“ඉරිදා සභාවේ රැස්වීම් වලදී සිදුවන්නේ කුමක්ද?,” ලියහෝනා, 2022 ජුනි.
මාසික ලියහෝනා පණිවිඩය, 2022 ජුනි
ඉරිදා සභාවේ රැස්වීම් වලදී සිදුවන්නේ කුමක්ද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් සෑම ඉරිදාවකම දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය එකිනෙකාට ඉගැන්වීමට එක්රැස් වෙති. සියලුම දෙනාව සහභාගී වීමට සාදරයෙන් පිළිගැනෙන අතර, සාමාජිකයින්ට ඔවුන්ට අවශ්‍ය නම් යාච්ඤා කිරීමට, කතාවක් ලබාදීමට, සහ පාඩම් ඉගැන්වීමට අවස්ථාව ලැබේ. මෙම රැස්වීම් සාමාජිකයින්ට ඇදහිල්ල තුළ එකිනෙකා ශක්තිමත් කිරීමට සහ “ඔවුන්ගේ හදවත් එකමුතුකමෙන් හා ප්‍රේමයෙන් එකට බැඳ තබාගැනීමට” උපකාර කරයි (මොසායා 18:21).
සක්‍රමේන්තු රැස්වීම
කොට්ඨාශයේ හෝ ශාඛාවේ සාමාජිකයින් සෑම ඉරිදාවකම සක්‍රමේන්තු රැස්වීම සඳහා රැස්වෙති. (සහභාගී වීමට අපගේ ඇදහිල්ලේ නොවන අයවද සාදරයෙන් පිළිගනිමු.) මෙම රැස්වීමේදී සාමාජිකයින්ට සක්‍රමේන්තුව ලබාදෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහිපත් කිරීමට ඔවුන්ට උපකාර කිරීම සඳහාය (සක්‍රමේන්තුව පිළිබඳ වැඩි විස්තර සඳහා 2022 අප්‍රියෙල් ශුභාරංචි මූලික ලිපිය බලන්න). මෙම රැස්වීමට යාච්ඤා, නමස්කාර සංගීතය, සහ සාමාජිකයින් විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ ලබාදෙන කතා ඇතුළත් වේ.
අනෙකුත් රැස්වීම්
සක්‍රමේන්තු රැස්වීමෙන් පසු, සාමාජිකයින් පන්ති සහ ගණපූරණ ලෙස වෙන් වේ. මාස 18 සිට අවුරුදු 11 දක්වා ළමුන් ප්‍රාථමිකයට සහභාගී වේ. සෑම මසකම පළමු සහ තුන්වන ඉරිදා දිනවල, අනෙකුත් සියලුම සාමාජිකයින් ඉරිදා පාසලට පැමිණේ. දෙවන සහ හතරවන ඉරිදා දිනවල ඔවුන් සහන සමිතිය, තරුණ කාන්තා හෝ පූජක ගණපූරණ රැස්වීම් වලට සහභාගි වෙති.
යාච්ඤා
සභා රැස්වීම් වලදී යාච්ඤා කරන්නේ සාමාජිකයින් විසිනි. යාච්ඤා සරල වන අතර ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් මෙහෙයවනු ලැබේ. සාමාජිකයන් විසින් ස්වර්ගීය පියාණන්වහන්සේට ආදරය හා ගෞරවය ප්‍රකාශ කරන වචන භාවිතා කරමින් යාච්ඤා කරති. උන්වහන්සේට යාච්ඤා කිරීමේදී ඔබවහන්සේ, ඔබවහන්සේගේ, ඔබවහන්සේට, සහ ඔබවහන්සේලා යන සර්වනාම භාවිතා කිරීම මෙයට ඇතුළත් වේ.
කථා
සක්‍රමේන්තු රැස්වීමේදී කතා කිරීමට සාමාජිකයින්ට කථා ලබාදෙන්නේ සභානායකත්වයේ හෝ ශාඛා සභාපතිත්වයේ සාමාජිකයෙකු විසිනි. මෙම කථා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය කෙරෙහි අවධානය යොමුකරයි. කථිකයන් ඔවුන්ගේ කතා සූදානම් කරන විට ශුද්ධලියවිලි පද සහ සභා නායකයන්ගේ වචන භාවිතා කරති. ඔවුන්ගේ ජීවිත තුළ ශුභාරංචි මූලධර්ම වලින් ලැබී ඇති ආශිර්වාද පිළිබඳ සාක්ෂිද ඔවුන් දරති.
පාඩම්
සක්‍රමේන්තු රැස්වීමෙන් පසුව, සාමාජිකයන් කුඩා පන්ති වල ශුභාරංචිය ගැන ඉගෙනගනිති. මෙම පාඩම් ශුද්ධලියවිලි, ප්‍රධාන සම්මන්ත්‍රණ වල ඉගැන්වීම්, හෝ වෙනත් විෂයයන් ගැන විය හැකිය. ගුරුවරයා පාඩම මෙහෙයවනු ඇතත්, එය දේශනයක් නොවේ. පන්තියේ සියලුම සාමාජිකයින්ට එම මාතෘකාව පිළිබඳ ඔවුන්ගේ අදහස් බෙදාගත හැකිය.
සාක්ෂිය
මසකට වරක්, සක්‍රමේන්තු රැස්වීමට සාක්ෂි ලබාදෙන රැස්වීමක් ඇතුළත් වේ. සාමාන්‍යයෙන් මෙය සිදුවන්නේ මාසයේ පළමු ඉරුදිනයි. මෙම රැස්වීම අතරතුර, සාමාජිකයින්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ ඔවුන්ගේ සාක්ෂි දැරිය හැකිය. සාක්ෂි දැරීම යන්නෙන් අදහස් කරන්නේ ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන් ශුභාරංචි සත්‍යයන් ප්‍රකාශ කිරීමයි.
සූදානම් වීම
යාච්ඤා කිරීමෙන්, ශුද්ධලියවිලි ධ්‍යයනය කිරීමෙන්, සහ ශුද්ධාත්මයාණන්ගෙන් අනුභාවය ලැබීමට සූදානම්ව සිටීමෙන්, සාමාජිකයන් ඉරිදා රැස්වීම් සඳහා සූදානම් වෙති. කතාවක් දීමට හෝ පාඩමක් ඉගැන්වීමට ඔබෙන් ඉල්ලා සිටින්නේ නම්, ඔබට ශුභාරංචි මූලධර්ම ඉගැන්විය හැකි ආකාරය ගැන යාච්ඤාපූර්වකව සිතන්න. ශුද්ධලියවිලි භාවිතා කරන්න. සත්‍යයේ සාක්ෂි දරන්න. අවශ්‍ය නම්, ඔබට සූදානම් වීමට ඔබේ සභා නායකයින්ට ඔබට උපකාර කළ හැකිය.
© 2022 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් reservedජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Liahona Message, June 2022 හි පරිවර්තනයකි. Sinhala. 18315 408