එන්න, මා අනුගමනය කරන්න
ඔක්තෝම්බර් 19–25. “මම නුඹ ගර්භයේහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි”: යෙරමියා 1–3; 7; 16–18; 20


“ඔක්තෝම්බර් 19–25. “මම නුඹ ගර්භයේහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි”: යෙරමියා 1–3; 7; 16–18; 20,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“ඔක්තෝම්බර් 19–25. ‘මම නුඹ ගර්භයේහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026

යෙරමියා තවත් මිනිසෙකු දෙස බලමින්

වෝල්ටර් රේන් විසින්, Jeremiah [යෙරමියා]

ඔක්තෝම්බර් 19–25: “මම නුඹ ගර්භයේහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි”

යෙරමියා 1–3; 7; 16–1820

යෙරමියා මුලින් හිතුවේ නැහැ ඔහු හොඳ අනාගතවක්තෘවරයෙක් වෙයි කියා. “මම කථාකරන්ට නොදනිමි,” කියා ඔහු විරෝධය දැක්වූවා (යෙරමියා 1:6). නමුත් “මාගේ වචන නුඹේ මුඛයෙහි තැබීමි” (9 වෙනි පදය) කියමින් ස්වාමින්වහන්සේ ඔහුව සැනසුවා. ඔහු අත්දැකීම් අඩු “බාලයෙක්”(6 වෙනි පදය) බව යෙරමියාට හැඟුණා, නමුත් ස්වාමින්වහන්සේ පැහැදිලි කළේ ඔහු ඇත්ත වශයෙන්ම ඔහු තේරුම් ගෙන සිටිනවාට වඩා සූදානම්ව සිටි බවයි—ඔහු ඉපදීමට පෙර සිටම මෙම කැඳවීමට ඔහු නියම කර තිබුණා (බලන්න 5 වෙනි පදය). එබැවින් යෙරමියා තම බිය නැති කරගෙන ඒ කැඳවීම භාරගත්තා. යෙරුසලමේ රජවරුන් සහ පූජකයන් මවාපාන ශුද්ධකම ඔවුන්ව ගලවා නොගන්නා බවට ඔහු ඔවුන්ට අනතුරු ඇඟෙව්වා. තමාට කතා කළ නොහැකි යැයි සිතූ “බාලයාට” දෙවියන්වහන්සේගේ වචනය “ඇවිළෙන ගින්නක් මෙන් [ඔහුගේ] සිත තුළ” දැනුණු අතර ඔහුට නිහඬව සිටීමට නොහැකි වුණා (යෙරමියා 20:9).

යෙරමියාගේ කතාව ඔබගේත් කතාවයි. ඔබ ඉපදීමට පෙර දෙවියන්වහන්සේ ඔබව ද දැන සිටි අතර ඔබේ ජීවිතයේ මෙහෙවර සඳහා ඔබව සූදානම් කළා. වෙනත් දේ අතර, එම මෙහෙවරට යෙරමියා කලින් දුටු දෙයක් ඇතුළත් වෙනවා: ඒ තමයි දෙවියන්වහන්සේගේ සෙනඟ එකින් එක්කෙනාව එකතු කර, “[ඔවුන්ව] සයොනයට ගෙන ඒම” (යෙරමියා 3:14). ඒවගේම ඔබ කුමක් කළ යුතු දැයි හෝ පැවසිය යුතු දේ හරියටම නොදන්නේ නම්, ඔබ “භය නොවන්න … ; මක්නිසාද මම නුඹ සමග සිටිමියි ස්වාමින්වහන්සේ කියනසේක” (යෙරමියා 1:8, 19).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

යෙරමියා 1:4–19; 7:1–7; 20:8–9

දෙවියන්වහන්සේගේ වචනය කතා කිරීමට අනාගතවක්තෘවරුන්ව කැඳවා ඇත.

ඔබ අනාගතවක්තෘවරුන් ගැන කිසිදා අසා නැති මිතුරෙකු සමඟ කතා කරන බව සිතන්න, ඔබ යෙරමියා 1:4–19 තුළ අනාගතවක්තෘවරයෙකු වීමට යෙරමියා ලැබූ කැඳවීම භාවිතා කරමින් එම සංකල්පය පැහැදිලි කිරීමට තීරණය කරන බව සිතන්න. මෙම පදවල ඔබ සොයා ගන්නා දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් ගැන යමක් උගන්වන දේවල් මොනවාද? ඔබට යෙරමියා 7:1–7; 20:8–9 බලන්න පුළුවන්.

අද සිටින ජීවමාන අනාගතවක්තෘවරයා ගැනත් ඔබේ මිතුරාට ඉගැන්වීමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. මෙම පදවල උපකාර විය හැකි යමක් තිබෙනවාද? උදාහරණයක් වශයෙන්, අපේ කාලයේ අනාගතවක්තෘවරුන්ව “උදුරා දමන්නේ” හෝ “කඩා දමන්නේ” මොනවා මගින්ද? ඔවුන් “ගොඩනඟන්නේ” සහ “සිටුවන්නේ” මොනවාද? (යෙරමියා 1:10). අපගේ ජීවමාන අනාගතවක්තෘවරයාව දෙවියන්වහන්සේ කැඳවා ඇති බව ඔබ දැනගත්තේ කෙසේද?

තවත් බලන්න ඇදහිල්ලේ කරුණු 1:6, 9.

1:37

Why Do We Have Prophets?

යෙරමියා 1:5

සෙමනේරි නිරූපකය
මම ඉපදීමට පෙර පවා දෙවියන්වහන්සේ මා දැන සිටි සේක.

යෙරමියා 1:5 තුළ යෙරමියා තමා ගැන ඉගෙනගත්තේ කුමක්ද? අලුතින් කැඳවූ අනාගතවක්තෘවරයෙකු ලෙස, එම තොරතුරු ඔහුට දැනගැනීම වැදගත් වූයේ ඇයි?

යෙරමියා 1:5 තුළ යෙරමියා තමා ගැන ඉගෙන ගත් බොහෝ දේ ඔබ ගැනද සත්‍ය වේ. ඔබ ඉපදීමට පෙර දෙවියන්වහන්සේ ඔබව දැන සිටි අතර නිශ්චිත වගකීම් සඳහා ඔබව සූදානම් කළා. ඔබ ඉපදීමට පෙර ඔබේ ජීවිතය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා ඇල්මා 13:1–4; දහම සහ ගිවිසුම් 138:53–56; සහ ආබ්‍රහම් 3:22–23 කියවන්න. ඔබ සොයා ගන්නා සත්‍ය වලින් ඔබට ලැයිස්තුවක් සෑදිය හැකිය. මෙම තොරතුරු ඔබ දැන ගැනීම වැදගත් වන්නේ ඇයි?

මෙම සත්‍යයන් වැඩිහිටි අහමඩ් එස්. කෝර්බිට්ගේ ජීවිතයට බලපෑ ආකාරය ගැන දැනගැනීමට, “ඔබට ඉශ්‍රායලය එක්රැස් කළ හැකිය!” යන පණිවිඩය අධ්‍යයනය කරන්න (ලියහෝනා, මැයි 2021, 63–63). ඔබේ පෙර ආත්මික ජීවිතය ගැන දැන ගැනීම ඔබ ඔබේ ලෞකික ජීවිතය ගත කරන ආකාරය කෙරෙහි බලපාන්නේ කෙසේද?

සභාපති රසල් එම්. නෙල්සන් ඔබේ පෙර ආත්මික ජීවිතය ගැන පැවසූ දේ මෙයයි:

“ඔබේ ස්වර්ගීය පියාණන්වහන්සේ ඔබව බොහෝ කලක සිට හඳුනනවා. ඔබ, උන්වහන්සේගේ පුත්‍රයා හෝ දියණිය ලෙස, මේ නිශ්චිත අවස්ථාවේදී පොළොවට පැමිණීමට, මෙලොව උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ කාර්යයේ නායකයෙකු වීමට උන්වහන්සේ විසින් ඔබව තෝරාගෙන තිබෙනවා.” ඔබව තෝරාගනු ලැබුවේ ඔබේ ශාරීරික ලක්ෂණ සඳහා නොව, නිර්භීතකම, ධෛර්යය, හදවතේ අවංකභාවය, සත්‍ය සඳහා පිපාසය, ප්‍රඥාව සඳහා කුසගින්න සහ අන් අයට සේවය කිරීමට ඇති ආශාව වැනි ඔබේ අධ්‍යාත්මික ගුණාංග සඳහා යි.

“ඔබ මෙම ගුණාංගවලින් සමහරක් පෙර ආත්මික ජිවිතයේදී වර්ධනය කරගත්තා. ඔබ නොපසුබටව ඒවා සොයන විට ඔබට පොළොවේදී තවත් ඒවා දියුණු කරගන්න පුළුවන්” (“Decisions for Eternity,” Liahona, Nov. 2013, 107).

ඔබේ පෙර ආත්මික ජීවිතය පිළිබඳ මෙම සත්‍යයන් මතක තබා ගැනීම වැදගත් වන, ඔබට මුහුණ දීමට විය හැකි සමහර අවස්ථාවන් ගැන සිතන්න. මෙම සත්‍යයන් ඔබටම මතක් කරදීමට ඔබට කළ හැකි දේවල් මොනවාද?

වම් පසින්, විශාල හිස් ජලාශයක සිටගෙන සිටින පුද්ගලයෙක්; දකුණු පසින්, දිය ඇල්ලක්

යෙරමියා 2:13 තුළ, ස්වාමින්වහන්සේ මිනිසුන්ගේ අධ්‍යාත්මික තත්වය “බිඳුණා වූ කටාරම්” වලට සංසන්දනය කළ අතර උන්වහන්සේව “ජීවන වතුර උල්පතකට” සමාන කළා.

යෙරමියා 2; 7

“ඔව්හු ජීවන වතුර උල්පතවූ මා අත්හැරියා.”

ඉශ්‍රායෙල් සෙනඟ ජීවත් වූ වියළි ප්‍රදේශයේ මිනිසුන් කටාරම් ලෙස හඳුන්වන භූගත ජලාශවල වටිනා ජලය ගබඩා කර තැබුවා. ඔබ සිතන ආකාරයට යෙරමියා 2:13 තුළ සඳහන් “බිඳුණා වූ කටාරම්” සංකේතවත් කරන්නේ කුමක්ද? දිය උල්පතකින් ජලය ලබා ගැනීම කටාරමක් මත යැපීමට වඩා හොඳ වන්නේ ඇයි? “ජීවන ජල උල්පත” අත්හැරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඔබ යෙරමියා 2 සහ7 කියවන විට, මිනිසුන් ස්වාමින්වහන්සේගේ ජීවන ජලය අත්හරින ආකාරය සැලකිල්ලට ගන්න (උදාහරණයක් ලෙස බලන්න, යෙරමියා 2:26–28; 7:2–11). ගැලවුම්කරුවාණන් ඔබට දෙන දේවල් සඳහා “ජීවන ජලය” හොඳ සංකේතයක් වන්නේ ඇයි? ඔබට ජීවමාන ජලය ලැබෙන්නේ කෙසේද කියා සිතන්න.

යෙරමියා 7 ආමන්ත්‍රණය කරනු ලබන්නේ “ස්වාමින්වහන්සේට නමස්කාර කරන්ට ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුළු වෙමින් සිටි” මිනිසුන්ටයි නමුත් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ගේ බාහිර ළැදියාවට ගැලපුණේ නැහැ(බලන්න 2–11 පද). ඔබට සිතෙන ආකාරයට 21–23 පදවල ස්වාමින්වහන්සේ ඔබ වෙනුවෙන් තබා ඇති පණිවිඩ මොනවාද?

භාණ්ඩ භාවිතා කරන පාඩම් බෙදාගන්න. ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරු බොහෝවිට අධ්‍යාත්මික සත්‍යයන් හුරුපුරුදු භාණ්ඩ සමඟ සංසන්දනය කරනවා. ඔබ ශුභාරංචිය ඉගෙන ගන්නා විට හා උගන්වන විට ඒ ආකාරයටම එය කිරීම ගැන සලකා බලන්න. උදාහරණයක් වශයෙන්, යෙරමියා 2:13 සිතින් මවා ගැනීමට, ඔබට පැළුණු හෝ කැඩුණු භාජනයකට වතුර දැමීම හෝ පානීය දිය උල්පතකින් පානය කරන්න පුළුවන්. යේසුස්වහන්සේ “ජීවන ජාල උල්පතක්” හා සමාන වන්නේ කෙසේද? (යෙරමියා 2:13). උන්වහන්සේගේ ජීවන ජලයෙන් අප පානය කරන්නේ කෙසේද?

යෙරමියා 3:14–18; 16:14–21

ස්වාමින්වහන්සේ තම සෙනඟ රැස් කරනු ඇත.

යෙරමියා 16:14–15 තුළ, යෙරමියා පසුදවස්වලදී ඉශ්‍රායෙලයේ එක්රැස්වීම ඉශ්‍රායෙල් සෙනඟ ඊජිප්තුවෙන් නික්මයාම සමඟ සංසන්දනය කළා. ඔබගේ මතය අනුව, දෙවියන්වහන්සේගේ සෙනඟට නික්මයාමට වඩා, එක්රැස්වීම වැදගත් වෙන්නේ ඇයි?

යෙරමියා 3:14–18; 16:14–21 තුළ මෙම එක්රැස්වීම සිදු වන ආකාරය ගැන යෝජනා කරන්නේ මොනවාද?

වැඩි විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

යෙරමියා 1:5

මා ඉපදීමටත් පෙර ස්වාර්ගීය පියාණන්වහන්සේ මා දැන සිටි සේක.

  • යෙරමියා 1:5 තුළ උගන්වා ඇති වැදගත් සත්‍යය හඳුන්වා දීමට, ඔබට ඔබේ දරුවන්ට ළදරුවෙකුගේ පින්තූරයක් පෙන්විය හැකිය (නැතහොත්, හැකි නම්, ඔබේ දරුවන් ළදරු අවධියේ සිටියදී ඔවුන්ගේ පින්තූර බැලීමට ඔබට පුළුවන්). ඔබේ දරුවන් ඉපදීමට පෙර ඔවුන් ජීවත් වූණේ කොහේද කියා ඔවුන් දන්නවද කියා ඔවුන්ගෙන් අසන්න. අපගේ පෙර ආත්මික ජීවිතය ගැන උගන්වන ගීතයක් ඔබට එකට එක්ව ගායනා කරන්න පුළුවන්.

  • පෙර ආත්මික ජීවිතය පිළිබඳ “කවුද,” “කවදාද” සහ “කුමක්ද” යන ප්‍රශ්නවලට පිළිතුරු ඔවුන්ට සොයන්න පුළුවන්.

ළදරුවෙකු අල්ලාගෙන සිටින ගැහැණු ළමයෙක්

යෙරමියා 1:4–19

ස්වාමින්වහන්සේගේ වචන කථා කිරීමට අනාගතවක්තෘවරුන්ව කැඳවා ඇත.

  • ශුද්ධලියවිලිවල ඇති ජීවමාන අනාගතවක්තෘවරයාගේ හෝ අනාගතවක්තෘවරුන්ගේ පින්තූර පෙන්වීම සලකා බලන්න (ඔබට සමහරක් සභාවේ සඟරා, සහ එන්න, මා අනුගමනය කරන්න තුළින් සොයා ගත හැකිය. මෙම අනාගතවක්තෘවරුන් ගැන ඔබේ දරුවන් දන්නේ මොනවාදැයි ඔවුන්ගෙන් අසන්න.

  • අනාගතවක්තෘවරුන් කරන දේවල් ගැන ඉගැන්වීමට, ඔබට යෙරමියා 1 සිට 5, 7, 10, සහ 19 වැනි පද වෙතින් ප්‍රයෝජනවත් පද කිහිපයක් තෝරාගත හැකිය. ඔබේ දරුවන් සෑම කෙනෙක්ටම එක පදයක් බැගින් තෝරාගෙන, එය කියවා, අනාගතවක්තෘවරුන් ගැන ඔවුන් ඉගෙන ගන්නා යමක් බෙදා ගත හැකිය.

යෙරමියා 16:14–16

ස්වර්ගීය පියාණන්වහන්සේගේ දරුවන්ට නැවත උන්වහන්සේ වෙත පැමිණීමට මට උපකාර කරන්න පුළුවන්.

  • ඔබ යෙරමියා 16:16 කියවන විට, ඔබේ දරුවන්ට කාමරය වටා ඇති භාණ්ඩ “මසුන් ඇල්ලීම” හෝ “දඩයම් කරනවා” මෙන් රඟපාන්න පුළුවන්. සභාපති රසල් එම්. නෙල්සන් මෙම පදයේ මසුන් අල්ලන්නන් සහ දඩයම්කරුවන්ව ධර්මදූතයින්ට සමාන කර තිබෙනවා (බලන්න “The Gathering of Scattered Israel,” Liahona, Nov. 2006, 81). ධර්මදූතයින් කරන්නේ මොනවාද? විසිරී සිටින ඉශ්‍රායෙලයට “මසුන් ඇල්ලීමට” සහ “දඩයම්” කිරීමට අපට උපකාර කළ හැක්කේ කෙසේද?

    3:30

    Video: A Message for Children from President Russell M. Nelson

යෙරමියා 18:1–6

කුඹල්කරුවෙකු මැටි හැඩගස්වා ගන්නාක් මෙන්, ස්වාමින්වහන්සේට මගේ ජීවිතය මඟ පෙන්වීමට මට ඉඩ දිය හැකිය.

  • මෙම පද ගවේෂණය කිරීම සඳහා, ඔබට මැටි භාණ්ඩයක් සාදන ආකාරය සාකච්ඡා කිරීමට හෝ පෙන්වීමට හැකිය (මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූරය බලන්න). යෙරමියා 18:1–6 හි ස්වාමින්වහන්සේ අපට දෙන පණිවිඩය කුමක්ද? ස්වාමින්වහන්සේගේ අතෙහි තිබෙන මැටි වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (තවත් බලන්න යෙසායා 64:8).

වැඩි විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

රෝදයක් යොදා ගනිමින් අතින් මැටි භාණ්ඩ හැඩ ගැන්වීම

“එම්බා ඉශ්‍රායෙල් වංශය, කුම්භකාරයාගේ අතෙහි තිබෙන මැටි මෙන් නුඹලා මාගේ අතෙහි සිටින්නහුය” (යෙරමියා 18:6).

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව: ස්වර්ගීය පියාණන්වහන්සේගේ දරුවන්ට නැවත උන්වහන්සේ වෙත පැමිණීමට මට උපකාර කරන්න පුළුවන්