“ජුනි 15–21. ඇල්මා 13-16: ‘ස්වාමින්වහන්සේගේ විශ්‍රාමය තුලට ඇතුළුවන්න,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“ජුනි 15–21. ඇල්මා 13-16,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
ඇන්ඩෘ බොස්ලි විසින්, ඇල්මා සහ අමුලෙක් සිරගෙයින් නිදහස් කරනු ලැබීම පිළිබඳ නිදර්ශනය
ජුනි 15–21
ඇල්මා 13–16
“ස්වාමින්වහන්සේගේ විශ්‍රාමය තුලට ඇතුළුවන්න”
ශුද්ධලියවිලි ගැන මෙනෙහි කරද්දී ඔබට ලැබෙන ආනුභාවය අනර්ඝය. එය වාර්තා කර ක්‍රියාකිරීමෙන් ඔබ එය නිධානයක් ලෙස සලකන බව පෙන්විය හැකිය.
ඔබේ හැඟීම් සටහන් කරන්න
බොහෝ ආකාර වලින්, අම්මොනිහාහි ජීවිතය අමුලෙක් සහ සීස්රොම් යන දෙදෙනාටම යහපත් විය. අමුලෙක් “බොහෝ නෑදෑයන් හා මිතුරන්” හා “බොහෝ ධනය” ඇති “සුළු කීර්තියක් නොමැති මිනිසෙක්” විය (ඇල්මා 10:4). සීස්රොම් නීතිඥයින් අතර “වඩාත්ම ප්‍රවීණයෙකු” වූ අතර “බොහෝ ව්‍යාපාර” භුක්තිවින්දේය (ඇල්මා 10:31). පසුතැවිලි වී “ස්වාමින්වහන්සේගේ විශ්‍රාමය තුලට ඇතුළුවන්න” යන දිව්‍යමය ආරාධනයෙන් ඇල්මා අම්මෝනිහා වෙත පැමිණියේය (ඇල්මා 13:16). අමුලෙක්, සීස්රොම් සහ තවත් අය සඳහා, මෙම ආරාධනය පිළිගැනීම සඳහා කැපකිරීමක් අවශ්‍ය වූ අතර දරාගත නොහැකි විපත්තියක් පවා ඇතිවිය.
නමුත් ඇත්තවශයෙන්ම කතාව එතැනින් අවසන් නොවේ. “ගැලවීම සඳහා ක්‍රිස්තුස්වහන්සේගේ බලය කෙරෙහි විශ්වාස කරන අයට” (ඇල්මා 15:6) අවසානයේ සිදුවන්නේ කුමක්ද යන්න ඇල්මා 13-16 දක්වා අපි ඉගෙනගනිමු. සමහරවිට ගැලවීම ඇත, සමහරවිට සුවවීම ඇත—සමහරවිට දේවල් මේ ජීවිතයේ පහසු බවට පත්නොවනු ඇත. නමුත් සෑමවිටම, “ස්වාමින්වහන්සේ [තම සෙනගව] උන්වහන්සේ වෙතට මහිමයෙන් පිළිගනී” (ඇල්මා 14:11). සැමවිටම, ස්වාමින්වහන්සේ “ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති [අපගේ] ඇදහිල්ලට අනුව බලය ලබාදෙයි” (ඇල්මා 14:28). එමෙන්ම, සෑමවිටම, “ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ල” අපට “[අපට] සදාකාල ජීවනය ලැබේවා යන බලාපොරොත්තුව” ලබාදෙයි (ඇල්මා 13:29). ඔබ මෙම පරිච්ඡේද කියවන විට, ඔබට මෙම පොරොන්දු වලින් සැනසීමක් ලබාගත හැකි අතර, ඇල්මා “ස්වාමින්වහන්සේගේ විශ්‍රාමය” ගැන කථා කරන විට ඔහු අදහස් කළේ කුමක්ද යන්න ඔබට වඩා හොඳින් වටහාගත හැකිය.
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන මිදීම ලැබීමට පූජක වත්පිළිවෙත් මට උපකාර කරයි.
දෙවියන්වහන්සේගේ මිදීමේ සැලැස්ම ගැන ඇල්මා 12 හි, ඇල්මා ඉගැන්වූ බව ඔබට මතක ඇති (ඇල්මා 12: 24–27 බලන්න). 13 වන පරිච්ඡේදයේ, “මේ දේවල් ජනයාට ඉගැන්වීමට” දෙවියන්වහන්සේ විසින් නියම කරන ලද පූජකයන් ගැන ඔහු කතා කළේය (ඇල්මා 13:1). ඇල්මාගේ වචන පූජකත්වය පිළිබඳ බොහෝ ප්‍රබල සත්‍යයන් හෙළිකරයි. සමහරවිට ඔබට ඇල්මා 13:1–9 හි එක් පදයකට අවම වශයෙන් එක් සත්‍යයක්වත් හඳුනාගැනීමට උත්සාහ කළ හැකිය. ඔබට ආරම්භ කිරීම සඳහා අදහස් කිහිපයක් මෙන්න:
-
1 වන පදය.පූජකත්වය “[දෙවියන්වහන්සේගේ] පුත්‍රයාණන්ගේ නියෝගය” ලෙසද හැඳින්වේ (දහම සහ ගිවිසුම 107:1-4 බලන්න).
