“දෙසැම්බර් 14–20. මොරෝනි 10: ‘ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ, උන්වහන්සේ තුළ පරිපූර්ණ වන්න,”’ එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“දෙසැම්බර් 14–20. මොරෝනි 10,” එන්න, මා අනුගමනය කරන්න–පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
ගැරී එල්. කැප් විසින්, ඔබ දැනගන්නා පිණිසය
දෙසැම්බර් 14–20
මොරෝනි 10
“ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ, උන්වහන්සේ තුළ පරිපූර්ණ වන්න”
ඔබ මොර්මොන්ගේ පොත කියවා අවසන් කරන විට, එය සත්‍යයක් බවට ශුද්ධාත්මයාණන්ගෙන් නව සාක්ෂියක් සෙවීම ගැන සලකා බලන්න. ඔබ එසේ කරන විට, ඔබට ලැබෙන හැඟීම් සටහන් කරන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
මොර්මොන්ගේ පොත ආරම්භ වන්නේ “ඔවුන්ගේ ඇදහිල්ල කරුණු කොටගෙන, ස්වාමින්වහන්සේ විසින් තෝරාගත් සෑම අය මත උන්වහන්සේගේ මෘදු කරුණාව ඇත” යන නෙපිගේ පොරොන්දුව සමගිනි (1 නෙපි 1:20). මොරෝනි විසින් වාර්තා මුද්‍රා තැබීමට සූදානම් වන විට ඔහුගෙන් ඒ හා සමානම පණිවිඩයක් සමග පොත අවසන් වේ: ඔහු අපට මෙසේ ආරාධනා කළේය “ස්වාමින්වහන්සේ කෙතරම් දයානුකම්පිත වී ඇත්දැයි මතක තබාගන්න” (මොරෝනි 10:2–3). මොර්මොන්ගේ පොතෙහි සටහන් වී ඇති බොහෝ දයාවන් ගැන පමණක් අප සිතුවත්, මෙය අපට සිතාබැලීමට බොහෝ දේ ලබාදෙයි. ඔබේ මතකයට එන උදාහරණ මොනවාද? දෙවියන්වහන්සේ ලෙහිගේ පවුල පාළුකරය හරහා සහ මහා ජලය හරහා ගෙන ගිය දයානුකම්පිත ආකාරය, සමාව ඉල්ලා ඔහුගේ ආත්මය කුසගින්නේ සිටියදී උන්වහන්සේ ඊනොස්ට දැක්වූ මුදු මොළොක් දයාව, සභාවේ කටුක සතුරෙකු වූ පසුව එහි නිර්භීත ආරක්ෂකයින්ගෙන් කෙනෙක් බවට පත්වූ ඇල්මාට උන්වහන්සේ දැක්වූ දයාව පිළිබඳ ඔබට මෙනෙහි කළ හැකිය. නැතහොත් මරණයෙන් නැවත නැගිටුනු ලැබූ ගැළවුම්කරුවාණන්, ඔවුන්ගේ අසනීප සුව කර ඔවුන්ගේ කුඩා දරුවන්ට ආශිර්වාද කළ විට මිනිසුන්ට උන්වහන්සේ දැක්වූ දයාව දෙසට ඔබේ සිතුවිලි හැරෙනු ඇත. සමහරවිට වඩාත්ම වැදගත් දෙය නම්, මේ සියල්ලෙන් ඔබට “ස්වාමින්වහන්සේ කෙතරම් දයානුකම්පිත වී ඇත්ද” යන්න මතක් කර දිය හැකිය, මොර්මොන්ගේ පොතේ එක් ප්‍රධාන අරමුණක් නම් දෙවියන්වහන්සේගේ දයාව ලබාගැනීමට අප සෑම කෙනෙකුටම ආරාධනා කිරීමයි—මෙය මොරෝනිගේ සමුගැනීමේ වචන වල ඉදිරිපත් කෙරෙන ආරාධනයකි, “ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ තුළ පරිපූර්ණ වන්න” (මොරෝනි 10:32).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් මට සත්‍යය දැනගත හැකිය.
