට එක් ක්‍රමයක් මෙන්න: කඩදාසි වලින් හදවතක හැඩයක් සාදා, සෑම දරුවෙකුටම එකක් තිබීමට ප්‍රමාණවත් ලෙස, එය කැබලිවලට කපාගන්න. ඔවුන්ට ඔවුන්ගේ කැබැල්ලේ ඔවුන්ගේ නම් ලිවීමට ඉඩ දෙන්න, ඉන්පසු එම හදවත එකට එකතු කිරීමට එකට එක්ව වැඩ කරන්න. ඔවුන් එසේ කරන විට, ඔබට ඔබේ සෑම දරුවෙකුම ආදරය කරන දේවල් ගැන කතා කරන්න ඔබට පුළුවන්.

මව දුවව වැළඳගනිමින්
  • මෝසෙස් 7:18–21, 62–63, 68–69 හි “සයොනය” යන වචනය කොපමණ වාර ගණනක් තිබේදැයි ගණන් කිරීමට ඔබේ දරුවන්ට උදව් කරන්න. ඔවුන් ඒ වචනය සොයා ගන්නා සෑම අවස්ථාවකම, එම පදයේ සයොනය ගැන පවසන දේ සොයා ගැනීමට ඔවුන්ට උදව් කරන්න. අපට තව තවත් මෙම පදවල විස්තර කර ඇති මිනිසුන් මෙන් වෙන්නට පුළුවන් කොහොමද?

පුද්ගලිකව ශුද්ධලියවිලි අධ්‍යනය කිරීමට දිරිගන්වන්න. ඔබ ඔබේ පවුලට නිවසේදී උගන්වමින් සිටියත්, ඔබ ඉරිදා පන්තියක උගන්වමින් සිටියත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ස්ථිර ඇදහිල්ලක් ගොඩනගා ගැනීමට ඔබට අන් අයට උපකාර කළ හැකි හොඳම ක්‍රමයක් තමයි, ශුද්ධලියවිලි සමඟ පුද්ගලික අත්දැකීම් ලබාගැනීමේ පුරුද්දක් ඇති කර ගැනීමට ඔවුන්ට උපකාර කිරීම. ශුද්ධලියවිලි පද සමඟ ඔබ ලබන අත්දැකීම් බෙදාගන්න, සහ ඔවුන්ගේ අත්දැකීම් බෙදාගැනීමට පවුලේ හෝ පන්ති සාමාජිකයන්ව දිරිමත් කරන්න. ශුද්ධලියවිලි කියවීම අනෙක් අයට ආශිර්වාද කරන ආකාරය ගැන අප අසන විට, අපි බොහෝ විට ස්වාමින්වහන්සේගෙන් මෙම ආශිර්වාද ලබාගැනීමට පෙලඹවීමක් ලබනවා. (බලන්න ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම25.)

මෝසෙස් 7:32–33

ස්වර්ගීය පියාණන්වහන්සේට අවශ්‍ය වන්නේ මා උන්වහන්සේව අනුගමනය කිරීමට තෝරා ගැනීමයි.

  • ඔබේ දරුවන්ට මෝසෙස් 7:32–33 හඳුන්වා දීම සඳහා, ඔවුන් මෑතකදී කළ යුතු තේරීමක් ගැන ඔබට ඔවුන් සමඟ කතා කරන්න පුළුවන්. ඉන්පසු ඔබට එකට එක්ව එම පද කියවා අප තෝරාගන්නවාට ස්වර්ගීය පියාණන්වහන්සේට අවශ්‍ය වන්නේ කුමක්දැයි සොයා බලන්න පුළුවන්. අපි උන්වහන්සේව තෝරාගන්නා බව පෙන්වීමට අපට කළ හැකි තේරීම් මොනවාද? සමහර විට ඔබේ දරුවන්ට මෙම තේරීම් වලින් එකක්, මාරුවෙන් මාරුවට රඟ දැක්විය හැකි අතර, අනෙක් අයට එම රඟ දැක්වීමෙන් නියෝජනය කරන්නේ කුමක්දැයි අනුමාන කරන්න පුළුවන්.

මෝසෙස් 7:59–67

යේසුස්වහන්සේ නැවතත් පොළොවට පැමිණෙන සේක.

  • මෝසෙස් 7:59 හි, ඒනොක් ස්වාමින්වහන්සේගෙන් ප්‍රශ්නයක් අසනවා. එය සොයා ගැනීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න, ඉන්පසු 60 වෙනි පදයෙන් එයට පිළිතුර සොයා ගැනීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. යමෙක් නැවත නිවසට පැමිණෙන් තෙක්, ඔවුන් බලා සිටි අවස්ථාවක් ගැන ඔබට ඔවුන් සමඟ කතා කරන්න පුළුවන්. ඔවුන්ට හැඟුණේ කෙසේද සහ ඔවුන් සූදානම් වීමට කළේ කුමක්දැයි ඔවුන්ගෙන් විමසන්න. යේසුස්වහන්සේගේ නැවත පැමිණීමට අපට සූදානම් විය හැක්කේ කෙසේද?

  • ගැලවුම්කරුවාණන් මිනිසුන්ට පෙනී සිටි අවස්ථා වල පින්තූර පෙන්වීම ගැන සලකා බලන්න. එම පින්තූර වල මිනිසුන් කරමින් සිටින්නේ මොනවාද? යේසුස්වහන්සේව මුණගැසුණු විට මිනිසුන්ට කෙසේ හැඟෙන්නට ඇතිද? ඔබට ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම ගැන ගීතයක් ගායනා කළ හැකි අතර, ඔවුන් සිතන ආකාරයට යේසුස්වහන්සේ නැවත පැමිණෙන විට එය කෙසේ වේවිදැයි දරුවන්ගෙන් අසන්න. යේසුස්වහන්සේ නැවත පැමිණෙන විට උන්වහන්සේව දැකීම ගැන ඔවුන්ට හැඟෙන ආකාරය දරුවන්ට බෙදා ගැනීමට ඉඩ දෙන්න.

තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

ඒනොක් සහ සයොන නගරයේ මිනිසුන් පරිවර්තනය වෙමින්

ඩෙල් පාර්සන් විසින්, City of Zion Translated [පරිවර්තනය වූ සයොන නගරය]

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව: අප එකිනෙකාට ප්‍රේම කිරීම දෙවියන්වහන්සේට අවශ්‍යයි