“නොවැම්බර් 17–23: ‘නුඹලා මනාලයාගේ පැමිණීම උදෙසා සූදානම් වෙන්න’: දහම සහ ගිවිසුම් 133–134,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 133–134,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
ජෝර්ජ් කොකෝ විසින්, Ten Virgins [කන්‍යාවන් දස දෙනා]
නොවැම්බර් 17–23: “නුඹලා මනාලයාගේ පැමිණීම උදෙසා සූදානම් වෙන්න”
දහම සහ ගිවිසුම් 133–134
1833 දී මැර කල්ලි විසින් සභාවේ මුද්‍රණාලයට පහර දී විනාශ කළා. ඒ වන විට, දෙවියන්වහන්සේගේ පසුදවස්වල එළිදරව් එක් පොතකට සම්පාදනය කිරීමට වූ සභාවේ පළමු උත්සහය වන, ආඥා පොත මුද්‍රණය කිරීම ක්‍රියාත්මක වෙමින් පැවතුණා. මැර පිරිස විසින් බැඳ නොතිබූ පිටු විසුරුවා හරින ලද අතර, ධෛර්ය සම්පන්න ශුද්ධවන්තයින් විසින් ඒවායින් සමහරක් සංරක්ෂණය කළද, දැනගන්නට ලැබී ඇති ආකාරයට ආඥා පොතේ ඉතිරි වී තිබී ඇත්තේ අසම්පූර්ණ පිටපත් කිහිපයක් පමණයි.
දහම සහ ගිවිසුම් 133 වෙනි කොටස ලෙස අප දැන් දන්නා කොටස, ස්වාමින්වහන්සේගේ ප්‍රකාශිත එළිදරව් අවසානයේ විශ්මය ජනක ලක්ෂ්‍යයක් ලෙස, ආඥා පොතේ උපග්‍රන්ථයක් වීමට නියමිතව තිබුණා. එය එළඹෙන විනිශ්චය දිනයක් ගැන අනතුරු අඟවන අතර නූතන එළිදරව් පුරාවටම ඇති කැඳවීම වන බැබිලෝනිය ලෙස හඳුන්වන ලෞකිකත්වයෙන් පලායාම ගැන නැවත නැවතත් සඳහන් කරනවා. සයොනය ගොඩනගන්න. දෙවන පැමිණීම සඳහා සූදානම් වන්න. එමෙන්ම මෙම පණිවිඩය “සියලු ජාතීන්, තවද ඥාතීන්, තවද භාෂාවන්, සහ ජනතාවන් හට” පතුරුවන්න (37 වෙනි පදය). ආඥා පොතේ මුල් සැලසුම් ඉටු වුණේ නෑ, නමුත් මෙම එළිදරව්ව ස්වාමින්වහන්සේගේ කාර්යය ඉදිරියට යන බවට මතක් කිරීමක් සහ සාක්ෂියක්, “මක්නිසාද උන්වහන්සේ … උන්වහන්සේගේ ශුද්ධ වූ බාහුව නිරාවරණය කරන සේක, තවද පොළොවේ අන්තයන්හි සියල්ලෝ ඔවුන්ගේ දෙවියන්වහන්සේගේ ගැලවීම දකින්නෝය” (3 වෙනි පදය).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
බැබිලෝනිය ප්‍රතික්ෂේප කර සයොනයට එන ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගෙන් ඉල්ලා සිටිනවා.
ආත්මිකව බලන විට සයොනයේ විරුද්ධ ස්ථානය තමයි බැබිලෝනිය—එය ශුද්ධලියවිලි පුරාවටම දුෂ්ටකම සහ ආත්මික වහල්භාවය සංකේතවත් කළ පුරාණ නගරයක්. ඔබ දහම සහ ගිවිසුම් 133:4–14 කියවන විට, ගැලවුම්කරුවාණන් “බැබිලෝනියෙන් පිටතට යන්න” (5 වෙනි පදය) සහ “සයොන දේශය වෙතට පෙරට යන්න” (9 වෙනි පදය) කියමින් ඔබට ආරාධනා කරන්නේ කෙසේදැයි මෙනෙහි කරන්න. ඔබ උන්වහන්සේගේ එම කැඳවීමට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
දහම සහ ගිවිසුම් 133:1–19, 37–39
ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම වෙනුවෙන් මට දැන් සූදානම් වෙන්න පුළුවන්.
