“ස්වාධීනත්වය අපව ශක්තිමත් කරයි,” ලියහෝනා, 2023 අගෝස්තු
මාසික ලියහෝනා පණිවිඩය, 2023 අගෝස්තු
ස්වාධීනත්වය අපව ශක්තිමත් කරයි
ස්වාධීන වීම යනු අපගේ සහ අපගේ පවුල්වල අවශ්‍යතා ගැන සැලකිලිමත් විය හැකි බවයි. අප ස්වාධීන වන විට, අපට වඩා හොඳින් ස්වාමින්වහන්සේට සේවය කිරීමට සහ අන් අයව රැකබලා ගැනීමට හැකි වේ. නමුත් ස්වාධීන වීම යන්නෙන් අදහස් කරන්නේ අප අපගේ අභියෝගවලට තනිවම මුහුණ දිය යුතු බව නොවේ. අපට අවශ්‍ය වූ විට මිතුරන්, පවුලේ අය, කොට්ඨාශ හෝ ශාඛා සාමාජිකයන් සහ වෘත්තිකයන්ගෙන් උපකාර ඉල්ලා සිටිය හැක.
ස්වාධීනත්වයේ මූලධර්ම
ස්වාධීන වීමට අධ්‍යාපනය, කීකරුකම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම අවශ්‍ය වේ. අප ගැන සැලකිලිමත් වීමට අපි අපේ උපරිමය කරන අතර, අවශ්‍ය වූ විට අපට අන් අයගෙන් උපකාර ඉල්ලා සිටිය හැක. කෙසේ වෙතත්, සැබවින්ම ස්වාධීනත්වය ඇති වීමට නම්, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීමට ද ඉගෙන ගත යුතුය. එවිට අප අපටම පිහිට වීමට ක්‍රියා කරන විට, උන්වහන්සේ අපව ශක්තිමත් කරනු ඇත.
අධ්‍යාත්මික ස්වාධීනත්වය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අපගේ සාක්ෂිය ශක්තිමත් කිරීමට ක්‍රියා කිරීමෙන් අපගේ අධ්‍යාත්මික ස්වාධීනත්වය ගොඩනගා ගත හැක. අපි යාච්ඤා කරන විට, ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරන විට, සභාවට යන විට, අණපනත්වලට කීකරු වන විට සහ අපව ක්‍රිස්තුස්වහන්සේට සමීප කරන වෙනත් දේවල් කරන විට අපි මෙය කරමු. උන්වහන්සේ අපට උපකාර කිරීමට කැමැත්තෙන් සිටින බව දැන සිටීම ජීවිතය දුෂ්කර වූ විට පවා ශක්තිමත්ව සිටීමට අපට ඇදහිල්ල ලබා දෙනු ඇත.
ලෞකික ස්වාධීනත්වය
ලෞකික ස්වාධීනත්වයට අපගේ සහ අපගේ පවුලේ භෞතික අවශ්‍යතා ගැන සැලකිලිමත් වීමට හැකි වීම ඇතුළත් වේ. මෙයට ආහාර, නිවාස, සෞඛ්‍ය සහ වෙනත් අවශ්‍යතා ඇතුළත් වේ. අපි මෙය කරන්නේ හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමෙන්, අවශ්‍ය කුසලතා ඉගෙනීමෙන් හෝ පුළුල් කිරීමෙන්, වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන්, අපගේ කාලය ඥානවන්තව භාවිතා කිරීමෙන් සහ අපගේ මුදල් හොඳින් කළමනාකරණය කිරීමෙනි.
චිත්තවේගීය ස්වාධීනත්වය
චිත්තවේගීය ස්වාධීනත්වය යනු චිත්තවේගීය අභියෝගවලට ධෛර්යයෙන් හා ඇදහිල්ලෙන් අනුවර්තනය වීමේ හැකියාවයි. අපි සැමටම අභියෝග සහ පසුබෑම් තිබේ. ශුභාරංචියට ස්තූතිවන්ත වන්නට, ඒවාට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය තෝරාගත හැකි බව අපි දනිමු. ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ප්‍රතිචාර දැක්වීමෙන් තවත් බලාපොරොත්තු ඇතිව වෙනත් දුෂ්කරතාවලට මුහුණ දීමේ හැකියාව වැඩි වේ.
අධ්‍යාපනය
අපි නිතරම ඉගෙන ගත යුතුයි. දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අප මේ ජීවිතය පුරාවට සහ ඊළඟ ජීවිතයටත් අපගේ මනස දැනුවත් කර අපගේ කුසලතා වැඩි දියුණු කිරීමයි. අපි වැඩි වැඩියෙන් ඉගෙන ගන්නා තරමට, අපට යහපත සඳහා වඩා හොඳ බලපෑමක් විය හැකි අතර අපට, අපගේ පවුලට සහ අවශ්‍යතා ඇති අයට සැපයිය හැකි වේ.
ස්වාධීනත්වය ඇති වීමේ ආශීර්වාද
අනාගතවක්තෘවරුන් උගන්වා ඇත්තේ අපගේ ස්වාධීනත්වය වැඩි දියුණු කරන විට, අපට වැඩි බලාපොරොත්තුවක් සහ සාමයක් ලැබෙනු ඇති බවයි. අපගේ පවුල්වලට සහ අවශ්‍යතා ඇති අන් අයට උපකාර කිරීමට අපට හැකි වනු ඇත. තවද අපට තවත් අවස්ථා සහ ඉදිරියට යාමට හැකියාව ලැබීමෙන් ආශීර්වාද ලබනු ඇත.
සභාවේ සම්පත්
ඔබේ ස්ටේකය ස්වාධීනත්ව ඛණ්ඩායම් අවස්ථා ලබාදෙනවා විය හැක. මේවා ඔබට ස්වාධීනත්වයේ මූලධර්ම සහ ඔබේ මුදල් කළමනාකරණය කිරීම හෝ වඩා හොඳ රැකියාවක් සොයා ගැනීම වැනි කුසලතා ඉගැන්විය හැක. ඔබට ශුභාරංචි පුස්තකාලයෙන් අදාළ සම්පත් සොයා ගත හැක. “පොත් සහ පාඩම්” සහ පසුව “ස්වාධීනත්වය” තෝරන්න.
© 2023 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Liahona Message, August 2023. හි පරිවර්තනයකි. Language. 19046 408