ලියහෝනා
මා සමඟ ගමන් කරන්න
2026 ජනවාරි ලියහෝනා


යෞවනයේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2026 ජනවාරි

මා සමඟ ගමන් කරන්න

2026 යෞවන තේමාව ඔබට මතක් කර දෙනු ඇත්තේ ඔබ දෙවියන්වහන්සේට සමීපව සිටින විට, සැමවිටම—උන්වහන්සේ ඔබ සමඟ ගමන් කරන බවයි.

තරුණ ගැහැණු ළමුන්ගේ ප්‍රධාන සභාපතිත්වය

වමේ සිට දකුණට: පළමු උපදේශිකාව වන ටමාරා ඩබ්ලිව්. රූනියා; එමිලි බෙල් ෆ්‍රීමන් සභාපතිනිය; සහ දෙවන උපදේශිකාව වන ඇන්ඩ්‍රියා මුනෝස් ස්පෑනාවුස්

ඔබ තනි වී නැහැ

ඔබට කරන්නට බැහැ කියලා හිතපු දෙයක් කරන්නට කවදා හෝ ඉල්ලා තිබෙනවා ද? සමහරවිට ඔබට ප්‍රමාණවත් තරම් ශක්තිමත් හෝ බුද්ධිමත් බවක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්, නැත්නම් අනික් අය ඔබට සිනහා වෙයි කියලා සහ විවේචනය කරයි කියලා ඔබ කනස්සල්ලට පත්ව සිටියා වෙන්න පුළුවන්. ඔබට කවදා හෝ මෙසේ හැඟිලා තිබෙනවා නම්, ඔබ තනි වී නැහැ.

අවුරුදු දහස් ගණනකට පෙර, ඒනොක් ලෙස හඳුන්වපු මිනිසෙක් සිටියා. පොළොවේ මෙතෙක් දැක ඇති දුෂ්ටතම අයගෙන් සමහරක් වන මිනිසුන්ට පසුතැවිලි වීම ගැන දේශනා කරන ලෙස දෙවියන්වහන්සේ ඒනොක්ගෙන් ඉල්ලා සිටියා.

ඒනොක් හිතුවේ නැහැ එයාට ඒක කරන්න පුළුවන් කියලා. තමා ඉතා යොවුන් බවත්, කිසිවෙකු තමාට කැමති නැති බවත්, තමා “කතා කිරීමට දුර්වලයෙක්” බවත් ඔහු දෙවියන්වහන්සේට පැවසුවා (බලන්න මෝසෙස් 6:31).

නමුත් දෙවියන්වහන්සේ ඒනොක්ට පොරොන්දුවක් දුන්නා. ඔහු බියට පත් මිනිසාට මෙසේ පැවසුවා, “ඉදිරියට ගොස් මා නුඹට ආඥා කළ ලෙස කරපන්න,” එවිට “තවද නුඹ ඉදිරියේ කඳු පලා යනු ඇත, තවද ගංගා වෙන මගක් ගනු ඇත; තවද නුඹ මා තුළත්, මා නුඹ තුළත් වාසය කරන්නෙහිය; එමනිසා මා සමඟ ගමන් කරන්න” (මෝසෙස් 6:32, 34).

“මා සමඟ ගමන් කරන්න.” මොනතරම් සරල, ලස්සන ආරාධනයක් ද?

ඒනොක්ට ඇරඹීමට තරම් නිර්භීතකමක් ඇත්නම්, දෙවියන්වහන්සේ ඔහු සමඟ සෑම පියවරකදීම සිටින බවට දෙවියන්වහන්සේ පොරොන්දු වුණා. දෙවියන්වහන්සේ ඒනොක්ව බලවත් කර, ඔහුට තවත් බොහෝ දේ කිරීමට ශක්තිමත් කර, ඔහුට සිතාගත නොහැකි තරම් වැඩි වීමට උපකාර කරන්නට තිබුණා.

ගැලවුම්කරුවාණන්ගේ බොහෝ නම් වලින් එකක් වන්නේ එම්මානුවෙල් නොහොත් “දෙවියන්වහන්සේ අප සමඟයි” (මතෙව් 1:23) යන්නයි. ස්වාමින්වහන්සේගේ නාමයේ සහ ස්වභාවයේම අප සමඟ ගමන් කිරීම පවතිනවා. තේරීම අපගේ යි—අපිත් උන්වහන්සේ සමඟ ගමන් කරමු ද?

වර්තමානයේ දී ඇදහිල්ලේ මිනිසෙකු ලෙසත්, ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරයෙකු සහ නායකයෙකු ලෙසත් අපි ඒනොක් දෙස බලනවා. නමුත් අනාගතවක්තෘ ඒනොක්ට පෙර, තමා ගැනම සැක කළ නමුත් තවමත් දෙවියන්වහන්සේ සමඟ ගමන් කිරීමට තෝරාගත් යෞවන ඒනොක් සිටියා.

