Doctrine and Covenants 2025
නොවැම්බර් 3–9: “ජීවත් වන්නවුන් සහ මළවුන් උදෙසා ප්‍රීතියේ හඬක්”: දහම සහ ගිවිසුම් 125–128


“නොවැම්බර් 3–9: ‘ජීවත් වන්නවුන් සහ මළවුන් උදෙසා ප්‍රීතියේ හඬක්: දහම සහ ගිවිසුම් 125–128,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 125–128,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

ආත්මික ලෝකයේ මුතුන් මිත්තන් සමඟ සිටින පවුලක සිතුවම

කැට්ලින් කොනොලි විසින්, Us with Them and Them with Us [අපි ඔවුන් සමඟ සහ ඔවුන් අපි සමඟ]

නොවැම්බර් 3–9: “ජීවත් වන්නවුන් සහ මළවුන් උදෙසා ප්‍රීතියේ හඬක්”

දහම සහ ගිවිසුම් 125–128

1840 අගෝස්තු මාසයේදී, ජෝසෆ් අනාගතවක්තෘවරයා විසින් ඔහුගේ මිතුරා වුණු සේමූර් බ්‍රන්සන්ගේ අවමංගල්‍ය උත්සවයේදී කළ කතාවට, ශෝකයට පත් ජේන් නේමන් සවන් දුන්නා. ජේන්ගේ, යොවුන් පුත්‍රයා වුණු සයිරස් ද මෑතකදී අභාවප්‍රාප්ත වී තිබුණා. සයිරස් කිසි දිනෙක බව්තීස්ම වී නොතිබීම ඇගේ ශෝකය වැඩි කිරීමට හේතු වූ අතර, ඔහුගේ සදාකාලික ආත්මය සඳහා මෙයින් අදහස් කරන්නේ කුමක්දැයි සිතමින් ජේන් කනස්සල්ලට පත් වී සිටියා. බව්තීස්ම වීමට පෙර මිය ගිය ජෝසෆ්ගේ ආදරණීය සොහොයුරා වූ ඇල්වින් ගැනද ඔහු එලෙසම කල්පනා කර තිබුණා. එබැවින් ශුභාරංචි නියෝග ලබා නොගෙන මිය යන අය ගැන ස්වාමින්වහන්සේ ඔහුට හෙළි කළ දේ සහ ඔවුන්ට උපකාර කිරීමට අපට කළ හැකි දේ, එම අවමංගල්‍යයේදී සියලු දෙනා සමඟ බෙදා ගැනීමට අනාගතවක්තෘවරයා තීරණය කළා.

මළවුන් සඳහා බව්තීස්මය පිළිබඳ මූලධර්මය ශුද්ධවන්තයින්ව සතුටු කළා; ඔවුන්ගේ සිතුවිලි වහාම මියගිය පවුලේ සාමාජිකයන් වෙත යොමු වුණා. දැන් ඔවුන් වෙනුවෙන් බලාපොරොත්තුවක් තිබෙනවා! ජෝසෆ් ඔවුන්ගේ ප්‍රීතිය බෙදාගත් අතර, මෙම මූලධර්මය උගන්වන ලිපියක, මළවුන්ගේ ගැලවීම ගැන ස්වාමින්වහන්සේ ඔහුට ඉගැන්වූ දේ ප්‍රකාශ කිරීමට ඔහු ප්‍රීතිමත්, උද්‍යෝගිමත් භාෂාවක් භාවිතා කළා: “කඳුකරයන් ප්‍රීතියෙන් හඬ නගත්වා, තවද නුඹලාගේ සියලු නිම්නයන් ශබ්දයෙන් මොරගසත්වා; තවද නුඹලාගේ සියලු සාගර සහ වියළි දේශයන් නුඹලාගේ සදාකාලික රජුන්ගේ පුදුමයන් කියත්වා!” (දහම සහ ගිවිසුම් 128:23).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 126

මම මගේ පවුල රැකබලා ගැනීම, ස්වාමින්වහන්සේට අවශ්‍යයි.

