2025
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් උපකාර: ඇයි සහ කෙසේද
2025 අප්‍රියෙල්


යෞවනයේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2025 අප්‍රියෙල්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් උපකාර: ඇයි සහ කෙසේද

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිතුර වන්නේ ඇයි සහ උන්වහන්සේ ඔබට උපකාර කරන්නේ කෙසේද යන්න තේරුම් ගන්න.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

නිදර්ශනය ඩෑන් විල්සන් විසිනි

“මම දිගටම අවුල් කරගන්නවා වගේ මට දැනෙනවා. දිගින් දිගටම උත්සාහ කිරීම දුෂ්කරයි. ”

“මගේ තත්වය අමාරුයි. ඉදිරියට යන්නේ කෙසේදැයි මට විශ්වාස නෑ.”

“මම අනාගතය ගැන කනස්සල්ලෙන් ඉන්නේ. සාර්ථක වීමට අවශ්‍ය දේ මා සතුව තිබේදැයි මම නොදනිමි.”

“මට මහන්සියි, නමුත් තව කරන්න බොහෝ දේවල් තිබෙනවා.”

ඔබට මෙම ගැටළු වලින් එකකට හෝ අදාළ බවක් දැනෙනවාද? සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වූවා, “ඔබට ඇති ප්‍රශ්න හෝ ගැටලු කුමක් වුවත්, පිළිතුරු සැමවිටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය හා ඉගැන්වීම් තුළ සොයාගත හැකිය” (“සැමවිටම පිළිතුර යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි,” අප්‍රි. 2023 ප්‍රධාන සම්මන්ත්‍රණය [ලියහෝනා, මැයි 2023, 127]).

“පිළිතුර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ය” කියා පැවසීම පහසුය. උන්වහන්සේ පිළිතුර වන්නේ ඇයි සහ කෙසේද යන්න තේරුම් ගැනීමට තව ටිකක් උත්සාහයක් අවශ්‍ය වෙනවා.

ක්‍රිස්තුස්වහන්සේ පිළිතුර වන්නේ ඇයි?

උන්වහන්සේ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය විඳදරාගත් විට, ගැලවුම්කරුවාණන් වැදගත් දේවල් තුනක් කළා:

  1. අපට මරණයෙන් නැවත නැගිටීමට ඉඩ සලසමින්, උන්වහන්සේ මරණය ජයගත්තා.

  2. අපට පසුතැවිලි වීමට, වර්ධනය වීමට සහ දෙවියන්වහන්සේ වෙත නැවත පැමිණීමට හැකි වන පරිදි, උන්වහන්සේ සියලු පාප සඳහා මිල ගෙව්වා. එය අන් අය පව් කරන විට ඔවුන්ට සමාව දීමටද අපට උපකාරී වෙනවා, මන්ද ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ගේ පාප ද උන්වහන්සේ මතට ගත්තා.

  3. උන්වහන්සේ සියලු වේදනාවන්, පීඩාවන්, පරීක්ෂාවන්, අසනීප සහ දුර්වලතා අත්විඳ තිබෙනවා (බලන්න ඇල්මා 7:11–13). ඒ කියන්නේ ඔබට උදව් කරන්නේ කෙසේද සහ සුව කරන්නේ කෙසේද කියා උන්වහන්සේ හරියටම දන්නා අතර පරීක්ෂාවන් විඳදරාගැනීමට සහ තව තවත් යහපත් වීමට උත්සාහ කිරීමට ඔබව ශක්තිමත් කරන්න උන්වහන්සේට පුළුවන්.

ඕනෑම ගැටලුවක් තෝරා ගන්න, ඉන්පසු ඔබට විසඳුම එම සත්‍ය තුනෙන් එකකට හෝ කිහිපයකට සම්බන්ධ කළ හැකියි.

දුප්පත්කම? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සියල්ල අත්විඳ ඇති නිසා, එය කෙබඳුදැයි උන්වහන්සේ හරියටම දන්නවා. උන්වහන්සේ සැමවිටම බාධකය ඉවත් කරන්නේ නෑ, නමුත් එම බර උසුලන මිනිසුන්ව ශක්තිමත් කිරීමට උන්වහන්සේට පුළුවන් (බලන්න මොසායා 24:15).

අසමත්වීම? ක්‍රිස්තුස්වහන්සේ පාපය ජයගත් නිසා, අපගේ අසාර්ථකත්වයන් ස්ථිර විය යුතු නෑ. පසුතැවිල්ලට ඇතුළත් වන්නේ, අපට විය හැකි බව උන්වහන්සේ දන්නා පුද්ගලයා බවට අපි පත්වීම සහ වැඩිදියුණු වීමයි.

