ලියහෝනා
දේව ස්වභාවට පංගුකාරයන්
2026 ජනවාරි ලියහෝනා


“දේව ස්වභාවට පංගුකාරයන්,” ලියහෝනා, 2026 ජන.

මාසික ලියහෝනා පණිවිඩය, 2026 ජනවාරි

දේව ස්වභාවට පංගුකාරයන්

(2 පේත්‍රැස් 1:4)

ගැලවීමේ සැලැස්ම පිළිබඳ දැනුම වටිනා දෘෂ්ටිකෝණයක් සපයයි, අපගේ ප්‍රීතිය පොහොසත් කරයි, සහ අපගේ අභියෝග සහ විපත්ති ජය ගැනීමට අපව ශක්තිමත් කරයි.

ක්‍රිස්තුස්වහන්සේ ගෝලයන් දෙදෙනෙකුට කතා කරන ආකාරය පිළිබඳ උපමාව

ගැරී ඊ. ස්මිත් විසින්, Christ Calls Two Disciples[ක්‍රිස්තුස්වහන්සේ ගෝලයන් දෙදෙනෙකු කැඳවීම]

ප්‍රේරිතවර පේත්‍රැස් අපට මතක් කර දෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් සඳහා, උන්වහන්සේගේ “මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන්වහන්සේ දැනගැනීම කරණකොටගෙන, උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේවභක්තියටත් අදාළ වූ සියලු දේ අපට දී තිබේ:

“ඒ කරණකොටගෙන උන්වහන්සේ තමන් අනර්ඝ වූ ඉතා උතුම් වූ පොරොන්දු අපට දී තිබේ: ඒ පොරොන්දු කරණකොටගෙන දේව ස්වභාවට පංගුකාරයන් වන පිණිසය” (2 පේත්‍රැස් 1:3–4; අවධාරණය එක් කරන ලදී).

අපගේ සදාකාලික අනන්‍යතාවය සහ අරමුණ නිර්වචනය කරන අතිවිශිෂ්ට ශ්‍රේෂ්ඨ හා වටිනා සත්‍යයන් සහ පොරොන්දු ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම විස්තර කරයි.

“පවුල: ලෝකයට ප්‍රකාශයකි” හි පැහැදිලි කර ඇති පරිදි:

“සියලුම මනුශ්‍ය සංහතිය—පිරිමි සහ කාන්තාවන්—දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇත. සෑම කෙනෙක්ම ස්වර්ගික දෙමව්පියන්ගේ ආදරණීය ආත්මික පුත්‍රයන් සහ දූවරුන් වන අතර, ඒ සෑම කෙනෙක්ටම දේව ස්වභාවයක් සහ දෛවයක් ඇත. …

“පෙර ආත්මික ලෝකයේ, දෙවියන්වහන්සේගේ ආත්මික පුත්‍රයන් සහ දූවරුන් උන්වහන්සේගේ දරුවන්ට භෞතික ශරීරයක් ලබා ගැනීමටත්, පරිපූර්ණත්වය කරා ප්‍රගතියක් ලබා ගැනීමටත් පොළොවේ අත්දැකීම් ලබා ගැනීමටත් අවසානයේ සදාකාල ජීවනයේ උරුමක්කාරයන් ලෙස ඔවුන්ගේ දිව්‍යමය ඉරණම අවබෝධ කර ගැනීමටත් හැකි උන්වහන්සේගේ සැලැස්ම පිළිගත්තෝය.”

ස්වර්ගික පියාණන්වහන්සේ තම දරුවන්ට පොරොන්දු වන්නේ ඔවුන් උන්වහන්සේගේ සැලැස්මේ නියමයන් සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්ගේ ආදර්ශය අනුගමනය කරන්නේ නම්, ආඥා පිළිපදින්නේ නම් සහ අවසානය දක්වා ඇදහිල්ලෙන් විඳදරාගන්නේ නම්, ඔවුන් “සදාකාල ජීවනය උරුම කරගන්නෙහුය, එම දීමනාව දෙවියන්වහන්සේගේ සියලු දීමනා වලින් ශ්‍රේෂ්ඨතම දීමනාව වන්නේය.” (දහම සහ ගිවිසුම් 14:7).

