“උපග්‍රන්ථය C: සාක්ෂිකරුවන් තිදෙනා” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මන්ගේ පොත 2020 (2020)
“උපග්‍රන්ථය C,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
උපග්‍රන්ථය C
සාක්ෂිකරුවන් තිදෙනා
අවුරුදු පහකට වැඩි කාලයක් - මොරෝනි දේවදූතයා ජෝසෆ් ස්මිත් සමග පළමු බැහැදැකීමේ සිට 1829 දක්වා - රන් තහඩු බැලීමට අවසර ලැබූ එකම පුද්ගලයා ජෝසෆ්ය. මේ නිසා ඔහු මිනිසුන් රවටා ඇතැයි විශ්වාස කළ අයගෙන් දැඩි විවේචන හා පීඩා ඇතිවිය. මෝර්මොන්ගේ පොත පරිවර්තනය කරන විට, ස්වාමින්වහන්සේ අන් අයට තහඩු බැලීමට ඉඩදෙන බවත්, ඔවුන්ද “පොතේ සත්‍යතාවයට හා එහි ඇති දේවලට සාක්ෂි දෙන” බවත් දැනගත් විට ජෝසෆ්ට ඇති වූ ප්‍රීතිය ගැන සිතාබලන්න (2 නෙපි 27:12–14; තවත් බලන්න 2 නෙපි 11:3; ඊතර් 5:2–4).
මෝර්මොන්ගේ පොත අනාවැකි පැවසූ සාක්ෂිකරුවන් තිදෙනා වීමට 1829 ජුනි මාසයේදී ඔලිවර් කවුඩ්රි, ඩේවිඩ් විට්මර් සහ මාටින් හැරිස් අවසර ඉල්ලා සිටියහ. ස්වාමින්වහන්සේ ඔවුන්ගේ ආශාව ඔවුන්ට ලබාදුන් සේක (බලන්න D&C 17) ඉන්පසු දේවදූතයෙක් යවා, ඔවුන්ට තහඩු පෙන්වූ සේක. මෙම මිනිසුන් සාක්ෂිකරුවන් තිදෙනා ලෙස ප්‍රසිද්ධියට පත්වූ අතර, ඔවුන්ගේ ලිඛිත සාක්ෂිය මෝර්මොන්ගේ පොතේ සෑම පිටපතකම ඇතුළත් වේ.1
සාක්ෂිකරුවන් තිදෙනාගේ සාක්ෂිය මෙතරම් බලගතුවන්නේ මන්දැයි සභාපති ඩාලින් එච්. ඕක්ස් පැහැදිලි කළේය: “මෝර්මොන්ගේ පොතට සාක්ෂිකරුවන් තිදෙනාගේ සාක්ෂිය මහත් ශක්තියක් සේ නැගී සිටින්නේය. තිදෙනාගෙන් සෑම කෙනෙකුටම ඔහුගේ සාක්ෂිය අසත්‍යයක් නම් එය අත්හැර දැමීමට හෝ කිසියම් තොරතුරක් සාවද්‍ය නම් විස්තර කිරීම සඳහා ප්‍රමාණවත් හේතු සහ අවස්ථාවන් තිබුණි. කවුරුත් දන්නා පරිදි, සභාවේ අනෙකුත් නායකයින් සමග ඇති වූ මතභේද හෝ ඊර්ෂ්‍යාව නිසා, මෙම සාක්ෂිකරුවන් තිදෙනාගෙන් එක් එක් අය ඔවුන්ගේ සාක්‍ෂි ප්‍රකාශයට පත්කිරීමෙන් වසර අටකට පමණ පසු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවෙන් ඉවත් කරන ලදි. සාමූහික ප්‍රයත්නයකට සහයෝගය දැක්වීමට පොදු උනන්දුවක් නොමැතිව තිදෙනාම වෙනම මාර්ග වල ගියහ. එහෙත් ඉවත් කිරීමෙන් පසු අවුරුදු 12 සිට 50 දක්වා කාල පරිච්ඡේදයන් තුළ ඔවුන්ගේ ජීවිතයේ අවසානය දක්වාම, මෙම එක් සාක්ෂිකරුවෙක්වත් ඔහුගේ ප්‍රකාශිත සාක්ෂියෙන් බැහැරව හෝ එහි සත්‍යතාවයට කිසිදු සෙවනැල්ලක් තබන කිසිවක් කීවේ නැත.”2
ඔවුන්ගේ ජීවිතයේ අවසානය දක්වාම, සාක්ෂිකරුවන් තිදෙනා මෝර්මොන්ගේ පොත පිළිබඳ ඔවුන්ගේ සාක්ෂියට ඇදහිලිවන්තව සිටියහ.