-
2 වන පදය.මිදීම සඳහා තම පුත්‍රයාණන් දෙස බැලීමට මිනිසුන්ට උපකාර කිරීමට දෙවියන්වහන්සේ පූජකයන්ව පත්කරයි.
-
3 වන පදය.පූජකත්වය දරන්නන් ඔවුන්ගේ වගකීම් සඳහා “ලෝකයේ අත්තිවාරමේ සිට” සූදානම් විය.
ඔබ සොයාගත් වෙනත් දේ මොනවාද? මෙම සත්‍යයන් ගැන මෙනෙහි කරන විට පූජකත්වය ගැන ඔබට හැඟෙන්නේ කෙසේද? මිදීම සඳහා ක්‍රිස්තුස්වහන්සේ දෙස බැලීමට පූජකත්ව වත්පිළිවෙත් ඔබට උපකාර කර ඇත්තේ කෙසේද?
අම්මොනිහාහි බොහෝ දෙනෙක් නෙහෝර්ගේ අනුගාමිකයන් වීම සිත්ගන්නා කරුණකි (ඇල්මා 14:18; 15:15 බලන්න). නෙහෝර්ගේ ආකාරයේ පූජකවරු (ඇල්මා 1:3–6 බලන්න) ඇල්මා විස්තර කළ “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ආකාරයට” (දහම සහ ගිවිසුම 107:3) වෙන්කළ පූජකයන්ට වඩා වෙනස් වූයේ කෙසේද? (ඇල්මා 13:1–19 බලන්න).
තවත් බලන්න ඩාලේ ජී. රෙන්ලන්ඩ්, “පූජකත්වය සහ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ බලය,” එන්සයින් හෝ ලියහෝනා, නොවැ. 2017, 64-67.
මිදීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බැලීමට පූජකත්ව වත්පිළිවෙත් අපට උපකාර කරයි.
“ලෝකයේ අත්තිවාරමේ සිට කැඳවා සූදානම් කර ඇති” එකම පුද්ගලයින් පූජකත්වය දරන්නන්ද?
ඇල්මා 13:3 හි ඇල්මාගේ ඉගැන්වීම් විශේෂයෙන් සඳහන් කරන්නේ පූජකත්වය දරන්නන්ටය. කෙසේවෙතත්, ඔහු ඉගැන්වූ මූලධර්මය—පුද්ගලයන්ට පැවරුම් ලැබී ඒවා “ලෝකයේ අත්තිවාරමේ සිට” ඉටුකිරීමට සූදානම් වීම—අප සැමට අදාළ වේ. සභාපති ස්පෙන්සර් ඩබ්. කිම්බල් මෙසේ පැවසීය. “අප මෙහි පැමිණීමට පෙර ලෝකයේ විශ්වාසවන්ත කාන්තාවන්ට යම් යම් පැවරුම් ලබාදී ඇති අතර විශ්වාසවන්ත පිරිමින්ට ඇතැම් පූජකත්ව කාර්යයන් සඳහා කලින්ම නියම කර තිබුණි. අපට දැන් තොරතුරු මතක නැති අතර, මෙය අප වරක් එකඟ වූ දෙයෙහි මහිමාන්විත යථාර්ථය වෙනස් නොකරයි. ” (Teachings of Presidents of the Church: Spencer W. Kimball [2006], 215–16; තවත් බලන්න දහම සහ ගිවිසුම 138:55–56).
සමහර අවස්ථා වලදී දෙවියන්වහන්සේ ධර්මිෂ්ටයන්ට දුක්විඳීමට ඉඩදෙයි.
ඔවුන්ගේ විශ්වාසයන් නිසා දුක්විඳ මියගිය ධර්මිෂ්ට මිනිසුන් ගැන ඇල්මා 14 හි සඳහන් වේ. ධර්මිෂ්ටව ජීවත්වීමට උත්සාහ කරන මිනිසුන්ට බොහෝ භයානක දේ සිදුවන්නේ මන්දැයි, අනෙකුත් බොහෝදෙනා මෙන්, ඔබත් සිතනවා විය හැකිය. ඇල්මා 14 හි මෙම අසීරු ප්‍රශ්නයට සියලු පිළිතුරු ඔබ සොයානොගනු ඇත, නමුත් ඇල්මා සහ අමුලෙක් ඔවුන් මුහුණ දුන් තත්වයන්ට ප්‍රතිචාර දැක්වූ ආකාරයෙන් බොහෝ දේ ඉගෙනගත හැකිය. ස්වාමින්වහන්සේ සමහරවිට ධර්මිෂ්ට මිනිසුන්ට දුක්විඳීමට ඉඩදෙන්නේ මන්ද යන්න පිළිබඳව ඔවුන්ගේ වචන හා ක්‍රියාවන් ඔබට උගන්වන්නේ කුමක්ද? හිංසා පීඩා වලට මුහුණදීම ගැන ඔබ ඔවුන්ගෙන් ඉගෙනගන්නේ කුමක්ද?
තවත් බලන්න මතෙව් 5:43–44; මාර්ක් 14:55–65; රෝම 8:35–39; 1 පේත්‍රැස් 4:12–14; දහම සහ ගිවිසුම 122:5–9.
අනුගාමිකත්වය සඳහා කැපකිරීම අවශ්‍යයි.
සුභාරංචිය වැළඳගැනීම සඳහා අමුලෙක් අතහැරදැමූ දේවල් ලැයිස්තුවක් සෑදීම සිත්ගන්නා සුළු විය හැකිය (ඇල්මා 10:4–5; 15:16 බලන්න) සහ ඔහු ලබාගත් දේ ඇති ලැයිස්තුවක් සමග එය සංසන්දනය කරන්න (ඇල්මා 15:18; 16:13–15; 34:8 බලන්න). වඩාත් විශ්වාසවන්ත අනුගාමිකයෙකු වීමට ඔබ කැපකිරීමට කැමති කුමක්ද?
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
ඇල්මා 13
ඇල්මා 13 හි “විශ්‍රාමය” යන වචනය දිස්වන සෑම අවස්ථාවකම සටහන් කිරීමෙන් ඔබේ පවුලට ප්‍රයෝජන ගත හැකිය. එය සමග දිස්වන වෙනත් වචන සහ අදහස් මොනවාද? “ස්වාමින්ගේ විශ්‍රාමය” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම්ගැනීමට මෙය අපට උපකාර කරන්නේ කෙසේද? ශාරීරික විවේකයට වඩා එය වෙනස් වන්නේ කෙසේද?
ඇල්මා 13:10–12
මෙම පද වලින් උගන්වන දේ ඔබේ පවුලේ අයට දෘශ්‍යමාන කිරීමට උපකාර කිරීම සඳහා, සමහරවිට ඔබට සුදු ඇඳුම් වැනි යමක් එකට සේදිය හැකිය. අපිරිසිදු වූ විට අපට හැඟෙන්නේ කෙසේද? අප නැවත පිරිසිඳු වූ විට අපට හැඟෙන්නේ කෙසේද? ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම තුළින් අප පව් කොට පසුතැවිලි වී පවිත්‍ර වන විට අපට දැනෙන හැඟීම් වලට මෙම හැඟීම් සමාන වන්නේ කෙසේද?
ඇල්මා 15:1–12
අප වැරදි කළත්, අපව ශක්තිමත් කිරීමට සහ සුවකිරීමට ස්වාමින්වහන්සේට ඇති බලය ගැන සීස්රොම්ගේ අත්දැකීම් වලින් අප ඉගෙනගන්නේ කුමක්ද? උන්වහන්සේගේ ශක්තිය හා සුවය ලැබීමේදී පූජකත්වයට කළ හැකි කාර්යභාරය කුමක්ද?
ඇල්මා 16:1–10
මෙම පද කියවීමෙන් පසු, ඔබට ඇල්මා 9:4 කියවිය හැකිය. අනාගතවක්තෘවරයාගේ වචන ගැන සෝරාම්ට හැඟුණු ආකාරය අම්මොනිහාහි ජනයාට හැඟුණු ආකාරය හා සැසඳීමෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? අපගේ ජීවමාන අනාගතවක්තෘවරයාගේ වචන වලට විශ්වාසවන්තව සිටීමට අප කරන්නේ මොනවාද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.
අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම
සැමවිටම සූදානමින් සිටින්න. ඉගැන්වීමේ අවස්ථා ඉක්මණින් ගෙවීයයි, එබැවින් ඒවා පැනනගින විට ඒවායින් ප්‍රයෝජන ගන්න. නිදසුනක් වශයෙන්, ලෝකයේ ඛේදවාචකයක්, සමහරවිට ස්වාමින්වහන්සේ අහිංසකයන්ට දුක්විඳීමට ඉඩදෙන්නේ මන්ද යන්න පිළිබඳව, ඇල්මා 14 හි මූලධර්ම බෙදාගැනීමට අවස්ථාවක් විය හැකිය. (බලන්න Teaching in the Savior’s Way, 16.)
ගැරී එල්. කැප් විසින්, ඇල්මා සහ අමුලෙක් සිරගෙදර තුළ