දෙවියන්වහන්සේගේ කාර්යය උන්වහන්සේගේ දරුවන්ගේ දියුණුව හා උත්කර්ෂවත් වීම කෙරෙහි අවධානය යොමු කර ඇත. උන්වහන්සේගේ සැලැස්මේ සෑම අංගයක්ම උන්වහන්සේගේ පුතුන්ට සහ දියණියන්ට ආශිර්වාද කිරීම සඳහා නිර්මාණය කර ඇත, මන්ද “ප්‍රාණයන්ගේ වටිනාකම [උන්වහන්සේගේ] දර්ශනය ඉදිරියේ මහත් ය” (දහම සහ ගිවිසුම් 18:10).

පියාණන්වහන්සේගේ සැලැස්ම

පෙර ආත්මික ජිවිතයේ මන්ත්‍රණ සභාවේ දී, ස්වර්ගික පියාණන්වහන්සේ තම ආත්මික දරුවන්ට ඔවුන්ගේ සදාකාලික දියුණුව හා සතුට සඳහා වූ සැලැස්ම ඉදිරිපත් කළ සේක.

“මොවුන්ට වාසය කළ හැකි පොළොවක් අපි එහි සාදමු;”

“ඔවුන්ගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේ ඔවුන්ට ආඥා කරන සෑම දෙයක්ම ඔවුන් කරන්නේ දැයි බැලීමට, අපි ඔවුන්ව මෙයින් පරීක්ෂා කර බලන්නෙමු;

“තවද ඔවුන්ගේ පළමු තත්වය තබන්නවුන්ව එකතු කරනු ලබන්නේය; තවද ඔවුන්ගේ පළමු තත්වය තබන්නේ නැති අයවළුන්ට ඔවුන්ගේ පළමු තත්වය තබන්නවුන් සමඟ එකම රාජධානියේ මහිමය ලබන්නට නොහැකිය; තවද ඔවුන්ගේ දෙවන තත්වය තබන්නවුන් හට ඔවුන්ගේ හිස් මත සදාකාලයෙන් සදාකාලයට මහිමය එකතු කරනු ලබන්නේය.”

“තවද ස්වාමින්වහන්සේ මෙසේ කී සේක: මා කාව යැවිය යුතු ද? තවද මනුෂ්‍ය පුත්‍රයාණන් හා සමාන වූ අයෙක් මෙසේ පිළිතුරු දුන්නේය: මම මෙහි ය, මා යවන්න. තවද තවත් අයෙක් පිළිතුරු දෙමින් මෙසේ කීවේය: මම මෙහි ය, මා යවන්න. තවද ස්වාමින්වහන්සේ මෙසේ කී සේක: මම පළමුවැන්නාව යවන්නෙමි.

“තවද දෙවෙනියා අමනාප වී, තවද ඔහුගේ පළමු තත්වය තැබුවේ නැත; තවද, එම දවසේ, බොහෝ දෙනෙක් ඔහු පසුපස ගියහ” (ආබ්‍රහම් 3:24–28).

පෙර ආත්මික මන්ත්‍රණ සභාවේ දී ඉදිරිපත් කරන ලද්දේ එක් සැලැස්මක් පමණක් බව සලකන්න—එය පියාණන්වහන්සේගේ සැලැස්මයි. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ “අපි කුමක් කරමුද?” යන ප්‍රශ්නය මතු කළේ නැත. උන්වහන්සේ අදහස් ලබා ගත්තේ නැත, නිර්දේශ ඉල්ලා සිටියේ නැත, හෝ යෝජනා ඉල්ලා සිටියේ නැත. ඒ වෙනුවට, උන්වහන්සේ තම සැලැස්මේ මූලික අංග ඉදිරිපත් කර, “මා කාව යැවිය යුතුද?” කියා ඇසූ සේක. උන්වහන්සේගේ ප්‍රශ්නයේ හරය අවධානය යොමු කළේ උන්වහන්සේගේ සැලැස්මේ නියමයන් සහ කොන්දේසි ක්‍රියාත්මක කිරීම සඳහා යැවිය යුත්තේ කාව ද යන්න මත ය.

සතුරාගේ කැරැල්ලේ ප්‍රතිවිපාක ද ශුද්ධලියවිලිවල විස්තර කර ඇත.

“එසේහෙයින්, සාතන් මට විරුද්ධව කැරළි ගසා, ස්වාමින් වූ දෙවියන්වහන්සේ වන මම, මනුෂ්‍යයාට ලබාදුන් තෝරාගැනීමේ නිදහස විනාශ කිරීමට, සහ එමෙන්ම මම මාගේ බලය ඔහුට දිය යුතු යැයි ඔහු සෙවූ නිසා; මාගේ ඒකජාතකයාණන්ගේ බලය මගින්, මම ඔහුව පහතට නෙරපා දැමීමට සැලැස්සුවෙමි;

“තවද එවිට ඔහු සාතන් බවට පත්විය, එසේය, මනුෂ්‍යයින්ව රවටා තවද අන්ධ කරන්නටත්, තවද මාගේ හඬට ඇහුම්කන්නොදෙන තරමට බොහෝ අයවළුන්ව, ඔහුගේ කැමැත්තට අනුව ඔවුන්ව වහල් බවට ගෙන යන්නටත්, සියලු බොරුවේ පියා වන, යක්ෂයා බවට වුවත් පත්විය” (මෝසෙස් 4:3–4; අවධාරණය එක් කරන ලදී).

පෙර ආත්මික මන්ත්‍රණ සභාවට සහභාගී වූවන්ගෙන් බහුතරයක් විසින් ඡන්දය ප්‍රකාශ කරන ලද සැලැස්මක් ලුසිෆර් ඉදිරිපත් කළේ නැත. ඔහු මැතිවරණයකින් පැරදුණු අනුකම්පා සහගත චරිතයක් නොවේ. ඔහු කැරලි ගැසුවේය! උඩඟුකම, අහංකාරය සහ ආත්මාර්ථකාමිත්වය පියාණන්වහන්සේගේ සැලැස්මට එරෙහිව කැරැල්ලක් ඇති කළේය.

පියාණන්වහන්සේගේ සැලැස්ම සහ ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචිය

සියලු මනුෂ්‍ය වර්ගයාට සදාකාල ජීවනයේ ආශීර්වාද ලබා ගත හැකි වන පරිදි පියාණන්වහන්සේගේ සහ පුත්‍රයාණන්ගේ ක්‍රියා එම සැලැස්ම විස්තර කරයි.

දෙවියන්වහන්සේගේ සැලැස්මේ පොරොන්දු වූ ආශිර්වාද, පුරුෂයින් හා ස්ත්‍රීන් විශ්වාස කර අනුගමනය කළ යුතු දහම, මූලධර්ම, නියෝග සහ ගිවිසුම් පවා අපට ලබා ගත හැකි මාර්ගය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියයි. “මනුෂ්‍යයාට ගැලවීමට හැකිවන මෙම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හැරුනු විට ස්වර්ගයෙහි පහත වෙනත් නාමයක් නොවන්නේය” (2 නීෆායි 25:20). සැබවින්ම, ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “මාර්ගය ද, සත්‍ය ද, ජීවනය ද වේ: [උන්වහන්සේ] තුලින් හැර කිසිවෙක් පියාණන්වහන්සේ තුලට පැමිණෙන්නේ නැත” (යොහන් 14:6;අවධාරණය එක් කරන ලදී).

