“ජනවාරි 13-19: ‘මම ආලෝක ස්ථම්භයක් දුටුවෙමි’: ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:1-26,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:1-26,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
ග්‍රෙග් ඔල්සන් විසින්, Sacred Grove [පූජනීය වනය]
ජනවාරි 13-19: “මම ආලෝක ස්ථම්භයක් දුටුවෙමි”
ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:1-26
දහම සහ ගිවිසුම් යාච්ඤාවලට පිළිතුරු ලබාදෙන පොතක් බව ඔබට පැවසිය හැකිය: මෙම පොතේ බොහෝ පූජනීය එළිදරව් කිරීම් පැමිණියේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි. ඒ සියල්ල ආරම්භ කළ ප්‍රශ්නය—පසුදවස්වල එළිදරව්ව ගලා ඒමට තුඩු දුන් ප්‍රශ්නය—ඇසූවේ 14 හැවිරිදි පිරිමි ළමයෙකු විසිනි. “මෙම වාග් අරගලය සහ මත පිළිබඳ කෝලාහල” (ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:10) ජෝසෆ් ස්මිත්ට ආගම සහ දෙවියන්වහන්සේ සමඟ ඇති සම්බන්ධය ගැන ව්‍යාකූලත්වයක් ඇති කළා. සමහරවිට ඔබටත් එය අදාළ කරගන්න පුළුවන් වෙයි. අපේ කාලයේ බොහෝ පරස්පර අදහස් සහ ඒත්තු ගන්වන හඬවල් අපට හමු වෙනවා. අපට මෙම පණිවුඩ නිරාකරණය කර සත්‍යය සොයා ගැනීමට අවශ්‍ය වූ විට, අපට ජෝසෆ් කළ දේම කරන්න පුළුවන්. අපට ප්‍රශ්න ඇසීමට, ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට, මෙනෙහි කිරීමට සහ අවසානයේ දෙවියන්වහන්සේගෙන් අසන්නට පුළුවන්. ජෝසෆ්ගේ යාච්ඤාවට ප්‍රතිචාරයක් වශයෙන්, ආලෝක ස්ථම්භයක් ස්වර්ගයෙන් බිමට පතිත වුණා. පියාණන් වන දෙවියන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දර්ශනය වී ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා. “ප්‍රඥාව අඩු මිනිසෙකුට දෙවියන්වහන්සේගෙන් ඉල්ලීමට හැකි බවත්, එය ඔහුට ලබාගත හැකි බවත්” (ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:26) එම ආශ්චර්යමත් අත්දැකීම පිළිබඳ ජෝසෆ්ගේ සාක්ෂිය නිර්භීතව ප්‍රකාශ කරනවා. ස්වර්ගීය දර්ශනයක් නොවුණත්, අවම වශයෙන් ස්වර්ගීය ආලෝකයෙන් ආලෝකමත් වූ පැහැදිලි දර්ශනයක්වත් අප සැමට ලබාගන්න පුළුවන්.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
ජෝසෆ් ස්මිත් යනු නැවත පිහිටුවීමේ අනාගතවක්තෘවරයායි.
ජෝසෆ් ස්මිත්ගේ ඉතිහාසයේ අරමුණ වූයේ ජෝසෆ් පිළිබඳ සත්‍යය බොහෝ විට විකෘති වී ඇති නිසා අපව “කරුණු සන්තකයේ” තැබීමයි (ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:1). ඔබ ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:1–26 කියවන විට, ඔහුගේ දිව්‍යමය කැඳවීම පිළිබඳ ඔබේ සාක්ෂිය ශක්තිමත් කරන්නේ කුමක්ද?
මගේ යාච්ඤාවලට මට පිළිතුරු ලබාගත හැක්කේ කෙසේද?
ඔබට කවදා හෝ “ප්‍රඥාව අඩු” බවක් හෝ ඔබ ගත යුතු තීරණයක් ගැන ව්‍යාකූල බවක් දැනී තිබේද? (ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:13). 1820 දී ජෝසෆ් ස්මිත් ලැබූ අත්දැකීම ඔබේ පෞද්ගලික එළිදරව් සඳහා හොඳ රටාවක් ලෙස සේවය කළ හැකිය. උදාහරණයක් ලෙස, ඔබ ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:5–25 උවමනාවෙන් කියවන විට, ඔබට අදාළ කරගත හැකි අත්දැකීම් සොයන්න. ඔබ පහත දේ ගැන ඉගෙනගන්නේ මොනවාද:
-
ජෝසෆ් යාච්ඤාවේ පූජනීය අත්දැකීමක් සඳහා සූදානම් වූයේ කෙසේ ද? (බලන්න 8, 11, 14-15 පද).
