“ප්‍රීතිමත් ගිවිසුම් මාර්ගය,” ලියහෝනා, 2026 පෙබ.
මාසික ලියහෝනා පණිවිඩය, 2026 පෙබරවාරි
ප්‍රීතිමත් ගිවිසුම් මාර්ගය
පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ ඉදිරියෙ හි එකට බැඳී සිටින පවුලේ සාමාජිකයන්ගේ පුදුමය සහ ශ්‍රේෂ්ඨත්වය මගේ ආත්මයට අතිමහත් විස්මයක් සහ ප්‍රීතියක් ගෙන දෙන අතර කෘතඥතාවයේ ආත්මයකින් මා පුරවයි.
වැඩිහිටි පැට්‍රික් කීරන් සහ ඔහුගේ බිරිඳ ජෙනිෆර්
ඊශ්‍රායෙල් සහ එලිසබෙත් හෙවන් බාර්ලෝ 1848 දී ඉලිනොයිස් හි නාවූ ප්‍රදේශයෙන් පිටත්ව සෝල්ට් ලේක් නිම්නයට ගිය විට, ඔවුන් ළදරු පිරිමි දරුවෙකුව කුඩා නාවූ සුසාන භූමියක වළලා හැර ගියහ. ඔවුන්ගේ පළමු දරුවා වූ මේ කුඩා ජේම්ස් නතානියෙල් බාර්ලෝ, 1841 මැයි මාසයේ දී ඔහුගේ උපතින් ටික කලකට පසු මිය ගොස් තිබුණි.
සෝල්ට් ලේක් නිම්නයට පිටත්ව යාමත් සමඟ, ඊශ්‍රායෙල් සහ එලිසබෙත් කිසි විටෙකත් තම පුතාගේ සොහොන දෙස නැවත බැලීමට අපේක්ෂා නොකළහ. නමුත් වසර කිහිපයකට පසු ධර්මදූත සේවයක් සඳහා එංගලන්තයට යාමට ඊශ්‍රායෙල්ව කැඳවනු ලැබූ විට, ඔහු නැගෙනහිරට ගමන් කරන අතරතුර නාවූ හරහා ගියේය. එලිසබෙත්ගේ ඉල්ලීම පරිදි, ඔහු තම පුතාගේ සොහොන සොයා ගැනීමටත්, ඔහුගේ දේහය නගරයට නැගෙනහිරින් පිහිටි ප්‍රධාන සුසාන භූමියට ගෙන යාමටත් නතර විය.
දිනක් පුරා කළ නිෂ්ඵල සෙවීමකින් පසු, ඊශ්‍රායෙල් එහි දේශීය භාරකරුගෙන් උදව් පැතුවේය. ඊළඟ දවසේ, ඔවුන්ට ජේම්ස්ගේ ඥාති සහෝදරිය වන මේරි අසල පිහිටා තිබූ සොහොන හමු විය. ඛේදජනක ලෙස, මිනී පෙට්ටි දිරාපත් වී කැඩී ගොස් තිබුණි. ඊශ්‍රායෙල් තම බිරිඳට ලියූ ලිපියක මෙසේ ලිවීය, “එබැවින් මම හැරී ගොස් අනාගතය දක්වා ඒවා එහි තබන බව තීරණය කළෙමි.”
ඔහුට කටහඬක් ඇසෙන විට ඔහු ඒ සොහොනෙන් වැඩි දුරක් ඇවිද ගොස් නොතිබුණි. එම අත්දැකීම සිහිපත් කරමින් ඔහු මෙසේ ලිවීය, “එය මට ඇසුනේ නැත, නමුත් මගේ මනසට ඉතා පැහැදිලිව එය පෙනුන නිසා මට එය ප්‍රතික්ෂේප කළ නොහැකි විය: ‘තාත්තේ, මාව මෙතන දාලා යන්න එපා.’” ඊශ්‍රායෙල් නැවත සොහොනට පැමිණියේය, ඉන්පසු ඔහුගේ කුඩා පිරිමි ළමයාව අවසානයේ එතැනින් ඉවත් කිරීමට තීරණය කළේය. “මට කලින් දැනී නොතිබූ හරිම අමුතු සන්සුන් බවක් සහ මනසේ සාමයක් දැනුණි. … මට පැවසීමට ඇත්තේ මෙපමණයි: මගේ ජීවිතේ කවදාවත් මම කළ කිසිඳු යුතුකමක් ගැන මට මෙතරම් සවිඥානිකව දැනී නැත.”