සභාපති රසල් එම්. නෙල්සන් මෙලෙස පැහැදිලි කළේය:

“සැලැස්මට මැවීම අවශ්‍ය වූ අතර, ඒ සඳහා වැටීම සහ වන්දිගෙවීම යන දෙකම අවශ්‍ය විය. සැලැස්මේ මූලික අංග තුන මේවායි. පාරාදීස ග්‍රහලෝකයක් නිර්මාණය කිරීම දෙවියන්වහන්සේගෙන් පැමිණියේය. ආදම්ගේ වැටීම තුළින් ලෞකිකත්වය සහ මරණය ලෝකයට පැමිණියේය [බලන්න 2 නීෆායි 2:25; මෝසෙස් 6:48]. අමරණීයභාවය සහ සදාකාල ජීවනයේ හැකියාව ලබා දුන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමෙනි [බලන්න 2 නීෆායි 2:21–28]. …

“… අපි කෙටි කාලයක් සඳහා පොළොවට පැමිණ, අපගේ පරීක්ෂණ සහ පීඩාවන් විඳදරා ගනිමින්, තේජාන්විත නැවත පැමිණීමක් කරා ඉදිරියට සහ ඉහළට යාමට සූදානම් වෙන්නෙමු [බලන්න ගීතාවලිය 116:15; ඇල්මා 42:8]. අපි දෙවියන්වහන්සේගේ සැලැස්ම තේරුම් ගෙන උන්වහන්සේගේ ආඥාවලට ස්තූතිවන්ත වී කීකරු වන්නේ නම් [ලෞකිකත්වයේ දී] අපගේ සිතුවිලි සහ ක්‍රියාවන් නිසැකවම වඩාත් අරමුණු සහිත වනු ඇත [බලන්න දහම සහ ගිවිසුම් 59:20–21].”

මොර්මන්ගේ පොතේ සැලැස්මේ මාතෘකා

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමක් වන මොර්මන්ගේ පොතේ පියාණන්වහන්සේගේ සැලැස්ම සඳහා විවිධ නාම හඳුනාගෙන අධ්‍යයනය කිරීමෙන් අපි වැදගත් සත්‍යයන් ඉගෙන ගන්නෙමු. උදාහරණයක් ලෙස, පහත තෝරාගත් මාතෘකා නියැදිය සලකා බලන්න:

“ශ්‍රේෂ්ඨ මැවුම්කරුවාණන්ගේ කරුණාවන්ත සැලැස්ම” (2 නීෆායි 9:6).

“අපගේ දෙවියන්වහන්සේගේ සැලැස්ම” (2 නීෆායි 9:13).

“ගැලවීමේ සැලැස්ම” (ජෙරොම් 1:2; ඇල්මා 24:14).

“මිදීමේ සැලැස්ම” (ඇල්මා 12:25, 26, 30, 32, 33; 42:11, 13).

“නැවත පිහිටුවීමේ සැලැස්ම” (ඇල්මා 41:2).

“ප්‍රීතියේ සැලැස්ම” (ඇල්මා 42:16).

“ශ්‍රේෂ්ඨ දයාවේ සැලැස්ම” (ඇල්මා 42:31).

මෙම සෑම නාමයක්ම පියාණන්වහන්සේගේ සැලැස්මේ වටිනා පොරොන්දු වඩාත් පැහැදිලිව තේරුම් ගැනීමට අපට උපකාරී වන අතර අපගේ ලෞකික ජීවිතයේ අරමුණු සහ අර්ථය පිළිබඳ අපගේ දෘෂ්ටිකෝණය පොහොසත් කරයි.

සැලකිය යුතු ලෙස, මොර්මන්ගේ පොතේ දෙවියන්වහන්සේගේ සැලැස්ම සඳහා නිතර භාවිත වන නාමය අවධානය යොමු කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් කළ හැකි මිදීම කෙරෙහි ය.

ඇල්මා මෙසේ ප්‍රකාශ කළේය, “දැන්, ලෝකයේ පටන්ගැන්මේ සිට තබා තිබූ, මිදීමේ සැලැස්ම නොතිබෙන්නට, මළවුුුුුන්ගේ උත්ථානයක් ද සිදු නොවන්නේය; එහෙත් කතා කරන ලද, මළවුන්ගේ උත්ථානය සිදු කිරීම ගෙන එන්නා වූ, මිදීමේ සැලැස්මක් තබා තිබුණි” (ඇල්මා 12:25).