අසනීප? උන්වහන්සේ මරණය ජයගත් නිසා, අසනීප හා වේදනාවන්ට ඔරොත්තු දෙන පරිපූර්ණ ශරීර සහිතව අප මරණයෙන් නැවත නැගිටුවනු ලබනවා. ක්‍රිස්තුස්වහන්සේ “උන්වහන්සේ මත රෝග [දරාගෙන]” (ඇල්මා 7:11), සැනසීම සහ සහයෝගය ලබා දීමට හැකි පරිපූර්ණ පුද්ගලයෙකු බවට උන්වහන්සේවම පත්කරගත්තා.

ක්‍රිස්තුස්වහන්සේ උදව් කරන්නේ කොහොමද?

නමුත් පිළිතුර ගැලවුම්කරුවාණන් වන්නේ ඇයි කියා අප දන්නා විට පවා (උන්වහන්සේ කවුද සහ උන්වහන්සේ අප වෙනුවෙන් කර ඇති දේ නිසා), අපට උන්වහන්සේගෙන් උපකාර සහ ශක්තිය ලැබෙන්නේ කෙසේදැයි අප තවමත් දැනගත යුතුයි. මෙන්න ක්‍රම කිහිපයක්:

යාච්ඤාව. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කිරීමෙන්, අප වැනි අසම්පූර්ණ මිනිසුන්ට පරිපූර්ණ දෙවි කෙනෙකු සමඟ කතා කරන්න පුළුවන්. ඕනෑම තත්වයකදී අපට අවශ්‍ය ශක්තිය ඉල්ලා යාච්ඤා කළ හැකි අතර, දෙවියන්වහන්සේ පිළිතුරු දෙනු ඇත—නමුත් ඒ සෑම විටම අපට අවශ්‍ය හෝ අපේක්ෂා කරන ආකාරයෙන් නොවේ, නමුත් ඒ අපට ආශීර්වාද කරන ආකාරයකින්. ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය සැබෑයි: “ඉල්ලන්න, එවිට ඔබට ලැබෙනු ඇත” (යොහාන් 16:24; 3 නෙපී 27:29; දහම සහ ගිවිසුම් 4:7).

ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව. ස්වර්ගීය පියාණන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේ අරමුණින් එක්සත් වී සිටිනවා. උන්වහන්සේලා එකට එක්ව වැඩ කරනවා! ඔබට ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් මගපෙන්වීමක් හෝ සැනසීමක් දැනෙන ඕනෑම අවස්ථාවක, ක්‍රිස්තුස්වහන්සේත් ඔබට උපකාර කරන බව ඔබට තේරුම් ගන්න පුලුවන්.

ගිවිසුම් පැවැත්වීම. දොළොස්දෙනාගේ ගණපූරණයේ වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් මෙසේ ඉගැන්වූවා: “ගිවිසුම් මාර්ගය යන යෙදුම අප ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ සමඟ සම්බන්ධ වන ගිවිසුම් මාලාවකට යොමු කරනවා. මෙම ගිවිසුම් බැඳීම තුළින් අපට උන්වහන්සේගේ සදාකාලික බලයට ප්‍රවේශය තිබෙනවා” (අප්‍රි. 2023 ප්‍රධාන සම්මන්ත්‍රණය [ලියහෝනා, මැයි 2023, 36]).

කරුණාව. අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබා පසුතැවිලි වන විට, අපට තනිවම කළ නොහැකි දේවල් ඉටු කර ගැනීමට අමතර උපකාර සහ ශක්තිය (කරුණාව ලෙසද හැඳින්වේ) අපට ලබාගන්න පුළුවන්. මෙම ශක්තිය හෝ කරුණාව බොහෝ ආකාරවලින් පැමිණෙන්න පුළුවන්: ශුද්ධාත්මයාණන්ගෙන්, මිතුරෙකුගෙන්, ආගන්තුකයෙකුගෙන්, හැඟීමකින්. මූලික වශයෙන්, ඕනෑම යහපත් දෙයක් පැමිණෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගෙන් (බලන්න මොරෝනි 7:22). ඔබට තව ටිකක් ඉවසීම, තව ටිකක් ශක්තිය, විඳදරාගැනීමට තව ටිකක් ශක්තිය ලැබුණු විට, ඒ ක්‍රිස්තුස්වහන්සේ ඔබට උපකාර කරන ආකාරය බව හඳුනාගන්න.

ඇයි සහ කෙසේද කියා මතක තබා ගන්න.

ඉතින් ඊළඟ වතාවේ ඔබට ප්‍රශ්නයකට හෝ ගැටලුවකට පිළිතුරක් අවශ්‍ය වූ විට, ක්‍රිස්තුස්වහන්සේ දෙස බලන්න. පාපය, මරණය සහ අනෙකුත් සියලු ලෞකික අභියෝග උන්වහන්සේ ජයගත් නිසා, කිසිවක් කළ නොහැකි වන්නේ නැති බව මතක තබා ගන්න. උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්නේ කෙසේදැයි සොයා බලන්න, එවිට ඔබේ ජීවිතය තුළ උන්වහන්සේගේ බලපෑම ඔබට පෙනෙයි. උන්වහන්සේ ඔබට ගැඹුරින්ම ආදරෙයි!