“පවුල් සදාකාලිකයි,” ලියහෝනා, 2023 ජන.
මාසික ලියහෝනා පණිවිඩය, 2023 ජනවාරි
පවුල් සදාකාලිකයි
පවුල යනු සමාජයේ සහ සභාවේ මූලික ඒකකයයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් පවුල සදාකාලික විය හැකි බව විශ්වාස කරති. පොළොව මත අපගේ පවුල් ශක්තිමත් කිරීමට අපි කටයුතු කරන්නෙමු. සදාකාලික පවුලක ආශිර්වාදය අපට ලැබිය හැකි බවටත් අපිට විශ්වාසයක් ඇත.
දෙවියන්වහන්සේගේ පවුල
සියලුම මිනිසුන් ස්වර්ගීය දෙමාපියන්ගේ ආත්මික පුත්‍රයන් හෝ දියණියන් වෙති. අපි සියල්ලෝම දෙවියන්වහන්සේගේ පවුලේ කොටසකි. අපි සියලු දෙනාටම දිව්‍යමය ස්වභාවයක් සහ දෛවයක් තිබේ. අපි ධර්මිෂ්ඨව ජීවත්වන විට, අපගේ ස්වර්ගීය පියාණන්ගේ පවුලේ කොටසක් ලෙස සදහටම ජීවත් වීමට අපට නැවත පැමිණිය හැකියි.
විවාහ ඡායාරූපය ජෝසෆ් කලුබා විසිනි
සදාකාලික පවුල්
පුරුෂයෙකු සහ කාන්තාවක් දේවමාළිගාවේදී විවාහ වී ඔවුන්ගේ ගිවිසුම් රකින්නේ නම්, ඔවුන්ගේ විවාහය සදාකාලය දක්වාම පවතී. මෙම දේවමාළිගා නියෝගය මුද්‍රා තැබීම ලෙස හඳුන්වයි. තම දෙමාපියන්ගේ මුද්‍රා තැබීමෙන් පසු ඉපදෙන දරුවන් එම ගිවිසුමෙහි උපත ලබති. දෙමව්පියන් මුද්‍රා තැබීමට පෙර උපන් දරුවන්ට දේවමාළිගාවේ මුද්‍රා විය හැකි අතර එමඟින් ඔවුන්ට සදහටම පවුලක් විය හැකියි. සභාවේ සාමාජිකයන් පවුල් ඉතිහාසය සහ දේවමාළිගා කටයුතු සිදු කරයි, එවිට ඔවුන්ට ඔවුන්ගේ පවුල් සියලු පරම්පරාවන් හරහා එකට මුද්‍රා විය හැකිය. සදාකාලික පවුලක ආශිර්වාදය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම නිසා සිදුවේ.
විවාහය
මිනිසෙකු සහ ගැහැණියක අතර විවාහය දෙවියන්වහන්සේ විසින් නියම කරන ලද්දකි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ස්වාමිපුරුෂයන්ට සහ භාර්යාවන්ට එකිනෙකාට පක්ෂපාතීව හා ඔවුන්ගේ විවාහ ගිවිසුම්වලදී විශ්වාසවන්තව සිටීමට උගන්වයි. ඔවුන් සිතුවිලි, වචන සහ ක්‍රියාවෙන් නිර්මල විය යුතුයි. විවාහය සමාන හවුල්කාරිත්වයක් වන අතර, කලත්‍රයන් එකිනෙකා දිරිමත් කිරීම, සැනසීම සහ උපකාර කිරීම කළ යුතුයි.
දෙමාපියන් සහ දරුවන්
දෙවියන්වහන්සේ ආදම් සහ ඒවට දරුවන් බිහිකිරීමට ආඥා කළේය. මෙම ආඥාව තවමත් ක්‍රියාත්මක වන බව සභාවේ නායකයන් උගන්වා තිබේ. මව්වරුන් සහ පියවරුන් තම දරුවන් ආදරයෙන් හා ධර්මිෂ්ඨව ඇති දැඩි කිරීමට එකට ක්‍රියා කරති (බලන්න දහම සහ ගිවිසුම් 68:25–28). දෙමව්පියන්ට ගෞරව කිරීමට සහ කීකරු වීමට දරුවන්ට උගන්වා ඇත (බලන්න නික්මයාම 20:12).
ඉගැන්වීම සහ ඉගෙනීම
දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමටත් උන්වහන්සේගේ ආඥාවලට කීකරු වීමටත් දෙමාපියන් තම දරුවන්ට උගන්වති. පවුල් ජීවිතය අපට ප්‍රීතිය දැනීමටත් ඉවසීම සහ පරාර්ථකාමීත්වය ඉගෙන ගැනීමටත් අවස්ථාව ලබා දෙයි. මෙම ගති ලක්ෂණ අපට දෙවියන්වහන්සේ මෙන් වීමටත්, සදාකාලික පවුල් ලෙස සතුටින් ජීවත් වීමට අපව සූදානම් කිරීමටත් උපකාර කරයි.
පවුල් ශක්තිමත් කිරීම
සාර්ථක පවුලක් ගොඩනැගීමට ශ්‍රමය, කැපවීම සහ ඉවසීම අවශ්‍ය වේ. ඇදහිල්ල, යාච්ඤාව, සමාව දීම, ප්‍රේමය, වැඩ කිරීම සහ යහපත් විනෝදය වැනි ශුභාරංචි ප්‍රතිපත්ති පවුල් ජීවිතයේ ප්‍රීතිය සොයා ගැනීමට අපට උපකාර කරයි. අපගේ පවුල් ශක්තිමත් කරන්නේ කෙසේද යන්න දැන ගැනීමට අපට පුද්ගලික එළිදරව් ලැබිය හැකියි.
හෙඉන්රිච් හොෆ්මන් විසින්, Christ’s Image [ක්‍රිස්තුස්වහන්සේගේ රූපය]
ආශිර්වාද සැමටම ලබාගත හැකිය
පොළොවේ සිටින සෑම කෙනෙකුටම පරමාදර්ශී පවුලක කොටසක් වීමට අවස්ථාවක් නොමැත. නමුත් දෙවියන්වහන්සේගේ ආඥා පිළිපදින සෑම කෙනෙකුටම සදාකාලික පවුලක සියලු ආශිර්වාද ලැබෙන බවට දෙවියන්වහන්සේ පොරොන්දු වී ඇත. අපට උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකි අතර උන්වහන්සේගේ කාලය කෙරෙහි ඇදහිල්ල තැබිය හැකිය.
© 2023 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Liahona Message, January 2023 හි පරිවර්තනයකි. Language. 18904 408