1853 සැප්තැම්බර් 2 වෙනි දින, ඊශ්‍රායෙල් බාර්ලෝ සහ එම භාරකරු විසින් ජේම්ස් සහ මේරිගේ සිරුරු නාවූ හි ප්‍රධාන සුසාන භූමියට ගෙන ගිය අතර, එම ස්ථානය “සොහොන් වල ඉහළ සහ පහළ ගල්” තබා සලකුණු කළහ.
ඊශ්‍රායෙල් එලිසබෙත්ට මෙසේ පැවසීය, ඔහු සොහොන් ගෙය අසල රැඳී සිටිය දී, “මම සහ මගේ යැයි මම පවසන සියල්ලන්ව ස්වාමින්වහන්සේගේ හස්තයට කැප කිරීමට මට දැඩි ආශාවක් දැනුණි, එනම් ඒ පළමු මරණයෙන් නැවත නැගිටුවීමේ උදෑසන මම ජේම්ස් සමඟ ඉදිරියට පැමිණීමට ගණන් ගනු ලැබෙන පිණිස ය.”
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය කෙරෙහි ඊශ්‍රායෙල්ගේ භක්තිය, පූජනීය ගිවිසුම්වලට ගරු කිරීම සමඟ එක්ව, ඊශ්‍රායෙල් සඳහාත් ඔහුගේ මුතුන් මිත්තන් සහ ඔහුගේ පරම්පරාව සඳහාත්, සියලු ආශිර්වාදවලින් ශ්‍රේෂ්ඨතම ආශිර්වාදය වන සදාකාලික ජීවිතය ලබා දීමට ක්‍රිස්තුස්වහන්සේට ඉඩ සලසයි.
අපි සැමටම එය එසේමයි.
ජෙරී ගාර්න්ස් විසින් ගන්නා ලද ඡායාරූපය, පිටපත් කළ හැක්කේ සභාවේ භාවිතය සඳහා පමණි
පූජනීය පොරොන්දු
අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, අපට සිතාගත නොහැකි තරම් අප සෑම කෙනෙකුටම ප්‍රේම කරන සේක. බව්තීස්මයේ දී සහ ස්වාමින්වහන්සේගේ ගෘහයේ දී අපට පිරිනමන ලද ගිවිසුම් හා සම්බන්ධ පොරොන්දු වූ ආශිර්වාද තුළින් ලැබෙනවාට වඩා උන්වහන්සේලාගේ ප්‍රේමය ප්‍රකාශ වන ස්ථානයක් නැත.
“එළිදරව් කරන ලද ආගමේ වැදගත්ම සංකල්පවලින් එකක් වන්නේ පූජනීය ගිවිසුම් ය” යනුවෙන් සභාපති රසල් එම්. නෙල්සන් (1924–2025) ඉගැන්වීය. “නීතිමය භාෂාවෙන්, ගිවිසුමක් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ පාර්ශව දෙකක් හෝ වැඩි ගණනක් අතර ගිවිසුමක් ගැනයි. නමුත් ආගමික සන්දර්භයක් තුළ, ගිවිසුමක් යනු ඊටත් වඩාත් වැදගත් දෙයකි. එය දෙවියන්වහන්සේ සමඟ ඇතිකරගන්නා පරිශුද්ධ පොරොන්දුවකි.”
