Doctrine and Covenants 2025
අප්‍රියෙල් 28-මැයි 4: “මාගේ සභාව පාලනය කිරීමට මාගේ නීතිය”: දහම සහ ගිවිසුම් 41-44


“අප්‍රියෙල් 28-මැයි 4: ‘මාගේ සභාව පාලනය කිරීමට මාගේ නීතිය’: දහම සහ ගිවිසුම් 41-44,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 41–44,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

අප්‍රියෙල් 28-මැයි 4: “මාගේ සභාව පාලනය කිරීමට මාගේ නීතිය”

දහම සහ ගිවිසුම් 41–44

1830 සහ 1831 දී, විශේෂයෙන් ඔහායෝ, කර්ට්ලන්ඩ් හි නව සාමාජිකයින්ගේ බහුලවීමත් සමඟ, සභාව වේගයෙන් වර්ධනය වුණා. මෙම වර්ධනය ශුද්ධවන්තයින්ට උද්යෝගිමත් සහ දිරිගන්වන සුළු වූ නමුත් ඒ නිසා සමහර අභියෝගද එල්ල වුණා. ඉක්මනින් පුළුල් වන ඇදහිලිවන්තයන් කණ්ඩායමක්, ඔබ එක්සත් කරන්නේ කොහොමද? විශේෂයෙන්, ඔවුන් ඔවුන්ගේ පෙර ඇදහිලිවලින් මූලධර්ම සහ ක්‍රියාවන් ගෙන එන විට ඔබ කරන්නේ කුමක්ද? නිදසුනක් වශයෙන්, ජෝසෆ් ස්මිත් 1831 පෙබරවාරි මස මුලදී කර්ට්ලන්ඩ් වෙත පැමිණි විට, අලුත් ගිවිසුමේ ක්‍රිස්තියානුවන් අනුකරණය කිරීමේ සැබෑ උත්සාහයක් ලෙස පොදු දේපළ බෙදා ගන්නා නව සාමාජිකයින්ව ඔහුට හමුවුණා (බලන්න ක්‍රියා 4:32-37). ස්වාමින්වහන්සේ මෙම කාරණය සහ වෙනත් දේවල් සම්බන්ධයෙන් වැදගත් නිවැරදි කිරීම් සහ පැහැදිලි කිරීම් කිහිපයක් සිදු කළා. උන්වහන්සේ මෙය බොහෝ සේ කළේ “මාගේ සභාව පාලනය කිරීමට මාගේ නීතිය” ලෙස හැඳින්වූ දහම සහ ගිවිසුම් 42 හි වාර්තා කර ඇති එළිදරව්වක් හරහායි (59 වෙනි පදය). මෙම එළිදරව්වේදී, අවසාන දිනවල ස්වාමින්වහන්සේගේ සභාව පිහිටුවීමේදී මූලික වන සත්‍යයන් අපි ඉගෙන ගන්නවා. ඒවගේම අපට ඉගෙන ගැනීමට තවත් බොහෝ දේ ඇති බව අපි ඉගෙන ගන්නවා: “නුඹලා ඉල්ලන්නේ නම්,” ස්වාමින්වහන්සේ මෙසේ පොරොන්දු වුණා, “නුඹලා එළිදරව්ව පිට එළිදරව්ව, දැනුමපිට දැනුම ලබන්නෝය” (දහම සහ ගිවිසුම් 42:61).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 41

“ඔහු එනම් මාගේ නීතිය ලබන්නා තවද එය පවත්වන්නේද, එවැන්නා මාගේ ගෝලයා වන්නේය.”

1831 මුල් භාගය වන විට ශුද්ධවන්තයින් ඔහායෝ හි රැස් වීමට පටන් ගත්තා. දෙවියන්වහන්සේ එහිදී හෙළි කිරීමට පොරොන්දු වූ නීතිය ලබා ගැනීමට ඔවුන් උනන්දු වුණා (බලන්න දහම සහ ගිවිසුම් 38:32). නමුත් පළමුව, උන්වහන්සේගේ ගෝලයන් උන්වහන්සේගේ නීතිය පිළිගැනීමට සූදානම් විය යුතු ආකාරය උන්වහන්සේ ඉගැන්වුවා. දහම සහ ගිවිසුම් 41:1–6 හි ඔබ සොයා ගන්නා ශුද්ධවන්තයින්ට දෙවියන්වහන්සේගේ නීතිය ලැබීමට උපකාර වන මූලධර්ම මොනවාද? උන්වහන්සේගෙන් උපදෙස් ලබාගැනීමට මෙම මූලධර්ම ඔබට උපකාර කරන්නේ කෙසේද?

