2025
ගිවිසුම්, බලය, සහ පොරොන්දු
2025 ඔක්තෝම්බර් ලියහෝනා


“ගිවිසුම්, බලය, සහ පොරොන්දු,” ලියහෝනා, 2025 ඔක්.

මාසික ලියහෝනා පණිවිඩය, 2025 ඔක්තෝම්බර්

ගිවිසුම්, බලය, සහ පොරොන්දු

ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීමට පෙර ඇදහිලිවන්තයන්ට පොරොන්දු වූ බලය සහ ආරක්ෂාව සඳහා දේවමාළිගාව කේන්ද්‍රීය වේ.

කර්ට්ලන්ඩ් දේවමාළිගාව ඉදිරිපිට ජෝසෆ් ස්මිත් සිටගෙන සිටින ආකාරය පිළිබඳ නිදර්ශනය

ඩෑන් බර් විසින් ජෝසෆ් ස්මිත් පිළිබඳ නිදර්ශනය

1833 මැයි මාසයේදී, මගේ සිව්වන මී මුත්තා වන අසහෙල් පෙරී සහ මිතුරන් කිහිප දෙනෙක් උතුරු නිව්යෝර්ක් සිට ඔහායෝ හි කර්ට්ලන්ඩ් වෙත ගමන් කළහ. ඔවුන් මෑතක දී නැවත පිහිටුවන ලද සභාවේ සාමාජිකයන් නොවූවත්, ඔවුන්ට අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් හමුවීමට අවශ්‍ය වූහ. කර්ට්ලන්ඩ් දේවමාළිගාව ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවති පළමු මන්ත්‍රණ සභාවට සහභාගී වීමට ඔවුන් නියමිත වේලාවට පැමිණියහ.

මන්ත්‍රණ සභාව ආරම්භ කිරීමෙන් පසු, අනාගතවක්තෘවරයා දේවමාළිගාව ඉදිකිරීමේ කටයුතු ඉදිරිපත් කළේය. ඉන්පසු පැමිණ සිටි සියලු දෙනාගෙන් මෙතරම් විශාල කටයුත්තක් සම්බන්ධයෙන් ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. බොහෝ දෙනෙක් ප්‍රතිචාර දැක්වූයේ සභාව එවැනි කාර්යයක් කිරීමට නොහැකි තරම් දුප්පත් බවයි. කුඩා, අඩු වියදම් සහිත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ඔවුන් යෝජනා කළහ.

ඉන්පසු පැවති සාකච්ඡාව අතරතුර, පෙරී සීයා සහ ඔහුගේ මිතුරන් එක්රැස් වී, ඔවුන්ගේ මුදල් පිටතට ගෙන, ඒවා එකතු කළහ. ඔවුන්ගේ ආපසු එන ගමන සඳහා ගෙවීමට සහ දේවමාළිගාවේ ඉදිකිරීම් සඳහා දායක වීමට තරම් ඔවුන්ට ප්‍රමාණවත් මුදලක් තිබුණා ද? මිනිත්තු කිහිපයකට පසු, මගේ සීයා ජෝසෆ් ස්මිත් ළඟට ගොස්, ඩොලර් පහක රන් කාසියක් එළියට අරගෙන, එය අනාගතවක්තෘවරයාට පිරිනැමුවේය. (අද එවැනි කාසියක වටිනාකම ඩොලර් සිය ගණනක් වනු ඇත!)

ජෝසෆ් මන්ත්‍රණ සභාව ඉදිරියේ සිටගෙන කාසිය එසවීය. ඉන්පසු, ජවසම්පන්න ලෙස කතා කරමින්, ඔහු පැවසුවේ “වැඩ ආරම්භ වී ඇති බවත්, [ස්වාමින්වහන්සේගේ] ගෘහය ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද රටාවට අනුව ඉදිකරනු ලබන” බවත්ය.