අපි කරන සහ තබා ගන්නා සෑම පූජනීය පොරොන්දුවක්ම අපට ආශිර්වාද කරයි. ස්වර්ගික පියාණන්වහන්සේට සහ අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපව උන්වහන්සේලා වෙතට සමීප කරගැනීමට අවශ්‍යයි. ඇදහිල්ල හා අවබෝධය ඇතිව ඉගෙන ගැනීමට සහ වර්ධනය වීමට අපට උපකාර කිරීමට උන්වහන්සේලාට අවශ්‍යයි. අපට ස්වර්ගීය බලය ලබා දීමට උන්වහන්සේලාට අවශ්‍යයි. එවැනි ආශිර්වාද අතළොස්සක්ව පවතින ලෝකයක අප සුවය සහ සාමය සොයා ගැනීම උන්වහන්සේලාට අවශ්‍යයි. අප මේ ජීවිතයේදීත් මතු ජීවිතයේදීත් සතුට අත්විඳීම උන්වහන්සේලාට අවශ්‍යයි. මෙම පරිපූර්ණ ප්‍රේමයෙන් ගලා එමින්, උන්වහන්සේලා සමඟ ගිවිසුම් බැඳීමකට එළඹීමට උන්වහන්සේලා අපට අවස්ථාව ලබා දෙති. සතිපතා සක්‍රමේන්තු රැස්වීම අතරතුර එම ගිවිසුම් වලට නැවත කැපවීමේ ආශිර්වාදය අපට තිබේ.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප මතට ගැනීමේ, උන්වහන්සේව සිහිපත් කිරීමේ සහ උන්වහන්සේ දුක් විඳ, ලේ වගුරා, අප වෙනුවෙන් මියැදී උන්වහන්සේගේ වන්දිගෙවීමේ ත්‍යාගය තුළින් අපට පෙන්වූ උන්වහන්සේගේ ප්‍රේමයේ එම ප්‍රීතිමත් ආශිර්වාදය අපට ලැබී ඇති නිසාත්, අපි කෘතඥශීලීව සක්‍රමේන්තුව ලබාගන්නෙමු. උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට, අපගේ ගිවිසුම් අලුත් කිරීමට සහ නව ගිවිසුමක් ඇති කර ගැනීමට අපගේ කැමැත්ත පෙන්වීමට සතිපතා අවස්ථාවක් ලබා දීමෙන් සක්‍රමේන්තුව අපට ආශිර්වාද කරයි (බලන්න දහම සහ ගිවිසුම් 20:77, 79).
“බව්තීස්මයේ දී ඇති කරගත් ගිවිසුම් අලුත් කිරීම සඳහා අපි සක්‍රමේන්තුවට සහභාගි වන බව බොහෝ විට මට අසන්නට ලැබේ. එය සත්‍යයක් වුවත්, එය ඊට වඩා බොහෝ සෙයින් වැඩිය,” යනුවෙන් සභාපති නෙල්සන් පැවසුවේය. “මම නව ගිවිසුමක් ඇති කරගත්තෙමි. ඔබ නව ගිවිසුම් ඇති කරගෙන තිබේ. … දැන් ඒ වෙනුවට [ස්වාමින්වහන්සේ] ප්‍රකාශ කරන්නේ අපට සැමවිටම උන්වහන්සේගේ ආත්මය අප සමඟ සිටින බවය. කෙතරම් නම් ආශිර්වාදයක් ද!”
අපි පසුතැවිලි වී පිරිසිඳු හදවතකින් සක්‍රමේන්තුවට සහභාගී වන විට, අපට ශුද්ධාත්මයාණන්වහන්සේ ලැබෙන අතර “අපි නැවත බව්තීස්ම වූවාක් මෙන් අපව පාපයෙන් පවිත්‍ර කරනු ලැබේ. යේසුස්වහන්සේ අප සෑම කෙනෙකුටම දෙන බලාපොරොත්තුව හා දයාව එයයි.”
ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ ප්‍රේමය තුළින් පසුතැවිලි වී සමාව ලැබීම මොනතරම් ප්‍රීතියක් ද!
ජෙනිෆර් රෝස් මැඩීගේ නාවූ ඉලිනොයිස් දේවමාළිගාවේ ඡායාරූපය
උන්වහන්සේගේ ප්‍රීතියේ ගෘගය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සභාපති ධුරයට පත්වීමෙන් පසු, සභාපති නෙල්සන් විසින් සභාවේ සභාපතිවරයා ලෙස ඔහුගේ පළමු ප්‍රසිද්ධ පණිවිඩයෙන් පටන් ගනිමින් බොහෝ විට ගිවිසුම් මාර්ගය ගැන ඔහු කතා කළේය. අපි ඒ මාර්ගයට ඇතුළු වන්නේ “පසුතැවීම සහ වතුරෙන් බව්තීස්මය” (2 නීෆායි 31:17) හරහා බවත්, “පසුව අපි දේවමාළිගාවේ දී එයට සම්පූර්ණයෙන්ම ඇතුළු වන්නෙමු” කියාත් ඔහු පසු අවස්ථාවක පැවසීය.