බ්‍රිගම් යන්ග් ඔහු සේවය කළ බොහෝ ධර්මදූත සේවයන් වලින් එකක් වන එංගලන්තයේ කල ධර්මදූත සේවයෙන් ආපසු පැමිණීමෙන් පසු, ඔහුට ස්වාමින්වහන්සේගෙන් තවත් වැදගත් කැඳවීමක් ලැබුණා. ඔහු නොමැති විට දුක් විඳි “[ඔහුගේ] පවුල ගැන විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස” (3 වෙනි පදය) ඔහුගෙන් ඉල්ලා සිටියා. ඔබ මෙම කොටස අධ්‍යයනය කරන විට, අපගේ සේවයේදී ස්වාමින්වහන්සේ සමහර අවස්ථා වල අපෙන් කැපකිරීම් බලාපොරොත්තු වන්නේ මන්දැයි සලකා බලන්න. ඔබේ පවුල රැකබලා ගැනීමට ඔබට කුමක් කළ හැකිද?

දහම සහ ගිවිසුම් 127:2–4

දුෂ්කර කාලවලදී මට ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකිය.

බොරු චෝදනා සහ අත්අඩංගුවට ගැනීමේ තර්ජනය නැවතත් 1842 අගෝස්තු මාසයේදී ජෝසෆ් ස්මිත්ට සැඟවීමට හේතුවක් වුණා. එහෙත් මේ කාලය තුළ ඔහු ශුද්ධවන්තයින්ට ලියූ වචන (දැන් දහම සහ ගිවිසුම් 127) ශුභවාදී බවින් සහ ප්‍රීතියෙන් පිරී තිබෙනවා. 2–4 පදවල දෙවියන්වහන්සේ ගැන ඔබට උගන්වන්නේ කුමක්ද? එමෙන්ම සමච්චලයට හෝ විරුද්ධත්වයට මුහුණ දීම ගැන උගන්වන්නේ කුමක්ද? ඔබට පීඩා පැමිණෙන බවක් දැනෙන විට, ඔබට උපකාර විය හැකි මෙම පදවල ඇති වාක්‍ය ඛණ්ඩ මොනවාද? ඔබගේ ජීවිතයේ “ගැඹුරු ජලය” තුළ ස්වාමින්වහන්සේ ඔබව දරා සිටින ආකාරය ගැන වාර්තා කිරීම සලකා බලන්න.

දහම සහ ගිවිසුම් 127:5–8; 128:1–8

“කවරාකාර දෙයක් නුඹලා පොළොවේ වාර්තා කරන්නේද එය ස්වර්ගයෙහිද වාර්තා කරනු ලබන්නේය.”

ඔබ දහම සහ ගිවිසුම් 127:5–8; 128:1–8 කියවන විට, මළවුන් සඳහා කරන බව්තීස්මයන් වාර්තා කිරීම සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේ ජෝසෆ් ස්මිත්ට එවැනි නිශ්චිත උපදෙස් ලබා දීමට හේතු සොයන්න. ස්වාමින්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ කාර්යය ගැන මෙයින් ඔබට උගන්වන්නේ කුමක්ද? ඔබට හැඟෙන ලෙස, මෙම උපදෙස් පුද්ගලික දිනපොත් වැනි ඔබේම පවුලේ වාර්තාවලට අදාළ විය හැක්කේ කෙසේද?

පවුල් ඉතිහාසය කරන තරුණ පිරිමි ළමයෙක්

අපේ මුතුන් මිත්තන් වෙනුවෙන් දේවමාළිගාවේ නියෝග ඉටුකිරීම මගින්, අපගේ හදවත් ඔවුන් සමඟ බැඳ තබනවා.

දහම සහ ගිවිසුම් 128:5–25

සෙමනේරි නිරූපකය
මගේ මුතුන්මිත්තන්ගේ ගැලවීම මගේ ගැලවීම සඳහා අත්‍යවශ්‍යයි.

