ලියහෝනා
දුෂ්කර කාලයන් වල දී දරා සිටීමට මගේ ගිවිසුම් මට සහාය වේ
2026 පෙබරවාරි ලියහෝනා


ආසියා ප්‍රාදේශීය නායකත්ව පණිවිඩය

දුෂ්කර කාලයන් වල දී දරා සිටීමට මගේ ගිවිසුම් මට සහාය වේ

බව්තීස්මයෙන් පසු, අපට ස්ථිර කිරීම සහ ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලැබේ. ශුද්ධාත්මයාණන්වහන්සේ සැනසීම ගෙන දෙන අතර ජීවිතයේ අභියෝග හරහා අපට මඟ පෙන්වයි. ශුද්ධාත්මයාණන්වහන්සේ සමඟ අපගේ සන්නිවේදනය විවෘත කිරීමට නම්, දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරු වීමෙන්, ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට සහ මෙනෙහි කිරීමට නිහඬ කාලයක් සොයා ගැනීමෙන් සහ නිශ්චල, කුඩා හඬට සවන් දීමෙන් අපව පිරිසිඳුව තබා ගත යුතුයි.

මගේ පළමු දරුවා ඉපදුණු පසු මුල් මාස කිහිපය තුළ, රාත්‍රියේ දී මගේ බිරිඳට අපේ දරුවා රැකබලා ගැනීමට උදව් කිරීමෙන් මම වෙහෙසට පත්ව සිටියෙමි. සමහර දිනවල මම ශුද්ධලියවිලි අධ්‍යයනය මඟ හැරීමට පටන් ගත්තෙමි. මගේ ජීවිතය පිළිවලක් නොමැති බව මට දැනුන අතර වෙනසක් කිරීමට අවශ්‍ය බව මම දැන සිටියෙමි. ආයතනික පන්තියේ අත්පොත සමඟ මොර්මන්ගේ පොත අධ්‍යයනය කිරීම සඳහා මම සෑම උදෑසනකම පැයකට පෙර අවදි වීමට තීරණය කළෙමි. මගේ බර දරාගැනීමට මට වැඩි අධ්‍යාත්මික ශක්තියක් ලැබුණි. ශුද්ධාත්මයාණන්වහන්සේගේ ඇසුර තුළින් මට වැඩි ප්‍රීතියක් සහ සාමයක් දැනුණි.

පසුගිය වසරේ, මගේ බිරිඳට විනාශකාරී ආරංචියක් ලැබුණි. ඇගේ මව සහ පියා දෙදෙනාම පිළිකා රෝගයෙන් පෙළෙන බව හඳුනා ගන්නා ලදී. මාස කිහිපයකට පසු, මගේ පියා ශල්‍යකර්මයකට භාජනය වූ අතර, මගේ බිරිඳට පිළිකාවක් විය හැකි ලෙස පියයුරු වල ගෙඩි දෙකක් ඇති බව හඳුනා ගන්නා ලදී. ස්තුතිවන්ත වන්නට, ශල්‍යකර්මයෙන් පසු ප්‍රතිඵල වලින් පිළිකාවක් නොමැති බව පෙන්නුම් කෙරිණි. ඉන්පසු, අපේ දියණියට ඇපෙන්ඩිසයිට්ස් සෑදුණි. මේ සියල්ල සිදු වූයේ මාස හයක් ඇතුළත වන අතර, ඔවුන්ගෙන් කිසිවෙකුට මීට පෙර ශල්‍යකර්මයක් කර නොතිබුණි. ඒ කාලයේදීම, මට බොහෝ ලෙස ගමන් බිමන් සහ කාලයක් අවශ්‍ය වූ සභාවේ අලුත් කැඳවීමක් ලැබුණ අතර, මගේ නව රැකියාව නිසා බොහෝ රාත්‍රීන් වල ප්‍රමාද වී වැඩ කිරීමට මට සිදු විය.

මෙම අභියෝග සමඟ සාර්ථකව කටයුතු කිරීමට, ගැලවුම්කරුවාණන්ට පමණක් මට උපකාර කළ හැකි බව මම දැන සිටියෙමි. මගේ ගමනේ දී ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට වැඩි කාලයක් යෙදවීමෙන්, ප්‍රධාන සම්මන්ත්‍රණ කතා වලට සවන් දීමෙන් සහ දේවමාළිගාවේ නමස්කාර කිරීමෙන් මම උන්වහන්සේට සමීප වීමට උත්සාහ කළෙමි. මම කනස්සල්ලෙන් යටපත් නොවී, සෙලෙස්ටියල් ආකාරයට සිතීමටත්, දේවමාළිගාවේ මා ඇති කරගත් ගිවිසුම්වල බලය මත රඳා සිටීමටත් තෝරා ගත්තෙමි. මෙය මට සාමය ගෙන ආවේය. ගැලවුම්කරුවාණන් මෙසේ පොරොන්දු වී ඇත, “නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙල්ලා” (යොහන් 14:27).