-
එළිදරව් සෙවීමේදී ශුද්ධලියවිලි අධ්‍යයනයේ කාර්යභාරය? (බලන්න 11-12 පද).
-
ඔබ විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන විට කුමක් කළ යුතු ද? (බලන්න 15-16, 21-26 පද).
-
ඔබට ලැබෙන පිළිතුරු පිළිගෙන ඒවා අනුව ක්‍රියා කිරීම? (බලන්න 18-25 පද).
බෙදා ගැනීමට ආරාධනා කරන්න. ශුද්ධලියවිලි උවමනාවෙන් කියවීම ශුද්ධාත්මයාණන්ගේ හැඟීම්වලට ආරාධනා කරයි. මෙම හැඟීම් බෙදාගැනීම මගින් අන් අය සඳහා මෙන්ම එය බෙදාගන්නා පුද්ගලයා සඳහාත් සාක්ෂි දැරීමට ශුද්ධාත්මයාණන්වහන්සේට ආරාධනා කරන්න පුළුවන්.
දෙවියන්වහන්සේ සමඟ සන්නිවේදනය කරන මිනිසුන්ගේ වෙනත් උදාහරණ ද ඔබට ශුද්ධලියවිලිවල සෙවිය හැකිය. Gospel Art Book හෝ වෙනත් එන්න, මා අනුගමනය කරන්න පොත්වල පින්තූර වලින් ඔබට අදහස් ලබාගන්න පුළුවන්. ඔබ සොයා ගන්නා සෑම උදාහරණයකටම, කලින් ලැයිස්තුගත කර ඇති ප්‍රශ්නවලට පිළිතුරු දීමට උත්සාහ කරන්න. යාච්ඤාවට පිළිතුරු ලැබීම ගැන ඔබට ඇති අත්දැකීම් මොනවාද? අන් අයටත් හොඳ අත්දැකීම් ලබා ගැනීමට උපකාර කිරීමට ඔබට කළ හැක්කේ මොනවාද?
තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “උන්වහන්සේට සවන් දෙන්න,” ලියාහෝනා, 2020 මැයි, 88–92.
ජෝසෆ් ස්මිත් පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැක්කා.
දෙවියන්වහන්සේ ඔහුගේ යාච්ඤාවට පිළිතුරු දෙනු ඇතැයි ජෝසෆ් ස්මිත් විශ්වාස කළ නමුත්, එම පිළිතුර ඔහුගේ ජීවිතය—සහ ලෝකය—වෙනස් කරන්නේ කෙසේදැයි ඔහු අපේක්ෂා කළේ නෑ. ඔබ ජෝසෆ්ගේ අත්දැකීම ගැන කියවන විට, පළමු දර්ශනයේ ප්‍රතිඵල ඔබේ ජීවිතය වෙනස් කර තිබෙන්නේ කෙසේදැයි මෙනෙහි කරන්න.
නිදසුනක් වශයෙන්, ජෝසෆ්ගේ කාලයේ සිටි බොහෝ අය විශ්වාස කළ දේට වඩා වෙනස් ආකාරයට, පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සත්‍යයන් කිහිපයක් පළමු දර්ශනයෙන් හෙළි වුණා. ඔබ ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:15–20 කියවන විට, මෙවැනි ප්‍රකාශයක් සම්පූර්ණ කිරීමට විවිධ ක්‍රම ලියාගැනීම සලකා බලන්න: “පළමු දර්ශනය සිදු වූ නිසා, මම දනිමි …”
ජෝසෆ්ගේ අත්දැකීම් සහ ඒ නිසා ඇති වූ සියල්ල ගැන මෙනෙහි කරන විට ඔබට ඇතිවන හැඟීම් මොනවාද?
Ask of God: Joseph Smith's First Vision
වෝල්ටර් රේන් විසින් If Any of You Lack Wisdom [ඔබට ප්‍රඥාව අඩු නම්]
පළමු දර්ශනය පිළිබඳ විවිධ වර්තාවන් ඇත්තේ ඇයි?