දහම සහ ගිවිසුම් 42

ස්වාමින්වහන්සේ මට ආඥා ලබාදෙන්නේ උන්වහන්සේ මට ප්‍රේම කරන නිසයි.

දහම සහ ගිවිසුම් 42:1–72 හි ඇති එළිදරව්ව අනාගතවාක්තෘවරයාට ලැබුණු වැදගත්ම ඒවාලින් එකක් ලෙස ශුද්ධවන්තයින් සැලකුවා. එය ප්‍රකාශයට පත් කළ පළමු එළිදරව් වලින් එකක් වුණා. වසර ගණනාවක් පුරා ශුද්ධවන්තයින් එය හැඳින්වූයේ “නීතිය” ලෙසයි. මෙම කොටසෙහිස්වාමින්වහන්සේගේ සියලුම ආඥා හෝ නීති ඇතුළත් නොවන නමුත්, අලුතින් නැවත පිහිටුවන ලද සභාව සඳහා මෙම මූලධර්ම වැදගත් වූයේ මන්දැයි සිතා බැලීම වටිනවා. ඒවා අද අපට වැදගත් වන්නේ ඇයි?

42 වෙනි කොටස සාපේක්ෂ වශයෙන් දිගු බැවින්, පහත දැක්වෙන පරිදි එය කුඩා කොටස්වලින් අධ්‍යයනය කිරීම ගැන ඔබට සලකා බැලිය හැකිය. ඒ එක එකක් තුළ උගන්වන මූලධර්ම හඳුනාගෙන, මෙම නීති ස්වාමින්වහන්සේගේ සෙනඟ කෙරෙහි දක්වන උන්වහන්සේගේ ප්‍රේමයේ ලකුණක් වන්නේ කෙසේදැයි සලකා බලන්න.

දෙවියන්වහන්සේ අපට නීති සහ ආඥා ලබා දෙන්නේ ඇයි? ආඥා දැනගෙන පිළිපැදීමෙන් ඔබ ආශිර්වාද ලබා ඇත්තේ කුමන ආකාරයෙන්ද?

දහම සහ ගිවිසුම් 42:30–42

“දුප්පතුන්ව සිහිපත් කරන්න.”

42 වෙනි කොටස තුළ එළිදරව් කරන ලද නීතියේ කොටසක් ලෙස, පුරාණයේ ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් මෙන්, “ඔවුන් අතර දුප්පතුන් නොසිටින පිණිස” (මෝසෙස් 7:18). ඔවුන්ට “සියල්ල පොදු” (ක්‍රියා 2:44; 4 නෙපී 1:3) ලෙස තබාගත හැකි ආකාරය ස්වාමින්වහන්සේ තම ශුද්ධවන්තයින්ට ඉගැන්වුවා. ශුද්ධවන්තයින් කැප කිරීමේ නීතිය අනුව ජීවත් වූ ආකාරය ගැන දහම සහ ගිවිසුම් 42:30-42 වෙතින් ඔබ ඉගෙන ගන්නේ කුමක්ද? (කැප කිරීම යනු පූජනීය අරමුණක් සඳහා යමක් වෙන් කිරීමයි.)

අද අප “සියල්ල පොදු” ආකාරයට තබාගන්නේ නැතත්, දේවමාළිගා වල පසුදවස්වල ශුද්ධවන්තයින් කැප කිරීමේ නීතිය අනුව ජීවත් වීමට ගිවිසුම් තබාගන්නවා. අවශ්‍යතා ඇති මිනිසුන්ට ආශිර්වාද කිරීමට දෙවියන්වහන්සේ ඔබට දී ඇති දේ ඔබට කැප කළ හැක්කේ කෙසේද?

තවත් බලන්න ෂැරොන් ඉයුබෑන්ක්, “උන්වහන්සේ අපව ප්රයෝජනයට ගනීවායි මම ප්‍රාර්ථනා කරමි,” ලියහෝනා, නොවැම්බර් 2021, 53–56.