දහම සහ ගිවිසුම් සඳහා ස්වාමින්වහන්සේගේ පෙරවදන වන 1 වෙනි කොටස සහ ආඥා පොතේ ප්‍රථම උපග්‍රන්ථය වීමට තිබූ 133 වෙනි කොටස ආරම්භ වන්නේ ස්වාමින්වහන්සේගේ එකම ආයාචනයෙන්: “අහෝ මාගේ සභාවේ ජනතාව වන නුඹලා, උවමනාවෙන් සවන්දෙන්න” (දහම සහ ගිවිසුම් 1:1; 133:1). සමහර විට ඔබට දහම සහ ගිවිසුම් 133:1–19, 37–39 අධ්‍යයනය කර, ඔබ උන්වහන්සේගේ දෙවන පැමිණීමට සූදානම් වන විට ස්වාමින්වහන්සේ ඔබට “උවමනාවෙන් සවන් දෙන්නට” (සවන් දී කීකරු වන්න) ආරාධනා කරන පණිවිඩ සොයාගෙන ඒවා ලැයිස්තුගත කරන්නට පුළුවන්. විශේෂයෙන්, (1) ඔබව සූදානම් කරගැනීමට සහ (2) උන්වහන්සේගේ නැවත පැමිණීම සඳහා ලෝකය සූදානම් කිරීමට උපකාර කිරීමට ඔබ කරනවාට උන්වහන්සේට අවශ්‍ය දේවල්, ඔබට ලැයිස්තුගත කරන්න පුළුවන්. මෙම ලැයිස්තු වලින් ඔබ ඉගෙන ගන්නේ මොනවාද?
(“ආරෝනික පූජකත්ව ගණපූරණයේ තේමාව,” ශුභාරංචි පුස්තකාලය).
තවත් බලන්න මතෙව් 25:1–13; රසල් එම්. නෙල්සන්, “අනාගතය ඇදහිල්ලෙන් වැලඳගන්න,” ලියහෝනා, නොවැම්බර් 2020, 73–76.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම ධර්මිෂ්ඨයන්ට ප්‍රීතිමත් වනු ඇත.
19–56 පදවල ගැලවුම්කරුවාණන්ගේ නැවත පැමිණීම පිළිබඳ විස්තරය ඔබ කියවන විට, ඉදිරියට පැමිණේවියැයි ඔබ බලා සිටින්නේ කුමක් සඳහාද? ස්වාමින්වහන්සේගේ සෙනඟ කෙරෙහි උන්වහන්සේ දක්වන ප්‍රේමය විස්තර කරන වචන හෝ වාක්‍ය ඛණ්ඩ මොනවාද? “[ඔබේ] ස්වාමින්වහන්සේගේ ප්‍රේමාන්විත කරුණාවද, උන්වහන්සේගේ ප්‍රේමාන්විත කරුණාවට අනුව, තවද උන්වහන්සේ [ඔබ] මත උන්වහන්සේගේ යහපතට අනුව පිරිනමා ඇති සියලු දේද” (52 වෙනි පදය) සමඟ ඔබට ඇති පෞද්ගලික අත්දැකීම් වාර්තා කිරීම ගැන සලකා බලන්න.
කෙල්සි සහ ජෙසී ලයිට්වීව් විසින්, Healer [සුවකරන්නා]
“දෙවියන්වහන්සේ විසින් ආණ්ඩු පිහිටුවන ලද්දේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා ය.”
මුල් කාලයේ ශුද්ධවන්තයින්ට රජය සමඟ තිබූ සම්බන්ධතාව සංකීර්ණ වුණා. 1833 දී මිසුරි, ජැක්සන් ප්‍රාන්තයෙන් ශුද්ධවන්තයින්ව බලහත්කාරයෙන් ඉවත් කළ විට, ඔවුන් ප්‍රාදේශීය සහ ජාතික රජයෙන් උදව් ඉල්ලා සිටියත් ඔවුන්ට උදව් කිසිවක් ලැබුණේ නෑ. ඒ අතරම, ශුද්ධවන්තයින් විසින් ලෞකික ආණ්ඩුවල අධිකාරිය ප්‍රතික්ෂේප කිරීම සඳහා සයොනය පිහිටුවා ගත් බව කියමින්, සභාවෙන් පිටත සමහර අය සයොනය පිළිබඳ ඉගැන්වීම් අර්ථකථනය කළා. දහම සහ ගිවිසුම් 134 ලියා ඇත්තේ, රජය පිළිබඳ සභාවේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා ය. ස්වාමින්වහන්සේගේ ශුද්ධවන්තයින්ට රජය ගැන හැඟිය යුතු ආකාරය ගැන, මෙම කොටස යෝජනා කරන්නේ කුමක්ද?
ඔබ 134 වෙනි කොටස අධ්‍යයනය කරන විට, රජයේ මූලධර්ම සහ පුරවැසියන්ගේ වගකීම් පිළිබඳව සෙවීම ගැන සලකා බලන්න. මෙම අදහස් මුල් ශුද්ධවන්තයින්ට ප්‍රයෝජනවත් වූයේ කෙසේද? ඔබ ජීවත් වන ප්‍රදේශයට ඒවා අදාළ වන්නේ කෙසේද?
තවත් බලන්න ඇදහිල්ලේ කරුණු 1:11–12.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
මම ලෝකයේ නපුරෙන් ඈත් වී සිටිනවාට ස්වාමින්වහන්සේට අවශ්‍යයි.
