2025
අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන්නේ උන්වහන්සේගේ කාර්යයට එක්වීමෙනි
2025 ජුනි


“අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන්නේ උන්වහන්සේගේ කාර්යයට එක්වීමෙනි,” ලියහෝනා, 2025 ජුනි.

මාසික ලියහෝනා පණිවිඩය, 2025 ජුනි

අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන්නේ උන්වහන්සේගේ කාර්යයට එක්වීමෙනි

අපි ගැලවුම්කරුවාණන්ගේ අරමුණු කෙරෙහි අවධානය යොමු කරමින්, උන්වහන්සේගේ ආඥා පිළිපදින විට සහ එකිනෙකාට ප්‍රේම කරන විට, අපි උන්වහන්සේගේ කාර්යයට සහභාගී වෙන්නෙමු.

ක්‍රිස්තුස්වහන්සේ සහ පොහොසත් තරුණ පාලකයා

හෙයින්‍රිච් හොෆ්මන් විසින්, Christ and the Rich Young Ruler [ක්‍රිස්තුස්වහන්සේ සහ පොහොසත් තරුණ පාලකයා]

අපි බව්තීස්ම වූ විට, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප මතට ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්නෙමු. මෙම ක්‍රියාවලියේ කොටසක් අදහස් කරන්නේ අපි ගැලවුම්කරුවාණන් සමඟ උන්වහන්සේගේ කාර්යයට එක්වන බවයි. පළමු සභාපතිත්වයේ පළමු උපදේශක සභාපති ඩැලන් එච්. ඕක්ස් මෙසේ ලිව්වේය, “ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප මතට ගැනීම යන්නෙහි වැදගත්ම අර්ථයක් වන්නේ ගැලවුම්කරුවාණන්ගේ සහ උන්වහන්සේගේ රාජ්‍යයේ කාර්යය අප මතට ගැනීමට ඇති කැමැත්ත සහ කැපවීමයි.”

ගැලවුම්කරුවාණන්ගේ කාර්යය වන්නේ “මනුෂ්‍යයාගේ අමරණීයභාවය සහ සදාකාල ජීවනය ගෙන ඒමයි” (මෝසෙස් 1:39). අමරණීයභාවය යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ නැවත නැඟිටීම තුළින් දැනටමත් සහතික කර ඇති කොන්දේසි විරහිත දීමනාවකි. කෙසේ වෙතත්, සදාකාල ජීවනය අමරණීයභාවයට සමාන නොවේ. සදාකාල ජීවනය යනු දෙවියන්වහන්සේට මනුෂ්‍ය වර්ගයාට දිය හැකි ශ්‍රේෂ්ඨතම දීමනාවයි (බලන්න දහම සහ ගිවිසුම් 14:7). එය උන්වහන්සේගේ අභිමුඛයේ පවුල් ලෙස සදාකාලිකව ජීවත් වීමයි. අපට සදාකාල ජීවනය ලැබීමට නම්, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවන්ත අනුගාමිකයින් විය යුතුයි. මෙහි තේරුම වන්නේ ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ වන්දිගෙවීම කෙරෙහි ඇදහිල්ල ඇති කරගෙන, පසුතැවිලි වී, බව්තීස්ම වී, ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලබාගෙන, දේවමාළිගා ගිවිසුම් ඇති කරගෙන ඒවා පිළිපැදීමෙන් සහ අවසානය දක්වා විඳදරා ගැනීමෙන් අප නැවත පිහිටුවන ලද ශුභාරංචිය ලබාගන්නා බවයි. අවසානය දක්වා විඳදරා ගැනීමට, ගැලවුම්කරුවාණන් සමඟ උන්වහන්සේගේ කාර්යයට එක්වීම ඇතුළත් වේ.