ක්‍රිස්තුස්වහන්සේ සහ පොහොසත් තරුණ පාලකයා

හෙයින්රිච් හොෆ්මන් විසින්, Christ and the Rich Young Ruler [ක්‍රිස්තුස්වහන්සේ සහ පොහොසත් තරුණ පාලකයා]

දහම සහ ගිවිසුම් 42:61, 65–68; 43:1–16

සෙමනේරි නිරූපකය
දෙවියන්වහන්සේගේ සභාවට මගපෙන්වීමට—සහ මා හට මගපෙන්වීමට උන්වහන්සේ එළිදරව් ලබා දෙන සේක

සභාව මෙහෙයවනු ලබන්නේ එළිදරව් වලින් බව දැනගැනීමට ඉතා උද්යෝගයෙන් සිටින සභාවේ නව සාමාජිකයෙකු සමග ඔබ සාකච්ඡා කරමින් සිටින බව මවාගන්න. ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයා හරහා උන්වහන්සේගේ සභාවට මගපෙන්වීම සඳහා වූ උන්වහන්සේගේ ආදර්ශය ගැන ඔහුට හෝ ඇයට ඉගෙන ගැනීමට උපකාර කිරීමට ඔබට දහම සහ ගිවිසුම් 43:1-16 භාවිතා කළ හැක්කේ කෙසේද? පුද්ගලික එළිදරව් ලැබීම ගැන ඉගැන්වීමට දහම සහ ගිවිසුම් 42:61, 65-68 ඔබට භාවිතා කළ හැක්කේ කෙසේද?

ස්වාමින්වහන්සේගේ ආත්මය තුළින් ඔබට ලැබී ඇති “සමාදානයේ දේවල්” සහ ප්‍රීතිමත් දේවල් මොනවාද?

ස්වාමින්වහන්සේ ඔබ සමඟ සන්නිවේදනය කරන ආකාරය පැහැදිලි කරමින් ඔබේම වීඩියෝවක් නිර්මාණය කිරීම ගැන සලකා බලන්න.

තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “සභාව සඳහා එළිදරව්, අපේ ජීවිත සඳහා එළිදරව්,”ලියහෝනා, මැයි 2018, 93–96.

භාණ්ඩ යොදාගන්නා පාඩම් බෙදාගන්න. භාණ්ඩ යොදාගන්නා පාඩම් හෝ දෘශ්‍ය ආධාරක මගින් ඔබ උගන්වන පුද්ගලයින්ට ශුභාරංචි සත්‍යයන් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට සහ ඒවා දිගු කාලයක් මතක තබා ගැනීමට උපකාර කළ හැකිය. උදාහරණයක් ලෙස, ඔබට “එළිදරව්ව පිට එළිදරව්ව, දැනුම පිට දැනුම” (දහම සහ ගිවිසුම් 42:61) ලබා ගැනීම පිළිබඳව ඉගැන්වීමට, කැබැලිවලින් එකලස් කරන ලද ප්‍රහේලිකාවක් ඔබට භාවිතා කළ හැකිය.

ළමුන්ගේ කොටස නිරූපකය 03

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 41:5

ගෝලයෙක් යනු දෙවියන්වහන්සේගේ නීතිය පිළිගෙන එයට කීකරු වන අයෙකි.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔබේ දරුවන්ට දැනගැනීමට උපකාර කිරීම සඳහා, ඔබට දහම සහ ගිවිසුම් 41:5 කඩදාසි කැබැල්ලක ලියා ගෝලයා යන වචනය එන තැන් හිස්ව තැබිය හැකිය. එවිට ඔවුන්ට 5 වෙනි පදය කියවා නැතිවූ වචනය සෙවිය හැකිය. මෙම පදයට අනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අපි ක්‍රිස්තුස්වහන්සේගේ වඩා හොඳ ගෝලයන් වීමට උත්සාහ කරන්නේ කෙසේද?

දහම සහ ගිවිසුම් 42:2

මම ස්වාමින්වහන්සේට කීකරු වන විට මට සතුටුයි.

