පුස්තකාලය
ජුනි 21–27. මතෙව් 28; මාර්ක් 16; ලූක් 24; යොහාන් 20–21: ‘උන්වහන්සේ උත්ථාන වී ඇත’


“ජුනි 21–27. මතෙව් 28; මාර්ක් 16; ලූක් 24; යොහාන් 20–21: ‘උන්වහන්සේ උත්ථාන වී ඇත’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“ජුනි 21–27. මතෙව් 28; මාර්ක් 16; ලූක් 24; යොහාන් 20–21,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021

යේසුස්වහන්සේ පේත්‍රැස්ට කථාකරමින්

කැමිල් කොරී විසින්, මගේ බැටළුවන් පෝෂණය කරන්න

ජුනි 21–27

මතෙව් 28; මාර්ක් 16; ලූක් 24; යොහාන් 20–21

“උන්වහන්සේ උත්ථාන වී ඇත”

ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම නිසා ඔබට ඇති ප්‍රීතිය ගැන සිතමින් යාච්ඤාපූර්වකව මතෙව් 28; මාර්ක් 16; ලූක් 24; සහ යොහාන් 20–21 කියවන්න. මෙම සිදුවීම පිළිබඳ ඔබේ සාක්ෂිය අන් අය සමග බෙදාගන්නේ කෙසේදැයි සිතා බලන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

බොහෝ නිරීක්ෂකයින්ට, නාසරෙත්හි යේසුස්වහන්සේගේ මරණය විශිෂ්ට ජීවිතයකට උත්ප්‍රාසාත්මක අවසානයක් සේ පෙනෙන්නට ඇත. ලාසරස්ව මළවුන්ගෙන් නැවත නැගිටවූ මිනිසා ඔහු නොවේද? වරින් වර පරිසිවරුන්ගේ මිනීමරු තර්ජනයන්ට උන්වහන්සේ ඔරොත්තු දුන්නේ නැද්ද? අන්ධභාවය, ලාදුරු රෝගය සහ අංශභාගය සුවකිරීමට උන්වහන්සේ බලය ප්‍රදර්ශනය කර තිබුණි. සුළං හා මුහුද උන්වහන්සේට කීකරු විය. එහෙත් තවත්, උන්වහන්සේ කුරුසියේ එල්ලී, “එය තීන්දුවුණේය” (යොහාන් 19:30) ලෙස ප්‍රකාශ කළේය. සමච්චල් කරන වචනවල අවංක පුදුමයක් ඇති වන්නට ඇත, “ඔහු අනෙක් අයව බේරාගත්තේය; ඔහුට ගැලවීමට නොහැකිය” (මතෙව් 27:42). නමුත් යේසුස්වහන්සේගේ මරණය කතාවේ අවසානය නොවන බව අපි දනිමු. සොහොන් ගෙයෙහි නිහඬබව තාවකාලික බවත් ක්‍රිස්තුස්වහන්සේගේ ගැලවීමේ කාර්යය ආරම්භ වූ බවත් අපි දනිමු. උන්වහන්සේව අද “මළවුන් අතර” නොව ජීවත්ව සිටින අය අතර දක්නට ලැබේ (ලූක් 24:5). උන්වහන්සේගේ ඉගැන්වීම් නිහඬ නොවනු ඇත, උන්වහන්සේ “ලෝකයේ අවසානය දක්වාම [ඔවුන්] සමග සැමවිටම සිටින” බවට දුන් පොරොන්දුව විශ්වාස කරමින් (මතෙව් 28:19–20) මක්නිසාද උන්වහන්සේගේ විශ්වාසවන්ත ගෝලයන් “සියලු ජාතීන් තුළ” ශුභාරංචිය දේශනා කරනු ඇත.

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 28; මාර්ක් 16; ලූක් 24; යොහාන් 20

යේසුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටි නිසා, මාද මරණයෙන් නැවත නැගිටුවනු ඇත.

මෙම ඡේදවල, මානව වර්ගයාගේ ඉතිහාසයේ වැදගත්ම සිදුවීමක් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම ගැන ඔබ කියවනු ඇත. ඔබ කියවන විට, නැවත නැගිටීම අවට සිදුවීම් දුටු මිනිසුන් වෙනුවට ඔබව එතැන තබන්න. මෙම සාක්ෂිකරුවන්ට කෙසේ හැඟෙන්නට ඇත්ද? ඔබ ගැලවුම්කරුවාණන්ගේ නැවත නැගිටීම ගැන කියවන විට ඔබට හැඟෙන්නේ කෙසේද? එය ඔබට ජීවිතය පිළිබඳ ඔබේ දැක්මට, අන් අය සමග ඔබේ සබඳතා වලට, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට සහ අනෙකුත් ශුභාරංචි සත්‍යයන් කෙරෙහි ඇති ඔබේ විශ්වාසයට—බලපා ඇති ආකාරය සලකා බලන්න.

තවත් බලන්න Bible Dictionary, “Resurrection”; “Resurrection,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.

ලූක් 24:13–35

“අප සමග රැඳී සිටින්න” කියා ගැලවුම්කරුවාණන්ට අපට ආරාධනා කළ හැකියි.

