Doctrine and Covenants 2025
ජනවාරි 6–12: “අහෝ මාගේ ජනතාවෙනි, උවමනාවෙන් සවන්දෙන්න”: දහම සහ ගිවිසුම් 1


“ජනවාරි 6–12: ‘අහෝ මාගේ ජනතාවෙනි, උවමනාවෙන් සවන්දෙන්න’: දහම සහ ගිවිසුම් 1,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 1,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

පවුලක් එකට එක්ව ශුද්ධලියවිලි කියවමින්

ජනවාරි 6–12: “අහෝ මාගේ ජනතාවෙනි, උවමනාවෙන් සවන්දෙන්න”

දහම සහ ගිවිසුම් 1

1831 නොවැම්බර් මාසයට, නැවත පිහිටුවන ලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට වයස අවුරුදු එකහමාරක් පමණි. වර්ධනය වෙමින් තිබුණා වුවද, එය සාපේක්ෂව තවමත් කුඩා නගරවල ජීවත් වන ඇදහිලිවන්තයන්ගේ අප්‍රසිද්ධ සුළු කණ්ඩායමක් වූ අතර, ඔහුගේ විසි ගණන්වල මැද භාගයේ සිටි අනාගතවක්තෘවරයෙක් විසින් මෙහෙයවනු ලැබූ සභාවක් වුණා. නමුත් දෙවියන්වහන්සේ මෙම ඇදහිලිවන්තයන්ව උන්හන්සේගේ සේවකයන් සහ උන්හන්සේගේ පණිවිඩකරුවන් ලෙස සැලකූ අතර, උන්හන්සේ ඔවුන්ට ලබා දුන් එළිදරව් කිරීම් ලෝකයට ප්‍රකාශ කරනවාට උන්වහන්සේට අවශ්‍ය වුණා.

දහම සහ ගිවිසුම් 1 වෙනි කොටස යනු මෙම එළිදරව් කිරීම් සඳහා ස්වාමින්වහන්සේගේ පෙරවදන හෝ හැඳින්වීමයි. සභාවේ සාමාජිකත්වය කුඩා වුවද, දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන් බෙදා ගන්නවාට උන්වහන්සේට අවශ්‍ය වූ පණිවිඩය සුළු එකක් නොවන බව එය පැහැදිලිව පෙන්නුම් කරනවා. එය “පොළොවේ වැසියන්” සියල්ලන්ටම “අනතුරු හැඟවීමේ හඬක්” වන අතර පසුතැවිලි වී දෙවියන්වහන්සේගේ “සදාකාලික ගිවිසුම” පිහිටුවීමට ඔවුන්ට උගන්වනවා (4, 8, 22 පද). මෙම පණිවිඩය රැගෙන යන සේවකයන් “දුර්වලයි සහ සරලයි”. නමුත් එදත් අදත්—දෙවියන්වහන්සේගේ සභාව “කළුවරෙන් පිටතට සහ අන්ධකාරයෙන් පිටතට පෙරට ගෙන ඒමට”—උන්වහන්සේ විසින් කැඳවන්නේ නිහතමානී සේවකයින්වයි (23, 30 පද).

අධ්‍යයන නිරූපකය

නිවසේ සහ සභාවේ ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 1

“අහෝ මාගේ ජනතාවෙනි, උවමනාවෙන් සවන්දෙන්න.”

පෙරවදනක් පොතක් හඳුන්වා දෙයි. එය පොතේ තේමා සහ අරමුණු හඳුන්වාදෙන අතර පාඨකයන්ට එය කියවීමට සූදානම් වීමට උපකාර කරයි. ඔබ 1 වෙනි කොටස තුළ—දහම සහ ගිවිසුම් පොතට ස්වාමින්වහන්සේ ලබාදුන් “පෙරවදන” (6 වෙනි පදය) කියවන විට—ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ එළිදරව් කිරීම් සඳහා ලබාදුන් තේමා සහ අරමුණු ගැන අවධානය යොමු කරන්න. මෙම වසරේ දහම සහ ගිවිසුම් පිළිබඳ ඔබේ අධ්‍යයනයට උපකාර වන ඔබ ඉගෙනගත් දේවල් මොනවාද? නිදසුනක් වශයෙන්, මෙම එළිදරව් කිරීම් තුළ “ස්වාමින්වහන්සේගේ හඬට සවන් දීම” (14 වෙනි පදය ) හෝ “මෙම ආඥාවන් සෙවීම” (37 වෙනි පදය) යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි ඔබට කල්පනා කළ හැකිය.