ඔලිවර් කව්ඩ්රි
සභාවට නැවත බෞතීස්ම වූ පසු සහ ඔහුගේ මරණයට ටික කලකට පෙර, මිසූරි හි රිච්මන්ඩ් හරහා එංගලන්තයේ දූත මෙහෙවරක් සඳහා යමින් සිටි ධර්මදූතවරයෙකු වූ වැඩිහිටි ජේකබ් ගේට්ස් සමග ඔලිවර් මුණගැසිණි. වැඩිහිටි ගේට්ස් ඔලිවර්ගෙන් මෝර්මොන්ගේ පොත පිළිබඳ ඔහුගේ සාක්ෂිය ගැන විමසීය. වැඩිහිටි ගේට්ස්ගේ පුතා ඔලිවර්ගේ ප්‍රතිචාරය විස්තර කළේය:
“ඔහුගෙන් ප්‍රශ්න කිරීම ඔලිවර්ගේ සිතට තදින්ම කාවැදුණා. ඔහු වචනයක්වත් පිළිතුරු නොදුන් අතර, ඔහුගේ පහසු පුටුවෙන් නැඟිට, පොත් බහාලුම වෙත ගොස්, පළමු සංස්කරණයේ මෝර්මොන්ගේ පොතක් රැගෙන, ඔහු මීට වසර විස්සකට පමණ පෙර ඔහුගේ නම දායක කර ගෙන තිබූ, සාක්ෂිකරුවන් තිදෙනාගේ සාක්ෂිය වෙත හැරී, ඉතා බැරෑරුම් ලෙස එම වචන කියවා බැලුවා. මගේ පියාට මුහුණ හරවමින් ඔහු මෙසේ කිව්වා: ‘ජේකබ්, මම ඔබට කියන දේ ඔබ මතක තබාගැනීම මට අවශ්‍යයි. මම මැරෙන මිනිසෙක්, ඒවගේම ඔබට බොරුවක් පැවසීමෙන් මට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? ඔහු මෙසේ කිව්වා, ‘මෙම මෝර්මොන්ගේ පොත පරිවර්තනය කර තිබෙන්නේ දෙවියන්වහන්සේගේ ත්‍යාගය හා බලය මගින්. මගේ දෑස් දුටුවා, මගේ කන් වලට ඇහුණා, මගේ අවබෝධය ස්පර්ශ වුණා, ඒවගේම මම සාක්ෂි දුන් දේ සත්‍ය බව මම දන්නවා. එය සිහිනයක්වත්, මනසේ නිෂ්ඵල පරිකල්පනයක්වත් නොවේ - එය සැබෑවක්”’3
ඩේවිඩ් විට්මර්
ඔහුගේ අවසාන අවුරුදු වලදී, ඩේවිඩ් විට්මර් මෝර්මොන්ගේ පොත පිළිබඳ ඔහුගේ සාක්ෂිය ප්‍රතික්ෂේප කළ බවට පැතිර යන කටකතා ගැන දැනගත්තේය. මෙම චෝදනාවලට ප්‍රතිචාර වශයෙන්, ඩේවිඩ් තම සාක්ෂිය ප්‍රාදේශීය පුවත්පතක් වන රිච්මන්ඩ් සංරක්‍ෂක විසින් පළ කරන ලද ලිපියකින් නැවත තහවුරු කළේය:
“ලෝකය සත්‍යය දැනගැනීමට නම්, මම දැන් ප්‍රාර්ථනා කරමි, ජීවිතයේ හිරු බැස යෑමේදී මෙන්ම දෙවියන්වහන්සේට භයවීමෙන් මෙන් මේ ප්‍රසිද්ධ ප්‍රකාශය කරන්නෙමි:
“සාක්ෂිකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු ලෙස මෙතරම් දීර්ඝ කාලයක් තිස්සේ එම පොත සමඟ ප්‍රකාශයට පත් කර ඇති එම සාක්ෂිය හෝ එහි කිසිදු කොටසක් මා කිසි විටෙකත් ප්‍රතික්ෂේප කර නැත. මාව හොඳින් දන්නා අය, මම නිතරම එම සාක්ෂියට අනුගත වී ඇති බව හොඳින් දනිති. ඒ සම්බන්ධයෙන් මගේ වර්තමාන අදහස් කිසිවෙකු නොමඟ යැවීමට හෝ සැකකිරීමට ඉඩ නොතබන ලෙස, එවකට කරන ලද සහ ප්‍රකාශයට පත් කළ පරිදි, මගේ සියලු ප්‍රකාශවල සත්‍යතාව මම නැවත සහතික කරමි.
