එන්න, මා අනුගමනය කරන්න
දෙසැම්බර් 7–13. මොරෝනි 7–9: “ක්‍රිස්තුස්වහන්සේ ඔබව ඔසවන ලද්දේවා”


“දෙසැම්බර් 7–13. මොරෝනි 7–9: “ක්‍රිස්තුස්වහන්සේ ඔබව ඔසවන ලද්දේවා,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“දෙසැම්බර් 7–13. මොරෝනි 7–9,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

මොරෝනි රන් තහඩු මත ලියමින්

මිනර්වා කේ. ටීචර්ට් (1888–1976), මොරෝනි: අවසාන නෙපිවරයා, 1949–1951, මේසොනයිට් මත තෙල්, අඟල් 34¾ x 47. බ්‍රිගම් යන්ග් විශ්වවිද්‍යාලයේ කලා කෞතුකාගාරය, 1969

දෙසැම්බර් 7–13

මොරෝනි 7–9

“ක්‍රිස්තුස්වහන්සේ ඔබව ඔසවන ලද්දේවා”

ඔබ මොරෝනි 7–9 අධ්‍යයනය කරන විට, ශුද්ධාත්මයාණන්ගේ ඉල්ලීම් වලට සවන්දී ඔබ කෙරෙහි ඇති උන්වහන්සේගේ පණිවිඩ සටහන් කරන්න. ඔබ දැනගත යුතු දේ සහ ඔබ කළ යුතු දේ යන දෙකම උන්වහන්සේට ඔබට ඉගැන්විය හැකිය.

ඔබේ හැඟීම් සටහන් කරන්න

මොරෝනි මොර්මොන්ගේ පොත ලෙස අද අප දන්නා වාර්තාව ඔහුගේම අවසන් වචන වලින් අවසන් කිරීමට පෙර, ඔහු තම පියා වන මොර්මොන්ගෙන් පණිවිඩ තුනක් බෙදාගත්තේය: ඒ “ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයන්ට” කළ ඇමතීමක් (මොරෝනි 7:3) සහ මොර්මොන් මොරෝනි වෙත ලියූ ලිපි දෙකකි. සමහරවිට මොරෝනි මොර්මොන්ගේ පොතට මෙම පණිවිඩ ඇතුළත් කර ඇත්තේ ඔහුගේ කාලයේ හා අපේ කාලයේ අන්තරායන් අතර සමානකම් කලින් දුටු නිසා විය හැකිය. මෙම වචන ලියන විට, සමස්තයක් ලෙස නෙපිවර ජනයා ඇදහිල්ල අත්හැර යෑමට ඇද වැටෙමින් සිටියහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්ගෙන් “එකිනෙකා කෙරෙහි වූ ප්‍රේමය නැතිවී” තිබූ අතර “යහපත් දේ හැර අන් සියල්ල ගැන” සතුටු වූහ (මොරෝනි 9:5, 19). එහෙත් බලාපොරොත්තුව යනු ලෝකයේ ගැටලු නොසලකා හැරීම හෝ අව්‍යාජ වීම නොවන බවත්; එහි තේරුම එම ගැටලු වලට වඩා බලවත් හා සදාකාලික බලය ඇති, ස්වර්ගික පියාණන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීම බවත් උගන්වමින්—මොර්මොන් තවමත් බලාපොරොත්තුවට හේතුවක් සොයාගත්තේය. එහි තේරුම “සියලු යහපත් දේ මත අල්ලාගැනීමයි” (මොරෝනි 7:19). එහි අර්ථය නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම “සහ උන්වහන්සේගේ මහිමය හා සදාකාල ජීවනය පිළිබඳ බලාපොරොත්තුව ඔබේ මනසෙහි රැඳෙන්නට” ඉඩහැරීමයි (මොරෝනි 9:25). ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීමේ මහිමාන්විත දිනය වන තුරු, එයින් අදහස් කරන්නේ “සියලු ධර්මිෂ්ඨකමේ සතුරා පරාජය කරන්නට අපගේ වෙහෙසවීම්” කිසිවිටකත් නතර නොවන බවයි (මොරෝනි 9:6).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මොරෝනි 7:12–20

යහපත හා නපුර අතර විනිශ්චය කිරීමට ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය මට උපකාර කරයි.