ජෝසෆ් ස්මිත් ඔහුගේ ජීවිත කාලය තුළ, පූජනීයවනයේ ඔහුගේ අත්දැකීම් අවම වශයෙන් හතර වතාවක් වාර්තා කර තිබෙනවා, බොහෝ විට ඔහු මෙය කර ඇත්තේ ලේඛකයෙකු භාවිතා කරමින්. ඊට අමතරව, ජෝසෆ් ඔහුගේ දර්ශනය ගැන කතා කරනවා ඇසූ වෙනත් අය විසින් ද වාර්තා කිහිපයක් ලියා තිබෙනවා. ලියන්නා, කියවන්නා, සහ සැකසුම අනුව ගත් කළ, සමහර විස්තර වලින් ඒවා එකිනෙකට වෙනස් වුවත්, ඒවා එක සමානයි. ඒවගේම ඒ සෑම වාර්තාවක්ම ජෝසෆ් ස්මිත්ගේ අත්දැකීම් අපට වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට උපකාර වන විස්තර එක් කරනවා, හරියට අලුත් ගිවිසුමේ ශුභාරංචි හතරෙන් සෑම එකක්ම ගැලවුම්කරුවාණන්ගේ දේවසේවය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට අපට උපකාර කරනවා වගේ.
අනිත් අය මාව ප්‍රතික්ෂේප කළත් මම දන්න දේට එකඟව ඉන්න මට පුළුවන්.
ඔහුගේ කැපී පෙනෙන පළමු දර්ශනයෙන් පසුව, ජෝසෆ් ස්මිත්ට ස්වභාවිකවම ඔහුගේ අත්දැකීම් අන් අය සමඟ බෙදා ගැනීමට අවශ්‍ය වුණා. ඔහු මුහුණ දුන් විරෝධතාවයන් ඔහුව පුදුමයට පත් කළා. ඔබ ඔහුගේ වාර්තාව කියවන විට, ඔබේ සාක්ෂියට සත්‍යවන්තව සිටීමට ඔබව පොළඹවන්නේ කුමක්ද? ඔබ අත්විඳ ඇති අධ්‍යාත්මික අත්දැකීම්වලට සත්‍යවන්තව සිටීමට—ශුද්ධලියවිලිවලින්, මුතුන් මිත්තෙකුගෙන් හෝ ඔබ දන්නා පුද්ගලයින්ගෙන්—ඔබට ධෛර්යය ලබා දෙන වෙනත් උදාහරණ මොනවාද?
තවත් බලන්න ගැරී ඊ. ස්ටීවන්සන්, “ඔබේ සාක්ෂිය පෝෂණය කිරීම සහ බෙදාගැනීම ,” ලියහෝනා, නොවැම්බර්. 2022, 111-14.
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
ජෝසෆ් ස්මිත් දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු වීමට සූදානම් වී සිටියා.
-
ජෝසෆ් ස්මිත්ගේ අත්දැකීම්වලින් ඉගෙන ගන්නා විට ඔහු සමඟ සම්බන්ධ වීමට, ඔහුගේ තරුණ කාලය ගැන ඉගෙනගැනීම ඔබේ දරුවන්ට උපකාරයක් වෙන්න පුළුවන්. සමහර විට ඔවුන්ට ජෝසෆ් ස්මිත්ගේ පින්තූරයක් අල්ලාගෙන ඔහු ගැන ඔවුන් දන්නා දේ බෙදා ගන්න පුළුවන්. අවශ්‍ය නම්, ඔබට ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:3–14 වෙතින් ඔහු පිළිබඳ කරුණු කිහිපයක් එකතු කරගන්න පුළුවන් (තවත් බලන්න “1 වෙනි පරිච්ඡේදය: ජෝසෆ් ස්මිත් සහ ඔහුගේ පවුල”. අනාගතවක්තෘවරයෙකු වීමට සූදානම් වීමේදී ජෝසෆ්ට උදව් වූ අත්දැකීම් මොනවාද? දෙවියන්වහන්සේ අපව සූදානම් කරන්නේ කුමක් කිරීමට වෙන්න පුළුවන්ද?
3:22Joseph Smith's Family: A family of faith
ග්‍රෙග් ඔල්සන් විසින්, Joseph Smith’s First Vision [ජෝසෆ් ස්මිත්ගේ පළමු දර්ශනය]
දෙවියන්වහන්සේට ශුද්ධලියවිලි තුළින් මගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට පුළුවන්.