උනන්දුවෙන් නියැලී සිටීම

දෙවියන්වහන්සේගේ දරුවන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවන්ත අනුගාමිකයින් වීමට උපකාර කරන විට, අපි ගැලවුම්කරුවාණන්ගේ කාර්යයට සහභාගී වෙන්නෙමු. මෙයට උන්වහන්සේගේ ශුභාරංචිය බෙදාගැනීම, එමඟින් විසිරී සිටින ඊශ්‍රායෙලය එක්රැස් කිරීම, ගැලවුම්කරුවාණන්ගේ සභාවේ වගකීම් ඉටු කිරීමෙන් සහ උන්වහන්සේ හා සමාන වීමට උත්සාහ කිරීම ඇතුළත් වේ. “[උන්වහන්සේගේ කාර්යයේ] අපගේ සාර්ථකත්වය රඳා පවතින්නේ අන් අය [අපට], [අපගේ] ආරාධනාවලට හෝ [අපගේ] අවංක කරුණාවන්ත ක්‍රියාවන්ට ප්‍රතිචාර දැක්වීමට තෝරා ගන්නා ආකාරය මත නොවේ.” සභාපති නෙල්සන් මෙසේ තහවුරු කළේය: “දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගැනීමට සහ ඒවායේ අත්‍යවශ්‍ය බව්තීස්ම සහ දේවමාළිගා නියෝග ලබාගැනීමට පියවරක් ගැනීමට—තිරයේ ඕනෑම පැත්තක—ඕනෑම කෙනෙකුට උදවු වන ඕනෑම දෙයක් ඔබ ඕනෑම අවස්ථාවක කරද්දි, ඔබ ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට උදව් වේ.

ගැලවුම්කරුවාණන්ගේ කාර්යය අපගේ කාර්යය කර ගැනීමට, අපි උන්වහන්සේගේ අරමුණු කෙරෙහි අවධානය යොමු කරන්නෙමු, උන්වහන්සේගේ ආඥා පිළිපදින්නෙමු, සහ එකිනෙකාට ප්‍රේම කරන්නෙමු. අපි උන්වහන්සේගේ කාර්යය උන්වහන්සේගේ ආකාරයෙන් කරන අතරතුර (බලන්න දහම සහ ගිවිසුම් 51:2), අපට අප විසින්ම සොයා ගැනීමට සමහර දේවල් ඉතිරිව තිබේ. මිසුරි හි ජැක්සන් ප්‍රාන්තයේ රැස්ව සිටි ශුද්ධවන්තයන්ට ගැලවුම්කරුවාණන් මෙසේ පැවසීය:

“මක්නිසාද බලන්න, මා සියලු දේවල් වලදී ආඥා කිරීම සුදුසු නොවන්නේය; මක්නිසාද සියලු කාරණා වලදී බලකරනු ලබන එවැන්නා, ප්‍රඥාවන්ත සේවකයකු නොව අලසයෙකු වන්නේය; එසේහෙයින් ඔහුට විපාකයක් නොලැබෙන්නේය.

“සැබවක් මම පවසන්නෙමි, මනුෂ්‍යයන් යහපත් කාරණා වල උද්‍යෝගයෙන් යෙදිය යුතුවේ, තවද ඔවුන්ගේ ස්වකීය නිදහස් කැමැත්තෙන් බොහෝ දේවල් කළ යුතුවේ, තවද බොහෝ ධර්මිෂ්ඨ කාරණා සිද්ධ කළ යුතුවේ;

“මක්නිසාද බලය ඔවුන් තුළ ඇත්තේය, එතුළින් ඔවුහු ඔවුන් වෙතටම නියෝජිතයන් වෙති. තවද මනුෂ්‍යයන් යහපත කරන තාක් ඔවුහු කිසිවිටකත් ඔවුන්ගේ විපාකය නැතිකර නොගන්නෝය” (දහම සහ ගිවිසුම් 58:26–28).

අපි ගැලවුම්කරුවාණන්ව අනුගමනය කරන විට, උන්වහන්සේගේ කාර්යයට උන්වහන්සේ සමඟ එක්වන විට, සහ අන් අයට උන්වහන්සේගේ ඇදහිලිවන්ත අනුගාමිකයින් වීමට උපකාර කරන විට, උන්වහන්සේ උගන්වන දේ අපි උගන්වන්නෙමු. අපට වෙනත් කිසිවක් ඉගැන්වීමට අධිකාරීත්වයක් නොමැති නිසා (බලන්න දහම සහ ගිවිසුම් 52:9, 36), අපි උන්වහන්සේගේ දහම කෙරෙහි නොවරදවාම අවධානය යොමු කරන්නෙමු (බලන්න දහම සහ ගිවිසුම් 68:25). ඊට අමතරව, අපි දුප්පත්, අවශ්‍යතා ඇති සහ අනතුරට ලක්විය හැකි අය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්නෙමු (බලන්න දහම සහ ගිවිසුම් 52:40). නාසරෙත්හි සිනගෝගයකදී ගැලවුම්කරුවාණන් යෙසායා වලින් උපුටා දැක්වූ විට මෙම අවධාරණයන් පැහැදිලි විය:

“ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේප කළ සේක; වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශ කරන්ටද මඩනා ලද්දවුන් නිදහස්කර හරින්ටද,

“ස්වාමීන්වහන්සේගේ පිළිගත යුතු අවුරුද්ද ප්‍රකාශකරන්ටද මා එවූ සේක” (ලූක් 4:18–19; තවත් බලන්න යෙසායා 61:1–2).

