2023
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල
2023 අප්‍රියෙල්


“යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල,” ලියහෝනා, 2023 අප්‍රි.

මාසික ලියහෝනා පණිවිඩය, 2023 අප්‍රියෙල්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල

යේසුස්වහන්සේගේ පින්තූරය

හැරී ඇන්ඩර්සන් විසින්, Jesus Christ [යේසුස් ක්‍රිස්තුස්වහන්සේ]

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ශුභාරංචියේ පළමු මූලධර්මයයි (බලන්න ඇදහිල්ලේ කරුණු 1:4). අපගේ ඇදහිල්ල අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ වෙත අපව නැවත ගෙන යන තේරීම් කිරීමට අපට උපකාර කරයි. අපගේ ජීවිත කාලය පුරාම අපගේ ඇදහිල්ල ශක්තිමත් කර ගැනීමට අපට ක්‍රියා කළ හැකිය.

ළමුන් සහ යෞවනයින් පොතක් වටා රැස්වෙමින්

ඇදහිල්ල යනු කුමක්ද?

ඇදහිල්ල යනු යම් දෙයක් කෙරෙහි ඇති දැඩි භක්තිය හෝ විශ්වාසයයි. සත්‍ය වූ දේවල් ගැන, අපට ඒවා දැකිය නොහැකි වුවත් හෝ සම්පූර්ණයෙන්ම ඒවා තේරුම්ගැනීමට නොහැකි වුවත්, ඒ දේවල් ගැන බලාපොරොත්තුවක් තබාගැනීම සහ විශ්වාස කිරීම ඇදහිල්ලට ඇතුලත් ය (හෙබ්‍රෙව් 11:1; ඇල්මා 32:21).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පින්තූරය

හෙයින්රිච් හොෆ්මන් විසින්, Christ and the Rich Young Ruler [ක්‍රිස්තුස්වහන්සේ සහ පොහොසත් තරුණ පාලකයා] තුළින් ලබාගෙන ඇත

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ කේන්ද්‍රගත ඇදහිල්ල

ගැලවීම කරා යාමට නම්, අපගේ ඇදහිල්ල අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ කේන්ද්‍රගත විය යුතුය. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබීම යනු උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමයි. එයින් අදහස් කරන්නේ උන්වහන්සේ මත සම්පූර්ණයෙන්ම රඳා සිටීමයි—එනම් උන්වහන්සේගේ බලය, බුද්ධිය සහ ආදරය කෙරෙහි විශ්වාසය තැබීමයි. උන්වහන්සේගේ ඉගැන්වීම් විශ්වාස කිරීම සහ අනුගමනය කිරීම ද එයට ඇතුළත් ය.

ශුද්ධලියවිලි අධ්‍යයනය කරන යුවළක්

අපගේ ඇදහිල්ල වැඩි කරගැනීම

ඇදහිල්ල යනු දෙවියන්වහන්සේගෙන් ලද ත්‍යාගයකි, නමුත් අප එය සොයමින් එය ශක්තිමත්ව තබා ගැනීමට කටයුතු කළ යුතුය. යාච්ඤා කිරීමෙන් සහ ශුද්ධලියවිලි සහ පසුදවස් වල අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් අධ්‍යයනය කිරීමෙන් අපට අපගේ ඇදහිල්ල වර්ධනය කර ගත හැකිය. අපි ධර්මිශ්ඨව ජීවත් වන විට සහ අපගේ ගිවිසුම් රකින විටද අපි අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගන්නෙමු.

ඇදහිල්ලෙන් ජීවත් වීම

ඇදහිල්ල නිකම්ම විශ්වාසයකට වඩා බොහෝ සෙයින් වැඩි දෙයකි. ඒ විශ්වාසය මත ක්‍රියා කිරීම ඊට ඇතුළත්. අපි අපගේ ඇදහිල්ල පෙන්වන්නේ අප ජීවත් වන ආකාරයෙන් ය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල උන්වහන්සේගේ පරිපූර්ණ ආදර්ශය අනුගමනය කිරීමට අපව පොලඹවයි. අපගේ ඇදහිල්ල අපට ආඥාවලට කීකරු වීමටත්, අපගේ පව් ගැන පසුතැවිලි වීමටත්, ගිවිසුම් ඇති කරගනිමින් ඒවා පිළිපැදීමටත් මගපෙන්වයි.

අන්ධ මිනිසෙකුව සුවකරන යේසුස්වහන්සේ

ඇදහිල්ල ප්‍රාතිහාර්යයන් ගෙන එයි

සැබෑ ඇදහිල්ල ප්‍රාතිහාර්යයන් ගෙන එයි, ඒවාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන දර්ශන, සිහින, සුව කිරීම් සහ වෙනත් දීමනා ඇතුළත් විය හැකිය. උන්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල නිසා ස්වාමින්වහන්සේගෙන් ප්‍රාතිහාර්යයන් ලැබූ මිනිසුන් පිළිබඳ බොහෝ කථා ශුද්ධලියවිලිවල අඩංගු වේ. උදාහරණ කිහිපයක් සඳහා Guide to the Scriptures හි “Miracle” බලන්න.

ඇදහිල්ල සාමය ගෙන එයි

දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම කෙරෙහි ඇදහිල්ලට, අපගේ අභියෝගවලදී අපව ශක්තිමත් කළ හැකිය. අපට ඉදිරියට යාමට සහ අපගේ දුෂ්කරතාවලට ධෛර්යයෙන් මුහුණ දීමට ශක්තිය ලබා දීමට ඇදහිල්ලට හැකිය. අනාගතය අවිනිශ්චිත ලෙස පෙනෙන්නට තිබුණත්, ගැලවුම්කරුවාණන් කෙරෙහි අපගේ ඇදහිල්ලට අපට සාමය ලබා දිය හැකිය.

ඔවුන් යේසුස්වහන්සේගේ සිතුවමක් දෙස බලා සිටියදී පියා තම දරුවා අල්ලාගෙන සිටියි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගැලවීම ගෙන එයි

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කිරීම මගින් අපට ගැලවීම කරා මගපෙන්වීම ලැබෙයි. ක්‍රිස්තුස්වහන්සේ අපට සදාකාල ජීවනය ලැබීමට මාර්ගය සූදානම් කර ඇත. අප උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වන විට, අපගේ පව්වලට සමාව ලබාගෙන නැවත දෙවියන්වහන්සේ සමඟ ජීවත් වීමට අපට හැකි වේ.