-
ශුද්ධලියවිලි ඇතුළු, විවිධ පොත් ඔබේ දරුවන්ට පෙන්වීම ගැන සලකා බලන්න. මෙම පොත්වලට පිළිතුරු දිය හැකි ප්‍රශ්න ගැන සිතා බැලීමට ඔවුන්ට උපකාර කරන්න. ජෝසෆ් ස්මිත්ට තිබූ ප්‍රශ්න මොනවාද සහ ඔහු ශුද්ධලියවිල්ලෙන් සොයාගත් පිළිතුරු මොනවාදැයි සොයා බැලීමට ඔබට ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:10–11 එකට එකතු වී කියවන්න පුළුවන්.
-
යාකොබ් 1:5 කියවීම ජෝසෆ්ට බලපෑ ආකාරය විස්තර කරන 12 වෙනි පදය තුළ ඇති වචන සොයා ගැනීමට ඔබේ දරුවන්ට හැකි වෙන්න පුළුවන්. එවිට ඔබට ශුද්ධලියවිලිවල කොටසක් ඔබට ප්‍රබල බලපෑමක් ඇති කළ අත්දැකීම් එකිනෙකා සමඟ බෙදා ගන්න පුළුවන්.
ස්වර්ගීය පියාණන්වහන්සේ මාගේ යාච්ඤාවලට සවන් දී පිළිතුරු දෙන සේක.
-
අප ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ සන්නිවේදනය කරන ආකාරය පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කිරීම සඳහා, ඔබට සහ ඔබේ දරුවන්ට කෙටි පණිවිඩයක්, දුරකථන ඇමතුමක් හෝ අතින් ලියන ලද සටහනක් වැනි විවිධ සන්නිවේදන ක්‍රම භාවිත කරමින් එකිනෙකාගෙන් ප්‍රශ්න අසන්න පුළුවන්. අප ස්වර්ගික පියාණන්වහන්සේගෙන් ප්‍රශ්න අසන්නේ කොහොමද? අපගේ යාච්ඤාවලදී අප උන්වහන්සේට ප්‍රේම කරන බවත් ගෞරව කරන බවත් උන්වහන්සේට පෙන්වන්නේ කොහොමද? ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:16–19 එකට එක්ව කියවා ස්වර්ගික පියාණන්වහන්සේ ජෝසෆ් ස්මිත්ගේ යාච්ඤාවට පිළිතුරු දුන් ආකාරය ගැන සාකච්ඡා කරන්න. ඔබ දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලා පිළිතුරක් ලැබුණු අවස්ථාවල අත්දැකීම් ඔබටත් ඔබේ දරුවන්ටත් බෙදාගන්න පුළුවන්.
ජෝසෆ් ස්මිත් ස්වර්ගීය පියාණන්වහන්සේ සහ උවහන්සේගේ පුත්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දුටුවා.
-
ඔබ පළමු දර්ශනය ගැන ඔවුන්ට පවසන අතර, කුඩා දරුවන්ට අත් දිගු කර පූජනීය වනයේ ගස් මෙන් පෙනී සිටීමෙන් ඔවුන්ට සතුටක් ලබන්න පුළුවන්. ඔබ ජෝසෆ් යාච්ඤා කරන ආකාරය ගැන කතා කරන විට සුළඟට ගසාගෙන යන්නාක් මෙන් පැද්දෙන ලෙස දරුවන්ට කියන්න. එවිට ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස්වහන්සේ ජෝසෆ්ට පෙනී සිටි බව ඔබ ඔවුන්ට පවසන විට ඉතා නිශ්චලව හා නිහඬව සිටීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.
-
පළමු දර්ශනය ගැන ඔවුන් දන්නා දේ ඔබට පැවසීමට වැඩිමහල් දරුවන්ට මෙම දළ සටහනේ ඇති පින්තූර එකක් හෝ කිහිපයක් භාවිතා කිරීමෙන් සතුටක් ලැබිය හැකිය. ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:14–17 වෙත යොමු කිරීමට සහ ජෝසෆ්ගේ අත්දැකීම් පිළිබඳ ඔවුන්ගේ සිතුවිලි සහ හැඟීම් බෙදා ගැනීමට ඔවුන්ව දිරිමත් කරන්න (තවත් බලන්න “2 වෙනි පරිච්ඡේදය: ජෝසෆ් ස්මිත්ගේ පළමු දර්ශනය.
3:23Joseph Smith's First Vision: An answer to a humble prayer
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.