-
අප ඈත් වී සිටිනවාට ස්වාමින්වහන්සේට අවශ්‍ය, සමහර ස්ථාන සහ තත්වයන් ඔබට සහ ඔබේ දරුවන්ට ලැයිස්තු ගත කළ හැකිය. ඉන්පසු ඔවුන්ට දහම සහ ගිවිසුම් 133:4–5, 14 කියවිය හැකිය. “බැබිලෝනියෙන් පිටතට යන්න” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (5 වෙනි පදය). ස්වාමින්වහන්සේ අපට ආරාධනා කරන ස්ථාන සහ තත්වයන් පිළිබඳ ඒ හා සමාන ලැයිස්තුවක් සෑදීමට ඔබට හැකිය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙන සේක.
-
ක්‍රීඩා තරඟාවලියක්, වැදගත් ආගන්තුකයෙකු හෝ ප්‍රියතම නිවාඩුවක් වැනි යමක් සඳහා සූදානම් වීම රඟ දැක්වීමෙන් ඔබේ දරුවන් සතුටු විය හැකිය. සූදානම් වීම වැදගත් වන්නේ ඇයි? ඉන්පසු ඔබට එකට එකතු වී දහම සහ ගිවිසුම් 133:17–19, 21 කියවා, ස්වාමින්වහන්සේ අපට ආරාධනා කරන්නේ කුමක් සඳහා සූදානම් වීමට දැයි සොයා බැලීමට ඔබේ දරුවන්ට ආරාධනා කළ හැකිය. ඔබට ඔවුන්ට මේ සතියේ දළ සටහන වෙතින් පින්තූරය පෙන්විය හැකි අතර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම ගැන ඔවුන් දන්නේ කුමක්දැයි ඔබේ දරුවන්ගෙන් විමසීමට හැකිය. 19–25, 46–52 පදවලින් අප ඉගෙනගන්නා තවත් දේවල් මොනවාද? මෙම ප්‍රීතිමත් අවස්ථාව සඳහා සූදානම් වීමට අපට කුමක් කළ හැකිද?
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා සූදානම් වීමට අපට කළ හැකි දේවල් (ශුද්ධලියවිලි කියවීම, ශුභාරංචිය බෙදාගැනීම හෝ අපගේ පවුල්වලට සේවය කිරීම වැනි) නිරූපණය කරන විවිධ පින්තූර හෝ වස්තූන් ඔබට සැඟවිය හැකිය. ඔබගේ දරුවන්ට එම පින්තූර හෝ වස්තූන් සොයා ගැනීමට ඉඩ සලසන්න, ඉන්පසු මේ දේවල් කිරීමෙන් ගැලවුම්කරුවාණන් නැවත පැමිණෙන විට උන්වහන්සේව හමුවීමට සූදානම් වීමට ඒවා අපට උපකාර වන ආකාරය ගැන කතා කරන්න.
-
ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔබේ ආදරය සහ උන්වහන්සේගේ නැවත පැමිණීම ගැන ඔබේ හැඟීම් එකිනෙකා සමඟ බෙදා ගන්න.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රේමණීයයි සහ කරුණාවන්තයි.
-
යේසුස්වහන්සේ ප්‍රේමණීය සහ කරුණාවන්ත බව පෙන්වන පින්තූර දෙස ඔබටත් ඔබේ දරුවන්ටත් බැලිය හැකියි. (උදාහරණයක් ලෙස බලන්න, Gospel Art Book, අංක 42, 47.) යේසුස්වහන්සේ උන්වහන්සේගේ ප්‍රේමය සහ කරුණාව පෙන්වීමට කර ඇති තවත් දේවල් මොනවාද? එකට එකතු වී දහම සහ ගිවිසුම් 133:52 කියවා, “ඔවුන්ගේ ස්වාමින්වහන්සේගේ ප්‍රේමාන්විත කරුණාව” අන් අයට පෙන්විය හැකි ආකාර ගැන සිතීටම ඔබේ දරුවන්ට උපකාර කරන්න.
ග්‍රෙග් ඔල්සන් විසින්, In His Light [උන්වහන්සේගේ ආලෝකයෙන්]
පැහැදිලි සහ සරල මූලධර්ම උගන්වන්න. ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ දහම උගන්වන්නේ “පැහැදිලිව සහ සරලත්වයෙන් ය” (දහම සහ ගිවිසුම් 133:57). ඔබේ පවුලට හෝ පන්තියට ශුභාරංචිය ඉගැන්වීම ගැන මෙම වචන ඔබට යෝජනා කරන්නේ කුමක්ද?
මම නීතියට කීකරු වීම ස්වාමින්වහන්සේට අවශ්‍යයි.
-
ඔබේ දරුවන්ට ඔවුන් කීකරු වන කොන්දේසි හෝ නීති ලැයිස්තුගත කළ හැකිය. කිසිවෙකු මෙම නීතිවලට කීකරු නොවන්නේ නම් ජීවිතය කෙබඳු වනු ඇත්ද? ඉන්පසු ඔබට ඔවුන් සමඟ දහම සහ ගිවිසුම් 134:1–2 කියවිය හැකි අතර, ඔවුන්ට නොතේරෙන ඕනෑම වචනයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් තේරුම් ගැනීමට උපකාර කළ හැකිය. අපි නීතියට කීකරු වීම ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි? (තවත් බලන්න ඇදහිල්ලේ කරුණු 1:12).
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.