“දෙසැම්බර් 21–27. ‘අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමුව, උන්වහන්සේ අප ගළවන සේක’: නත්තල,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“දෙසැම්බර් 21–27. ‘අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමුව, උන්වහන්සේ අප ගළවන සේක,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
සයිමන් ඩිවි විසින්, For unto Us a Child Is Born[මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය]
දෙසැම්බර් 21–27: “අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමුව, උන්වහන්සේ අප ගළවන සේක”
නත්තල
පරණ ගිවිසුම, අපේක්ෂාවෙන් බලා සිටීමේ ආත්මයක් දරනවා. ඒ ආකාරයෙන්, එය ටිකක් විතර නත්තල් සමය වාගෙයි. ආදම් සහ ඒවගෙන් පටන්ගෙන, පරණ ගිවිසුමේ ආදිපීතෘවරුන්, අනාගතවක්තෘවරුන්, කවියන් සහ මිනිසුන් මෙසියස්වහන්සේගේ අලුත් කිරීම සහ ගැලවීම පිළිබඳ බලාපොරොත්තුවෙන් පිරුණු වඩා හොඳ දින අපේක්ෂා කරමින් සිටියා. ඔවුන් ඊජිප්තුවේ හෝ බැබිලෝනියේ වහල්භාවයේ සිටියත්, ඔවුන්ගේම පාපයෙන් හෝ කැරැල්ලෙන් වහල්භාවයේ සිටියත්—ඉශ්‍රායෙල්වරුන්ට එම බලාපොරොත්තුව නිතරම අවශ්‍ය වුණා. ඒ සියල්ල තුළින් අනාගතවක්තෘවරුන් ඔවුන්ට මතක් කර දුන්නේ මෙසියස්වහන්සේ වන ගැලවුම්කරුවෙකු “හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද”(යෙසායා 61:1) පැමිණෙන බවයි
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බෙත්ලෙහෙමේ උපත ලැබූ විට එම බලාපොරොත්තුව සැබෑ වීමට ආරම්භ වුණා. ඉශ්‍රායෙල්හි බලවත් ගැලවුම්කරුවාණන් ගව මඩුවක ඉපදී ඔහුව ගව ඔරුවක තබනු ලැබුවා (බලන්න ලූක් 2:7). නමුත් උන්වහන්සේ පුරාණ ඉශ්‍රායෙල් ජාතිකයින්ගේ ගැලවුම්කරුවාණන් පමණක් නොවේ. උන්වහන්සේ පැමිණියේ ඔබව ගලවා ගැනීමට—ඔබේ දුක දරා ගැනීමට, ඔබේ ශෝකය දරා ගැනීමට, ඔබේ අයුතුකම් නිසා තැළීමට, එවිට උන්වහන්සේගේ ඉරිවලින් ඔබට සුවය ලබන්න පුළුවන්(බලන්න යෙසායා 53:4–5). නත්තල අදටත් ප්‍රීතිමත් අපේක්ෂාවකින් පිරී ඇත්තේ ඒ නිසයි. මෙසියස්වහන්සේ පැමිණියේ මීට වසර 2,000 කට පෙරයි, ඒවගේම අප උන්වහන්සේව සොයන සෑම විටම උන්වහන්සේ අපගේ ජීවිතවලට නොකඩවා පැමිණෙනවා.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
මම මගේ මිදුම්කරුවාණන් ගැන ප්‍රීති වන්නෙමි.
නත්තල ප්‍රීතිමත් සමයක් ලෙස හඳුන්වනු ලබන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලොවට ගෙනෙන ප්‍රීතිය නිසායි. ගැලවුම්කරුවාණන් ඉපදීමට ශතවර්ෂ ගණනාවකට පෙර, පරණ ගිවිසුමේ අනාගතවක්තෘවරුන්ටද පැමිණෙන මෙසියස්වහන්සේ ගැන කතා කරන විට ප්‍රීතියක් ඇති වුණා. පහත සඳහන් පද කිහිපයක් කියවා, ගැලවුම්කරුවාණන්ගේ මෙහෙවර අපේක්ෂාවෙන් සිටි මිනිසුන්ට ඒවා වටින්නේ ඇයිදැයි සිතා බලන්න: ගීතාවලිය 35:9; යෙසායා 25:8–9; 44:21–24; 51:11; ශෙපනියා 3:14–20; මෝසෙස් 5:5–11. ඔබට මේ පද වටින්නේ ඇයි? මෙම ශුද්ධලියවිලි පද ප්‍රීතියෙන් සිටීමට ලබාදෙන හේතු මොනවාද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මතක තබා ගැනීමට මට උපකාර කරන්නට සංකේත වලට හැකිය.
නත්තල හා සම්බන්ධ බොහෝ සම්ප්‍රදායන්වල ක්‍රිස්තුස්වහන්සේ වෙත අපව යොමු කරන සංකේතාත්මක අර්ථයන් තිබෙන්න පුළුවන්. ඔබ මේ වසරේ පරණ ගිවිසුම අධ්‍යයනය කරන විට, ගැලවුම්කරුවාණන්ගේ බොහෝ සංකේත ඔබ දකින්නට ඇති. ඒවායින් කිහිපයක් පහත ලැයිස්තුගත කර තිබෙනවා. මේවා අධ්‍යයනය කිරීම සහ ඒවා ඔබට උන්වහන්සේ ගැන උගන්වන දේ සටහන් කර ගැනීම ගැන සලකා බලන්න.
-
තාරකාව (ගණන් කථාව 24:17; මතෙව් 2:2; එළිදරව්ව 22:16).
-
එඬේරා (ගීතාවලිය 23; ලූක් 15:4–7; යොහන් 10:11)
-
බැටළුපැටවා (උත්පත්ති 22:8; නික්මයාම 12:5; 1 පේත්‍රැස් 1:18–20).
-
වතුර (නික්මයාම 17:1–6; යෙරමියා 2:13; එසකියෙල් 47:1–12; යොහන් 4:7–14).
-
ගල (1 සාමුවෙල් 2:2; 2 සාමුවෙල්l 22:2–3; ගීතාවලිය 118:22–23; යෙසායා 28:16; එපීස 2:20).
-
පලෑටිය (යෙසායා 11:1–2; යෙරමියා 23:5; 33:15).
-
එළිය (ගීතාවලිය 27:1; යෙසායා 9:2; 60:19; මීකා 7:8; යොහන් 8:12).
ශුද්ධලියවිලිවල ඔබ සොයාගෙන ඇති යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන වෙනත් සංකේත, පදයන් සහ වාර්ථා මොනවාද?
තවත් බලන්න2 නෙපී 11:4; මොසායා 3:14–15; මෝසෙස් 6:63.
“උන්වහන්සේගේ නාමය අපූර්වය.”
යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විවිධ නම්වලින් සහ පටබැඳි නාම වලින් හඳුන්වනවා. පහත සඳහන් පදවල පටබැඳි නාම සොයන්න: ගීතාවලිය 23:1; 83:18; යෙසායා 7:14; 9:6; 12:2; 63:16; ආමෝස් 4:13; සෙකරියා 14:16; මෝසෙස් 7:53. ඔබට සිතිය හැකි වෙනත් පටබැඳි නාම මොනවාද? නත්තල් ගීතිකා වල ඔබ සොයා ගන්නා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පටබැඳි නාම ලැයිස්තුගත කිරීමෙන් පවා ඔබට ප්‍රීතිමත් විය හැකිය. එක් එක් පටබැඳි නාම ඔබ උන්වහන්සේ ගැන සිතන ආකාරය කෙරෙහි බලපාන්නේ කෙසේද?
ඉදිරි වසර පුරාවටම උන්වහන්සේව මතක තබා ගැනීමට උපකාර වන ගැලවුම්කරුවාණන්ගේ පටබැඳි නාමයක් හෝ භූමිකාවක් තෝරාගැනීම සලකා බලන්න.
තවත් බලන්න ක්වින්ටින් එල්. කුක්, “අභියෝගාත්මක අවස්ථා වලදී පුද්ගලික සාමය,” ලියහෝනා, නොවැ. 2021, 89–92.
වැඩි විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
පරණ ගිවිසුම මට යේසුස්වහන්සේ ගැන උගන්වයි.
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සංවාදයක් ආරම්භ කිරීමට ඔබට සහ ඔබේ දරුවන්ට නත්තල් සැරසිලි කිහිපයක් තිබෙන්න පුළුවන්. නත්තල් තරුවක්, විදුලි බුබුළු හෝ තෑග්ගක් අපට ගැලවුම්කරුවාණන් සිහිගන්වන්නේ කෙසේද යන්න ගැන ඔබට කතා කළ හැකිය. පසුව ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සංකේතවත් කළ හැකි යමක් සඳහා පහත සඳහන් ශුද්ධලියවිලි පද එකක් හෝ කිහිපයක් දෙස බැලිය හැකිය: උත්පත්ති 22:8; ගණන් කථාව 24:17; ගීතාවලිය 23:1; 27:1. සමහර විට ඔබේ දරුවන්ට එය කියවන විට එක් එක් පදයට ගැලපෙන පින්තූරයක් හෝ සැරසිල්ලක් ඔවුන්ට ඔසවා තබා ගත හැකිය. යේසුස්වහන්සේ බැටළු පැටවෙකු, තාරකාවක්, එඬේරෙකු හෝ ආලෝකයක් මෙන් වන්නේ කෙසේද?
-
ඔබ යෙසායා 9:6 කියවන විට ඔබේ දරුවන්ට මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූරය දෙසත් බැලිය හැකිය. “දරුවෙකු උපත ලබයි” යන වාක්‍ය පෙළ ඇසෙන විට යේසු බිළිඳා වෙත ඇඟිල්ල දිගු කරන ලෙස ඔබේ දරුවන්ට කියන්න. යේසුස්වහන්සේ ඉපදෙන බව පරණ ගිවිසුමේ අනාගතවක්තෘවරුන් දැන සිටි බවට ඔබේ සාක්ෂිය බෙදාගන්න.
-
ඔබ ලබන වසරේ අලුත් ගිවිසුමේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය අධ්‍යයනය කිරීමට සූදානම් වන විට, පරණ ගිවිසුමේ මේ වසරේ උන්වහන්සේ ගැන ඉගෙනගත් දේ ඔබේ දරුවන් සමඟ සමාලෝචනය කිරීම ගැන සලකා බලන්න. ඔබට මෙම සම්පතේ ඇති දළ සටහන් සහ ඔබ ඉගෙන ගත් දේ මතක තබා ගැනීමට උපකාර වන ඕනෑම පුද්ගලික අධ්‍යයන සටහනක් සමාලෝචනය කරන්න පුළුවන්. එන්න, මා අනුගමනය කරන්න තුළ ඇති පින්තූර බැලීමෙන් කුඩා දරුවන්ට ප්‍රයෝජන ගන්න පුළුවන්. කැපී පෙනෙන අනාවැකි හෝ කථා මොනවාද? ගැලවුම්කරුවාණන් ගැන අප ඉගෙනගෙන ඇත්තේ මොනවාද?
නත්තල් සම්ප්‍රදායන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත අපව යොමු කරයි.
-
ඉශ්‍රායෙල් පවුල්වලට පාස්කු සහ අනෙකුත් මංගල්‍ය වැනි සම්ප්‍රදායන් තිබුණා, ඒවා ඔවුන්ගේ හදවත් සහ මනස ස්වාමින්වහන්සේ වෙත යොමු කිරීමට අදහස් කරනු ලැබුවා (බලන්නනික්මයාම 12). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කිරීමට ඔබට සහ ඔබේ දරුවන්ට නත්තල් සමයේදී ඇති සම්ප්‍රදායන් මොනවාද? ඔබේ පවුල් ඉතිහාසයෙන් ඔබ දන්නා සම්ප්‍රදායන් මොනවාද? ඔබට ආරම්භ කිරීමට අවශ්‍ය සම්ප්‍රදායන් කිහිපයක් ඔබේ දරුවන් සමඟ සාකච්ඡා කිරීම ගැන ඔබට සලකා බලන්න පුළුවන්. සමහර අදහස්වලට අවශ්‍යතා ඇති කෙනෙකුට සේවය කිරීම, ගැලවුම්කරුවාණන්ට “ත්‍යාගයක්” ලෙස ඔබ පිරිනමන දෙයක් තෝරාගැනීම, ඔබ සමඟ පළමු සභාපතිත්වයේ නත්තල් භක්තිය නැරඹීමට මිතුරෙකුට ආරාධනා කිරීම (broadcasts.ChurchofJesusChrist.org), ඔබේම නත්තල් ගීතයක් ලිවීම හෝ ක්‍රිස්තුස්වහන්සේගේ උපත පිළිබඳ පණිවිඩය බෙදා ගැනීමට නිර්මාණාත්මක ක්‍රමයක් සොයා ගැනීම වැනි දෑ ඇතුලත් කරගන්න පුළුවන්.
නිවස තුළ, ඉගෙනීම සහ ජීවත්වීම වෙන් කළ හැකි දේවල් නොවේ. “ශුභාරංචිය නිවස තුළ අදාළ කරගැනීමට පුළුවන්. ඔබ ශුභාරංචිය ඉගෙන ගන්නා අය, සහ සෑම දිනකම ඔබ සමඟ ඒ අනුව ජීවත් වන අය සිටින්නේ නිවසේයි. ඇත්තවශයෙන්ම, බොහෝ විට, ශුභාරංචිය අනුව ජීවත්වීම අප ශුභාරංචිය ඉගෙනගන්නා ආකාරයයි. එබැවින් ඔබ නිවසේදී ශුභාරංචිය ඉගෙනගන්නා විට සහ උගන්වන විට, ඔබ ඉගෙනගන්නා දේ ඔබ කරන දේ සමඟ සම්බන්ධ කිරීමට ක්‍රම සොයන්න. ඔබේ නිවස තුළ, ශුභාරංචිය ඔබ කතා කරන දෙයක් පමණක් නොව, ඔබ ජීවත් වීමට උත්සාහ කරන දෙයක් වීමට ඉඩ හරින්න” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 31).
ඊතන් බ්‍රවුන් විසින්, යේසුස්වහන්සේගේ උපත පිළිබඳ නිදර්ශනය
ස්වර්ගීය පියාණන්වහන්සේ මාගේ ගැලවුම්කරුවාණන් වීමට උන්වහන්සේගේගේ පුත්‍රයාණන් වන ත්‍යාගය මට දුන්නා.
-
ක්‍රිස්තුස්වහන්සේගේ උපතේ ගෞරවය හා ප්‍රීතිය ඔබේ දරුවන්ට දැනීමට ඔබට උපකාර කළ හැක්කේ කෙසේද? ඔබට එකට එක්ව මතෙව් 1:18–25; 2:1–12; ලූක් 1:26–38; 2:1–20 කියවන්න පුළුවන්. සෑම දරුවෙකුටම ශුද්ධලියවිලි වාර්ථාවලින් පුද්ගලයෙකුව තෝරා ගැනීමට සහ එම පුද්ගලයාට ගැලවුම්කරුවාණන් ගැන හැඟුණු ආකාරය ගැන බෙදා ගැනීමට හැකිය. ඉන්පසු ඔබට උන්වහන්සේ ගැන ඔබේම හැඟීම් එකිනෙකා සමඟ බෙදා ගන්න පුළුවන්.
17:57The Christ Child
-
සමහරවිට ඔබටත් ඔබේ දරුවන්ටත් ප්‍රීතිය ගෙන දුන් වසර ගණනාවක් පුරා ඔබ ලබාදුන් හෝ ඔබට ලැබුණු ත්‍යාගයන් ගැන කතා කරන්න පුළුවන්. ඉන්පසු ඔබට එකට එක්ව යෙසායා 25:9 කියවා, ස්වර්ගීය පියාණන්වහන්සේ අපට ගැලවුම්කරුවාණන් එවීම ගැන ඔබ ප්‍රීති වන්නේ ඇයිදැයි කතා කරන්න පුළුවන්. අපගේ ගැලවුම්කරුවාණන් ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාර්යභාරය වඩා හොඳින් තේරුම් ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කිරීම සඳහා, යෙසායා 25:8–9; 53:3–5; සහ හොෂෙයා 13:14 කියවීමට ඔවුන්ට ආරාධනා කරන්න. ස්වාමින්වහන්සේ අපව ගලවා ගන්නා ආකාරය ගැන මෙම ශුද්ධලියවිලි පද අපට උගන්වන්නේ මොනවාද?
-
ඔබට එකට එක්ව නත්තල් ගීතයක් ගායනා කළ හැකිය. ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ට ප්‍රේම කරන බව දැනගැනීමට උපකාර වන ගීතයේ වාක්‍ය පේළි සොයා ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න.
වැඩි විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.