නැවත නැගිටි ගැලවුම්කරුවාණන් මුණගැසුණු සංචාරක ගෝලයන් දෙදෙනාගේ අත්දැකීම් ඔබගේ අනුගාමික මාවතට සමාන්තර විය හැකිය. මෙම වාර්තාව සහ ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු ලෙස ඔබගේ අත්දැකීම් අතර ඔබ දකින සම්බන්ධතා මොනවාද? අද ඔබ උන්වහන්සේ සමග ගමන්කර තව ටික වේලාවක් “රැඳී සිටීමට” උන්වහන්සේට ආරාධනා කරන්නේ කෙසේද? (ලූක් 24:29). ඔබගේ ජීවිතයේ උන්වහන්සේගේ පැමිණීම ඔබ හඳුනාගන්නේ කෙසේද? ශුද්ධාත්මයාණන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය පිළිබඳව ඔබට සාක්ෂි දී ඇත්තේ කිනම් ආකාර වලින්ද?

ලූක් 24:36–43; යොහාන් 20

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ශරීරයක් තිබේද?

නැවත නැගිටි ස්වාමින්වහන්සේ මරියා මග්දලේනාට පෙනීසිටීම හා පසුව උන්වහන්සේගේ ගෝලයන් සමග කළ අන්තර්ක්‍රියා තුළින්, යේසුස්වහන්සේගේ නැවත නැගිටීම වචනානුසාරයෙන් හා භෞතිකව සිදුවූ බව අපට දැනගත හැකිය. උන්වහන්සේගේ නැවත නැගිටි, මහිමාන්විත ශරීරය සමග, උන්වහන්සේ තම අනුගාමිකයන් සමග ඇවිදිමින්, කථාකරමින්, අනුභව කළ සේක. යේසුස් ක්‍රිස්තුස්වහන්සේට මාංශ හා අස්ථි සහිත ශරීරයක් ඇති බව වෙනත් ශුද්ධලියවිලි වලද සාක්ෂි දරයි: පිලිප්පි 3:20–21; 3 නෙපි 11:13–15; දහම සහ ගිවිසුම 110:2–3; 130:1, 22.

යොහාන් 20:19–29

“දැක නැති නමුත්, විශ්වාස කළ අය භාග්‍යවන්තයෝය.”

භෞතික සාක්ෂි දැකීමෙන් තොරව යමක් සත්‍ය යැයි විශ්වාස කිරීම දුෂ්කර විය හැකිය. “බැලුවොත් මිස, නැත්නම් විශ්වාස නොකරමියි” (යොහාන් 20:25) පැවසූ තෝමස් මෙන් ඔබට සමහරවිට හැඟෙන්නට පුළුවන. ඊට ප්‍රතිචාර වශයෙන්, ගැළවුම්කරුවාණන් තෝමස්ට මෙසේ පැවසුවේය, “නුදුටු නුමුත් විශ්වාසකළාවූ අය ආශිර්වාදලද්දෝය” (යොහාන් 20:29). ඔබට නොපෙනෙන අධ්‍යාත්මික දේ විශ්වාස කිරීම නිසා ඔබ ආශිර්වාද ලබාඇත්තේ කෙසේද? ඔබට ගැලවුම්කරුවාණන්ව නොපෙනෙන විට පවා උන්වහන්සේ කෙරෙහි විශ්වාසයක් තබාගැනීමට උපකාරවත් වන්නේ මොනවාද? භෞතික සාක්ෂි නොමැතිව වුවද ඔබ විශ්වාස කරන වෙනත් සත්‍යයන් මොනවාද? ඔබ “නොපෙනෙන නමුත්, සත්‍යය වන දේ” කෙරෙහි ඔබේ ඇදහිල්ල තවදුරටත් ශක්තිමත් කරන්නේ කෙසේද?? (ඇල්මා 32:21; තවත් බලන්න ඊතර් 12:6). යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීමට ඔබට උපකාරවත් වූ අත්දැකීම් දිනපොතක පටිගත කිරීම සලකා බලන්න, නැතහොත් ඒවා ඔබ දන්නා කෙනෙකු සමග බෙදාගන්න.

යොහාන් 21:1–17

ගැලවුම්කරුවාණන් තම බැටළුවන් පෝෂණය කිරීමට මට ආරාධනා කරයි.

ගැලවුම්කරුවාණන් යොහාන් 21 හි තම ප්‍රේරිතයන් සමග කළ අන්තර් ක්‍රියාකාරිත්වය, ලූක් 5:1–11 හි වාර්තා කර ඇති උන්වහන්සේ ඔවුන්ගේ දැල් දමන්නට පළමුව කළ ආඥාව හා සමග සන්සන්දනය කිරීම සිත්ගන්නාසුළු විය හැකිය. ඔබ සොයාගන්නා සමානකම් හා වෙනස්කම් මොනවාද? අනුගාමිකත්වය පිළිබඳව ඔබ සොයාගන්නා අවබෝධයන් මොනවාද?