  • හොඳින් සවන් දීමට සහ උපදෙස් අනුගමනය කිරීමට අවශ්‍ය ක්‍රීඩාවක් කිරීමට ඔබේ දරුවන් ප්‍රිය කළ හැකිය. ස්වාමින්වහන්සේට “උවමනාවෙන් සවන් දෙන්න, තවද අසන්න එමෙන්ම කීකරු වන්න” යන්නෙහි තේරුම ගැන කතා කිරීමට ඔබට මෙම ක්‍රීඩාව භාවිතා කළ හැකිය (දහම සහ ගිවිසුම් 42:2). උන්වහන්සේ අපට දී ඇති උපදෙස් මොනවාද? උන්වහන්සේගේ නීති සහ ආඥා පිළිපැදීමෙන් අප ආශිර්වාද ලබන්නේ කෙසේද?

  • ඔබට ඔබේ දරුවන් සමඟ මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව සම්පූර්ණ කළ හැකිය. දෙවියන්වහන්සේගේ නීතිවලට කීකරු වීම ඔබට සතුට ගෙන දුන් ආකාරය එකිනෙකා සමඟ බෙදාගැනීම ගැන සලකා බලන්න.

    ප්‍රාථමික පන්තිය

දහම සහ ගිවිසුම් 42:38

මම අන් අයට සේවය කරන විට මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සේවය කරමි.

  • එකට එක්ව දහම සහ ගිවිසුම් 42:38 කියවීමෙන් පසු, අන් අයට සේවය කිරීමෙන් යේසුස්වහන්සේට සේවය කළ හැකි ආකාරය ගැන සිතීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. ගැලවුම්කරුවාණන් අන් අයට උපකාර කරන, රෝගීන් සුව කරන හෝ දරුවන්ට කරුණාව දක්වන පින්තූර දෙස බැලීමටද ඔවුන්ට හැකිය.

    2:18

    Pass It On

    Jesus Christ (at the pools of Bethesda) lifting a blanket under which a crippled man lies. Christ is looking compassionately at the man and extending His hand toward him. Other people are gathered around the pools and around Christ.
  • ඔබේ දරුවන්ට දසයෙන් කොටස සහ වෙනත් දීමනා පත්‍රිකාවක් පෙන්වා, අන් අයට ආශිර්වාද කිරීම සඳහා, අපට ඇති දේ ලබා දීමට එය භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන ඔබට කතා කළ හැකිය.

දහම සහ ගිවිසුම් 43:1–7

මුළු සභාවම වෙනුවෙන් එළිදරව් ලැබිය හැක්කේ අනාගතවක්තෘවරයාට පමණි.

  • යමෙක් සාක්ෂි රැස්වීමේදී නැඟිට මුළු සභාවම වෙනුවෙන් එම පුද්ගලයාට එළිදරව්වක් ලැබී ඇති බව කොට්ඨාශයටම පවසන බව සිතන්නට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න (උදාහරණයක් ලෙස, ඒ එළිදරව්ව අපි තවදුරටත් කැරට් අනුභව නොකළ යුතු බව හෝ ජලය වෙනුවට කිරිවලින් අත සෝදාගත යුතු බව වෙන්න පුළුවන්.) අනාගතවක්තෘවරයාට සවන් දෙනවා වෙනුවට අපි ඔහු කියන දේට සවන් දිය යුතු බව ඔහු පවසයි. ඒකෙ වැරැද්ද මොකක්ද? ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සභාවට ආඥා ලබාදෙන ආකාරය සොයා ගැනීමට ඔබට එකට එකතු වී දහම සහ ගිවිසුම් 43:1–7 අධ්‍යයනය කළ හැකිය.

  • ඔබට ජීවමාන අනාගතවක්තෘවරයාගේ පින්තූරයක් පෙන්විය හැකි අතර ඔහු මෑතකදී ඉගැන්වූ දෙයක් බෙදා ගැනීමට ඔබේ දරුවන්ට ආරාධනා කළ හැකිය. ඔවුන්ට උදව් අවශ්‍ය නම්, මෑතකාලීන ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිඩයකින් ඡේදයක්, නැතහොත් වීඩියෝ පටයක් ඔවුන් සමඟ බෙදා ගන්න. අද ජීවමාන අනාගතවක්තෘවරයෙකු සිටීම ආශිර්වාදයක් වන්නේ ඇයි?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

ජෝසෆ් ස්මිත් උගන්වමින්

සෑම් ලෝලර් විසින්, Joseph Smith Preaching [ජෝසෆ් ස්මිත් දේශනා කරමින්]

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව