“දෙසැම්බර් 14–20. ‘මම නුඹලාට ප්‍රේම කෙළෙමියි ස්වාමින්වහන්සේ කියන සේක’: මලාකි,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“දෙසැම්බර් 14–20. ‘මම නුඹලාට ප්‍රේම කෙළෙමියි ස්වාමින්වහන්සේ කියන සේක,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
දෙසැම්බර් 14–20: “මම නුඹලාට ප්‍රේම කෙළෙමියි ස්වාමින්වහන්සේ කියන සේක”
මලාකි
“මම නුඹලාට ප්‍රේම කෙළෙමියි” කියා ස්වාමින්වහන්සේ අනාගතවක්තෘ මලාකිගේ මාර්ගයෙන් තම සෙනඟට පැවසුවා. නමුත් පරම්පරා ගණනාවක් දුක් විඳීමෙන් හා වහල්භාවයෙන් පීඩා විඳි ඉශ්‍රායෙල් සෙනඟ, “ඔබවහන්සේ අපට ප්‍රේම කළේ කුමකින්දැයි” කියා ඇසුවා. (මලාකි 1:2). ඉශ්‍රායලය මුහුණ දුන් සියල්ලට පසු, ඔවුන්ගේ ඉතිහාසය සැබවින්ම දෙවියන්වහන්සේගේ ගිවිසුම් සෙනඟට ඇති ප්‍රේමයේ කතාවක්දැයි ඔවුන් පුදුම වෙන්නට ඇති. යම් ආකාර වලින්, එය මානව දුර්වලතා සහ කැරැල්ලේ කථාවක් ලෙස දැකීම පහසුයි. එහෙත්, ඒ සියල්ල හරහා, දෙවියන්වහන්සේ කිසි විටෙකත් ආදරයෙන් ළඟා වීම නතර කළේ නැහැ. යාකොබ්ගේ පුත්‍රයෝ ඔවුන්ගේ සහෝදර යෝසෙප්ට හිරිහැර කළත්, ස්වාමින්වහන්සේ ඔවුන්ව සාගතයෙන් ගලවා ගනු ලැබුවා (බලන්න උත්පත්ති 45:4–8). ඉශ්‍රායෙල් සෙනඟ පාළුකරයේදී කොඳුරද්දී, උන්වහන්සේ ඔවුන්ව මන්නාවලින් පෝෂණය කළා (බලන්න නික්මයාම 16:1–4). ඉශ්‍රායෙල් සෙනඟ වෙනත් දෙවිවරුන් වෙත හැරී විසිරී ගිය විට පවා, ඔවුන් පසුතැවිලි වුවහොත්, “මහත් අනුකම්පාවලින්” ඔවුන්ව රැස් කර මුදවා ගන්නා බවට දෙවියන්වහන්සේ පොරොන්දු වුණා (බලන්න යෙසායා 54:7). ඇත්ත වශයෙන්ම, පරණ ගිවිසුම දෙවියන්වහන්සේගේ ඉවසිලිවන්ත, කල්පවත්නා ආදරය පිළිබඳ කතාවක්. ඒ වගේම මේ කතාව අදටත් නොකඩවා පවතිනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, “ධර්මිෂ්ඨකමේ සූර්යයා,” මලාකි උන්වහන්සේව හැඳින්වූ පරිදි, “ස්වකීය පියාපත්වල සුවකිරීම ඇතුව” (මලාකි 4:2) පැමිණ තිබෙනවා. පුරාණ ඉශ්‍රායෙලයට සහ අප සැමට දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ ශ්‍රේෂ්ඨතම සාක්ෂිය උන්වහන්සේයි.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
මලාකි 1–4
“මා වෙතට හැරී වරෙල්ලා, මමත් නුඹලා වෙතට හැරී එන්නෙමි.”
මලාකිගේ දවසේදී, ඉශ්‍රායෙල් සෙනඟ ඒ වන විටත් යෙරුසලමේ දේවමාළිගාව නැවත ගොඩනඟා තිබුණත්, සෙනඟක් ලෙස ඔවුන්ට ස්වාමින්වහන්සේ සමඟ ඔවුන්ගේ සබඳතාව නැවත ගොඩනඟා ගැනීමට අවශ්‍ය වුණා. ඔබ මලාකි අධ්‍යයනය කරන විට, ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් සෙනඟගෙන් ඇසූ ප්‍රශ්න හෝ ඔවුන් උන්වහන්සේගෙන් ඇසූ ප්‍රශ්න සොයන්න. ස්වාමින්වහන්සේ සමඟ ඔබේ සම්බන්ධතාවය ඇගයීමට සහ උන්වහන්සේට සමීප වීමට ඔබට උපකාර කිරීම සඳහා ඒ හා සමාන ප්‍රශ්න (උදාහරණ කිහිපයක් පහත යෝජනා කර ඇත) ඔබගෙන්ම ඇසීම ගැන සලකා බලන්න.
-
ස්වාමින්වහන්සේ මා කෙරෙහි දක්වන ආදරය මට දැනී ඇත්තේ කෙසේද? (බලන්න මලාකි 1:2).
-
මම ස්වාමින්වහන්සේට කරන පූජා උන්වහන්සේට සැබවින්ම ගෞරව කරනවාද? (බලන්න මලාකි 1:6–11)
-
මම ස්වාමින්වහන්සේ වෙතට “ආපසු යාමට” අවශ්‍ය වන්නේ කුමන ආකාරවලින්ද? (බලන්න මලාකි 3:7).
-
මම යම් ආකාරයකින් දෙවියන්වහන්සේව සොරකම් කරනවාද? (බලන්න මලාකි 3:8–11).
-
දුෂ්කර කාලවලදී මගේ ආකල්පය ස්වාමින්වහන්සේ කෙරෙහි මගේ හැඟීම් පිළිබිඹු කරන්නේ කෙසේද? (බලන්න මලාකි 3:13–15; තවත් බලන්න 2:17).
මලාකි 1:6–14
ස්වාමින්වහන්සේ ඉල්ලන්නේ “පිරිසිඳු පූජාවකි.”
මලාකි 1 තුළ විස්තර කර ඇති පූජාවන් ගැන ඔබ කියවන විට, පූජකයන් පූජා කළ පරිත්‍යාගයන් ගැන ඔබට පෙනෙන්නේ කුමක්ද? පූජකයින් තුළ ස්වාමින්වහන්සේ කෙරෙහි ඇති හැඟීම් ගැන මෙම පරිත්‍යාගවලින් යෝජනා කරන්නේ කුමක්ද? (බලන්න මලාකි 1:13). ඔබ ස්වාමින්වහන්සේට කරන පූජා හෝ පරිත්‍යාග ලැයිස්තුවක් සෑදීම සලකා බලන්න. ලැයිස්තුවේ ඇති සෑම අයිතමයක් සඳහාම, එය “අපවිත්‍ර” පූජාවක් හෝ “පිරිසිඳු” පූජාවක් බවට පත් කළ හැක්කේ කුමක් දැයි සිතා බලන්න (මලාකි 1:7, 11).
මලාකි 3:8–12
මම දසයෙන් කොටස ගෙවීමෙන් මගේ ඇදහිල්ල පෙන්වන විට ස්වාමින්වහන්සේ ස්වර්ගයේ කවුළු විවෘත කරයි.
ඔබ දසයෙන් කොටස ගෙවන බව ළඟදි දැනගත් මිතුරෙකු ඔබට සිටින බව සිතන්න. “ඇයි ඔයා එහෙම කරන්නේ?” ඔබේ මිතුරා අසයි. ඔබ මලාකි 3:8–12 කියවන විට මේ ගැන සිතන්න. ඔබේ මිතුරාගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට උපකාර වන කුමක් ඔබට එහි සොයාගත හැකිද? ඔබට අවශ්‍ය ඔබේ මිතුරා දසයෙන් කොටස ගැන තව කුමක් දැනගන්නවාටද? වැඩි උදවු සඳහා, ඔබට වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන්ගේ පණිවිඩය කියවන්න පුළුවන් “දසයෙන් කොටස: ස්වර්ගයේ කවුළු විවෘත කිරීම” (ලියහෝනා, නොවැ. 2023, 32–35), එමෙන්ම මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න:
-
අපි දසයෙන් කොටස ගෙවනවාට ස්වාමින්වහන්සේ කැමති ඇයි?
-
දසයෙන් කොටස ගෙවීමෙන් කෙනෙකුව වළක්වන්නේ කුමක්ද, අපට එම බාධක ජයගත හැක්කේ කෙසේද?
-
දසයෙන් කොටස ගෙවීම ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ශක්තිමත් කරන්නේ කෙසේද?
ඔබ දසයෙන් කොටස ගෙවන විට ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කර ඇති ආකාරය ඔබට ඔබේ මිතුරා සමඟ බෙදා ගත හැකිය. දසයෙන් කොටස ගෙවීමෙන් අප කෙබඳු පුද්ගලයන් බවට පත්වේද?
ඔබ සිතන ආකාරයට “නුඹලාට අහසේ කවුළු ඇර” (10 වෙනි පදය) යන වාක්‍ය ඛණ්ඩයේ තේරුම කුමක් විය හැකිද? සමහර විට ඔබට ජනේලයක් දෙස බලා ජනේල වල අරමුණු ගැන සිතා බලන්න පුළුවන්. අප දසයෙන් කොටස ගෙවන විට ස්වාමින්වහන්සේ අපට ආශිර්වාද කරන ආකාරය විස්තර කිරීමට “අහසේ කවුළු” හොඳ ක්‍රමයක් වන්නේ ඇයි?
ගැරී ස්මිත් විසින්, Vision in the Kirtland Temple [කර්ට්ලන්ඩ් දේවමාළිගාවෙහි දර්ශනය]
මලාකි 4:5–6
“ප්‍රොපේතවූ එලියා නුඹලා වෙතට එවන්නෙමි.”
මොරෝනි ජෝසෆ් ස්මිත්ට මලාකි 4:5–6 උපුටා දක්වන විට, ඔහු එසේ කළේ බයිබලයේ “කියැවෙන අයුරින් මඳක් වෙනස් ලෙසයි” (බලන්න ජෝසෆ් ස්මිත්–ඉතිහාසය 1:36–39). මෙම අනාවැකිය පිළිබඳ ඔබේ අවබෝධයට මොරෝනිගේ වෙනස්වීම එකතු කරන්නේ මොනවාද? විශේෂයෙන්, මෙවැනි ප්‍රශ්න ගැන මෙනෙහි කරන්න:
-
“පියවරුන්” යනු කවුද? (බලන්න ද්විතීය කථාව 29:13). ඔවුන්ට දී ඇති පොරොන්දු මොනවාද? (බලන්න ආබ්‍රහම් 2:9–11). මෙම පොරොන්දු ඉටු කිරීමට ඔබ උදව් කරන්නේ කොහොමද?
-
ඔබේ හදවත ඔබේ මුතුන් මිත්තන් වෙත යොමු කිරීමට උපකාරවත් වූ අත්දැකීම් මොනවාද? ස්වර්ගීය පියාණන්වහන්සේගේ සැලැස්මට එය එතරම් වැදගත් වන්නේ ඇයි?
එලියාගේ පැමිණීම සහ අද දින මෙම අනාවැකිය ඉටු වන ආකාරය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා, බලන්න දහම සහ ගිවිසුම් 110:13–16 සහ ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන්, “මුද්‍රා තැබීමේ බලය” (ලියහෝනා, නොවැ. 2023, 19–22). එලියා පැමිණීම ගැන ඔබ ස්තූතිවන්ත වන්නේ ඇයි?
තවත් බලන්න ජෙරිට් ඩබ්. ගොන්ග්, “අප සැමටම කතාවක් ඇත,” ලියහෝනා, මැයි 2022, 43–46.
The Sealing Power
වැඩි විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
මලාකි 1:2
ස්වාමින්වහන්සේ මට ආදරෙයි.
-
මලාකි 1:2 තුළ ප්‍රශ්නයට ඔබ සහ ඔබේ දරුවන් පිළිතුරු දෙන්නේ කෙසේද—“ඔබවහන්සේ අපට ප්‍රේම කළේ කුමකින්ද?” උන්වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දන්නා හේතු එකිනෙකා සමඟ බෙදා ගන්න. සමහරවිට ඔබේ දරුවන්ට උන්වහන්සේගේ ආදරය මතක් කර දෙන චිත්‍ර අඳින්න පුළුවන්.
ශුභාරංචි සාකච්ඡා සඳහා දරුවන් සම්බන්ධ කර ගන්න. ඔබ කුඩා දරුවන්ට උගන්වන්නේ නම්, ඔවුන්ව ශුභාරංචි සාකච්ඡාවලට සම්බන්ධ කර ගැනීමට නිර්මාණාත්මක ක්‍රම ගැන සිතා බැලිය යුතුය. උදාහරණයක් ලෙස, ඔබේ දරුවන්ට බෝලයක් අතින් අතට යැවීමට දී; ඔවුන් බෝලය අල්ලාගත් විට, යේසුස්වහන්සේ ඔවුන්ට ආදරය කරන බව ඔවුන් දන්නා එක් හේතුවක් බෙදා ගැනීමට ඔවුන්ට හැකිය.
මලාකි 3:8–12
මම දසයෙන් කොටස ගෙවන විට ස්වාමින්වහන්සේ මට ආශිර්වාද කරන සේක.
-
ඔබේ දරුවන්ට දසයෙන් කොටස ගැන ඉගෙන ගැනීමට ඔබ උපකාර කරන්නේ කොහොමද? මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුවේ ඇති කාසි වැනි කුඩා භාණ්ඩ 10ක් ගණන් කිරීමට ඔබට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. එවිට ඔවුන්ට එක් භාණ්ඩයක් ඉතිරි භාණ්ඩයෙන් වෙන් කළ හැකිය—අපි දසයෙන් කොටස ලෙස ස්වාමින්වහන්සේට දෙන ප්‍රමාණය මෙයයි. මලාකි 3:8–12 ට අනුව, අප දසයෙන් කොටස ගෙවීම ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි?
0:58Malachi the Prophet
1:18First Things First!
-
ඔබ එකට එක්ව මලාකි 3:10 කියවන විට, “අහසේ කවුළු” යන වාක්‍ය ඛණ්ඩය කියවන විට ජනේලයක් අසල සිටගෙන සිටින ලෙස ඔබට ඔබේ දරුවන්ට ආරාධනා කළ හැකිය. නැතහොත් “ඉඩ මදිවෙන තරම්” යන වාක්‍ය ඛණ්ඩය නිදර්ශනය කිරීම සඳහා කෝප්පයකට එය උතුරා යන තෙක් වතුර වත් කළ හැකිය. ඔබ දසයෙන් කොටස ගෙවන විට දෙවියන්වහන්සේ ඔබට දී ඇති ආශිර්වාද ගැන දරුවන්ට කියන්න. ඔබේ දරුවන්ට මෙම ආශිර්වාද නියෝජනය කරන පින්තූර ඇඳිය හැකි අතර ඒවා ඔබේ නිවසේ ජනේලයක හෝ අසල එල්ලා තැබිය හැකිය.
මලාකි 4:5–6
එලියා ආවේ අපේ හදවත් අපේ පවුල්වලට හරවන්නයි.
-
මලාකි 4:5–6 තුළ, ඔබේ දරුවන්ට මලාකිගේ අනාවැකිය පිළිබඳ පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය හැකිය: ස්වාමින්වහන්සේ එවීමට පොරොන්දු වූයේ කාවද? මේ පුද්ගලයා එනවා යැයි කිව්වේ කවදාද? ස්වාමින්වහන්සේ පැවසුවේ මේ පුද්ගලයා කුමක් කරන බවද? මෙම පුද්ගලයා පැමිණිය යුත්තේ ඇයි? මෙම අනාවැකිය ඉටු වූයේ කොහේද? (බලන්න දහම සහ ගිවිසුම් 110:13–16).
වැඩි විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.