“‘ඇසීමට කන් ඇති තැනැත්තා ඇහුම්කන් දෙන්න,’ එය මායාවක් නොවේ! ලියා ඇති දේ ලියා ඇත - කියවන තැනැත්තාට එය තේරුම්ගත හැකිය.”4
මාටින් හැරිස්
ඔලිවර් කව්ඩ්රි මෙන් මාටින් හැරිස්ද කලක් සභාවෙන් ඉවත්වී සිටි නමුත් අවසානයේදී නැවත බෞතීස්ම විය. ඔහුගේ අවසාන අවුරුදු වලදී, මෝර්මොන්ගේ පොතේ පිටපතක් තම අත යටට ගෙන එහි සත්යය ගැන සවන්දෙන සියල්ලන්ට සාක්ෂි දුන්නේය: “මෝර්මොන්ගේ පොත ඇත්තවශයෙන්ම සත්‍ය බව මම දනිමි. සියලු මිනිසුන් එම පොතේ සත්‍යතාව ප්‍රතික්ෂේප කළත් මම එය කිරීමට එඩිතර නොවෙමි. මගේ හදවත ස්ථාවරයි. අහෝ දෙවියනි, මාගේ හදවත ස්ථාවරයි! මම දන්නවාට වඩා සත්‍ය ලෙසම හෝ නිසැකවම දැනගැනීමට මට නොහැකිය. ”5
මාටින් හඳුනන ජෝර්ජ් ගොඩ්ප්‍රි මෙසේ ලිවීය: “ඔහුගේ මරණයට පැය කිහිපයකට පෙර … මම [මාටින්]ගෙන් ඇසුවෙමි, අවම වශයෙන් මූලද්‍රව්‍යයක්වත් නැති බව ඔහුට දැනුනේ නැත්නම්, වංචා සහ රැවටීම් පිළිබඳ ලියන ලද සහ පැවසූ දේවල මෝර්මොන් පොතෙන් එළියට එන බවවත් දැණුනේ නැත්ද, ඔහු සෑම විටම කළාක් මෙන් පිළිතුරු දුන්නේය… තවද ඔහු මෙසේ පැවසීය: ‘මෝර්මොන්ගේ පොත ව්‍යාජ එකක් නොවේ. මම දන්නා දේ මම දනිමි. මා දුටු දේ මා දැක ඇති අතර මා අසා ඇති දේ මම අසා ඇත්තෙමි. මෝර්මොන්ගේ පොත ලියා ඇති රන් තහඩු මම දැක ඇත්තෙමි. දේවදූතයෙක් මටත් අන් අයටත් පෙනී සිටිමින් වාර්තාවේ සත්‍යතාවයට සාක්ෂි දුන් අතර, මා විසින්ම වරදක් කර මා දැන් සාක්ෂි දරන බවට බොරු දිවුරුම් දීමට මා කැමති වූයේ නම් මට ධනවත් මිනිසෙකු වීමට ඉඩ තිබුණි, නමුත් මට එය හැර වෙනත් සාක්ෂි දීමට නොහැකි විය, මේ දේවල් සත්‍ය නිසා මම මේ දේවල් කර ඇත්තෙමි.”’6
“බොහෝ සාක්ෂිකරුවන් ඔහුට යහපත් යැයි පෙනේ”
සභාවේදී සහ ඉන් පිටතදී ඔවුන්ගේ අත්දැකීම් සලකා බැලීමේදී සාක්ෂිකරුවන් තිදෙනාගේ සාක්ෂි විශේෂ ලෙස සිත් ඇදගන්නා සුළුය.7 මේ සියල්ලෙන්ම ඔලිවර්, ඩේවිඩ් සහ මාටින් මෝර්මොන්ගේ පොත පරිවර්තනය කර ඇත්තේ දෙවියන්වහන්සේගේ දීමනාව හා බලය නිසා බවට තමන් අත්විඳි දේ ගැන සාක්ෂි දීම නතර කළේ නැත. එමෙන්ම ඒ ඔවුන් පමණක්ම නොවේ.