ජීවිතය දුෂ්කර වූ විට, ඔබ ප්‍රමාණවත් නොවන බව ඔබට හැඟෙන විට, ඒනොක්ට සහ ඔබට ස්වාමින්වහන්සේ දුන් පොරොන්දුව මතක තබා ගන්න. උන්වහන්සේ ඔබ සමඟ ඇවිදීවි. උන්වහන්සේ ඔබව තනි කරන්නේ නැහැ, එක පියවරක්වත් තබන්නේ නැහැ.

එම්මානුවෙල්. දෙවියන්වහන්සේ අප සමඟයි. දෙවියන්වහන්සේ ඔබ සමඟයි.

තරුණ ගැහැණු ළමුන්ගේ ප්‍රධාන සභාපතිත්වය

තරුණ පිරිමි ළමුන්ගේ ප්‍රධාන සභාපතිත්වය

වමේ සිට දකුණට: පළමු උපදේශක, ඩේවිඩ් ජේ. වුන්ඩර්ලි; සභාපති, තිමෝති එල්. ෆාර්න්ස්; සහ දෙවන උපදේශක, ෂෝන් ආර්. ඩික්සන්

උන්වහන්සේගේ උපකාරයෙන් ඔබට සියල්ල කළ හැකිය

තරුණ පිරිමි ළමුනි, ඔබ මෙන්, ස්වාමින්වහන්සේ ඒනොක්ගෙන් වැදගත් පූජකවර වගකීම් ඉටු කරන ලෙස ඉල්ලා සිටියා. ඔහුගේ කාර්යය තමයි අධර්මිෂ්ඨ ජනතාවට පසුතැවීම දේශනා කිරීම. ඒනොක් තම සැකයන් පළ කළා. ඔහු මෙසේ කිව්වා, “[මම] ගැටවරයෙක් පමණි.“ “සියලුම ජනතාව මා එපා කරති; මක්නිසාද මා කතා කිරීමට දුර්වලයෙකි; එබැවින් මා ඔබේ සේවකයෙක් ද?” (මෝසෙස් 6:31.)

ස්වාමින්වහන්සේ බලයෙන් සහ සහතිකයෙන් ප්‍රතිචාර දැක්වූ සේක. “ඉදිරියට ගොස් මා නුඹට ආඥා කළ ලෙස කරන්න. … නුඹගේ මුඛය ඇරන්න, තවද එය පුරවනු ලබන්නේය, … . මාගේ ආත්මය නුඹ මතය … ; නුඹ ඉදිරියේ කඳු පලා යනු ඇත, … ; එමනිසා මා සමඟ ගමන් කරන්න” (මෝසෙස් 6:32, 34).

ස්වාමින්වහන්සේ අපට කාර්යයක් දුන් විට, අපි එයට තනිවම මුහුණ නොදෙන බව ඒනොක් ඉගෙන ගත්තා. අපි ක්‍රිස්තුස්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගෙන ඒවා තබා ගන්නා විට, අපි උන්වහන්සේ සමඟ ගමන් කර උන්වහන්සේගේ බලයේ හවුල්කරුවන් වෙනවා —අපි උන්වහන්සේගේ හස්තයේ උපකරණ බවට පත් වෙනවා.

ඒනොක් මෙන්, ඔබටත් වැදගත් කාර්යභාරයක් තිබෙනවා: ඒවා තමයි දේවසේවය කිරීම, දේවමාළිගාවේ සේවය කිරීම, සක්‍රමේන්තුව පැවැත්වීම, ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීම, ශුභාරංචි ප්‍රමිතීන් අනුගමනය කිරීම, පසුතැවිලි වීම, ධර්මදූත සේවය සඳහා සූදානම් වීම සහ තවත් බොහෝ දේ. එය දරාගන්න බැරි ලෙස දැනෙන්නට පුළුවන්. ඔබට ප්‍රමාණවත් නොවන බව හැඟෙන්නට පුළුවන්. ඒකට කමක් නැහැ. ඒක තනියම කරන දෙයක් නෙවෙයි. එය දෙවියන්වහන්සේ සමඟ ගමන් කිරීමට අද—මේ දවස සහ සෑම දිනකම—තෝරා ගැනීම ගැන යි.

උන්වහන්සේගේ උපකාරයෙන් ඔබට සියල්ල කරන්න පුළුවන්. ඔබේ ස්වාභාවික හැකියාවට වඩා උන්වහන්සේ ඔබව ශක්තිමත් කර, සමාව දී, සක්‍රීය කරයි. උන්වහන්සේ ඔබට ආදරෙයි! තරුණ පිරිමි ළමුන්ගේ ප්‍රධාන සභාපතිත්වය ලෙස, අපි ඔබට ආදරෙයි, ඒ වගේම 2026 දී දිරිගන්වන තේමාව ගවේෂණය කිරීමට ඔබ හා එක්වීමට අපි බලාපොරොත්තු වෙනවා: “මා සමඟ ගමන් කරන්න.“

තරුණ පිරිමි ළමුන්ගේ ප්‍රධාන සභාපතිත්වය