“සැප්තැම්බර් 7–13. 3 නෙපි 1–7: ‘ඔබගේ හිස ඔසවමින් තවද හොඳින් ප්‍රීතිමත් වන්න,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“සැප්තැම්බර් 7–13. 3 නෙපි 1–7,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
ජෝර්ජ් කොකෝ විසින්, එක් දිනක්, එක් රාත්‍රියක් සහ එක් දිනක්
සැප්තැම්බර් 7–13
3 නෙපි 1–7
“ඔබගේ හිස ඔසවමින් තවද හොඳින් ප්‍රීතිමත් වන්න”
නෙපිවරු ආශ්චර්යමත් සංඥා දුටු නමුත්, කාලයත් සමග ඔවුන්ට අත්විඳි දේ අමතක විය (3 නෙපි 2:1 බලන්න). 3 නෙපි 1–7 ඉගෙනගන්නා අතරතුර ඔබේ අධ්‍යාත්මික අත්දැකීම් මතක තබාගැනීමට ඔබේ හැඟීම් සටහන් කිරීම උපකාරී වේ.
ඔබේ හැඟීම් සටහන් කරන්න
යම් ආකාර වලින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයෙකු වීමට එය ප්‍රීතිමත් කාලයක් විය. අනාවැකි ඉටුවෙමින් පැවතුනි—ජනයා අතර මහත් සංඥා හා ප්‍රාතිහාර්යයන් පෙන්නුම් කළේ ගැලවුම්කරුවාණන් ඉක්මනින් උපත ලබන බවයි. අනෙක් අතට, එය ඇදහිලිවන්තයන්ටද කරදරකාරී කාලයක් විය, මක්නිසාදයත්, සියලු ප්‍රාතිහාර්යයන් මධ්‍යයේ වුවද, නොඇදහිලිවන්තයන් කියා සිටියේ ගැලවුම්කරුවාණන් ඉපදීමට “කාලය ගෙවී ගොස් ඇති” බවයි (3 නෙපි 1:5). මෙම ජනයා “දේශය පුරා මහත් කලබලයක්” ඇති කළහ (3 නෙපි 1:7) එමෙන්ම ලාමන්වරයෙකු වූ සැමුවෙල් විසින් අනාවැකි පැවසූ ලකුණ වන අන්ධකාරයෙන් තොර රාත්‍රියක් —නොපෙන්වන්නේ නම් සියලු ඇදහිලිවන්තයන් ඝාතනය කිරීමට දිනයක් නියම කළේය.
මෙම අසීරු අවස්ථාවන්හිදී, නෙපි අනාගතවක්තෘවරයා “තම සෙනග වෙනුවෙන් තම දෙවියන්වහන්සේට තදින්ම හඬා වැලපුණේය” (3 නෙපි 1:11). ස්වාමින්වහන්සේගේ ප්‍රතිචාරය පීඩා හෝ සැකයන්ට මුහුණ දෙන සහ ආලෝකය අන්ධකාරය ජයගන්නා බව දැනගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට ආශ්වාදජනකය: “ඔබේ හිස ඔසවමින් තවද හොඳින් ප්‍රීතිමත් වන්න; … තවද එනම් මාගේ ශුද්ධවූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කථාකරවීමට මම සැලැස්සුවාවූ එම සියල්ල සම්පූර්ණ කරන්නෙමි” (3 නෙපි 1:13).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සියලු වචන ඉටුකරනු ඇත.
3 නෙපි 1–7 හි විස්තර කර ඇති කාලය තුළ ඔබ ඇදහිලිවන්තයන්ගෙන් කෙනෙකු වූයේ නම් ඔබට කෙසේ හැඟෙනු ඇත්ද? නිදසුනක් වශයෙන්, ගැලවුම්කරුවාණන්ගේ උපත නිවේදනය කරන අන්ධකාරයක් නැති රාත්‍රියක් බලාසිටීම, එය සිදු නොවුනහොත් ඔබ මරා දමන බව දැනසිටීම කෙසේ හැඟෙන්නට පුලුවන්ද? ඔබ 3 නෙපි 1:4–21 සහ 5:1–3 කියවන විට, මෙම දුෂ්කර කාල වලදී තම ඇදහිල්ල පවත්වාගැනීමට නෙපි සහ අනෙකුත් ඇදහිලිවන්තයන් කළ දේ සොයාබලන්න. ස්වාමින්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළේ කෙසේද? ස්වාමින්වහන්සේ පොරොන්දු වූ ආශිර්වාද බලාපොරොත්තුවෙන් සිටින විට ඔබට උපකාරවත් වන්නේ කුමක් යැයි ඔබ ඉගෙනගන්නේද?
අධ්‍යාත්මික අත්දැකීම් අමතක කිරීමෙන් සාතන්ගේ පරීක්ෂාවන්ට මා ගොදුරු කරයි.
අන්ධකාරයක් නැති රාත්‍රියක් තරම් ආශ්චර්යමත් දෙයක් දැකීම ඔබ සමග දීර්ඝ කාලයක් රැඳී සිටිමින් ඔබේ සාක්ෂියට නැංගුරමක් වනු ඇතැයි ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් නෙපිවරුන් දුටු ලකුණු හා අරුම පුදුම දේ පිළිබඳ මතකයන් කාලයත් සමග මැකී යන බවක් පෙනෙන්නට තිබුණි. ඔවුන්ට අමතක වීමට හේතු වූයේ කුමක්ද, සහ අමතක වීමේ ප්‍රතිඵල මොනවාද? (3 නෙපි 1:22; 2:1–3 බලන්න).
අධ්‍යාත්මික සත්‍යයන් පිළිබඳ ඔබේ සාක්ෂිය මතක තබාගැනීමට සහ අලුත් කිරීමට ඔබ කරන්නේ මොනවාද? නිදසුනක් වශයෙන්, ඔබේ අධ්‍යාත්මික අත්දැකීම් සටහන් කිරීම ඔබට උපකාරවත් වන්නේ කෙසේදැයි සලකා බලන්න. විශ්වාස කිරීමට උපකාර කිරීම සඳහා ඔබේ සමීපතමයන් සමග ඔබේ සාක්ෂිය බෙදාගන්නේ කෙසේද?
බලන්න ඇල්මා 5:6; Henry B. Eyring, “O Remember, Remember,” Ensign or Liahona, Nov. 2007, 66–69; Neil L. Andersen, “Faith Is Not by Chance, but by Choice,” Ensign or Liahona, Nov. 2015, 65–68.
3 නෙපි 2:11–12; 3:1–26; 5:24–26
ස්වාමින්වහන්සේ තම සාන්තුවරයන්ව අධ්‍යාත්මික අනතුරට එරෙහිව ශක්තිමත් කරයි.
අපේ කාලයේ, අපි සාමාන්‍යයෙන් අපේ ගෙවල් අතහැර එක තැනකට රැස්වීමට බල කරන මංකොල්ලකරුවන්ගේ කණ්ඩායම් වලට මුහුණදෙන්නේ නැත. නමුත් අපි අධ්‍යාත්මික අන්තරායන්ට මුහුණදෙන අතර, නෙපිවරුන්ගේ අත්දැකීම් වල අපට උපකාර කළ හැකි පාඩම් අඩංගු විය හැකිය. ඔබ 3 නෙපි 2:11–12 සහ 3:1–26 කියවන විට මෙම පාඩම් සොයා බලන්න.
3 නෙපි 5:24-26 හි, ස්වාමින්වහන්සේගේ සෙනග අවසාන දිනවල එක්රැස්වීම ගැන කියවමු. ස්වාමින්වහන්සේ අද දින තම සෙනග එක්රැස් කරන ආකාරය ගැන මෙම පද වලින් උගන්වන්නේ මොනවාද?
බලන්න“Worldwide Devotional for Youth: Messages from President Russell M. Nelson and Sister Wendy W. Nelson,” June 3, 2018, ChurchofJesusChrist.org; “Israel—The gathering of Israel,” Guide to the Scriptures, scriptures.ChurchofJesusChrist.org ද බලන්න.
මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වෙමි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් කියා ඔබ සිතන්නේද? (දහම සහ ගිවිසුම 41:5 බලන්න). 3 නෙපි 5:12-26 දී මෝර්මොන් නෙපිවරුන්ගේ වාර්තා සංක්ෂිප්ත කිරීමට බාධා කරමින් ඔහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු බව ප්‍රකාශ කළේය. පසුව, 3 නෙපි 7:15-26 හි, නෙපි අනාගතවක්තෘවරයා වන—තවත් අනුගාමිකයෙකුගේ දේවසේවය ඔහු විස්තර කළේය. ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම්ගැනීමට උපකාර වන කුමක් ඔබ මෙම ඡේද දෙකෙන් සොයාගන්නේද?
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
3 නෙපි 3:13–14, 25–26
තමන් මුහුණදුන් සතුරාගෙන් ආරක්ෂා වීමට නෙපිවරුන් කළේ කුමක්ද? අපගේ නිවස ලෝකයේ නපුරෙන් ආරක්ෂා වීමේ හා රැකගැනීමේ ස්ථානයක් බවට පත්කිරීමට අප කරන්නේ කුමක්ද?
3 නෙපි 2:1–3; 6:15–17
සාතන් අපව රවටාගන්නේ කෙසේදැයි ඉගෙනගැනීමට ඔබේ පවුලට උපකාර කිරීම සඳහා, ශරීරයක් අඳින්න, එමෙන්ම ඔබේ පවුලේ අය 3 නෙපි 2:1–3 සහ 6:15–17 කියවන විට, සඳහන් කර ඇති ශරීරයේ විවිධ කොටස් සලකුණු කරන්න. මෙම පද වලට අනුව, දෙවියන්වහන්සේව අමතක කර පාපයට හැරවීමට සාතන් අපව පොළඹවන සමහරක් ක්‍රම මොනවාද?
3 නෙපි 4:7–12, 30–33
ගැඩියන්ටන් කොල්ලකරුවන් පැමිණෙන බව දුටු නෙපිවරුන් කළේ කුමක්ද? අප දුෂ්කර අවස්ථාවන්ට මුහුණදෙන විට අපේ පවුලට නෙපිවරුන්ගෙන් ඉගෙනගත හැක්කේ මොනවාද? ඔවුන්ගේ දුෂ්කර කාල වලදී ස්වාමින්වහන්සේ ඔවුන්ට උපකාර කළ පසු නෙපිවරුන්ගේ වචන වලින් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?
3 නෙපි 5:13; දහම සහ ගිවිසුම 41:5
3 නෙපි 5:13 සහ දහම සහ ගිවිසුම 41:5 කියවා, ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න සාකච්ඡා කරන්න. සමහරවිට පවුලේ සාමාජිකයන් එකිනෙකා අනුගාමිකයන් වූ බව දුටු අවස්ථා ගැන ඔවුන්ට කතා කළ හැකිය. ඔබට කුඩා දරුවන් සිටී නම්, “මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වෙමි” යැයි පවසන ලාංඡනයක් සාදා ගැලවුම්කරුවාණන් අනුගමනය කරන බව ඔබ දකින සෑමවිටම ඔවුන්ට ලාංඡනය පැළඳීමට ඉඩදෙන්න.
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.
අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම
ශුද්ධලියවිලි තමන්ට අදාළ කරගැනීමට ඔබේ පවුලට උදව් කරන්න. නෙපි මෙසේ පැවසුවේය, “මම සියලු ශුද්ධලියවිලි අපට අදාළ කළේ, ඒවා අපගේ ලාභය හා ඉගෙනීම සඳහා වන පිණිසය” (1 නෙපි 19:23). 3 නෙපි 1:4–9 හි විස්තර කර ඇති ඇදහිලිවන්තයන් අතර ඔවුන් සිටියා නම් ඔවුන් කුමක් කරනු ඇත්දැයි අදාළ කරගැනීමට ඔබේ පවුලේ අයට උපකාර කිරීමට ඔබට ඔවුන්ට ආරාධනා කළ හැකිය. (බලන්න Teaching in the Savior’s Way, 21.)
වෝල්ටර් රනේ විසින්, දිනයක්, රාත්‍රියක් සහ දිනයක්