පුරාණයේදී නෙපි මෙසේ ප්‍රකාශ කළේය, “දෙවියන් වූ ස්වාමින්වහන්සේ එම පොතේ වචන පිටතට ගෙන එනු ඇත; ඔහුට හොඳ යැයි පෙනෙන බොහෝ සාක්ෂිකරුවන්ගේ මුවින් උන්වහන්සේ තම වචනය ස්ථාපිත කරනු ඇත” (2 නෙපි 27:14). දිවැසිවර ජෝසෆ් ස්මිත් සහ සාක්ෂිකරුවන් තිදෙනාට අමතරව, ස්වාමින්වහන්සේ තහඩු බැලීමට තවත් සාක්ෂිකරුවන් අට දෙනෙකු තෝරාගත්හ. ඔවුන්ගේ සාක්ෂිද මෝර්මොන්ගේ පොතේ සෑම පිටපතකම ඇතුළත් වේ. ඔලිවර්, ඩේවිඩ් සහ මාටින් මෙන්, සාක්ෂිකරුවන් අටදෙනා මෝර්මොන්ගේ පොත පිළිබඳ ඔවුන්ගේ සාක්ෂි සහ රන් තහඩු පිළිබඳ ඔවුන්ගේ සාක්ෂියට සත්‍යවන්තව සිටියහ.
විලියම් ඊ. මැක්ලෙලින් මෝර්මොන්ගේ පොතේ බොහෝ සාක්ෂිකරුවන් පෞද්ගලිකව දැන සිටි සභාවට මුල් කාලීනව හැරුණු අයෙකි. විලියම් අවසානයේදී සභාවෙන් ඉවත් වූ නමුත් සාක්ෂිකරුවන්ගෙන් අසා දැනගත් සාක්ෂි නිසා ඔහු දිගින් දිගටම පීඩාවට පත් විය.
“මම දැන් අසන්නට කැමැත්තෙමි,” මැක්ලෙලින් සිය ජීවිතයේ අවසානයේදී මෙසේ ලීවේය, “මෙතරම් තාර්කික හා බැරෑරුම් සාක්ෂියක් දරමින් ඇදහිලිවන්ත සාක්ෂිකරුවන්ගේ වලාකුළක් සමඟ මම කුමක් කරන්නද? මෙම මනුෂ්‍යයන් ජීවිතයේ මුල් අවදියේදී දේවදූතයාගේ දර්ශනය දුටු අතර ඔවුන්ගේ සාක්ෂිය සියලු ජනයාට දුන්නෝය. එමෙන්ම මිනිසුන් අට දෙනෙක් තහඩු දැක ඒවා හැසිරවූවෝය. එබැවින් මේ මිනිසුන් සියල්ලන්ම තමන් ධනාත්මක ලෙස සත්‍ය බව ප්‍රකාශ කළ දේවල් දැන සිටියහ. ඒ වගේම ඔවුන් තරුණ වියේදීත් දැන් මහලු වූ විටත් ඒ දේම ප්‍රකාශ කරති.”8
සාක්ෂිකරුවන් තිදෙනා මෙන් රන් තහඩු අප දැක නැතත්, ඔවුන්ගේ සාක්ෂි වලින් අපට ශක්තිය ලබාගත හැකිය. ඔවුන්ගේ සාක්‍ෂි නිසා ඔවුන්ගේ කීර්තිනාමය අභියෝගයට ලක්වූ විට පවා සහ ඔවුන්ගේ ආරක්ෂාවට හා ජීවිතවලට තර්ජනයක් එල්ලවූ විට පවා, මෙම අවංක මිනිසුන් ධෛර්ය සම්පන්නව ඔවුන්ගේ සාක්ෂියට අවසානය දක්වාම සත්‍යවන්තව රැඳී සිටියහ.