අද ලෝකය බලගතු පණිවිඩ වලින් පිරී ඇත; හරි කුමක්ද වැරැද්ද කුමක්දැයි අපට කිව හැක්කේ කෙසේද? මොරෝනි 7 හි මොර්මොන්ගේ වචන අපට “වැරදි ලෙස විනිශ්චය කිරීම” වළක්වා ගැනීමට භාවිතා කළ හැකි මූලධර්ම කිහිපයක් ලබාදෙයි (මොරෝනි 7:18). ඔබ මොරෝනි 7:12–20 අධ්‍යයනය කරන විට, ඔබව දෙවියන්වහන්සේට සමීප කරන්නේ මොනවාද සහ එසේ නොකරන්නේ මොනවාදැයි දැනගැනීමට ඔබට උපකාර කළ හැකි සත්‍යයන් සොයන්න. ඔබට හමුවන පණිවිඩ සහ මේ සතියේ ඔබගේ අත්දැකීම් ඇගයීමට ඔබට උදව් කිරීමට සහ යහපත් දේ කිරීමට පෙළඹවීමකට ඒවා ඔබට ආරාධනා කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට ඔබට මෙම සත්‍යයන් භාවිතා කළ හැකිය (බලන්න මොරෝනි 7:13).

තවත් බලන්න “Judging Others,” Gospel Topics, topics.ChurchofJesusChrist.org; Bible Dictionary, “Light of Christ.”

මොරෝනි 7:20–48

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන මට “සෑම යහපත් දෙයක්ම අල්ලාගෙන සිටිය හැකියි.”

යහපත හා අයහපත අතර වෙනස හඳුනාගන්නේ කෙසේද යන්න ඉගැන්වීමෙන් පසුව, මොර්මොන් අද අදාළ යැයි පෙනෙන ප්‍රශ්නයක් ඇසීය: විශේෂයෙන්ම සතුරාගේ පරීක්ෂාවන් එතරම් සිත් ඇදගන්නා සුළු වන විට—“තවද නුඹලාට සියලු යහපත් දේ අල්ලාගෙන සිටීමට හැකිවන්නේ කෙසේද?” (මොරෝනි 7:20). මොර්මොන්ගේ පිළිතුර 7 වන පරිච්ඡේදයේ ඉතිරි කොටස පුරා සොයාගත හැකිය. ඔබ 20–48 දක්වා පද කියවන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා ඔබට ඇති “සෑම යහපත් දෙයක්ම” හඳුනාගැනීමට උපකාර වන සත්‍යයන් සොයන්න. උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබීම යහපත් දේ සෙවීමට ඔබට උපකාර කරන්නේ කෙසේද? ඔබට වඩා හොඳ දේවල් “අල්ලාගෙන” සිටිය හැක්කේ කෙසේද?

තවත් බලන්න Articles of Faith 1:13.

මොරෝනි 7:44–48

“දයාව යනු ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමයයි”

සභාපති ඩාලින් එච්. ඕක්ස් මෙසේ නිරීක්ෂණය කළේය “දයාව කිසිවිටෙකත් අසාර්ථක නොවීමට හේතුව සහ ප්‍රේමය වඩා වැදගත් යහපත් ක්‍රියාවන්ට වඩා විශාල වීමට හේතුව නම්… එම දයාව , ‘එනම් ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමය’ (මොරෝනි 7:47), එය ක්‍රියාවක් නොව නමුත් තත්වයක් හෝ පැවැත්මකි. … ප්‍රේමය යනු කෙනෙකු පත්වන දෙයකි” (“The Challenge to Become,” Ensign, Nov. 2000, 34). ඔබ මොරෝනි 7:44–48 කියවන විට, ප්‍රේමය පිළිබඳ මොර්මොන්ගේ විස්තරය සලකා ශුද්ධාත්මයාණන්ගේ හැඟීම් වලට සවන්දෙන්න; ඔබට දියුණු විය හැකි මාර්ග සොයාගැනීමට උන්වහන්සේට උදව් කළ හැකිය. ප්‍රේමයේ ත්‍යාගය ලැබීමට අපට ඇදහිල්ල හා බලාපොරොත්තුව අවශ්‍ය වන්නේ ඇයි?

මොරෝනි 9:9

මගේ පිරිසිඳු බව හා ගුණවත්කම මගෙන් ඉවතට ගත හැකිද?

නෙපිවරුන්ගේ බිහිසුණු පව් පිළිබඳව මොර්මොන්ගේ විස්තරය සමහරු වැරදියට නිගමනය කර ඇත්තේ ලිංගික අතවර හෝ අපයෝජනයට ගොදුරු වූවන් පිරිසිඳු බවේ නීතිය උල්ලංඝනය කර ඇති බවයි. කෙසේවෙතත්, වැඩිහිටි රිචඩ් ජී. ස්කොට් පැහැදිලි කළේ මෙය එසේ නොවන බවයි. ඔහු මෙසේ ඉගැන්වූවේය, “වෙනත් කෙනෙකුගේ ප්‍රචණ්ඩත්වය, විකෘති කිරීම හෝ ව්‍යභිචාරය ඔබේ කැමැත්තට පටහැනිව, ඔබට දරුණු ලෙස රිදවන විට, ඒ සඳහා ඔබ වගකිව යුතු නැති අතර ඔබට වරදකාරි හැඟීමක් ඇති නොවිය යුතු බවට මම තරයේ සාක්ෂි දෙමි” (“Healing the Tragic Scars of Abuse,” Ensign, May 1992, 32).