මේ ජීවිතයේ බව්තීස්ම නොවූ අපගේ මුතුන් මිත්තන්ට අපව අවශ්‍ය වන්නේ මන්දැයි දෙවියන්වහන්සේ ජෝසෆ් ස්මිත් හරහා හෙළි කළ දෙයින් පැහැදිලි වෙනවා: ඒ තමයි අපි ඔවුන් වෙනුවෙන් බව්තීස්ම වෙන්නේ, එමගින් ඔවුන්ට මෙම නියෝගය පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට තෝරා ගත හැකි වීම පිණිසයි. නමුත් අපගේ මුතුන් මිත්තන්ගේ ගැලවීම “අපගේ ගැලවීම සඳහා අනිවාර්යය සහ අත්‍යවශ්‍ය” වන බවත් අනාගතවක්තෘවරයා ඉගැන්වුවා.” ඔබ දහම සහ ගිවිසුම් 128:15–18 කියවන විට, එය එසේ වන්නේ මන්දැයි සිතන්න.

5 වෙනි පදය උග්නවන ආකාරයට මළවුන් සඳහා බව්තීස්ම වීමේ නියෝගය “ලෝකයේ ආරම්භයට පෙර සිටම නියම කර සහ සූදානම්” කර තිබෙනවා. මෙම සත්‍යය දෙවියන්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ සැලැස්ම ගැන ඔබට උගන්වන්නේ කුමක්ද? වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ්ගේ “පවුල් ඉතිහාසය හා දේවමාළිගා කාර්ය : මුද්‍රා තැබීම හා සුව කිරීම” යන පණිවිඩය ඔබේ අවබෝධයට එක් කරන්නේ මොනවාද? (ලියහෝනා, මැයි 2018, 46–49).

ජෝසෆ් ස්මිත් විසින් පූජකත්ව නියෝග සහ මළවුන් සඳහා බව්තීස්මය ගැන උගන්වන විට “බැඳීමේ බලය”, “එක්වන්නාවූ බැඳීමක්” සහ “සර්වසම්පූර්ණ එකතුවක්” වැනි වාක්‍ය ඛණ්ඩ භාවිතා කළා. ඔබ දහම සහ ගිවිසුම් 128:5–25 කියවන විට මේ හා සමාන වාක්‍ය ඛණ්ඩ සොයන්න. දම්වැලක් හෝ කඹයක් වැනි, මෙම වාක්‍ය ඛණ්ඩ නිදර්ශනය කිරීමට ඔබට භාවිතා කළ හැකි වස්තූන් ගැන ඔබට සිතිය හැකිද? මෙම දහම විස්තර කිරීමට, මෙම වාක්‍ය ඛණ්ඩ හොඳ වන්නේ ඇයි?

පහත සඳහන් ප්‍රශ්න සලකා බැලීම ඔබට මෙම පද අධ්‍යයනය කිරීමට උපකාරවත් විය හැකිය:

  • ඔබේ මතය අනුව, මළවුන් සඳහා බව්තීස්මය “සදාකාලික ශුභාරංචියට අයත් සියලු කාරණාවන්ට වඩා, වඩාත් මහිමවත්” ලෙස සැලකිය හැක්කේ කෙසේද? (17 වෙනි පදය). ඔබට මේ ආකාරයෙන් දැනෙන්නට උපකාර වී ඇති අත්දැකීම් මොනවාද?

  • “පියවරුන් සහ දරුවන් අතර එක්වන්නාවූ බැඳීමක්” නොමැති නම් පොළොව ශාප ලැබිය හැක්කේ කෙසේද? (18 වෙනි පදය).

  • 19–25 පද තුළ ජෝසෆ් ස්මිත්ගේ වචන ගැන ඔබව විශ්මයට පත් කරන්නේ කුමක්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ ඔබේ මුතුන් මිත්තන් වෙනුවෙන් ඇති දේවමාළිගා සේවය ගැන ඔබේ හැඟීම් වලට, මෙම පද බලපාන්නේ කෙසේද?

මෙම පද අධ්‍යයනය කිරීමෙන් පසු, ඔබේ මුතුන් මිත්තන් වෙනුවෙන් යමක් කිරීමට ඔබට පෙලඹීමක් ඇති විය හැකිය. FamilySearch.org හි අදහස් උපකාර විය හැකිය.