ස්වාමීන්වහන්සේගේ පිළිගත යුතු වර්ෂය යන්නෙන් අදහස් කරන්නේ දෙවියන්වහන්සේගේ ගිවිසුමේ සියලු ආශීර්වාද උන්වහන්සේගේ සෙනඟ මත ගොඩගැසෙන කාලයයි. දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කර ගැනීමේ සහ ඒවා තබා ගැනීමේ ආශිර්වාද ලබා ගැනීමට අන් අයට ආරාධනා කිරීමෙන් සහ දුප්පත් හෝ වෙනත් අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීමෙන් අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන්නෙමු.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාර්යයට උන්වහන්සේ හා එක්වීම ප්‍රීතිමත්ය, මන්ද උන්වහන්සේගේ ක්‍රියා, සැලසුම් සහ අරමුණු “නිෂ්ඵල කළ නොහැක්කේය, එලෙසම එය ශුන්‍යත්වයට පැමිණවිය නොහැක්කේය” (දහම සහ ගිවිසුම් 3:1). අධෛර්යයට පත් වූවන් සඳහා, ස්වාමීන්වහන්සේ මෙසේ උපදෙස් දුන් සේක: “එසේහෙයින්, යහපත කිරීමේදී විඩාපත් නොවන්න, මක්නිසාද නුඹලා මහත් ක්‍රියාවක් උදෙසා අත්තිවාරම දමන්නෙහුය. තවද එනම් කුඩා දේවල් වලින් එම ශ්‍රේෂ්ඨ වූ දේ ඉදිරියට යන්නේය” (දහම සහ ගිවිසුම් 64:33). අස්වැන්න ගැන කරදර වීමට අපි ස්වාමීන්වහන්සේට ඉඩ දී, අපි අපගේ කොටස ඉටු කරන්නෙමු.

හදවත සහ කැමැත්ත ඇති මනස

ස්වාමීන්වහන්සේගේ කාර්යයට අසාමාන්‍ය කුසලතා හෝ හැකියාවන් ගෙන ඒමට අපට අවශ්‍ය නොවන නිසා, අපගේ කොටස කිරීම අප සිතනවාට වඩා සරලයි. උන්වහන්සේගේ අවශ්‍යතාවය සරලවම කැපවීම සහ කැමැත්ත පමණයි. ඔහයෝ කර්ට්ලන්ඩ් හි ශුද්ධවන්තයන්ට ස්වාමීන්වහන්සේ මෙසේ කී සේක, “බලන්න, තවද ස්වාමීන්වහන්සේට අවශ්‍ය වන්නේ සම්පූර්ණ හදවත සහ කැමැත්ත ඇති මනසක්ය” (දහම සහ ගිවිසුම් 64:34). දෙවියන්වහන්සේට, කැමත්ත ඇති අයට හැකියාව ලබාදිය හැකිය, නමුත් උන්වහන්සේට හැකියාවන් ඇති අයව කැමති කරවාගැනීමට නොහැක හෝ එසේ කරන්නේ හෝ නැත. වෙනත් වචන වලින් කිවහොත්, අපි කැපවී කැමැත්තෙන් සිටිනවා නම්, උන්වහන්සේට අපව භාවිතා කළ හැකිය. නමුත් අපි කොතරම් දක්ෂ වුවත්, අපි උන්වහන්සේගේ කාර්යයට කැපවී උන්වහන්සේට උදව් කිරීමට කැමැත්තෙන් සිටින්නේ නම් මිස, උන්වහන්සේ අපව භාවිතා නොකරනු ඇත.