තවත් බලන්න දහම සහ ගිවිසුම් පිළිබඳ හැඳින්වීම.

දහම සහ ගිවිසුම් 1:4–6, 23–24, 37–39

සෙමනේරි නිරූපකය
පසුදවස්වල අනාගතවක්තෘවරුන් ඇතුළු ස්වාමින්වහන්සේගේ සේවකයන් හරහා උන්වහන්සේ කතා කරයි.

1 වෙනි කොටස ආරම්භ වන්නේ සහ අවසන් වන්නේ ස්වාමින්වහන්සේ තම තෝරාගත් සේවකයන් හරහා කථා කරන බවට ප්‍රකාශ කිරීමෙනි (බලන්න 4-6, 23-24, 38 පද). මෙම එළිදරව්ව තුළින් ඔබ ඉගෙන ගන්නා දේ ලියන්න:

  • ස්වාමින්වහන්සේ සහ උන්වහන්සේගේ හඬ.

  • අපේ කාලය සඳහා අනාගතවක්තෘවරුන් අවශ්‍ය වන්නේ ඇයි?

ඔබ සොයා ගත් දේවල ප්‍රතිඵලයක් ලෙස ඔබට පැහැදීමක් දැනෙන්නේ කුමක් කිරීමටද?

ස්වාමින්වහන්සේගේ හඬ උන්වහන්සේගේ සේවකයන්ගේ හඬ තුළින් ඔබ අසා ඇත්තේ කොයි ආකාරයටද? (බලන්න 38 වෙනි පදය).

ජීවමාන අනාගතවක්තෘවරුන් ගැන නොදන්නා මිතුරෙකු ඔබ සමග 1 වෙනි කොටස කියවමින් සිටින බව ඔබට මවා ගත හැකිය. ඔබේ මිතුරාට තිබිය හැකි ප්‍රශ්න මොනවා ද? අපේ කාලයේ අනාගතවක්තෘවරුන් සිටීම ගැන ඔබට හැඟෙන ආකාරය ඔබේ මිතුරාට තේරුම් කිරීම සඳහා, ඔබට ඔහු හෝ ඇය සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය විය හැකි පද මොනවාද?

ජෝසෆ් ස්මිත්ගේ එළිදරව් කිරීම් ප්‍රකාශයට පත් කිරීම ගැන කතා කිරීමට 1831 දී වැඩිහිටියන්ගේ මන්ත්‍රණ සභාවක් රැස් වූ විට, සමහර අය එම අදහසට විරුද්ධ වූ බව දැන ගැනීමට ඔබ උනන්දු විය හැක. ජෝසෆ්ගේ ලිඛිත දුර්වලතාවය නිසා ඔවුන් ලැජ්ජාවට පත් වූ අතර, එළිදරව් කිරීම් ප්‍රකාශයට පත්කිරීමෙන් ශුද්ධවන්තයින්ට තවත් ගැටලු ඇති වේවි යැයි ඔවුන් කනස්සල්ලට පත් විය (බලන්න Saints, 1:140-43). ඔබ මෙම මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු වූවා නම් ඔබ මෙම ගැටලුවලට විසඳුම් ලබා දෙන්නේ කෙසේ ද? ඔබට උපකාර විය හැකි 1 වෙනි කොටසෙහි ඇතුළත් දේවල් මොනවා ද? (උදාහරණයක් ලෙස බලන්න, 6, 24, 38 පද).

සභාවේ සාමාජිකයන් ප්‍රධාන සම්මන්ත්‍රණයේදී නායකයින්ව අනුමත කරමින්

ස්වාමින්වහන්සේ අපට උන්වහන්සේගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කතා කරයි.

දහම සහ ගිවිසුම් 1:12–30, 34–36

නැවත පිහිටුවීම මට පසුදවස්වල අභියෝගවලට මුහුණ දීමට උපකාර කරයි.