අදාළ වන සභා සම්පත් භාවිතා කරන්න. එන්න, මා අනුගමනය කරන්න දළ සටහන්වල ඇති සබැඳි මගින්, ඔබට ශුභාරංචි සත්‍යයන් තේරුම් ගැනීමට සහ ඒවා අදාළ කර ගැනීමට හෝ ඔබට ලැබෙන අදහස් මත ක්‍රියා කිරීමට උපකාර කළ හැකි ප්‍රයෝජනවත් සම්පත් වෙත පහසු ප්‍රවේශයක් සපයයි. උදාහරණයක් ලෙස, ඉහත FamilySearch සබැඳිය ඔබේම පවුල් ගසක් නිර්මාණය කිරීමට, දේවමාළිගා නියෝග අවශ්‍ය මුතුන් මිත්තන් සොයා ගැනීමට, ඔබේ මුතුන් මිත්තන් පැමිණියේ කොහෙන්දැයි බැලීමට හෝ පවුලේ කතාවක් උඩුගත කිරීම වැනි ක්‍රියාකාරකම්වලට මගපෙන්වනවා.

තවත් බලන්න කෙවින් ආර්. ඩන්කන්, “ප්‍රීතියේ හඬක්!,” ලියහෝනා, මැයි 2023, 95–97.

“මහිමාන්විත හා පුදුම සැපයීමක්.”

සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි මෙසේ පැවසුවා:

“සියල්ලන් වෙනුවෙන් යේසුස්වහන්සේ කළ වන්දිගෙවීම මහා පරිත්‍යාගයක් නියෝජනය කරනවා. උන්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා නියෝජිතයෙක් බවට පත්වෙමින් ආදර්ශයක් තැබුවා. එක් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු වෙනුවෙන් ක්‍රියා කළ හැකි මෙම රටාව, ස්වාමින්වහන්සේගේ ගෘහයේ නියෝග හරහා ඉදිරියට ගෙන යනවා. ශුභාරංචිය ගැන දැනුමක් නොමැතිව මිය ගිය අය වෙනුවෙන් අපි මෙහිදී අවශ්‍ය කටයුතු ඉටුකරනවා. ඉටුකරන නියෝගය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ගේ තෝරාගැනීමයි. ඔවුන් පොළොවේ සිටින අයට ලැබෙනවා මෙන් සමාන අවස්ථාවක් ලබාගන්නවා. ජීවත්ව සිටින අයට ලැබෙනවා මෙන්ම සමාන අවස්ථාවක් මළවුන්ට ලබා දී තිබෙනවා. නැවතත්, සර්වබලධාරියාණන් විසින් උන්වහන්සේගේ අනාගතවක්තෘවරයාට එළිදරව් තුළින් ලබා දී ඇති මේ සැපයීම මොනතරම් තේජාන්විත හා පුදුමාකාරද” (“The Great Things Which God Has Revealed,” Liahona, May 2005, 82–83).

ළමුන්ගේ කොටස නිරූපකය 02

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 126:3

මගේ පවුල බලාගන්න උදව් කරන්න මට පුළුවන්.

  • ඔබට “නුඹගේ පවුල ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න” (3 වෙනි පදය) යන වාක්‍ය ඛණ්ඩය අවධාරණය කර අපගේ පවුල් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව ඔබේ දරුවන් සමඟ කතා කළ හැකිය.

    1:33

    Chapter 50: The Saints in Nauvoo: January–July 1841

  • ඔබ එකට එකතු වී, පවුලේ සාමාජිකයින් ගැන “සැලකිලිමත් වීමට” අපට උපකාර කළ හැකි ක්‍රම ගැන කතා කරන විට, පවුලේ පින්තූර දෙස බැලීම (හෝ චිත්‍ර ඇඳීම) ඔබට සහ ඔබේ දරුවන්ට විනෝදයක් විය හැකිය.

