“දෙසැම්බර් 1–7: ‘මළවුන්ගේ මිදීමේ දර්ශනය’: දහම සහ ගිවිසුම් 137–138,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 137–138,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
රොබට් ටී. බැරට් විසින්, Christ Preaching in the Spirit World [ක්‍රිස්තුස්වහන්සේ ආත්මික ලෝකයේ දේශනා කරමින්]
දෙසැම්බර් 1–7: “මළවුන්ගේ මිදීමේ දර්ශනය”
දහම සහ ගිවිසුම් 137–138
දහම සහ ගිවිසුම් 137 සහ 138 හි වාර්තා කර ඇති එළිදරව් කිරීම් වසර 80 කට වැඩි කාලයකින් සහ සැතපුම් 1,500 (කිලෝමීටර් 2,400) කින් වෙන් වෙනවා. 137 වෙනි කොටස 1836 දී ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට කර්ට්ලන්ඩ් දේවමාළිගාවේදී ලැබුණු අතර, 138 වෙනි කොටස 1918 දී සෝල්ට් ලේක් නගරයේදී, එකල සභාවේ හයවෙනි සභාපති වූ ජෝසෆ් එෆ්. ස්මිත් මගින් ලැබුණා. නමුත් ආගම අතින් බැලූ විට, මෙම දර්ශන දෙක එකට බැලීම වටිනවා. දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් ඇතුළු බොහෝ මිනිසුන්ට මරණින් මතු ජීවිතය ගැන ඇති ප්‍රශ්නවලට ඒ එළිදරව් දෙකෙන්ම පිළිතුරු ලබාදෙනවා. බව්තීස්ම නොවී මිය ගිය, තම සොහොයුරා වූ ඇල්වින්ගේ ඉරණම ගැන ජෝසෆ් ස්මිත් කල්පනා කළා. තම දෙමාපියන් දෙදෙනාම සහ අකාලයේ මිය ගිය දරුවන් 13 දෙනෙකු සිටි ජෝසෆ් එෆ්. ස්මිත්, බොහෝ විට ආත්මික ලෝකය ගැන සිතමින් එහි ශුභාරංචිය දේශනා කිරීම ගැන කල්පනා කළා.
137 වෙනි කොටසින් ඊලඟ ජීවිතයේ දෙවියන්වහන්සේගේ දරුවන්ගේ ඉරණම ගැන මූලික දැනුමක් ලබාදෙන අතර, 138 වෙනි කොටසින් එම තිර තවත් පුළුල්ව විවෘත කරනවා. මෙම එළිදරව් කිරීම් දෙකම එක්ව, “පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ පෙන්වන ලද්දාවූ මහත් වූ සහ පුදුමාකාර වූ ප්‍රේමය” (දහම සහ ගිවිසුම් 138:3) ගැන සාක්ෂි දරනවා.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
දහම සහ ගිවිසුම් 137; 138:30–37, 57–60
ස්වර්ගික පියාණන්වහන්සේගේ සියලුම දරුවන්ට සදාකාල ජීවනය තෝරා ගැනීමට අවස්ථාව ලැබේ.
ජෝසෆ් අනාගතවක්තෘවරයාගේ ආදරණීය සොහොයුරා වූ ඇල්වින් ස්මිත්, දෙවියන්වහන්සේ විසින් බව්තීස්ම කිරීමේ අධිකාරිත්වය නැවත ලබා දීමට වසර හයකට පෙර මිය ගියා. 1836 දී සමහර කිතුනුවන් අතර පොදු අවබෝධය වුණේ, පුද්ගලයෙකු බව්තීස්ම නොවී මිය ගියහොත් එම පුද්ගලයාට ස්වර්ගයට යා නොහැකි බවයි. ජෝසෆ්ට දහම සහ ගිවිසුම් 137 හි එළිදරව්ව ලැබෙන තුරු, ඔහු වසර ගණනාවක් තිස්සේ ඇල්වින්ගේ සදාකාලික ගැලවීම ගැන කල්පනා කළා.
අද බොහෝ දෙනෙකුටත් ඒ හා සමානම ප්‍රශ්න තිබෙනවා. බොහෝ දෙනෙකුට කිසිවිටකත් මෙම නියෝග සහ ගිවිසුම් ලබාගැනීමට අවස්ථාවක් තිබී නැති විටත්, දෙවියන්වහන්සේ ඒවා බලාපොරොත්තු වන්නේ ඇයි? මේ ගැන කල්පනා කරන කෙනෙකුට ඔබ කියන්නේ කුමක්ද? ඔබ, දෙවියන්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල සහ ගැලවීම කෙරෙහි උන්වහන්සේගේ අවශ්‍යතාව ගොඩනගන්නේ කෙසේද? ඔබට බෙදාගත හැකි සත්‍යයන් සොයාගැනීම සඳහා 137 වෙනි කොටස සහ 138:30–37, 57–60 කියවන්න.
ඔබ අධ්‍යයනය කර මෙනෙහි කරන විට, මෙවැනි වාක්‍ය සම්පූර්ණ කිරීමෙන් ඔබට ඔබේ හැඟීම් සටහන් කළ හැකිය:
-
මෙම එළිදරව් නිසා මම දන්නවා, ස්වර්ගික පියාණන්වහන්සේ .
-
මෙම එළිදරව් නිසා මම දන්නවා, ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම .
-
මෙම එළිදරව් නිසා මට කරන්නට අවශ්‍ය වන්නේ .
දහම සහ ගිවිසුම් 138:1–11, 25–30
ශුද්ධලියවිලි කියවීම සහ ඒවා මෙනෙහි කිරීම එළිදරව් ලැබීමට මාව සූදානම් කරයි.
සමහර විට අපි එළිදරව් සඳහා සොයන්නේ නැති විට පවා ඒවා පැමිණෙනවා. නමුත් බොහෝ විට ඒවා පැමිණෙන්නේ අප ඒවා ගැන උනන්දුවෙන් සොයා බලා සූදානම් වන නිසයි. ඔබ දහම සහ ගිවිසුම් 138:1–11, 25–30 කියවන විට, “[ඔහුගේ] තේරුම්ගැනීමේ දෑස් විවෘත වූ විට” සභාපති ජෝසෆ් එෆ්. ස්මිත් මෙනෙහි කරමින් සිටියේ කුමක්දැයි කියා බලන්න. ඔබට ඔහුගේ අත්දැකීම් 1 නෙපී 11:1–6; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:12–19 සමඟ සැසඳිය හැකිය. ඉන්පසු ඔබට සභාපති ස්මිත්ගේ ආදර්ශය අනුගමනය කළ හැකි ආකාරය ගැන සලකා බලන්න. නිදසුනක් වශයෙන්, වැඩි වැඩියෙන් පුද්ගලික එළිදරව් ලබාගැනීම සඳහා ඔබට පෙළඹවීමක් දැනෙන්නේ ඔබගේ ශුද්ධලියවිලි අධ්‍යයනයට කුමන වෙනස්කම් කිරීමටද?
“මළවුන්ගේ මිදීමේ දර්ශනය” (ලියහෝනා, නොවැ. 2018, 71–74) යන සභාපති එම්. රසල් බැලර්ඩ්ගේ පණිවිඩයේ, ඔහු පවසන්නේ මෙම එළිදරව්ව ලැබීමට සභාපති ස්මිත් සූදානමින් සිටි බවයි. ඔහුගේ අත්දැකීම්වලින් ඔබ ඉගෙනගන්නේ කුමක්ද? ඔබ ලබන අත්දැකීම් සඳහා ස්වාමින්වහන්සේ ඔබව සූදානම් කර ඇති ආකාරය—සහ ඔබේ අනාගත අත්දැකීම් සඳහා උන්වහන්සේ ඔබව සූදානම් කරනු ඇත්තේ කෙසේදැයි කියා සලකා බලන්න.
Ministry of Joseph F. Smith: A Vision of the Redemption of the Dead
ඇල්බට් සල්ස්බ්‍රෙන්නර් විසින්, Joseph F. Smith [ජෝසෆ් එෆ් ස්මිත්]
ආත්මයාණන්ට ආරාධනා කරන්න. “ඔබ දුටු ආකාරයට, ශුභාරංචිය ඉගෙනීම සඳහා ආත්මික වටපිටාවක් නිර්මාණය කරන දේවල් මොනවාද? එයින් අපව වළක්වන්නේ මොනවාද?” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 18). ඔබ දහම සහ ගිවිසුම් 138:1–11 හි සභාපති ජෝසෆ් එෆ්. ස්මිත්ගේ අත්දැකීම ගැන අධ්‍යයනය කරන විට, ඔබ කෙරෙහිත් එමෙන්ම ඔබ ගුරුවරයෙකු නම්, ඔබ උගන්වන අය කෙරෙහිත්, මෙනෙහි කිරීම දිරිමත් කරන්නේ සහ ආත්මික පෙළඹවීම් වලට ආරාධනා කරන්නේ කෙසේදැයි සලකා බලන්න.
ගැලවුම්කරුවාණන්ගේ කාර්යය තිරයේ අනෙක් පැත්ත දක්වාම දිගටම පවතිනවා.
සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වුවා, “ලෝකයට ලබාදෙන අපගේ පණිවිඩය සරල සහ අවංක ය: තිරය දෙපස සිටින දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට අප ආරාධනා කරන්නේ, ඔවුන්ගේ ගැලවුම්කරුවාණන් වෙතට පැමිණ, ශුද්ධ වූ දේවමාළිගාවේ ආශිර්වාද ලබාගෙන, කල්පවත්නා ප්‍රීතිය ලබා ගැනීමට සහ සදාකාලික ජීවිතය සඳහා සුදුසු වන ලෙසයි” (“අපි සියලු දෙනාම ඉදිරියටම ඇදෙමු,” ලියහෝනා, 2018 මැයි, 118–19). ඔබ දහම සහ ගිවිසුම් 138:25–60 කියවන විට මෙම ප්‍රකාශය මෙනෙහි කරන්න. ඔබට මෙම ප්‍රශ්නද සලකා බැලිය හැකිය:
-
ආත්මික ලෝකය තුළ ගැලවුම්කරුවාණන්ගේ කාර්යය ඉටු වන ආකාරය ගැන මෙම පදවලින් ඔබ ඉගෙන ගන්නේ කුමක්ද? මෙම කාර්යය සිදු වන බව දැන ගැනීම ඔබට වැදගත් වන්නේ ඇයි?
-
ආත්මික ලෝකයේ සිටින ස්වාමින්වහන්සේගේ පණිවිඩකරුවන් ගැන ඔබේ සිත් ඇදගන්නාසුලු දේවල් මොනවාද?
-
මෙම එළිදරව්ව මගින් දෙවියන්වහන්සේගේ මිදීමේ සැලැස්ම කෙරෙහි ඔබේ ඇදහිල්ල ශක්තිමත් කරන්නේ කෙසේද?
ඔබට ආත්මික ලෝකය ගැන තවදුරටත් දැන ගැනීමට අවශ්‍ය නම්, ඔබට සභාපති ඩැලන් එච්. ඕක්ස්ගේ “ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න” (ලියහෝනා, නොවැම්බර් 2019, 26–29) යන පණිවිඩය අධ්‍යයනය කළ හැකිය.
A Visit from Father
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
දහම සහ ගිවිසුම් 137:5–10; 138:18–35
ස්වර්ගික පියාණන්වහන්සේගේ සියලුම දරුවන්ට ශුභාරංචිය ඇසීමට අවස්ථාව ලැබේ.
-
බව්තීස්ම වීමට අවස්ථාවක් නොමැතිව මිය ගිය, ඔබ දන්නා කෙනෙකු ගැන ඔබට කතා කළ හැකිය. දහම සහ ගිවිසුම් 137:5–10 හි එම පුද්ගලයා ගැන අපට උගන්වන්නේ කුමක්ද?
2:20Ministry of Joseph Smith: Temples
2:17Chapter 39: The Kirtland Temple Is Dedicated: January–March 1836
-
ගැලවුම්කරුවාණන්ගේ සොහොනෙහි පින්තූරයක් සහ මෙම දළ සටහන අවසානයේ ඇති පින්තූරය ඔබේ දරුවන්ට පෙන්වමින්, යේසුස්වහන්සේගේ ශරීරය සොහොන තුළ තිබියදී උන්වහන්සේගේ ආත්මය ගියේ කොහාටදැයි ඔවුන්ට ඉගැන්වීම ගැන සලකා බලන්න. ඉන්පසු යේසුස්වහන්සේ එහි සිටියදී කළේ මොනවාදැයි ඉගෙනගැනීම සඳහා ඔබට එකට එකතු වී දහම සහ ගිවිසුම් 138:18–19, 23–24, 27–30 කියවන්න පුළුවන්. උන්වහන්සේ බැහැදැකීමට ගියේ කාවද? උන්වහන්සේ ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ කුමක් කරන ලෙසද? උන්වහන්සේ මෙය කළේ ඇයි?
-
ධර්මදූතවරුන් අත්මික ලෝකයේ උගන්වන දේවල් (බලන්න දහම සහ ගිවිසුම් 138:33) සමඟ ඔවුන් තිරයෙන් මේ පැත්තේ උගන්වන දේවල් (උදාහරණයක් ලෙස බලන්න, ඇදහිල්ලේ කරුණු 1:4) සන්සන්දනය කිරීමට ඔබට මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව භාවිතා කළ හැකිය. මෙම පදවල ඇති සමානකම් සහ වෙනස්කම් මොනවාද? මෙය අපට ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ සැලැස්ම ගැන උගන්වන්නේ කුමක්ද?
ශුද්ධලියවිලි මෙනෙහි කිරීමෙන් ශුද්ධාත්මයාණන්වහන්සේට ආරාධනා කරයි.
මම ශුද්ධලියවිලි ගැන මෙනෙහි කරන විට, ඒවා තේරුම් ගැනීමට ශුද්ධාත්මයාණන්වහන්සේට මට උපකාර කළ හැකිය.
-
ඔබ සහ ඔබේ දරුවන් එක්ව දහම සහ ගිවිසුම් 138:1–11 කියවන විට, ඔවුන්ට සභාපති ජෝසෆ් එෆ්. ස්මිත් ලෙස පෙනී සිටීමට සහ 6 සහ 11 පදවල වචන සමඟ යන ක්‍රියාවන් කිරීමට ඔබට ඔවුන්ට ආරාධනා කළ හැකිය. ඔබට ඔවුන්ට සහාපති ස්මිත්ගේ පින්තූරයක් පෙන්වා (මෙම දළ සටහනේ පින්තූරයක් තිබේ) ඔහු සභාවේ හයවන සභාපති බව පැහැදිලි කළ හැකිය. ඔබ ශුද්ධලියවිලිවල යම් දෙයක් ගැන මෙනෙහි කළ විට, එය තේරුම් ගැනීමට ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට උපකාර කළ අවස්ථාවක් ගැනද ඔබට කතා කළ හැකිය.
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.