පෙරී පවුල ඉක්මනින්ම කර්ට්ලන්ඩ් හි සභාවට සම්බන්ධ වූ අතර, වසර කිහිපයකට පසු නාවූ දේවමාළිගාවේ දී ඔවුන්ගේ දේවමාළිගා ආශිර්වාද ලබා ගත් අතර, පසුව තැනිතලාව තරණය කර යූටා වෙත පැමිණියහ.

1836 දී කර්ට්ලන්ඩ් දේවමාළිගාව කැප කරන විට, එහි කැපකිරීමට සහභාගී වීමට අවශ්‍ය වූ සියලුම පසුදවස්වල ශුද්ධවන්තයන් රඳවා ගැනීමට නොහැකි තරම් එය ඉතා කුඩා විය. සභාව වර්ධනය වන විට, එළිමහනේ රැස්වීම්වලට සහභාගී වීමට සිදු වූ ශුද්ධවන්තයන්ගේ සංඛ්‍යාව වැඩි විය. මම තරුණ වියේදී මගේ ස්ටේක සභාපති ලෙසත්, 2007 දී මා ප්‍රධාන අධීකරීවරයෙකු ලෙස කැඳවනු ලැබූ විට උපදේශකයෙකු ලෙසත් සේවය කළ සභාපති ජේම්ස් ඊ. ෆවුස්ට් (1920–2007), සභාවේ දෙවන දේවමාළිගාව සම්බන්ධයෙන් මෙම නිරීක්ෂණය කළේය:

“1846 දී නාවූ දේවමාළිගාව නිම කිරීමට පෙර, ශුද්ධවන්තයන් ජෝසෆ් සහ අනෙකුත් සභාවේ නායකයින් කතා කරන ආකාරය ඇසීමට පිටත, බොහෝ විට දේවමාළිගාව අසල රැස් වූහ. සමහර වෙලාවට අයහපත් කාලගුණය තුළ පවා, ඒ රැස්වීම්වලට දහස් ගණනක් පැමිණියහ.

“[වැඩිහිටි] ජෝර්ජ් ඒ. ස්මිත් ඔහුගේ හාස්‍යජනක ආකාරයෙන් නිරීක්ෂණය කළ පරිදි, ‘ජෝසෆ් අනාගතවක්තෘවරයාගේ කාලයේ දී … [සභාව] එළිමහනේ හොඳින්ම සමෘද්ධිමත් විය.’”

අපේ කාලයේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව එළිමහනේ, ගෘහස්ථව සහ ලොව පුරා සමෘද්ධිමත් වීම ගැන අපි කෘතඥ වෙන්නෙමු. එම සමෘද්ධියට “ඉදිරිපත් කර ඇති රටාවට අනුව” පෙර නොවූ විරූ වේගයකින් දේවමාළිගා ඉදිකිරීම ඇතුළත් වේ — එම රටාවට සැමවිටම ආශිර්වාද, කැප කිරීම, ඇදහිල්ල සහ පරිත්‍යගය ඇතුළත් වේ.

කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ නිදර්ශනය

ග්ලෙන් එස්. හොප්කින්සන් විසින්, A Glorious Light—Kirtland Temple [තේජාන්විත ආලෝකයක්—කර්ට්ලන්ඩ් දේවමාළිගාව] පිටපත් කළ නොහැක

ඇයි මෙතරම් දේවමාළිගා?

“උතුරු සහ දකුණු ඇමරිකාවේ, පැසිෆික් දූපත් වල, යුරෝපයේ සහ වෙනත් තැන්වල දේවමාළිගා භූ තලය පුරා පැතිරෙනු ඇතැයි අපගේ පුරෝගාමීන් අනාවැකි පළ කර ඇත,” සභාපති එස්රා ටෆ්ට් බෙන්සන් (1899–1994) දශක කිහිපයකට පෙර එලෙස පැවසීය. "මෙම මිදීමේ කාර්යය කළ යුතු පරිමාණයෙන් සිදු කිරීමට නම්, සිය ගණනක් දේවමාළිගා අවශ්‍ය වනු ඇත."

සභාපති රසල් එම්. නෙල්සන් පැවසුවේ අද අපි පෙර නොවූ විරූ වේගයකින් දේවමාළිගා ගොඩනඟමින් සිටින බවයි, “ඒ ස්වාමින්වහන්සේ අපට එසේ කිරීමට උපදෙස් දී ඇති බැවිනි. දේවමාළිගාවේ ආශීර්වාද තිරයේ දෙපස ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට උපකාරී වේ. මෙම ආශීර්වාද ස්වාමින්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා ලෝකය සූදානම් කිරීමට උපකාරී වන ජනතාවක් සූදානම් කිරීමට ද උපකාරී වේ!”

කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ ඔහුගේ කැපකිරීමේ යාච්ඤාවේ දී, ජෝසෆ් ස්මිත් මෙසේ යාච්ඤා කළේය “තවද එනම් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරකඩින් ඇතුළු වන්නාවූ සියලු ජනතාවට ඔබවහන්සේගේ බලය දැනෙන පිණිස ද. …

“තවද ශුද්ධ වූ පියාණෙනි, අපි ඔබවහන්සේගෙන් මෙසේ අයදින්නෙමු, එනම් ඔබවහන්සේගේ සේවකයන් මෙම ගෘහයෙන් පිටතට ඔබවහන්සේගේ බලයෙන් යුතුව, ගමන්ගන්නා පිණිසද, තවද ඔවුන් මත ඔබවහන්සේගේ නාමය පවතින පිණිසද, තවද ඔවුන් අවට වටේට ඔබවහන්සේගේ මහිමයද, තවද ඔවුන් මත ඔබවහන්සේගේ දේවදූතයන්ගේ සැලකිල්ල පවතින පිණිසද;” (දහම සහ ගිවිසුම් 109:13, 22; අවධාරණය එකතු කරන ලදී; 23 පදය ද බලන්න).

මම ඒ පද කියවන විට, නීෆායිගේ පසුදවස් පිළිබඳ දර්ශනය මට මතක් වෙනවාට ඒ හා සමාන වචන පෙළගැස්ම සැලකිල්ලට ගන්න: “තවද එය මෙසේ සිදු විය එනම් මම, නීෆායි, දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ගේ බලය දුටිමි, එනම් එය බැටළුපැටවාණන්ගේ සභාවේ ශුද්ධවන්තයන් මතද, මුළු පොළොව මත විසිරී සිටින, ස්වාමීන්වහන්සේගේ ගිවිසුමේ ජනතාව මතද පතිත විය; තවද ඔවුහු ධාර්මිෂ්ඨභාවයෙන් සහ දෙවියන්වහන්සේගේ බලයෙන් මහත් වූ මහිමයට සන්නද්ධ වී සිටියහ.” (1 නීෆායි 14:14; අවධාරණය එකතු කරන ලදී).

නීෆායිගේ අනාවැකිය ඉටු කිරීමේදී පසුදවස්වල දේවමාළිගා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන බවත් දෙවන පැමිණීමට පෙර ඇදහිලිවන්තයන්ට පොරොන්දු වූ ආරක්ෂාව සහ බලය සඳහා කේන්ද්‍රීය බවත් මම විශ්වාස කරමි.

මීට වසර කිහිපයකට පෙර, මම විශ්වවිද්‍යාලයක කොට්ඨාශයක බිෂොප්වරයා ලෙස සේවය කරන අතරතුර, මගේ කොට්ඨාශයේ එක් තරුණ කාන්තාවක් ගැන මම විශේෂයෙන් විශ්මයට පත් වූවෙමි. ඇය තවමත් මාව විශ්මයට පත් කරන්නීය. ඔබ ඇයව හඳුනන්නේ සභාපති එමිලි බෙල් ෆ්‍රීමන්, තරුණ කාන්තා ප්‍රධාන සභාපතිනි ලෙසයි. මෑතකදී පැවති ප්‍රධාන සම්මන්ත්‍රණ දේශනයකදී, ඇය ඉගැන්වූයේ දේවමාළිගාව හරහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපව උසස් අධ්‍යාත්මික තලයකට ඔසවන බවයි.