මොරෝනි 10:3–7 හි පොරොන්දුව ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත වෙනස් කර ඇත. එය ඔබගේ ජීවිතය වෙනස්කර ඇත්තේ කෙසේද? ඔබ මොර්මොන්ගේ පොත පිළිබඳ ඔබේ සාක්ෂිය ලබාගැනීමට උත්සහ කළත්, ශක්තිමත් කිරීමට උත්සාහ කළත්, මොරෝනිගේ ආරාධනය ඔබට අදාළ වේ. ඔබ මොරෝනි 10:3–7 කියවන විට, ඔබ අතීතයේදී කිවෙව්වාට වඩා සැලකිල්ලෙන් කියවීම ගැන සැලකිලිමත් වන්න. ඔබට එක් එක් වාක්‍ය ඛණ්ඩය පරීක්ෂා කර බලා, මෙවැනි ප්‍රශ්න ඔබෙන්ම අසාගත හැකිය: මෙයින් අදහස් කරන්නේ කුමක්ද? මා එය වඩා හොඳින් කරන්නේ කෙසේද? මේ පිළිබඳව මා ලැබූ අත්දැකීම් මොනවාද? ශුද්ධාත්මයාණන්වහන්සේ මොර්මොන්ගේ පොතේ සත්‍යතාව මට ප්‍රකාශ කළේ කෙසේද?
මොර්මොන්ගේ පොත පිළිබඳ ඔබේ සාක්ෂිය ඇසීමට අවශ්‍ය කෙනෙකු ගැනද සිතන්න. ඔහුගේ හෝ ඇයගේ සාක්ෂිය සෙවීමට ඔබ එම පුද්ගලයාට උදව් කරන්නේ කෙසේද?
“දෙවියන්වහන්සේගේ දීමනා ප්‍රතික්ෂේප නොකරල්ලා.”
පුද්ගලයෙකුට “දෙවියන්වහන්සේගේ දීමනා ප්‍රතික්ෂේප කිරීමට” බොහෝ ක්‍රම තිබේ (මොරෝනි 10:8). මෙම දීමනා පවතින බව පවා සමහරු ප්‍රතික්ෂේප කරති. තවත් සමහරු තමන්ට ආත්මික දීමනා ඇති බව ප්‍රතික්ෂේප කළත් වෙනත් අය තුළ ඒවා හඳුනාගනිති. තවත් සමහරු ඔවුන්ගේ තෑගි ප්‍රතික්ෂේප කරන්නේ හුදෙක් ඒවා නොසලකා හැරීමෙන් හෝ ඒවා සංවර්ධනය කිරීමට අපොහොසත් වීමෙන්ය.
ඔබ මොරෝනි 10:8–25 කියවන විට, ඔබේ අධ්‍යාත්මික දීමනා සොයාගැනීමට සහ ඔබටත් අන් අයටත් ආශිර්වාද කිරීමට වැඩි බලයකින් ඒවා භාවිතා කිරීමට උපකාර වන සත්‍යයන් සොයා බලන්න. දෙවියන්වහන්සේ ඔබට දී ඇති දීමනා ගැන හෝ ඔබ කුමන දීමනා සඳහා සොයනවාට උන්වහන්සේ කැමතිදැයි සොයා බලන්න. “සෑම යහපත් දීමනාවක්ම ක්‍රිස්තුස්වහන්සේගෙන් පැමිණෙන බව මතක තබාගැනීම” වැදගත් වන්නේ ඇයි?? (මොරෝනි 10:18).
වැඩිහිටි ජෝන් සී. පිංග්‍රි කනිෂ්ඨගේ මෙම උපදෙස් ද සලකා බලන්න: ඉතින් අපි අපේ දීමනා දැනගන්නේ කෙසේද? අපට අපගේ පීතෘමූලික ආශිර්වාදය දෙස හැරීමට හැකිය, අපව හොඳින් දන්නා අයගෙන් විමසන්නට, සහ අප ස්වභාවයෙන්ම හොඳ යැයි සිතන දේ සහ භුක්තිවිඳින දේවල් හඳුනාගත හැකිය. වැදගත්ම දෙය නම් අපට දෙවියන්වහන්සේගෙන් ඉල්ලිය හැකිය (බලන්න යොහාන් 1:5; දහම සහ ගිවිසුම 112:10). අපේ දීමනා උන්වහන්සේ අපට දී ඇති බැවින්, උන්වහන්සේ අපගේ දීමනා දනී” (“මට නුඹ වෙනුවෙන් කාර්යයක් තිබේ,” එන්සයින් හෝ ලියහෝනා, නොවැ. 2017, 33).
බලන්න Guide to the Scriptures, “Gifts of the Spirit,” scriptures.ChurchofJesusChrist.org.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙන් මට පරිපූර්ණ විය හැකිය.
“ක්‍රිස්තුස්වහන්සේ වෙතට එන්න” යන මොරෝනිගේ අවවාදයට ඇතුලත් වන්නේ මේ දේවල් හා සමානවම වැදගත් වුවද, උන්වහන්සේ ගැන ඉගෙනගැනීම හෝ උන්වහන්සේ ගැන නිතර නිතර සිතීම හෝ උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට දැඩි උත්සාහයක් දැරීමටත් වඩා වැඩි දෙයකි. ඒ වෙනුවට, මෙය හැකි උපරිම අර්ථයෙන් උන්වහන්සේ මෙන් වීමට—ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට ආරාධනයකි. ඔබ මොරෝනි 10:30–33 කියවන විට, “සෑම යහපත් දීමනාවක්ම අල්ලාගෙන සිටින්න”, “සියලු අභක්තිකමක්ම ගැන ඔබම ප්‍රතික්ෂේප කරන්න” සහ “උන්වහන්සේ තුළ පරිපූර්ණ වන්න” (ඇල අකුරු එකතු කර ඇත) වැනි, සම්පූර්ණයෙන්ම ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම්ගැනීමට ඔබට උපකාර වන වාක්‍ය ඛණ්ඩ බලන්න.
මෙය කළ හැක්කේ කෙසේද? පිළිතුරු සඳහා මොරෝනි 10:30–33 බලන්න. “ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ, උන්වහන්සේ තුළ පරිපූර්ණ වන්න” යන්න වඩාත් හොඳින් කිරීමට ආත්මයාණන්වහන්සේ ඔබ කුමක් කළ යුතු යැයි කියන්නේද?
බලන්න ඔම්නි 1:26; Guide to the Scriptures, “Perfect,” scriptures.ChurchofJesusChrist.org.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
මොරෝනි 10
මොරෝනි අවවාද කිරීම යන වචනය භාවිතා කරන සෑම අවස්ථාවක්ම සොයමින් මෙම පරිච්ඡේදය එකට එක්ව කියවන්න. මොරෝනි අපට අවවාද කරන්නේ—හෝ ප්‍රබල ලෙස දිරිමත් කරන්නේ—කුමක් කිරීමට දැයි ලැයිස්තුගත කරන්න හෝ සලකුණු කරන්න. ඔහුගේ අවවාදය අනුගමනය කිරීමට අපට කළ හැක්කේ මොනවාද?
මොරෝනි 10:3
මේ වසරේ මොර්මොන්ගේ පොත කියවන විට ස්වාමින්වහන්සේගේ දයාව ගැන අප ඉගෙනගත්තේ මොනවාද? ස්වාමින්වහන්සේ අපගේ පවුලට දයානුකම්පිත වී ඇත්තේ කෙසේද?
මොරෝනි 10:3–5
මෙම පද කියවීමෙන් පසු, මොර්මොන්ගේ පොත සත්‍ය බව දැනගත් ආකාරය බෙදාගැනීමට පවුලේ සාමාජිකයන්ගෙන් ඔබට ඉල්ලා සිටිය හැකිය. “Search, Ponder, and Pray” වැනි සත්‍ය සෙවීම පිළිබඳ ගීතයක් එකට ගායනා කිරීම සලකා බලන්න (Children’s Songbook, 109). පවුලේ සාමාජිකයින්ගේ සාක්ෂි පවුලේ සඟරාවක සටහන් කරගැනීමට ඔබට ඔවුන්ට ආරාධනා කළ හැකිය.
මොරෝනි 10:8–18
නත්තල් යනු දීමනා ලැබීම ගැන සිතීමට ස්වාභාවික කාලයකි. මොරෝනි 10:9–16 හි සඳහන් “දෙවියන්වහන්සේගේ දීමනා” නියෝජනය කරන ත්‍යාග එකිනෙකා සඳහා පවුලේ සාමාජිකයින්ට ඔතා තිබිය හැකිය. මෙම ත්‍යාග මගින් ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන එකිනෙකාගෙන් දකින තවත් හොඳ දීමනාද නියෝජනය කළ හැකිය.
මොරෝනි 10:27–29, 34
“ශ්‍රේෂ්ඨ යෙහෝවාගේ ප්‍රසන්න විනිශ්චාසනය ඉදිරිපිට [ඔහුව] මුණගැසුණු විට පවුලේ සාමාජිකයන්ට මොරෝනිට පැවසීමට කැමති දේ බෙදාගත හැකිය.
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලන්න. මොර්මොන්ගේ පොතේ—සහ සියලුම ශුද්ධලියවිලි වල—අරමුණ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව සාක්ෂි දීමයි. මොරෝනි 10 හි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? උන්වහන්සේ වෙතට පැමිණීමට ඔබව පොලඹවන්නේ කුමක් යැයි ඔබට හැඟෙන්නේද?
ජොන් මැක්නෝග්ටන් විසින්, මොරෝනි රන් තහඩු වළලමින්