ගැලවුම්කරුවාණන් යොහාන් 21:15–17 හි පේත්‍රැස්ට පැවසූ වචන ඔබට අදාළවන්නේ කෙසේදැයි සලකා බලන්න. ස්වාමින්වහන්සේගේ බැටළුවන්ට දේවසේවය කිරීමෙන් ඔබව වළක්වන කිසියම් යමක් තිබේද? “ඔබ මට ප්‍රේම කරන්නේද” කියා ස්වාමින්වහන්සේ ඔබෙන් ඇසුවොත් ඔබේ ප්‍රතිචාරය කුමක් වේද? ස්වාමින්වහන්සේ කෙරෙහි ඔබේ ප්‍රේමය පෙන්විය හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න.

තවත් බලන්න Jeffrey R. Holland, “The First Great Commandment,” Ensign or Liahona, Nov. 2012, 83–85.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුභාරංචිය කියවා අවසන් කළ විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

මතෙව් 28:6

“උන්වහන්සේ මෙහි නැත, උන්වහන්සේ මරණයෙන් නැවත නැගිට ඇත” යන වචන මෙතෙක් කථා කර ඇති වඩාත්ම බලාපොරොත්තු සහගත හා වැදගත් වචන සමහරක් වන්නේ ඇයි?

මතෙව් 28; මාර්ක් 16; ලූක් 24; යොහාන් 20–21

ඔබේ පවුලේ අය මෙම පරිච්ඡේද කියවන විට, සෑම කථාවකම යේසුස්වහන්සේ සමග කටයුතු කළ අය කෙරෙහි අවධානය යොමුකරන්න. උදාහරණයක් ලෙස, එක් අවස්ථාවකදී ඔබට ගැලවුම්කරුවාණන්ගේ සොහොන බැලීමට ගිය අය කෙරෙහි අවධානය යොමුකළ හැකිය. තවත් අවස්ථාවක, ඔබට එමාඕස් වෙත යන මාර්ගයේ ප්‍රේරිතවරුන්ගේ හෝ ගෝලයන්ගේ ක්‍රියා හොඳින් අධ්‍යයනය කළ හැකිය.

ක්‍රිස්තුස්වහන්සේ ගෝලයන් දෙදෙනෙකු සමග

ජොන් මැක්නෝග්ටන් විසින්, එමාඕස් කරා යන මාර්ගය

මතෙව් 28:16–20; මාර්ක් 16:14–20; ලූක් 24:44–53

පවුලක් වශයෙන්, ක්‍රිස්තුස්වහන්සේ තම ප්‍රේරිතයන්ගෙන් ඉල්ලා සිටි කාර්යය ගැන සාකච්ඡා කරන්න. මෙම කාර්යය ඉටුකිරීමට අපට උදව් කළ හැක්කේ කෙසේද? උන්වහන්සේගේ අරමුණු ඉෂ්ට කිරීමට ඔබට උදව් වීමට “ස්වාමින්වහන්සේ [ඔබ සමග] වැඩ කරයි” කියා ඔබට හැඟුණු කාලයක් බෙදාගැනීමට ඔබට හැකිද? (මාර්ක් 16:20).

යොහාන් 21:15–17

එකට ආහාර ගැනීමේදී මෙම පද කියවීම සලකා බලන්න. ගැලවුම්කරුවාණන්ගේ “මගේ බැටළුවන් පෝෂණය කරන්න” යන වචන වලට මෙය යම් අර්ථයක් එක් කළ හැකිය. අලුත් ගිවිසුමේ බැටළුවන් ගැන යේසුස්වහන්සේ ඉගැන්වූ දේ පදනම් කරගෙන (උදාහරණයක් ලෙස මතෙව් 9:35–36; 10:5–6; 25:31–46; ලූක් 15 4–7; යොහාන් 10:1–16 බලන්න), බැටළුවන් පෝෂණය කිරීම දෙවියන්වහන්සේගේ දරුවන් පෝෂණය කිරීම හා රැකබලාගැනීම සඳහා හොඳ රූපකයක් වන්නේ ඇයි? ස්වර්ගික පියාණන්වහන්සේට සහ යේසුස්වහන්සේට අප ගැන හැඟෙන ආකාරය ගැන මෙම රූපකය උගන්වන්නේ කුමක්ද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ආත්මයාණන්ට ආරාධනා කිරීමට සහ දහම ඉගෙනගැනීමට සංගීතය භාවිතා කරන්න. “He Is Risen!” or “Christ the Lord Is Risen Today,” Hymns, nos. 199, 200, මෙවැනි ගීතිකා වලට සවන්දීමෙන් හෝ ගායනා කිරීමෙන්, ආත්මයාණන්ට ආරාධනා කර ගැලවුම්කරුවාණන්ගේ මරණයෙන් නැවත නැගිටීම ගැන ඉගෙනගැනීමට ඔබට උදව් කළ හැකිය.

උද්‍යාන සොහොන් ගෙය අසල යේසුස්වහන්සේ

වෝල්ටර් රනේ විසින්, මරණයෙන් නැවත නැගිටි යේසුස්වහන්සේ