ඔහු මෙසේ ද අවවාද කළේය, “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් තුළ විශ්වාස කිරීමට පටන් ගන්න, එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාව මුදා ගැනීමට පැමිණෙන සේක, තවද එනම් ඔවුන්ගේ පාපයන් වෙනුවෙන් වන්දිගෙවීම සඳහා උන්වහන්සේ වේදනා විඳ මරණයට පත්වන සේක, එය මරණයෙන් නැවත නැගිටීම ගෙන එන්නේය, අවසාන සහ විනිශ්චය දවසේ දී ඔවුන්ගේ ක්‍රියාවන් අනුව විනිශ්චය කරනු ලැබීමට සියලු මනුෂ්‍යයෝ උන්වහන්සේ ඉදිරියේ සිට ගන්නෝය” (ඇල්මා 33:22).

මාර්ගය සූදානම්

දෙවියන්වහන්සේගේ ගැලවීම, මිදීම, නැවත පිහිටුවීම, දයාව සහ සතුට පිළිබඳ ශ්‍රේෂ්ඨ සැලැස්ම සලකා බලන විට අපගේ ආත්මයන් කෘතඥතාවයෙන් පිරී ඉතිරී යා යුතුය. උන්වහන්සේගේ සැලැස්ම පිළිබඳ දැනුම වටිනා දෘෂ්ටිකෝණයක් ලබා දෙයි, අපගේ ප්‍රීතිය පොහොසත් කරයි, සහ අපගේ අභියෝග සහ විපත්ති ජය ගැනීමට අපව ශක්තිමත් කරයි.

ස්වර්ගික පියාණන්වහන්සේගේ අප උන්වහන්සේ වෙත නැවත නිවසට පැමිණෙනවාට ආශාවෙන් බලාපොරොත්තුවෙන් සිටී. උන්වහන්සේ අපට ආශිර්වාද ආරාධනා කර පොරොන්දු වන නමුත්, උන්වහන්සේ අපට ලබා දුන් සදාචාරාත්මක තෝරා ගැනීමේ නිදහස ක්‍රියාත්මක කිරීමට කිසි විටෙකත් බල කරන්නේ නැත, බලහත්කාරයෙන් පොළඹවන්නේ නැත, නැතහොත් සීමා කරන්නේ නැත. අපි ක්‍රියා කළ යුතු අතර උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්ගේ ආදර්ශය අනුගමනය කරමින් උන්වහන්සේ වෙත නැවත පැමිණීමට තෝරා ගත යුතුයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අත අල්ලා ගැනීමට දරුවෙකුගේ අත දිගු කරන නිදර්ශනයක්

එලිසබෙත් තයර් විසින්, His Hand Is Stretched Out Still [උන්වහන්සේගේ අත තවමත් දිගු කර ඇත]

මාර්ගය සකස් කර ඇත්තේය, තවද අප බලන්නේ නම් අප සදහටම ජීවත් වන්නෙමු” (ඇල්මා 37:46; අවධාරණය එක් කරන ලදී).

ස්වර්ගික පියාණන්වහන්සේ උන්වහන්සේගේ දරුවන් සඳහා වූ දිව්‍යමය සැලැස්මේ කර්තෘ බව මම සතුටින් සාක්ෂි දරන්නෙමි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ මිදුම්කරුවාණන් සහ ගැලවුම්කරුවාණන් ය. ස්වාමින්වහන්සේගේ පසුදවස්වල ප්‍රේරිතවරයෙකු ලෙස, උන්වහන්සේ සැබවින්ම “මාර්ගය, සත්‍යය සහ ජීවනය” බව මම සාක්ෂි දරන්නෙමි (යොහන් 14:6; අවධාරණය එක් කරන ලදී).

සටහන්

  1. පවුල: ලෝකයට ප්‍රකාශනයකි,” ශුභාරංචි පුස්තකාලය

  2. Russell M. Nelson, “The Creation,” Ensign, May 2000, 84, 86.

  3. මොර්මන්ගේ පොතේ ඇති දෙවියන්වහන්සේගේ සැලැස්මේ බොහෝ නාමයන් පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සඳහා, බලන්න Noel B. Reynolds, “The Plan of Salvation and the Book of Mormon,” Religious Educator, vol. 21, no. 1 (2020), 31–53.