දහම සහ ගිවිසුම් 1 වෙනි කොටසෙහි, ස්වාමින්වහන්සේ තම ශුභාරංචිය නැවත පිහිටුවීම කළේ මන්දැයි පැහැදිලි කරයි. ඔබ 12-23 පද කියවන විට ඔබට හේතු කීයක් ලැයිස්තුගත කළ හැකි දැ‍යි බලන්න. ඔබේ අත්දැකීම අනුව, නැවත පිහිටුවීම සඳහා ස්වාමින්වහන්සේගේ අරමුණු ඉටු වී ඇත්තේ කෙසේ ද?

අපගේ කාලයේ ඉතා බැරෑරුම් අභියෝග ඇති බව ස්වාමින්වහන්සේ දැන සිටියා (බලන්න 17 වෙනි පදය). 17-30, 34-36 පද කියවීමෙන් ඔබ සොයාගන්නා ඔබට මෙම අභියෝග මධ්‍යයේ සාමයක් සහ ආත්ම විශ්වාසයක් දැනීමට උපකාරී වන දේවල් මොනවාද?

තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “අනාගතය ඇදහිල්ලෙන් යුතුව විඳින්න,” ලියහෝනා, නොවැ. 2020, 73–76.

දහම සහ ගිවිසුම 1:19–28

ස්වාමින්වහන්සේ තම කාර්යය ඉටු කිරීම සඳහා “දුර්වල සහ සරල අයවළුන්” භාවිතා කරයි.

ඔබ දහම සහ ගිවිසුම් 1:19–28 කියවන විට, ස්වාමින්වහන්සේගේ සේවකයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි ඔබට සිතා බැලිය හැකිය. ස්වාමින්වහන්සේගේ සේවකයින්ට තිබෙනවාට උන්වහන්සේ කැමති ගුණාංග මොනවාද? ස්වාමින්වහන්සේ තම සේවකයන් තුළින් ඉටු කරන්නේ මොනවාද? මෙම පදවල ඇති අනාවැකි ලොව පුරා සහ ඔබේ ජීවිතය තුළ ඉටු වෙමින් ඇත්තේ කෙසේ ද?

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සොයන්න. ශුද්ධලියවිලිවල අරමුණ වන්නේ ගැලවුම්කරුවාණන් ගැන සහ උන්වහන්සේගේ ශුභාරංචිය ගැන සාක්ෂි දැරීමයි. ඔබ දහම සහ ගිවිසුම් 1 කියවන විට, ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන යමක් උගන්වන පද සලකුණු කිරීම හෝ සටහන් කිරීම ගැන සලකා බලන්න.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 02

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 1:4, 37–39

ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් උන්වහන්සේ මට ආත්මික අනතුරු ගැන අනතුරු අඟවයි.

  • ස්වාමින්වහන්සේගෙන් ලැබෙන අනතුරු ඇඟවීම් පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කිරීම සඳහා, අපට නොපෙනෙන අන්තරායන් ගැන වෙනත් පුද්ගලයින්ගෙන් අපට ලැබෙන අනතුරු ඇඟවීම් ගැන ඔබට කතා කළ හැකිය. සමහර උදාහරණවලට ලිස්සන පොළවක්, ළඟ එන කුණාටුවක් හෝ ළඟ එන මෝටර් රථයක් ඇතුළත් විය හැකිය. සමහර විට ඔබට සහ ඔබේ දරුවන්ට අනතුරු ඇඟවීමේ සංඥා පිළිබඳ උදාහරණ දෙස බලා මෙම අනතුරු ඇඟවීම් ස්වාමින්වහන්සේ අපට දෙන අනතුරු ඇඟවීම් සමග සංසන්දනය කළ හැකිය. දහම සහ ගිවිසුම් 1:4, 37-39 පදවලට අනුව, ස්වාමින්වහන්සේ අපට අනතුරු අඟවන්නේ කෙසේ ද? උන්වහන්සේ මෑතක දී අපට අනතුරු අඟවා ඇත්තේ මොනවා ගැනද? සමහර විට ඔබට මෑත කාලීන ප්රධාන සම්මන්ත්‍රණ පණිවිඩවල කොටස් නැරඹීමට හෝ කියවීමට සහ දෙවියන්වහන්සේගේ “අනතුරු ඇඟවීමේ හඬ” පිළිබඳ උදාහරණ සෙවීමට හැකිය.

