ශුද්ධාත්මයාණන්වහන්සේට අපට උපකාර කළ හැකිය,” ලියහෝනා, 2023 ජුනි.
මාසික ලියහෝනා පණිවිඩය, 2023 ජුනි
ශුද්ධාත්මයාණන්වහන්සේට අපට උපකාර කළ හැකිය
ශුද්ධාත්මයාණන්වහන්සේ යනු දේවශීර්ෂයේ තුන්වන සාමාජිකයායි. ශුද්ධලියවිලිවල උන්වහන්සේව ආත්මයාණන්, ශුද්ධාත්මයාණන් හෝ සැනසිලිදායකයාණන් ලෙසද හඳුන්වයි. අපි උන්වහන්සේගේ හඬට සවන් දීමට ඉගෙන ගන්නා විට, උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අපට සාක්ෂි දෙන අතර ශුභාරංචියේ සත්‍යයන් ඉගෙන ගැනීමට අපට උපකාර කරයි.
දේවශීර්ෂයේ සාමාජිකයෙකි
ස්වර්ගීය පියාණන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේ යනු දේවශීර්ෂයයි. උන්වහන්සේලා අපට ආදරය කරන අතර ගැලවීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා එකමුතුවෙන් ක්‍රියා කරති. ස්වර්ගික පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට මාංශයෙන් හා ඇටකටු වලින් යුත් ශරීර තිබුණත්, ශුද්ධාත්මයාණන්වහන්සේට එසේ නොවේ. උන්වහන්සේ ආත්මයකි.
පියාණන්වහන්සේගේ සහ පුත්‍රයාණන්වහන්සේගේ සාක්ෂිකරු
ශුද්ධාත්මයාණන්වහන්සේ “පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ ගැන සාක්ෂි දරන සේක” (2 නෙපි 31:18). මෙයින් අදහස් කරන්නේ අපට ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සාක්ෂියක් ලැබිය හැකි බවයි.
සත්‍යය ගැන සාක්ෂි දරයි
ශුද්ධාත්මයාණන්වහන්සේ සියලු සත්‍යයන් ගැන සාක්ෂි දරයි. ගැලවීමේ සැලැස්ම, දෙවියන්වහන්සේගේ ආඥා, නැවත පිහිටුවීම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම ඇතුළු—ශුභාරංචිය සත්‍ය බව දැනගැනීමට උන්වහන්සේ අපට උපකාර කරනු ඇත. අප දිගටම යාච්ඤා කරන විට, ආඥා පිළිපදින විට සහ ශුභාරංචිය අධ්‍යයනය කරන විට උන්වහන්සේ අපගේ සාක්ෂිය ශක්තිමත් කරනු ඇත.
අපට මගපෙන්වන්වා ආරක්ෂා කරයි
ශුද්ධාත්මයාණන්වහන්සේට අපගේ තීරණ වලදී අපට මගපෙන්විය හැකි අතර භෞතික හා අධ්‍යාත්මික අනතුරෙන් අපව ආරක්ෂා කළ හැකිය. අපි යාච්ඤා කර හරි දේ කිරීමට උත්සාහ කරනවා නම් අපේ ප්‍රශ්නවලට උත්තර සෙවීමට උන්වහන්සේ උදව් කරයි. “යහපත කිරීමට” උන්වහන්සේ අපට සැමවිටම මගපෙන්වයි (දහම සහ ගිවිසුම් 11:12).
අපව සනසවයි
ශුද්ධාත්මයාණන්වහන්සේව සමහර අවස්ථා වල “සැනසිලිදායකයාණන්” ලෙස හැඳින්වේ (යොහන් 14:26). අප කනස්සල්ලෙන්, දුකෙන් හෝ බියෙන් සිටින විට උන්වහන්සේට අපව “බලාපොරොත්තුවෙන් හා පරිපූර්ණ ප්‍රේමයෙන්” පිරවිය හැකිය (මොරෝනි 8:26). දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනීමට උන්වහන්සේ අපට උපකාර කරන විට, අපට අධෛර්යමත් බවින් මිදී අපගේ පරීක්ෂාවලදී ශක්තිමත් විය හැකිය.
ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව
අපි බව්තීස්ම වූ පසු, ස්ථිර කිරීම ලෙස හඳුන්වන නියෝගයක් හරහා අපට ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලැබේ. අපට මෙම දීමනාව ලැබුණු පසු, අප ධර්මිෂ්ඨව ජීවත් වන තාක් කල් අපට ශුද්ධාත්මයාණන්වහන්සේගේ නිරන්තර සහභාගිත්වය ලබා ගත හැකිය.
නිදර්ශනය ජේ. කර්ක් රිචර්ඩ්ස් විසිනි
ශුද්ධාත්මයාණන්වහන්සේව අපට ඇසෙන ආකාරය
ශුද්ධාත්මයාණන්වහන්සේ විවිධ ආකාරවලින් පුද්ගලයින් සමඟ සන්නිවේදනය කරයි. මේවාට සාමකාමී, සැනසිලිදායක හැඟීම් හෝ කිව යුතු හෝ කළ යුතු දේ පිළිබඳ තීක්ෂණ බුද්ධිය ඇතුළත් විය හැකිය. අපි මගපෙන්වීම සඳහා යාච්ඤා කරන විට සහ උන්වහන්සේගේ පෙළඹවීම්වලට සවන් දෙන විට, උන්වහන්සේ අපට කතා කරන ආකාරය අපට ඉගෙන ගත හැකිය.
© 2023 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Liahona Message, June 2023 හි පරිවර්තනයකි. Language. 19026 408