සැමුවෙල් සහ ඇනා-මරියා කොයිවිස්ටෝ කැපවීම සහ කැමැත්ත යන දෙකම පෙන්නුම් කළහ. ඔවුන්ගේ විවාහයෙන් පසුව, කොයිවිස්ටෝ ෆින්ලන්තයේ ජයිවාස්කයිලා සිට ස්වීඩනයේ ගොටෙබර්ග්, වෙත වෘත්තීය අවස්ථා සොයා යාම සඳහා සංක්‍රමණය විය. එහි ලඟා වීමෙන් පසු, සහෝදර කොයිවිස්ටෝට ගෝටෙබර්ග් ස්වීඩන් ස්ටේක් සභාපතිත්වයේ උපදේශකයෙකු වන සභාපති ලීෆ් ජී. මැට්සන් හමුවීමට ආරාධනා ලැබුණි. සැමුවෙල් ස්වීඩන් භාෂාව කතා නොකළ නිසා, සම්මුඛ සාකච්ඡාව ඉංග්‍රීසියෙන් පවත්වනු ලැබුවේය.

කෙටි හමුවකින් පසු, සභාපති මැට්සන්, ඔට්බි කොට්ටාශයේ කොට්ටාශ ධර්මදූත නායකයා ලෙස සේවය කරන ලෙස සැමුවෙල්ගෙන් ඉල්ලා සිටියේය. සැමුවෙල් පැහැදිලිවම පෙන්වා දුන්නේය: “නමුත් මම ස්වීඩන් භාෂාව කතා කරන්නේ නැහැ.”

සභාපති මැට්සන් ඔහුගේ මේසය මතට හේත්තු වී තියුණු ලෙස මෙසේ ඇසුවේය, “මම ඇහුවේ ඔයාට ස්වීඩන් භාෂාව කතා කරන්න පුළුවන්ද කියලාද, නැත්නම් ඔයා ස්වාමීන්වහන්සේට සේවය කරන්න කැමතිද කියලාද?”.

සැමුවෙල් මෙසේ පිළිතුරු දුන්නේය, “ස්වාමීන්වහන්සේට සේවය කරන්න මා කැමතිදැයි ඔබ ඇසුවා. ඒ වගේම මම කැමැතියි.”

සැමුවෙල් එම කැඳවීම පිළිගත්තේය. ඇනා-මරියා ද කැඳවීම පිළිගත්තාය. දෙදෙනාම ඇදහිලිවන්තව සේවය කළ අතර ලස්සනට ස්වීඩන් භාෂාව කතා කිරීමට ඉගෙන ගත්හ.

ස්වාමීන්වහන්සේට සේවය කිරීමට කැපවීම සහ කැමැත්ත සැමුවෙල් සහ ඇනා-මරියාගේ ජීවිතවල ලක්ෂණයක් වී ඇත. ඔවුන් සභාවේ සාමාන්‍ය වීරයන්. ඔවුන්ගෙන් ඉල්ලා සිටි සෑම අවස්ථාවකම ඔවුන් ඇදහිලිවන්තව සේවය කර ඇත. අපි සේවය කරන විට, අප සතුව ඇති කුසලතා භාවිතා කරන බව ඔවුන් මට උගන්වා ඇත (බලන්න දහම සහ ගිවිසුම් 60:13), එවිට ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ අරමුණු ඉටු කර ගැනීමට අපට උපකාර කරයි.

අපි සේවය කිරීමට කැමැත්තෙන් සිටින විට, අපගේ සේවය කිසිදු ආකාරයකින් කෙලෙසීමට අපට අවශ්‍ය නැති නිසා, පැමිණිලි කිරීමට හෝ මුමුණන්නට අපි උත්සාහ නොකරන්නෙමු. පැමිණිලි කිරීම නොසැලෙන කැපවීමක්, නැතහොත් ගැලවුම්කරුවාණන් කෙරෙහි අපගේ ප්‍රේමය තිබිය යුතු පරිදි නොවීමේ ලකුණක් විය හැකිය. මැසිවිලි නැඟීම පාලනය නොකළහොත්, එය ස්වාමීන්වහන්සේට විරුද්ධව කෙළින්ම කැරැල්ලක් දක්වා වර්ධනය විය හැකිය. මෙම ප්‍රගතිය මිසුරි වෙත ධර්මදූතවරයෙකු ලෙස කැඳවනු ලැබූ ඔහයෝ හි සභාවට මුල් කාලීනව හැරුණු එස්රා බූත්ගේ ජීවිතයෙන් දැකිය හැකිය.

1831 ජුනි මාසයේදී ඔහයෝ වෙතින් පිටත්ව යන විට, සමහර ධර්මදූතයන්ට කරත්තයෙන් ගමන් කිරීමට හැකි වීම ගැන දේශනා කරමින් ගිම්හාන තාපය සමඟ දිගටම ඇවිදීමට සිදු වූ එස්රාගේ හිත අවුල් විය. ඔහු මිමිණුවේය. ඔහු මිසුරි වෙත පැමිණි විට, ඔහුට කලකිරීමක් දැනුණි. මිසුරි ඔහු අපේක්ෂා කළ දේ නොවේ. ඒ වෙනුවට, ඔහු වටපිට බැලූ විට “අපේක්ෂාව තරමක් අඳුරු බවක් පෙනෙන්නට තිබූ” බව දුටුවේය.

එස්රා වඩ වඩාත් නුරුස්සන, උපහාසාත්මක සහ විවේචනාත්මක වීමට පටන් ගත්තේය. මිසුරියෙන් පිටත් වූ පසු, ඔහුගෙන් ඉල්ලා සිටි පරිදි, ගොස් දේශනා කිරීම වෙනුවට, ඔහු හැකි ඉක්මනින් ඔහයෝ වෙත ආපසු ගියේය. ඔහුගේ ආරම්භයේදී මැසිවිලි නැඟීම දෙගිඩියාවකටත් අවසානයේ ඔහුගේ මුල් අධ්‍යාත්මික අත්දැකීම් කෙරෙහි විශ්වාසය නැති වීමටත් හේතු විය. ඉක්මනින්ම එස්රා සභාවෙන් ඉවත් වී “අවසානයේ ‘ක්‍රිස්තියානි ධර්මය අතහැර අඥේයවාදියෙකු’ බවට පත් විය.”

අපි පරිස්සම් නොවුණොත් අපිටත් ඒ දේම විය හැකිය. අපි සදාකාලික දෘෂ්ටිකෝණයක් පවත්වා නොගන්නේ නම්, මෙය සැබවින්ම කාගේ කාර්යයක් දැයි අපටම මතක් කර නොගන්නේ නම්, අපි පැමිණිලි කිරීමට, නොසැලී සිටීමට සහ අවසානයේ අප තුළ ඇති ඇදහිල්ල නැති කර ගැනීමට ඉඩ තිබේ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාර්යයට එක්වීමෙන් උන්වහන්සේව අනුගමනය කිරීමට අපට තෝරා ගත හැකි වේවා කියා මම යාච්ඤා කරන්නෙමි. අපි එසේ කරන විට, අපට “අනර්ඝ වූ ඉතා උතුම්වූ පොරොන්දු” ලබා දී ඇත්තේය (2 පේතෘස් 1:4). මෙම ආශිර්වාද අතරට පාපයට සමාව දීම (බලන්න දහම සහ ගිවිසුම් 60:7; 61:2, 34; 62:3; 64:3), ගැලවීම (බලන්න දහම සහ ගිවිසුම් 6:13; 56:2), සහ උත්කර්ෂවත් කිරීම (බලන්න දහම සහ ගිවිසුම් 58:3–11; 59:23) ඇතුළත් වේ. ඇත්ත වශයෙන්ම, දෙවියන්වහන්සේට දිය හැකි ශ්‍රේෂ්ඨතම දීමනාව වන සදාකාල ජීවනය අපට පොරොන්දු වී ඇත.

සටහන්

  1. Dallin H. Oaks, His Holy Name (1998), 37.

  2. ඊශ්‍රායෙලය එක්රැස් කිරීම යන්නෙන් අදහස් කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සැබෑ ඇදහිලිවන්තයන් වීමට සැමට ආරාධනා කිරීමයි.

  3. මාගේ ශුභාරංචිය දේශනා කරන්න: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදා ගැනීමට මාර්ගෝපදේශයක් (2023), 13, ශුභාරංචි පුස්තකාලය.

  4. Russell M. Nelson, “Hope of Israel” (worldwide youth devotional, June 3, 2018), Gospel Library.

  5. බලන්න Matthew McBride, “Ezra Booth and Isaac Morley,” in Revelations in Context: The Stories behind the Sections of the Doctrine and Covenants (2016), 130–36.