  • අනාගතවක්තෘවරයා දෙවියන්වහන්සේගේ වචනය කථා කරන බවට ඔබේ සාක්ෂිය බෙදා ගන්න.

දහම සහ ගිවිසුම 1:17

නැවත පිහිටුවීම මට අවසාන දිනවල අභියෝගවලට මුහුණ දීමට උපකාර කරයි.

  • දහම සහ ගිවිසුම් 1:17 ගැන සාකච්ඡා කිරීම දිරිගැන්වීම සඳහා, ඔබට සහ ඔබේ දරුවන්ට ඔබ සංචාරයක් සඳහා සූදානම් වන බව මනසින් මවාගන්නට පුළුවන්. ඔබ ඇසුරුම් කරගන්නේ මොනවාද? වහින බව හෝ ඔබේ මෝටර් රථයේ හෝ බස් රථයේ ටයරයක හුළං අඩු වන බව ඔබ කලින් දැන සිටියා නම්, එය ඔබ ගමනට සූදානම් වන ආකාරය කෙරෙහි බලපාන්නේ කෙසේද? 17 වෙනි පදය කියවා, අපට සිදු වනවා යැයි ස්වාමින්වහන්සේ දැන සිටි දේ ගැන කතා කරන්න. උන්වහන්සේ ඒ සඳහා සූදානම් වූයේ කෙසේ ද? (අවශ්‍ය නම්, “විපතක්” යනු ව්‍යසනයක් හෝ භයානක දෙයක් බව පැහැදිලි කරන්න.) අපගේ කාලයේ අභියෝග සමග කටයුතු කිරීමට දෙවියන්වහන්සේගේ ආඥා අපට උපකාර කරන්නේ කෙසේ ද?

දහම සහ ගිවිසුම් 1:17, 29

ස්වාමින්වහන්සේ ජෝසෆ් ස්මිත්ව අනාගතවක්තෘවරයෙකු ලෙස ‍කැඳවූ සේක.

  • ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචිය නැවත පිහිටුවීමේදී ජෝසෆ් ස්මිත්ගේ කාර්යභාරය ගැන දැනගැනීමට, ඔබට සහ ඔබේ දරුවන්ට ගැලවුම්කරුවාණන්ගේ පින්තූරයක් සහ ජෝසෆ් ස්මිත්ගේ පින්තූරයක් දෙස බලා (මෙම දළ සටහනේ ඇති පින්තූර බලන්න) ජෝසෆ් ස්මිත් හරහා ගැලවුම්කරුවාණන් අපට ලබාදුන් දේ ගැන කතා කළ හැකිය. ඔබේ දරුවන්ට දහම සහ ගිවිසුම් 1:17, 29 හි ඒ සඳහා උදාහරණ සෙවිය හැකිය. දෙවියන්වහන්සේ “මාගේ සේවක ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ, අමතා ස්වර්ගයේ සිට ඔහුට කතා කළ” බව ඔබ දන්නේ කෙසේ දැයි ඔබේ දරුවන්ට කියන්න (17 වෙනි පදය).

ජෝසෆ් ස්මිත් කණිෂ්ඨගේ පින්තූරය

© 1998 ඩේවිඩ් ලින්ඩ්ස්ලි

දහම සහ ගිවිසුම් 1:30

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව, ස්වාමින්වහන්සේගේ “සත්‍ය සහ ජීවමාන සභාව” වේ.

  • සභාව “සත්‍ය සහ ජීවමාන” යැයි පැවසීමෙන් අදහස් කරන්නේ කුමක් ද? ඔබේ දරුවන්ට මෙම ප්‍රශ්නය ගැන සිතීමට—සජීවී ශාකයක් සහ මිය ගිය ශාකයක් වැනි—සජීවී සහ අජීවී දේවල් පෙන්විය හැකියි. යමක් ජීවමාන බව අප දන්නේ කෙසේ ද? එවිට ඔබට දහම සහ ගිවිසුම් 1:30 කියවා සභාව “සත්‍ය සහ ජීවමාන”යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ගැන කතා කළ හැකිය.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පින්තූරය

සයිමන් ඩිවි විසින්, Beside Still Waters [ස්ටිල් වෝටර්ස් අසල]

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව