“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදාගැනීම,” ලියහෝනා 2023 ජූලි.
මාසික ලියහෝනා පණිවිඩය, 2023 ජූලි
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය බෙදාගැනීම
අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් නිසා අපට ලැබෙන ආශිර්වාද ගැන අපි සිතන විට, අප ආදරය කරන අය සමඟ ශුභාරංචිය බෙදාගැනීමට අපට අවශ්‍ය වේ. අපගේ වචන සහ අපගේ ආදර්ශය තුළින් අපට සත්‍යය පිළිබඳ අපගේ සාක්ෂි බෙදාගත හැකිය. අපි එය බෙදාගත යුත්තේ කා සමඟද සහ කුමක් කිව යුතුද යන්න දැනගැනීමට ආනුභාවය උදෙසා අපට යාච්ඤා කළ හැකිය.
අන් අයට ප්‍රේම කරන්න
ශුභාරංචිය බෙදාගැනීමේ වැදගත් අංගයක් වන්නේ අන් අයට ප්‍රේම කිරීමයි. ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ක්‍රියාවන් තුළින් අපි අපගේ ප්‍රේමය අන් අයට පෙන්වන විට, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය—සමහර විට වචනයක්වත් නොකියා බෙදාගන්නෙමු. අපි අන් අය ගැන අවංකවම සැලකිලිමත් වන බව ඔවුන් දන්නා විට, ඔවුන් ශුභාරංචිය ගැන අපගේ සිතුවිලි වලට සවන්දීම සඳහා වඩාත් විවෘත විය හැකිය. (බලන්න ගැරී ඊ. ස්ටීවන්සන්, “ප්‍රේම කරන්න, බෙදාගන්න, ආරාධනා කරන්න,” ලියහෝනා, මැයි 2022, 84–87.)
සාමාන්‍ය සහ ස්වභාවික ආකාරයෙන් බෙදාගන්න
ශුභාරංචිය ගැන අප ආදරය කරන දේ අපට බෙදා ගත හැකිය. අපි මෙය අපගේ එදිනෙදා ජීවිතයේ කොටසක් ලෙස කරන විට, එය නුහුරු හෝ අපහසුතාවයක් නොවනු ඇත. නිදසුනක් වශයෙන්, ඉරිදා අප කරන දේ ගැන අපගේ පවුලේ අය සහ මිතුරන් සමඟ අපට කතා කළ හැකිය. එසේත් නැත්නම් අපි අනෙක් අයට සේවය කරන විට දැනෙන සතුට ගැන ඔවුන්ට කීමට අපට හැකිය. (බලන්න ඩියේටර් එෆ්. උච්ඩ්‍රොෆ්, “ධර්මදූත සේවය: ඔබේ හදවතේ ඇති දේ බෙදාගැනීම,” ලියහෝනා, 2019 මැයි, 15–18.)
අප හා එක් වීමට අනෙක් අයට ආරාධනා කරන්න
ශුභාරංචිය ගැන තවත් ඉගෙන ගැනීමට අපට අනෙක් අයට ආරාධනා කළ හැකිය. නිදසුනක් වශයෙන්, සභාවේ රැස්වීමකට හෝ ක්‍රියාකාරකමකට පැමිණීමට, මොර්මොන්ගේ පොත කියවීමට, සභාවේ වීඩියෝවක් නැරඹීමට හෝ ධර්මදූතවරුන්ව හමුවීමට අපට ඔවුන්ට ආරාධනා කළ හැකිය. මෙම අත්දැකීම් ඔවුන්ට ආත්මයාණන්වහන්සේව දැනීමට සහ තවත් ඉගෙන ගැනීමට අවශ්‍යතාව ඇතිකරගැනීමට උපකාරී වේ.
ඔවුන්ගේ අත්දැකීම් ගැන විමසන්න
මිතුරන් සහ පවුලේ සාමාජිකයන් සභාවට පැමිණි පසු හෝ ධර්මදූතවරුන් සමඟ පාඩමකට සහභාගී වීමෙන් පසු, අපට ඔවුන්ගේ අත්දැකීම් ගැන ඔවුන්ගෙන් විමසිය හැකිය. ශුභාරංචියේ සමහර ඉගැන්වීම් ඔවුන්ට අලුත් විය හැකිය, එබැවින් අපට ඔවුන්ට ඇති ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකිය. ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට ඔවුන් දරන ප්‍රයත්නයන් සඳහා අපට අපගේ ප්‍රේමය සහ සහයෝගය පෙන්විය හැකිය.
ඔවුන්ගේ විශ්වාසයන්ට එකතු කරන්න
අපි අනෙක් අයගේ විශ්වාසයන් අගය කරන අතර ඒවාට ගරු කරමු, එමෙන්ම අපි උත්සහ කරන්නේ ඔවුන්ට දැනටමත් ඇති ඇදහිල්ලට තවත් එකතු කිරීමට ය. නිදසුනක් වශයෙන්, බයිබලයේ ශුද්ධලියවිලි පදවලින් සැනසීමක් ලබා ඇති මිතුරෙකුට මොර්මොන්ගේ පොතෙන් අප බෙදාගන්නා ඉගැන්වීම්වලින්ද සැනසීමක් ලැබිය හැකිය.
සභාවේ අලුත් සාමාජිකයින්ට උදව් කරන්න
පුද්ගලයින් සභාවට සම්බන්ධ වූ විට, ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට අපට උපකාර කළ හැකිය. අපට ඔවුන්ගේ මිතුරන් වීමට, ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට සහ ඔවුන්ට කැඳවීම් ලැබෙන විට ඔවුන්ට සහාය වීමට හැකිය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දිගටම අනුගමනය කිරීමට සහ උන්වහන්සේගේ ශුභාරංචිය ගැන ඉගෙන ගැනීමට අපට ඔවුන්ව දිරිමත් කළ හැකිය.
පූර්ණ කාලීන ධර්මදූතයක් සේවය කරන්න
අපගේ එදිනෙදා ජීවිතයේදී ශුභාරංචිය බෙදා ගැනීමට අමතරව, සභාවේ සාමාජිකයන්ට පූර්ණ කාලීන ධර්මදූතයින් ලෙස සේවය කිරීමට කැඳවීම් ලැබිය හැකිය. ඔවුන් සූදානම් නම්, තරුණ පිරිමි ළමුන්ට වයස අවුරුදු 18 දී සේවය කළ හැකිය. තරුණ ගැහැණු ළමුන්ට සහ වයසින් වැඩි වැඩිහිටියන්ට ද සේවය කළ හැකිය. ඔබට ChurchofJesusChrist.org/callings/missionary තුළ වැඩිදුර තොරතුරු සොයා ගත හැකිය.
© 2023 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Liahona Message, July 2023 හි පරිවර්තනයකි. Language. 19045 408