2023
පූජකවර ආශිර්වාද
2023 මාර්තු


“පූජකවර ආශිර්වාද,” ලියහෝනා, 2023 මාර්.

මාසික ලියහෝනා පණිවිඩය, 2023 මාර්තු

පූජකවර ආශිර්වාද

ක්‍රිස්තුස්වහන්සේ විසින් ප්‍රේරිතවරුන් දොළොස්දෙනාව නියම කිරීම

හැරී ඇන්ඩර්සන් විසින්, ක්‍රිස්තුස්වහන්සේ විසින් ප්‍රේරිතවරුන් දොළොස්දෙනා ව නියම කිරීම

පූජකවර ආශිර්වාදයක් ලබාදෙන්නේ මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙකුගේ ආනුභාවය යටතේය. දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට උන්වහන්සේගේ බලය, සුවය, සැනසීම සහ මගපෙන්වීම ලබා ගැනීමට පූජකවර ආශිර්වාද මගින් අවස්ථාව ලබාදෙයි.

පූජකවරය

පූජකවරය යනු දෙවියන්වහන්සේගේ බලය සහ අධිකාරියයි. මෙල්කිසදෙක් පූජකවරය සඳහා සුදුසු සහ එය දරන පිරිමින් විසින් පූජකවර ආශිර්වාද ලබා දෙන විට ඔවුන් ක්‍රියා කරන්නේ යේසුස් ක්රිස්තුස්වහන්සේගේ නාමයෙන්ය. ඔවුන් මෙම ආශිර්වාද ලබා දෙන විට, ගැලවුම්කරුවාණන් අන් අයට ආශිර්වාද කළ ආදර්ශය ඔවුන් අනුගමනය කරති.

හිස මත තබා ඇති අත්

ඡායාරූපය ඩේවිඩ් වින්ටර්ස් විසිනි

ආශිර්වාද ලබා දෙන ආකාරය

පූජකවර ආශිර්වාද ලබාදෙනු ලබන්නේ හිස මත අත් තැබීමෙනි. මෙල්කිසදෙක් පූජකවරය දරන්නෙක් විසින් ආශිර්වාදය ලබන පුද්ගලයාගේ හිස මත ඔහුගේ අත් තබයි. එවිට ඔහු ආත්මයාණන් මෙහෙයවන පරිදි ආශිර්වාදයක් ලබාදෙනු ඇත. ආශිර්වාද දෙන අය සහ ආශිර්වාද ලබන අය දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කරන අතර උන්වහන්සේගේ කැමැත්ත සහ වේලාව කෙරෙහි විශ්වාසය තබති.

දරුවන්ට නම් තැබීම සහ ආශිර්වාද කිරීම

දරුවෙකු ඉපදුණු පසු, පූජකවරය දරන්නෙකු විසින් ඔහුට හෝ ඇයට නමක් සහ ආශිර්වාදයක් ලබා දෙයි ( බලන්න දහම සහ ගිවිසුම් 20:17). මෙය සාමාන්‍යයෙන් උපවාස සහ සාක්ෂි රැස්වීමකදී සිදු වේ. ප්‍රථමයෙන් දරුවාට නමක් දෙනු ලැබේ. පසුව පූජකවරය දරන්නා විසින් දරුවාට ආශිර්වාදයක් ලබාදෙනු ඇත.

රෝගාතුරව සිටින පිරිමි ළමයා පූජකවර ආශිර්වාදයක් ලබමින්

ඡායාරූපය වෙල්ඩන් සී. ඇන්ඩර්සන් විසිනි

රෝගාතුර වූවන්ට ආශිර්වාද කිරීම

මෙල්කිසදෙක් පූජකවරය දරන්නන්ට රෝගාතුර වූවන්ට ආශිර්වාද ලබාදිය හැකිය. මෙම ආකාරයේ ආශිර්වාද කොටස් දෙකකින් සමන්විත වේ: තෙල් ආලේප කිරීම සහ ආලේපනය මුද්‍රා තැබීම. පළමුව, පූජකවරය දරන්නෙකු කැප කරන ලද හෝ ආශිර්වාද කරන ලද ඔලිව් තෙල් බිංදුවක් පුද්ගලයාගේ හිස මත තබා කෙටි යාච්ඤාවක් කරයි. ඉන්පසු තවත් පූජකවරය දරන්නෙකු ආලේපනය මුද්‍රා තබා ශුද්ධාත්මයාණන් විසින් මග පෙන්වනු ලබන පරිදි එම පුද්ගලයාට ආශිර්වාදයක් ලබාදෙනු ඇත.

සැනසිල්ලේ සහ උපදේශනයේ ආශිර්වාද

සැනසිල්ලේ සහ උපදේශනයේ ආශිර්වාද මෙල්කිසදෙක් පූජකවරය දරන්නන්ට තම පවුලේ සාමාජිකයින්ට සහ ආශිර්වාද ඉල්ලා සිටින වෙනත් අයට ලබාදිය හැකිය. මෙල්කිසදෙක් පූජකවරය දරන පියෙකුට තම දරුවන් සඳහා පියෙකුගේ ආශිර්වාදය ලබා දිය හැකිය. දරුවන් විශේෂ අභියෝගවලට මුහුණ දෙන විට මෙම ආශිර්වාද විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකිය.

කැඳවීම් වල සේවය කිරීමට සාමාජිකයින් වෙන්කිරීම

සභාවේ සාමාජිකයින්ට කැඳවීමක් ලැබුණු විට, ඔවුන්ව සේවය කිරීම සඳහා වෙන් කරන අවස්ථාවේදී ඔවුන්ට ආශිර්වාදයක් දෙනු ලැබේ. එම කැඳවීම තුළ අධිකාරී බලයෙන් යුතුව ක්‍රියා කිරීම සඳහා පූජකවර නායකයෙකු විසින් ඔවුන්ට ආශිර්වාද කරයි. ඔවුන්ගේ සේවය සඳහා උපකාර කිරීම සඳහාද පූජකවර නායකයා විසින් ඔවුන්ට ආශිර්වාදයක් ලබාදෙයි.

තම ආදිපීතෘ ආශිර්වාදය කියවන කාන්තාව

ඡායාරූපය ශෝනා ස්ටීෆන්සන් විසිනි

ආදිපීතෘ ආශිර්වාද

සුදුසු සෑම සභා සාමාජිකයෙකුටම ආදිපීතෘ ආශිර්වාදයක් ලබාගත හැකිය. මෙම ආශිර්වාදය තුළින් ස්වාමින්වහන්සේගෙන් පුද්ගලික උපදෙස් ලබාදෙනු ඇත. එයට පුද්ගලයෙකුගේ ජීවිත කාලය පුරාවටම අවශ්‍ය මග පෙන්වීම සහ සැනසීම ලබා දිය හැකිය. එය එම පුද්ගලයාගේ ඉශ්‍රායෙල් වංශයේ පෙළපතද එළිදරව් කරයි. මෙම ආකාරයේ ආශිර්වාදයක් ලබා දිය හැක්කේ නියම කරන ලද ආදිපීතෘවරයෙකුට පමණි.