“මම උන්වහන්සේගේ ගෘහයේ එළිපත්ත තරණය කරන සෑම අවස්ථාවකම, මම උන්වහන්සේ සමඟ ගැඹුරු ගිවිසුම් සම්බන්ධතාවයක් අත්විඳිමි,” සභාපති ෆ්‍රීමන් පැවසුවාය. “මම උන්වහන්සේගේ ආත්මයෙන් පාරිශුද්ධ වී, උන්වහන්සේගේ බලයෙන් සැරසී, උන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීම සඳහා වෙන් වී සිටින්නෙමි.”

පොරොන්දු වූ බලය

දේවමාළිගා ගිවිසුම් තුළින් ලබා ගත හැකි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය ගැන සභාපති නෙල්සන් බොහෝ විට කතා කර ඇත්තේය. “ගැලවුම්කරුවාණන් සමඟ ඔබව සම්බන්ධ කර ගැනීම යනු ඔබට උන්වහන්සේගේ ශක්තියට සහ මිදීමේ බලයට ප්‍රවේශය ඇති බවයි," ඔහු පැවසීය. සභාපති නෙල්සන් ද මෙසේ ඉගැන්වීය:

“අපි අපගේ දේවමාළිගා ගිවිසුම් තබා ගන්නා විට, ස්වාමින්වහන්සේගේ ශක්තිමත් කිරීමේ බලයට අපට වැඩි ප්‍රවේශයක් ලැබෙන්නේය. දේවමාළිගාවේ දී, ලෝකයේ කරදරවලින් අපට ආරක්ෂාව ලැබෙන්නේය.”

“[ගැලවුම්කරුවාණන්ගේ] අත්‍යවශ්‍ය නියෝගයන්, පූජනීය පූජකවර ගිවිසුම් තුළින් අපව උන්වහන්සේට බැඳ තබයි. ඉන්පසුව, අපි අපගේ ගිවිසුම් තබා ගන්නා විට, උන්වහන්සේ අපට උන්වහන්සේගේ සුව කිරීමේ, ශක්තිමත් කිරීමේ බලය ලබා දෙයි. ඉදිරි දිනවල දී අපට උන්වහන්සේගේ බලය කොතරම් අවශ්‍ය වේවි ද!

“අපේ ජනතාවට දැන් සහ ඉදිරි දින සඳහා අවශ්‍ය වන සදාචාරාත්මක හා අධ්‍යාත්මික බලය වන්නේ පියාණන් වන දෙවියන්වහන්සේගේ සහ උන්වහන්සේගේ ප්‍රත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයයි. අපි උන්වහන්සේලා සමඟ ගිවිසුම් ඇති කර ගැනීමෙන් සහ ඒවා පවත්වා ගැනීමෙන් උන්වහන්සේලාගේ බලයට ප්‍රවේශය අපි ලබා ගන්නෙමු.”

සහෝදර සහෝදරියනි, ස්වර්ගික බලය වැදගත් වන්නේ, අප ජීවත් වන ලෝකය ඉතා දුෂ්ට බැවිනි. එම බලය නොමැතිව, අපට “උන්වහන්සේගේ ඊමේ දවස දරන්ට” හෝ “උන්වහන්සේ පෙනෙන කල සිටින්ට” නොහැකි වනු ඇත (මලාකි 3:2). එම දිනය කවදාදැයි අපි නොදනිමු, නමුත් උන්වහන්සේගේ පැමිණීම සඳහා “මාර්ගය පහදන්න” උන්වහන්සේගේ පණිවිඩකරු දැනටමත් එවා ඇත (මලාකි 3:1). මේ අතර, ලෝකය ඒ දිනය දෙසට සන්සුන්ව ගමන් කරන්නේ නැත.

අපට උපකාර කිරීමට ඇදහිලිවන්තයන්ට පොරොන්දු වූ බලය අපට අවශ්‍යයි:

  • දෙවියන්වහන්සේට අපගේ ජීවිත තුළ දිනන්නට ඉඩදෙන්න.