දහම සහ ගිවිසුම් 128:5, 12

දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට බව්තීස්ම වීමට අවස්ථාවක් අවශ්‍යයි.

  • දහම සහ ගිවිසුම් 128:1 කියවා, ජෝසෆ් ස්මිත්ගේ මනස අල්ලා ගත් කාරණා මොනවාදැයි සොයා ගැනීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න. ඔහු “වඩාත් මහිමවත්” ලෙස සැලකුවේ කුමන කාරණා ගැනද කියා සොයා ගැනීමට ඔවුන්ට 17 වෙනි පදය උවමනාවෙන් කියවිය හැකිය. ඔවුන් සොයා ගන්නා දේ බෙදා ගැනීමට සහ මෙම කාරණය මෙතරම් ප්‍රීතිදායක වීමට හේතුව ගැන කතා කිරීමට ඔවුන්ට ඉඩ දෙන්න.

  • ඔබේ දරුවන්ට ඔවුන්ගේම බව්තීස්ම ගිවිසුම් සඳහා සූදානම් වීමට (සහ ඒ අනුව ජීවත් වීමට) උපකාර කිරීමට අමතරව, ඔවුන්ගේ ජීවිත කාලය තුළ මෙම ගිවිසුම් ඇති කර නොගත් පුද්ගලයින්ට උපකාර කරන්නේ කෙසේදැයි දැන ගැනීමට ඔබට ඔවුන්ට උපකාර කළ හැකිය. බව්තීස්ම නොවී මිය ගිය ඔබ දන්නා කෙනෙකු ගැන ඔබේ දරුවන්ට පැවසීම සලකා බලන්න. ඉන්පසු ඔබට එකට එකතු වී දහම සහ ගිවිසුම් 128:5 කියවා, දේවමාළිගාවේ බව්තීස්ම තටාකයක පින්තූරයක් බලන්න පුළුවන් (මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූරය මෙන්). ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගැනීමට සෑම කෙනෙකුටම අවස්ථාව ලැබෙන පිණිස, මියගිය අය වෙනුවෙන් දේවමාළිගාවේ බව්තීස්ම වීම ගැන ඔබට හැඟෙන ආකාරය ඔබේ දරුවන්ට කියන්න.

දහම සහ ගිවිසුම් 128:18

මම මගේ පවුල් ඉතිහාසය ගැන ඉගෙන ගන්නවාට ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍යයි.

  • දෙමව්පියන්ගේ, ආච්චිලා සීයලාගේ, මී මුත්තා සහ මිත්තණියගේ සහ තවත් අයගේ නම් ලියූ කඩදාසි දාමයක් සෑදීම ඔබට සහ ඔබේ දරුවන්ට විනෝදයක් විය හැකිය (මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව බලන්න). ඉන්පසු ඔබට මෙම මුතුන් මිත්තන් ගැන ඔබ දන්නා දේ එකිනෙකා සමඟ බෙදා ගත හැකිය. අපගේ පවුල් ඉතිහාසය “පූර්ණ සහ සම්පූර්ණ” බවට පත් කරන “එක්වන්නාවූ බැඳීම” කුමක්දැයි සොයා ගැනීමට එකට එකතු වී දහම සහ ගිවිසුම් 128:18 කියවන්න.

    1:38

    Courage: I Think I Get It From Him

  • ඔබේ දරුවන්ට පවුල් ඉතිහාසයට සහභාගී වීමට උපකාර කිරීම සඳහා අමතර ක්‍රියාකාරකම්, උපග්‍රන්ථය B හි “දේවමාළිගාව සහ ප්‍රීතියේ සැලැස්ම” හෝ FamilySearch.org හිදී සොයා ගත හැකිය.

මව සහ දියණිය කඩදාසි දම්වැලක් සාදමින්

දම්වැලක පුරුක් මෙන්, පවුල් එකමුතු කිරීමට දේවමාළිගා නියෝග අපට උදව් වෙනවා.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

දේවමාළිගා බව්තීස්ම තටාකය

යූටා ඔග්ඩන් දේවමාළිගාවේ බව්තීස්ම තටාකය.

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව