“ජුනි 15–21. ‘යුද්ධය ස්වාමින්වහන්සේගේය’: 1 සාමුවෙල් 17–18; 24–26; 2 සාමුවෙල් 5–7,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“ජුනි 15–21. ‘යුද්ධය ස්වාමින්වහන්සේගේය,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
ස්ටීව් නෙදර්කොට් විසින්, David and Goliath [දාවිත් සහ ගොලායත්]
ජුනි 15–21: “යුද්ධය ස්වාමින්වහන්සේගේය”
1 සාමුවෙල් 17–18; 24–26; 2 සාමුවෙල් 5–7
ඉශ්‍රායෙල් වංශ පොරොන්දු දේශයේ පදිංචි වූ දා පටන්, පිලිස්තිවරුන් ඔවුන්ගේ ආරක්ෂාවට දිගින් දිගටම තර්ජනයක් වුණා. ස්වාමින්වහන්සේ අතීතයේ බොහෝ වාර ගණනක් ඔවුන්ව ගලවා ගෙන තිබෙනවා, නමුත් දැන් ඉශ්‍රායෙලයේ වැඩිහිටියන් මෙසේ ඉල්ලා සිටියා, “අපට පෙරටුව ගොස් අපේ යුද්ධවල් කරන පිණිසද අප කෙරෙහි රජෙක් සිටින්ටම ඕනෑය” (1 සාමුවෙල් 8:19–20). එබැවින් සාවුල්ව රජු ලෙස ආලේප කරනු ලැබුවා. එහෙත්, තර්ජනාත්මක යෝධ ගොලියත් ඉශ්‍රායෙල් හමුදාවන්ට ඔහුගේ අභියෝගය එල්ල කළ විට, සාවුල්—ඔහුගේ සෙසු හමුදාව මෙන්—”ඉතා භයපත් වුණා” (1 සාමුවෙල් 17:11). එදින ඉශ්‍රායෙල් සෙනඟව බේරාගත්තේ සාවුල් රජු නොවේ නමුත් සන්නාහයක් පැළඳ නොසිටි නමුත් ස්වාමින්වහන්සේ කෙරෙහි නොබිඳිය හැකි ඇදහිල්ලෙන් සැරසී සිටි දාවිත් නම් නිහතමානී එඬේර පිරිමි ළමයෙකුයි. ඉශ්‍රායෙලයට සහ සටන් කිරීමට අධ්‍යාත්මික සටන් ඇති ඕනෑම කෙනෙකුට, “ස්වාමින්වහන්සේ කඩුවෙන් හා හෙල්ලයෙන් නොගළවන බව” සහ “යුද්ධය ස්වාමීන්වහන්සේගේ” බව මෙම සටන මගින් ඔප්පු කළා (1 සාමුවෙල් 17:47).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
1 සැමුවෙල් 17
ස්වාමින්වහන්සේගේ උපකාරයෙන් මට ඕනෑම අභියෝගයක් ජය ගත හැකිය.
දාවිත් සහ ගොලියත්ගේ කතාව ශුද්ධලියවිලිවල ඇති හොඳම කථාවලින් එකක් වෙනවා. ඇත්ත වශයෙන්ම, අපි සාමාන්‍යයෙන් අවධානය යොමුකරන්නේ දාවිත් වෙතයි. නමුත් මෙවර, ඔබ 1 සාමුවෙල් 17 අධ්‍යයනය කරන විට, මෙම පරිච්ඡේදයේ අනෙක් පුද්ගලයින්ගේ වචන ගැනද මෙනෙහි කරන්න (පහත ලැයිස්තුව බලන්න). ඔවුන් ගැන සහ ඔවුන්ගේ චේතනාවන් ගැන ඔබ ඉගෙන ගන්නේ මොනවාද? දාවිත් ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? ඔහු වෙනස් වන්නේ කෙසේද?
-
ගොලියත්: 8–10, 43–44 පද
-
එලියාබ්: 28 වෙනි පදය
-
සාවුල්: 33 වෙනි පදය
-
දාවිත්: 26, 32, 34–37, 39, 45–47 පද
ඔබේ කතාව, දාවිත්ගේ කතාව තරම් ප්‍රසිද්ධ නොවූවත්, ගොලියත්ගේ ප්‍රමාණයේ අභියෝග ජය ගැනීමට සහ ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමට ඇති අවස්ථා ඔබේ කතාවේත් ඇතුළත් වන බව නිසැකයි. ඔබේ කතාවේ විපත්තිවලට මුහුණ දීම ගැන දාවිත්ගේ ආදර්ශයෙන් ඔබට උගන්වන්නේ කුමක්ද? ඔබේ එක් අභියෝගයක් මනසේ තබාගෙන ඔබට කමීල් එන්. ජොන්සන් සභාපතිනියගේ “ඔබේ කතාව ලියන්නට ක්‍රිස්තුස්වහන්සේට ආරාධනා කරන්න” (ලියහෝනා, නොවැ. 2021, 80–82) කතාව කියවන්න පුළුවන්. මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න: ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ මම මගේ අභියෝග දෙස කුමන ආකාරයෙන් බලනවාටද? අතීතයේදී උන්වහන්සේ මට උදව් කර ඇත්තේ කෙසේද? මගේ කතාව ලිවීමට මම උන්වහන්සේව විශ්වාස කරන බව මට පෙන්විය හැක්කේ කෙසේද?
දාවිත්ගේ කතාවේ පසුව ඛේදජනක පරිච්ඡේද කිහිපයක් ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති (උදාහරණයක් ලෙස බලන්න, 2 සාමුවෙල් 11). ගොලියත් සමඟ කළ සටනෙන් පසු දාවිත්ට උපදෙස් දීමට ඔබට අවස්ථාවක් ලැබුණහොත් ඔබ කුමක් කියයිද? මෙම උපදෙස ඔබේ ජීවිතයට අදාළ වන්නේ කෙසේද?
The Lord Will Deliver Me
1 සාමුවෙල් 17:26–50
ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇති එක් පුද්ගලයෙකුට වෙනසක් කළ හැකිය.
පුද්ගලික අභියෝගවලට අමතරව, මුළු ලෝකයටම බලපාන විශාල, සංකීර්ණ ගැටලුවලටද අපි මුහුණ දෙනවා. යහපතෙහි බලවේගයන්ට එරෙහිව නපුරු බලවේග “එකට එකතු වී … සටනට” සිටින විට (1 සාමුවෙල් 17:1), අපගේ පුද්ගලික උත්සාහයන් වෙනස් කළ හැක්කේ කෙසේදැයි අප කල්පනා කරන්න පුළුවන්. දාවිත්ගේ කතාවෙන් ඔබ සොයාගන්නා ඔබට බලාපොරොත්තුවක් ලබා දෙන දේවල් මොනවාද?
විල්සන් ඔන්ග් විසින්, True Friendship and Self-Respect [සැබෑ මිත්‍රත්වය සහ ආත්ම ගෞරවය] (විස්තර)
1 සාමුවෙල් 18
“යොනාතාන් තමාගේම ප්‍රාණයට මෙන් [දාවිත්ට] ආදරේ විය.”
ඔබ 1 සාමුවෙල් 18 කියවන විට, සාවුල් සහ ඔහුගේ පුත් යොනාතන් (දාවිත් නොසිටියේ නම්, ඔහු මීළඟ රජු වනු ඇතැයි උපකල්පනය කළ හැකිව තිබුණි) අතර වෙනස සලකා බලන්න. දාවිත්ගේ සාර්ථකත්වයට සාවුල් සහ යොනාතන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? මෙම අත්දැකීමෙන් ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද?
යොනාතන්ගේ ආකල්ප සහ ක්‍රියාවලින් ඔබ දකින, ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ඔබට මතක් කර දෙන දේවල් මොනවාද?
“ශුද්ධලියවිලි අදාළ කරගන්න” (1 නෙපී 19:23). දාවිත්, යොනාතන් සහ සාවුල් වැනි අයගේ අභිප්‍රේරණ සහ ක්‍රියාවලින් ඉගෙන ගැනීමට ශුද්ධලියවිලි විශාල අවස්ථාවන් සපයනවා. ශුද්ධලියවිලිවල කිසිවෙකු දෝෂ රහිත බව ඔබට පෙනී යයි. එමනිසා, ඔබ දාවිත්ගේ ඇදහිලිවන්ත තේරීම් ගැන කියවන විට, ඔහුගේ වැරදිවලින්ද ඉගෙනීමට විවෘතව සිටින්න. එසේ කිරීමෙන් අප තුළ ඇති විය හැකි දුර්වලතා හඳුනා ගැනීමටත්, “[අනෙක් අය] සිටියාට වඩා ප්‍රඥාවන්ත වීමට ඉගෙන ගැනීමටත්” අපට එය උදව්වක් වෙන්න පුළුවන් (මොර්මොන් 9:31).
1 සාමුවෙල් 24–26
සමාව දීම යනු සාමය සහ සුවය සඳහා ස්ථිර මාර්ගයයි.
1 සාමුවෙල් 24–26 තුළ, උඩඟුකම, සමාව දීම සහ ස්වයං විනය පිළිබඳ පාඩම් සොයන්න. ඔබේ අධ්‍යයනයේ කොටසක් ලෙස වැඩිහිටි මාර්ක් ඒ. බ්‍රැග්ගේ “ක්‍රිස්තුස්වහන්සේගේ වැනි සමබරතාවය” (ලියහෝනා, මැයි 2023, 60–63) යන පණිවිඩය කියවීමද ඔබට සලකා බලන්න පුළුවන්. දාවිත්, අබිගායිල් සහ වෙනත් අය මෙම පරිච්ඡේදවල ක්‍රිස්තුස්වහන්සේගේ සමබරතාව පෙන්වූයේ හෝ—පෙන්වීමට අසමත් වූයේ—කෙසේද? ක්‍රිස්තුස්වහන්සේ මෙන් සමබර බවක් පෙන්වීමට ඔබට තිබෙන අවස්ථා මොනවාද?
ක්‍රිස්ටින් යී සහෝදරියගේ “අළු වෙනුවට මාලයක්: සමාව දීමේ සුව කිරීමේ මාවත” (ලියහෝනා, නොවැ. 2022, 36–39) යන පණිවිඩය ඔබට 1 සාමුවෙල් 25 අධ්‍යයනය කිරීමට උපකාරයක් වෙන්න පුළුවන්. අබිගායිල් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වන්නේ කෙසේද?
2 සාමුවෙල් 5:17–25
මට මගපෙන්වීමට ස්වාමින්වහන්සේට හැකිය.
දාවිත් ගොලියත්ව පරාජය කළත් පිලිස්තිවරුන් සමඟ තිබූ ප්‍රශ්න අවසන් වුණේ නැහැ. ඔබ 2 සාමුවෙල් 5:17–25 කියවන විට, ඔබ මුහුණ දෙන අභියෝගවලදී දාවිත්ගේ ආදර්ශය ඔබට උපකාර කළ හැකි ආකාරය ගැන සලකා බලන්න (තවත් බලන්න 1 සාමුවෙල් 23:2, 10–11; 30:8; 2 සාමුවෙල් 2:1). ඔබට ලැබෙන එළිදරව් අනුව කටයුතු කිරීමෙන් ඔබට ආශිර්වාද ලැබෙන්නේ කෙසේද?
2 සැමුවෙල් 7
ස්වාමින්වහන්සේ දාවිත්ට පොරොන්දු වූ “ගෘහය” කුමක්ද?
ස්වාමින්වහන්සේ උදෙසා දේවමාළිගාවක් යන අර්ථය ඇති ගෘහයක් තැනීමට දාවිත් ඉදිරිපත් වූ විට (බලන්න 2 සාමුවෙල් 7:1–3), ස්වාමින්වහන්සේ ප්‍රතිචාර දැක්වූයේ දාවිත්ගේ පුත්‍රයා එය ගොඩනගනු ඇති බවයි (12–15 පද බලන්න; තවත් බලන්න 1 ලේකම් 17:1–15). ස්වාමින්වහන්සේද දාවිත්ට “ගෘහයක්” ගොඩනගන බවත්, එහි අර්ථය පසු පරම්පරාවක් බවත්, ඔහුගේ සිංහාසනය සදහටම පවතින බවත් උන්වහන්සේ පැවසුවා (බලන්න 2 සාමුවෙල් 7:11, 16, 25–29; ගීතාවලිය 89:3–4, 35–37). මෙම පොරොන්දුව දාවිත්ගෙන් පැවත එන අපගේ සදාකාලික රජු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඉටු වුණා (බලන්න මතෙව් 1:1; ලූක් 1:32–33; යොහන් 18:33–37).
තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
1 සාමුවෙල් 17:20–54
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල මට ධෛර්යවත් වීමට උපකාර කරයි.
-
2:36
David and Goliath
-
ඔබට සහ ඔබේ දරුවන්ට ඔවුන්ගේ ජීවිත කාලය තුළ මුහුණ දීමට සිදු විය හැකි දුෂ්කර අභියෝග ලැයිස්තුවක් සාදාගන්න පුළුවන්. ඉන්පසු මෙම අභියෝගවලට උපකාර කළ හැකි දාවිත් පැවසූ දේවල් සොයා ගැනීමට ඔවුන්ට උපකාර කරන්න (බලන්න 1 සාමුවෙල් 17:26, 32, 34–37, 45–47). අභියෝගවලදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට උපකාර කළ ආකාරය බෙදාගන්න.
-
ඔබේ දරුවන්ට ධෛර්ය සම්පන්න බව ගැන ගීතයක් ගායනා කරන අතරේ දාවිත් ගොලියත් සමඟ සටන් කිරීමට යන ආකාරයට ගමන් කරන්න පුළුවන්.
1 සාමුවෙල් 18:1–4
හොඳ මිතුරන් දෙවියන්වහන්සේගෙන් ආශිර්වාදයක් වෙන්න පුළුවන්.
-
යොනාතන් සහ දාවිත්ගේ මිත්‍රත්වය ගැන ඉගෙනගැනීමට ඔබ ඔබේ දරුවන්ට උදව් කරන්නේ කොහොමද? එක් ක්‍රමයක් තමයි සෑම දරුවෙකුටම කඩදාසි හදවත් දෙකක් ලබා දීම, එකක් දාවිත්ව නියෝජනය කිරීමට සහ අනෙක යොනාතන්ව නියෝජනය කිරීමට. ඉන්පසු මෙම මිතුරන් දෙදෙනා එකිනෙකා කෙරෙහි දක්වන ආදරය අවධාරණය කරන 1 සාමුවෙල් 18:1–4 තුළ ඇති වාක්‍ය ඛණ්ඩ කිහිපයක් එකට එක්ව කියවන්න. එවිට ඔබේ දරුවන්ට, ඔවුන්ට මිතුරෙකුට ආදරය පෙන්විය හැකි ආකාරය ඔවුන්ගේ කඩදාසි හදවත් මත ලිවීමට හෝ ඇඳීමට පුළුවන්.
2 සාමුවෙල් 5:19, 23
මට මගපෙන්වීමක් අවශ්‍ය නම්, මට ස්වර්ගික පියාණන්වහන්සේගෙන් ඉල්ලා සිටිය හැකිය.
-
මෙම පරිච්ඡේදවල දාවිත් ඉශ්‍රායෙල්හි රජු බවට පත්වුණා. ඔබේ දරුවන්ට රජෙකු හෝ රැජිනක් ලෙස පෙනී සිටීම විනෝදජනක වෙන්න පුළුවන්. ඔවුන් සම්පාදනය කරන නීති මොනවාද? ඔවුන් උදව් සඳහා යන්නේ කොහේද? දාවිත්ට උපකාර අවශ්‍ය වූ විට ඔහු පිළිතුරු ඉල්ලා “විමසූ” බව නැතහොත් යාච්ඤා කළ බව සොයාගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. උදාහරණයක් වශයෙන්, ඔබ 2 සාමුවෙල් 5:19, 23 කියවන විට, “විචාරමින්” යන වචනයට සවන් දීමට සහ එය ඇසෙන විට ඔවුන්ගේ දෑත් පටලවා ගැනීමට දරුවන්ට ආරාධනා කරන්න. දාවිත්ට ඔහුගේ නව භූමිකාව සඳහා ස්වාමින්වහන්සේගේ උපකාර අවශ්‍ය වන්නේ ඇයි?
-
ඔබ ස්වර්ගික පියාණන්වහන්සේගේ උපකාරය ඉල්ලා යාච්ඤා කළ අවස්ථා ගැන එකිනෙකාට කියන්න. ඔබ උන්වහන්සේගෙන් උදව් ලබාගැනීමෙන් ඇති වූ වෙනස කුමක්ද?
2 සාමුවෙල් 7:16–17
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගේ සදාකාලික රජුය.
-
පරණ ගිවිසුමේ අපි කියවන රජවරුන් සියල්ලන්ගේම අඩුපාඩු තිබුණා, ඒවගේම ඔවුන්ගේ රාජ්‍යයන් සියල්ල අවසන් වුණා. නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියන්නෙ පරිපූර්ණ රජෙක්, ඒවගේම උන්වහන්සේ සදාකාලයටම පාලනය කරනවා. අනාගතවක්තෘ නාතාන් 2 සාමුවෙල් 7:16–17 තුළ දාවිත් රජුට පැවසූ දේ එකට එක්ව කියවීමෙන් ඔබට ඔබේ දරුවන්ට මෙය සොයා ගැනීමට උදව් කරන්න පුළුවන්. දාවිත්ගේ රාජ්‍යයට අවසානයක් නැත්තේ කෙසේද? ලූක් 1:32–33; යොහන් 18:33–37; සහ එළිදරව් 19:16 වැනි දාවිත්ගෙන් පැවත එන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ රජු බව උගන්වන ශුද්ධලියවිලි පාඨ සොයා ගැනීමට සහ කියවීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. යේසුස්වහන්සේ ලෞකික රජවරුන්ට වඩා වෙනස් වන්නේ කෙසේද? අපගේ සදාකාලික රජු ලෙස අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ගෞරව කරන්නේ කෙසේද?
තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.