මෙම අත්දැකීම් මාව ගැලවුම්කරුවාණන් වෙත සමීප කර තිබේ. පූජනීය නියෝග තුළින් මා ඇති කරගත් ගිවිසුම් වලින් ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ මගේ බැඳීම ශක්තිමත් වී තිබේ. “... එම නියෝග තුළින්, දේවත්වයේ බලය ප්‍රත්‍යක්ශ වන” බව මම සැබවින්ම විශ්වාස කරන්නෙමි (දහම සහ ගිවිසුම් 84:20). අපි දේවමාළිගාවේ දී ගිවිසුම් ඇති කර ගන්නා විට, අපට සහ අපගේ පවුල් සඳහා ස්වර්ගයෙන් බලය ලබා ගත හැකිය. අපට හීලමන්ගේ ඉගැන්වීම් මත විශ්වාසය තැබිය හැකිය.: “…සිහිකරන්න, එනම් නුඹලා නුඹලාගේ අත්තිවාරම ගොඩනැගිය යුත්තේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයා වූ ක්‍රිස්තුස්වහන්සේ වූ අපගේ මිදුම්කරුවාණන්ගේ පර්වතය මතය; එනම් යක්ෂයා ඔහුගේ බලවත් කුණාටුවන්, එසේය, සුළි සුළඟින් ඊතලයන් පමුණුවන විට, එසේය, දුක්ඛිතකමේ ආගාධයට සහ අනන්ත වේදනාවට පහතට ඇදගෙන යාමට එයට නුඹලා මත බලයක් නොවන්නේය, මක්නිසාද නුඹලා ගොඩනගා තිබෙන්නාවූ එම පර්වතය හෙයිනි, එය ස්ථීර අත්තිවාරමක්ය, එම අත්තිවාරම මත මනුශ්‍යයා ගොඩනගන්නේ නම් ඔහු නොවැටෙන්නෝය” (හීලමන් 5:12).

ගිවිසුම් ඇති කර ගැනීමෙන් සහ ඒවා පිළිපැදීමෙන් අපි ගැලවුම්කරුවාණන් මත ස්ථිර පදනමක් ගොඩනඟා ගන්නා විට, පරීක්ෂාවන් පැමිණෙන විට අපට මනසේ සාමය ලබා ගත හැකි අතර අනාගත අභියෝග සඳහා සූදානම් විය හැකිය. බව්තීස්මයෙන් පසු අපි—පූජකවරයේ පත්වීම, බලයෙන් සැරසීම සහ මුද්‍රා තැබීම ඇතුළුව—අමතර ගිවිසුම් ඇති කර ගන්නා විට, දෙවියන්වහන්සේ සමඟ සමීප සම්බන්ධතාවයකින් අපට ආශිර්වාද ලැබේ. සෑම ආඥාවක්ම අපගේ ජීවිතවලට ගෙන එන ආශිර්වාද සඳහා අපි හිමිකම් ලබා ඇත්තෙමු. දෙවියන්වහන්සේගේ අභිමුඛය කෙරෙහි පූර්ණ විශ්වාසයක් ලබා ගන්නා තෙක් අපගේ ඇදහිල්ල වඩ වඩාත් ශක්තිමත් වනු ඇත. අපි සෑම සිතුවිල්ලකදීම උන්වහන්සේ දෙස බලන විට, අපි “සැක නොකරමු, බිය නොවන්නෙමු” (දහම සහ ගිවිසුම් 6:36).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් බවත් උන්වහන්සේ ජීවමාන බවත් මම සාක්ෂි දරමි. උන්වහන්සේ අපගේ අවශ්‍යතා දන්නා අතර ගිවිසුම් ඇති කර ගන්නා සහ ඒවා පවත්වන අය ලෞකික අවිනිශ්චිතතාවයෙන් හා බියෙන් ආරක්ෂා වන බවට පොරොන්දු වී තිබේ. අපට සැමවිටම උන්වහන්සේගේ සමාදානය අප සමඟ තබා ගත හැකි අතර ජීවිතයේ සියලු අභියෝග විශ්වාසයෙන් යුතුව ජය ගත හැකිය. ■