මොරෝනි 9:25–26

මගේ තත්වයන් නොසලකා මට ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවක් තබාගත හැකිය.

තමා දුටු දුෂ්ඨකම විස්තර කිරීමෙන් පසු, මොර්මොන් තම පුතාට දුක් නොවන්නැයි කීවේය. මොර්මොන්ගේ බලාපොරොත්තුව පිළිබඳ පණිවිඩය ගැන ඔබව පුදුම කරවන්නේ කුමක්ද? ක්‍රිස්තුස්වහන්සේ “ඔබව ඔසවා තැබීම” යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? “ඔබේ මනසෙහි රැඳී” ඔබට බලාපොරොත්තුවක් ලබාදෙන, ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංග සහ උන්වහන්සේගේ ශුභාරංචියේ මූලධර්ම මොනවාද? (මොරෝනි 9:25).

තවත් බලන්න Dieter F. Uchtdorf, “The Hope of God’s Light,” Ensign or Liahona, May 2013, 70, 75–77.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.

මොරෝනි 7:5–11

මොරෝනි 7:5–11 ට අනුව, නිවැරදි හේතු සඳහා නිවැරදි දේ කිරීම වැදගත් වන්නේ ඇයි? “සැබෑ චේතනාවෙන්” අපි දෙවියන්වහන්සේගේ ආඥා වලට කීකරු වන්නේ දැයි සහ යාච්ඤා කරන්නේ දැයි දැනගන්නේ කෙසේද? (6 පදය).

මොරෝනි 7:12–19

අපි අපේ කාලය ගතකරන්නේ කෙසේද සහ අප එය වැය කරන්නේ කා සමගද යන්න පිළිබඳව හොඳ තේරීමක් කිරීමට මොර්මොන්ගේ උපදෙස් අපට උපකාර කරන්නේ කෙසේද? “යහපත කිරීමට, දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට හා උන්වහන්සේට සේවය කිරීමට” ආරාධනා කරන දේවල් ඔබේ නිවසේ සොයා ඒවා “තදින් අල්ලාගෙන සිටීමට” (මොරෝනි 7:19), ඔබට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කළ හැකිය (මොරෝනි 7:13). ඔවුන් සොයාගන්නා යහපත් දේ ගැන ඔවුන්ට ප්‍රශංසා කරන්න.

මොරෝනි 7:29

මෙම පදය කියවීමෙන් පසු, පවුලේ සාමාජිකයින්ට තමන් දුටු ප්‍රාතිහාර්යයන් ගැන හෝ ඔවුන්ගේ ජීවිත තුළ දෙවියන්වහන්සේගේ හස්තය දැක ඇති වෙනත් ක්‍රම ගැන කතා කළ හැකිය.

මොරෝනි 8:5–26

කුඩා දරුවන් බව්තීස්ම කළ නෙපිවරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම ගැන වරදවා වටහාගත්තේ කුමක්ද? වන්දිගෙවීම පිළිබඳව මොර්මොන්ගේ ඉගැන්වීම් වලින් අප ඉගෙනගන්නේ මොනවාද?

මොරෝනි 8:16–17

“පරිපූර්ණ ප්‍රේමය” තිබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? බිය දුරු කිරීමට එය අපට උපකාර කරන්නේ කෙසේද? නිර්භීතව සත්‍යය ඉගැන්වීමට එය අපට උපකාර කරන්නේ කෙසේද? අපි එය වර්ධනය කරන්නේ කෙසේද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

ආත්මයාණන්ට ආරාධනා කිරීමට සහ දහම ඉගැන්වීමට සංගීතය භාවිතා කරන්න. “[අපව] වඩාත් අධ්‍යාත්මික දෙසට යොමුකිරීමට සංගීතයට අසීමිත බලයක් ඇත” (“First Presidency Preface,” Hymns, x). “Love One Another” (Hymns, no. 308), වැනි ප්‍රේමය පිළිබඳ ගීතයකට මොරෝනි 7:44–48 දක්වා ඇති ප්‍රේමය පිළිබඳ පවුල් සාකච්ඡාවක් වැඩි දියුණු කළ හැකිය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

හෙන්රිච් හොෆ්මන් විසින්, ගැලවුම්කරුවාණන් වූ ක්‍රිස්තුස්වහන්සේගේ චිත්‍රය