සක්‍රමේන්තුවට සහභාගී වීමෙන් අපගේ ගිවිසුම් සහ ඒවාට අනුබද්ධ ආශිර්වාද මතක් වනවා සේම, දේවමාළිගාවේ සේවය කිරීම ද එසේමයි. අපි මියගිය අය වෙනුවෙන් නියෝජිතයෙකු ලෙස නියෝග ඉටු කරන විට, අපි ඇති කරගත් පරිශුද්ධ පොරොන්දු සහ අපට ලැබෙන පොරොන්දු වූ ආශිර්වාද අපි සිහිපත් කරන්නෙමු.
ගිවිසුම් මාර්ගය හරහා, අපි ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ ඔවුන්ගේ පරම්පරාවට පොරොන්දු වූ සියලු ආශිර්වාදවල උරුමක්කාරයන් බවට පත්වන්නෙමු. පොරොන්දු වූ එම ආශිර්වාද තිබියදීත්, ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් පහසු ජීවිත ගත කළේ නැත, අපිත් එසේමය. ඔවුන් මෙන්, අපව “සියල්ලේ දී පරීක්ෂා කරනු ලබන” විට, අපි විපත්ති, දඬුවම් සහ අහිමිවීම් වලට මුහුණ දෙන්නෙමු (දහම සහ ගිවිසුම් 136:31; තවත් බලන්න 101:4–5). නමුත් පුරාණයේ සිටි අනාගතවක්තෘවරුන් සහ ධර්මිෂ්ඨ ශුද්ධවන්තයන් මෙන්, අපට විශ්වාස කළ හැක්කේ කා කෙරෙහි ද යන්න අපි දන්නෙමු (බලන්න 2 නීෆායි 4:19).
අපගේ ලෞකික ජීවිතය අපගේ පැවැත්මේ එක් මොහොතක් පමණි, නමුත් එම මොහොත—සමහර විට ඉතා දුෂ්කර—සදාකාලික වැදගත්කමක් දරයි. ඔව්, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍ය වන්නේ අප ඉගෙනගෙන වර්ධනය වීමයි. ඔව්, ඒ වර්ධනය සමහර අවස්ථාවල දී බලාපොරොත්තු සුන්වීම සහ දුක් විඳීම ඇති කරයි. නමුත් උන්වහන්සේට අවශ්‍ය වන්නේ අපගේ ජීවිත ලස්සන හා බලාපොරොත්තු සහිත වීමයි. ඒ අරමුණින් සහ උන්වහන්සේ වෙත ආපසු යන අපගේ ගමන පහසු කිරීම සඳහා, උන්වහන්සේ විසින් තම පියාණන්වහන්සේ සමඟ අපගේ ගිවිසුම් “ඇපකරු” වන ගැලවුම්කරුවෙකු සපයා ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින්, පියාණන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට දේවමාළිගාවේ දී දුන් පොරොන්දු ඉටු කරයි.
උන්වහන්සේගේ ප්‍රේමය හා වන්දිගෙවීමේ පරිත්‍යාගය තුළින්, අපගේ ගැලවුම්කරුවාණන් ජීවිතයේ අපට හමුවන සෑම දෙයකටම මුහුණ දී සුවපත් කර ඇත. උන්වහන්සේගේ ශුද්ධ වූ නිවස—උන්වහන්සේගේ ප්‍රීතියේ නිවස—නිසා, විපත්ති මධ්‍යයේ වුවද සියල්ල යහපත් වනු ඇත. ගිවිසුම් රැකීමේ ආලේපනය මගින් දුක, වේදනාව, ශෝකය සහ බලාපොරොත්තු සුන්වීම අතුගා දමයි. අපි කලබල වීම හෝ බිය වීම අවශ්‍ය නැත. ඒ වෙනුවට, අපගේ මිදීමේ මිල ගෙවා ඇති බවත් (බලන්න 1 කොරින්ති 6:20) සදාකාල ජීවනයට ගිවිසුම් මාර්ගය සකස් කර ඇති බවත් දැනගෙන අපට ප්‍රීති විය හැකිය.
ගිවිසුම් මාර්ගය සැබවින්ම මුදවා ගැනීමේ ප්‍රේමයේ මාර්ගයකි. අපි දේවමාළිගාවේ ඇති කරගන්නා ගිවිසුම් වලට අපි ගරු කරන විට, අපට වැඩි බලයක්, වැඩි ප්‍රේමයක්, වැඩි දයාවක්, වැඩි අවබෝධයක් සහ වැඩි බලාපොරොත්තුවක් ලැබේ. සදාකාලිකවම ප්‍රේමයෙන් බැඳී සිටින පවුලේ සාමාජිකයන්ගේ දේවමාළිගා මුද්‍රා තැබීමේ පුදුමය සහ ශ්‍රේෂ්ඨත්වය මගේ ආත්මයට අතිමහත් විස්මයක් සහ ප්‍රීතියක් ගෙන දෙන අතර කෘතඥතාවයේ ආත්මයකින් මා පුරවයි.
“ඔබේ ජීවිතයේ යම් ආකාරයක බලවත් කැළඹීමක් සිදුවූ සෑම අවස්ථාවකම, අධ්‍යාත්මික වශයෙන් ආරක්ෂිතම ස්ථානය ඔබේ දේවමාළිගා ගිවිසුම් තුළ ජීවත්වීමයි!” සභාපති නෙල්සන් උපදෙස් දුන්නේය. ඒ වචනවල සත්‍යතාව, මගේම මිහිරි සහ සමහර විට කටුක ලෞකික අත්දැකීම් හරහා මම දන්නෙමි.
ඊශ්‍රායලයේ සහ එලිසබෙත් බාර්ලෝගේ පළමු දරුවා වූ ජේම්ස් නතානියෙල් බාර්ලෝ, 1841 මැයි මාසයේ දී උපතින් ටික කලකට පසු මිය ගියේය. වසර ගණනාවකට පසු, ලෝගන් යූටා දේවමාළිගාවේ ඔහුගේ දෙමව්පියන්ට නියෝජිතභාවය මගින් ඔහුව මුද්‍රා තබන ලදී.
ඇලන් ගාර්න්ස්ගේ නිදර්ශනය
ඔවුන්ව නිවසට රැස් කරන්න
ඊශ්‍රායෙල් බාර්ලෝ තම කුඩා පුතාට අවසන් වරට සමුදීමෙන් පසු, ඔහු තම බිරිඳට මෙසේ ලිවීය, “[ජේම්ස්ගේ] සොහොනට නැවත කිසිදා නොපැමිණෙන ලෙස, බොහෝ දුර බැහැර යාමේ සිතුවිලි, ඔහුගේ සොහොන මත කඳුළු සලමින් බිඳී යන තුරු මා දරා සිටි සෙනෙහසේ අවසාන නූල ද ඇඹරී ගියේය.”
1889 දෙසැම්බර් 4 වන දින තවත් කඳුළු—සතුටු කඳුළු—වැගිරුණා යැයි මම සිතමි. එදින, කුඩා ජේම්ස් නතානියෙල් බාර්ලෝව ඔහුගේ දෙමව්පියන්ට ලෝගන් යූටා දේවමාළිගාවේ දී මුද්‍රා තබන ලදී. ඒ වන විට ඊශ්‍රායෙල් මිය ගොස් සිටි බැවින්, අනෙක් අය ඔහුට සහ ජේම්ස්ට නියෝජිතයින් ලෙස සිටියහ.
කීරන් සහෝදරියට සහ මට ඊශ්‍රායල් සහ එලිසබෙත් කෙරෙහි විශේෂ සංවේදීතාවයක් සහ මහත් අනුකම්පාවක් තිබේ. අපේ පළමු දරුවා, ෂෝන් නම් වූ පිරිමි ළමයා, සති තුනක් විතර වන විට හෘද සැත්කමක දී මිය ගියේය. මෙය අපට දරාගන්නට නොහැකි තරමේ අහිමිවීමක් විය. අපිට ජීවත් වීමට හැකි වේද කියා පවා අපි ඒ මොහොතේ දී සිතුවෙමු. අපි ඔහුව එංගලන්තයේ වේදනාකාරී කුඩා සොහොනක තැන්පත් කළෙමු. අවුරුදු පහළොවකට පසු, අපගේ පවුලට එක්සත් රාජධානියේ අපගේ නිවසින් පිටවී සභාවේ පූර්ණ කාලීනව සේවය කිරීම සඳහා යාමට ඉල්ලා සිටි අතර, අපි එම කුඩා සොහොන අතහැර ගියෙමු.
බටහිර දෙසට යන ගමනේ දී අපට අපේ දරුවා අහිමි වූයේ නැත, බාර්ලෝස්ගේ තේරුම්ගත නොහැකි දුෂ්කරතා අපට අත්විඳීමට සිදු නොවීය, නමුත් ඔවුන් අත්විඳි දේ පිළිබඳ අවබෝධයක ආරම්භය අපට තිබේ. අපේ පිරිමි දරුවාගේ සොහොන බොහෝ දුරයි, නමුත් බාර්ලෝස්ට මෙන්, අපටත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම සහ ශුද්ධ වූ මුද්‍රා තැබීමේ ගිවිසුම තුළින් අපගේ පවුලේ සදාකාලික ස්වභාවය කෙරෙහි ස්ථිර විශ්වාසයක් තිබේ.
අපි හැමෝටම මිනීවළෙන් එහා “මාව මෙතන දාලා යන්න එපා” කියලා කියන මුතුන් මිත්තන් සහ අනෙකුත් ආදරණීයයන් සිටියි. දේවමාළිගා ගිවිසුම් නිසා, කිසිවෙකුව තනි වෙන්නේ නැහැ. අපගේ කැඳවීම වන්නේ ඔවුන්ට ආදරය කිරීම, ඔවුන්ට සේවය කිරීම සහ ඔවුන්ව නිවසට එක්රැස් කිරීමට උදව් කිරීමයි.
අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අපට, එනම් ඔබටත් මටත් ප්‍රේම කරන සේක. උන්වහන්සේ අපට දේවමාළිගා ලබා දී ඇත්තේ “[අපි] පොළොවෙ හි බැඳ තබන ඕනෑම දෙයක් ස්වර්ගයෙ හි බැඳ” තැබීමට හැකි වන පිණිස ය (දහම සහ ගිවිසුම් 128:8; තවත් බලන්න මතෙව් 18:18). සදාකාලික බැඳීම් සහ සදාකාලික පවුල් නැවත එක්වීම් සඳහා මාවත සකසමින්, මරණයේ විලංගු බිඳ දැමීමට උන්වහන්සේ තම පුත්‍රයාණන්වහන්සේව එවූ සේක.
අපට නියෝග ඇත්තේ ඒ නිසයි. අපි ගිවිසුම් ඇති කරගන්නේ ඒ නිසයි. අපි දේවමාළිගා ගොඩනගන්නේ ඒ නිසයි. අපි දෙවියන්වහන්සේගේ කාර්යයට හා මහිමය සඳහා කැපවන්නේ ඒ නිසයි (බලන්න මෝසෙස් 1:39). පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ ඉදිරියෙහි අප සහ අපගේ ආදරණීයයන් අතර සදාකාලික නැවත හමුවීමක් සිදුවන බව දැන, අපි සතුටු කඳුළු හෙළන්නේ ඒ නිසයි.
අපගේ ගිවිසුම් පවත්වා ගනිමින් ස්වාමින්වහන්සේගේ මහිමාන්විත ගැලවීමේ කාර්යයට එක්වන විට අපට ප්‍රීතිය හා සාමය ලැබේවා.
© 2026 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Liahona Message, February 2026 හි පරිවර්තනයකි. Sinhala. 19933 408