  • පසුතැවිලි වී තවද ස්වාමින්වහන්සේට ළං වන්න.

  • ආශිර්වාද කරන්න, සනසන්න, නායකත්වය දෙන්න, සහ උපස්ථානය කරන්න.

  • “අපගේ කරදර, පරීක්ෂාවන් සහ සිත් වේදනාවන්ට වඩා හොඳින් ඔරොත්තු දෙන්න” (බලන්නමොසායා 3:19).

  • ගිවිසුම් මාර්ගයේ ගමන් කරන විට ක්‍රිස්තුස්වහන්සේ තුළ සාමය හා ප්‍රීතිය සොයා ගන්න.

  • “ගිනිගන්නාවූ දවසට විරුද්ධව” සහ “දුෂ්ටයන්ගේ අභාග්‍යයට” සූදානම් වන්න (දහම සහ ගිවිසුම් 109:46).

  • උන්වහන්සේගේ දෙවන පැමිණීමට පෙර ස්වාමින්වහන්සේගේ කාර්යය ඉටු කරන්න.

ටූසෝන් ඇරිසෝනා දේවමාළිගාව

ජේම්ස් විට්නි යන්ග් විසින් ටක්සන් ඇරිසෝනා දේවමාළිගාවේ ශිඛර ඡායාරූපය

ගැලවීමේ මුරභටයින්

ස්වර්ගික පියාණන්වහන්සේගේ කාර්යය සහ මහිමය වන්නේ “මනුෂ්‍යයාගේ අමරණීයත්වය සහ සදාකාල ජීවනය ගෙන ඒමයි” (මෝසෙස් 1:39). සෑම දේවමාළිගාවක්ම දෙවියන්වහන්සේගේ ගැලවීමේ සැලැස්මේ පොළොවේ මුරභටයෙකු ලෙස පෙනී සිටින අතර, එම කාර්යයේ සහ මහිමය තුළ ගැලවුම්කරුවාණන්ගේ කේන්ද්‍රීය භූමිකාව පෙන්වා දෙයි.

උන්වහන්සේගේ බලයෙන් සන්නද්ධව-විවාහක වුවත් නැතත්-දේවමාළිගා ගිවිසුම් විශ්වාසවන්තව පවත්වන සෑම ගිවිසුම් රකින පුරුෂයෙක් සහ ස්ත්‍රීයක්ම මේ ජීවිතයේ සහ ඉදිරි ජීවිතයේ ආශිර්වාද ලබනු ඇත.

සභාපති නෙල්සන් මෙසේ පොරොන්දු වී තිබෙනවා: “අප සෑම කෙනෙකුම උත්සාහ කරන අවසානය නම් ස්වාමින්වහන්සේගේ ගෘහයක බලය මගින් බලයෙන් සැරසීම, පවුල් ලෙස මුද්‍රා තැබීම, දේවමාළිගාවක් තුළ ඇති කර ගත් ගිවිසුම් වලට ඇදහිලිවන්තව සිටීම, දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ටතම ත්‍යාගය වන සදාකාල ජීවනය සඳහා අප සුදුසුකම් ලැබීමයි. දේවමාළිගාවේ නියෝගයන් සහ ඔබ එහිදී කරන ගිවිසුම් ඔබේ ජීවිතය, ඔබේ විවාහය සහ පවුල ශක්තිමත් කිරීමට සහ සතුරාගේ ප්‍රහාරවලට එරෙහි වීමේ ඔබේ හැකියාවට යතුරයි. දේවමාළිගාවේ ඔබ කරන නමස්කාරය සහ ඔබේ මුතුන්මිත්තන් වෙනුවෙන් ඔබ කළ සේවය ඔබට පෞද්ගලික හෙළිදරව්ව හා සාමය වැඩි කිරීමට ආශීර්වාද කරන අතර ගිවිසුම් මාවතේ රැඳී සිටීමට ඇති ඔබේ කැපවීම ශක්තිමත් කරනු ඇත.”

ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරයෙකු ලෙස, මේ දේවල් සත්‍ය බව මම සාක්ෂි දරන්නෙමි.