“අපි දසයෙන් කොටස ගෙවන්නේ ඇයි,” ලියහෝනා, 2022 දෙසැ.
මාසික ලියහෝනා පණිවිඩය, 2022 දෙසැම්බර්
අපි දසයෙන් කොටස ගෙවන්නේ ඇයි
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයින් ඔවුන්ගේ ආදායමෙන් දසයෙන් එකක් සභාවට ලබා දෙති. මෙය හැඳින්වෙන්නේ දසයෙන් කොටස ලෙසයි. මෙම මුදල් යොදවන්නේ ලොව පුරා සභාවේ වැඩ කටයුතු කරගෙන යාමටයි.
දසයෙන් කොටස යනු කුමක්ද?
දෙවියන්වහන්සේගේ එක් ආඥාවක් වන්නේ, අපගේ ආදායමෙන් දසයෙන් එකක් වන දසයෙන් කොටස උන්වහන්සේගේ සභාවට ගෙවීමයි. අපි දසයෙන් කොටස ගෙවන විට, අපගේ ආශිර්වාද සඳහා අපි දෙවියන්වහන්සේට අපගේ කෘතඥතාව පෙන්වන්නෙමු. අපි ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන බවත්, සෑම දෙයකදීම උන්වහන්සේට කීකරු වීමට අපි කැමැත්තෙන් සිටින බවත් අපි මෙයින් පෙන්වන්නෙමු.
මෙල්කිසෙදෙක්—ගබඩාවේ පාලකයා, ක්ලාක් කෙලී ප්‍රයිස් විසිනි
පරණ ගිවිසුමේ ඉගැන්වීම්
පරණ ගිවිසුමේ කාලයේ සිට දෙවියන්වහන්සේගේ සෙනඟ දසයෙන් කොටස ගෙවා ඇත. උදාහරණයක් ලෙස, ආබ්‍රහම් දසයෙන් කොටස ගෙවීය (බලන්න උත්පත්ති 14:18–20). දසයෙන් කොටස දීමේ නීතිය මෝසෙස් සහ මලාකි ඇතුළු පුරාණ අනාගතවක්තෘවරුන් විසින් ද උගන්වා ඇත (බලන්න ලෙවී කථාව 27:30–34; නෙහෙමියා 10:35–37; මලාකි 3:10).
දසයෙන් කොටසේ නීතිය නැවත පිහිටුවීම
1838 දී අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් සභාවේ සාමාජිකයන් දසයෙන් කොටස ගෙවිය යුත්තේ කෙසේදැයි ස්වාමින්වහන්සේගෙන් විමසීය. ස්වාමින්වහන්සේගේ පිළිතුර දහම සහ ගිවිසුම් 119 හි සටහන් කර ඇත, එහි පවසන්නේ සාමාජිකයන් ඔවුන්ගේ ලාභයෙන් දහයෙන්-එකක් සභාවට දිය යුතු බවයි (බලන්න 4 වන පදය). සභාවේ නායකයන් උගන්වා ඇත්තේ “ලාභය” යනු ආදායම බවයි.
ඡායාරූපය ජේමි ඩේල් ජොන්සන් විසින්
දසයෙන් කොටස ගෙවන ආකාරය
donations.ChurchofJesusChrist.org හි මාර්ගගත පරිත්‍යාග පෝරමය පිරවීමෙන් අපට දසයෙන් කොටස ගෙවිය හැකිය. එසේත් නැතිනම් අපට කඩදාසි පෝරමයක් පුරවා සභානායකවරයා හෝ ශාඛාවේ සභාපතිවරයෙකුට මුදල් ලබා දිය හැකිය. සියලුම මුදල් සභාවේ මූලස්ථානයට යවනු ලබන අතර, එහිදී සභා නායකයින් (පළමු සභාපතිත්වය, ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය සහ මුලසුන දරන සභානායකත්වය) එය භාවිතා කරන්නේ කෙසේදැයි යාච්ඤා පූර්වකව තීරණය කරයි.
ආශිර්වාද
දසයෙන් කොටස ගෙවන අයට ලෞකික හා අධ්‍යාත්මික වශයෙන් ආශිර්වාද ලැබෙන බවට ස්වාමින්වහන්සේ පොරොන්දු වී ඇත. දසයෙන් කොටස දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට උන්වහන්සේ ගැන ඉගෙනගැනීමට සහ ශුභාරංචිය තුළ වර්ධනය වීමට අවස්ථාව ලබා දෙයි.
දසයෙන් කොටසේ අරමුදල් භාවිතා කරන ආකාරය
ලොව පුරා ස්වාමින්වහන්සේගේ සභාව ගොඩනැගීමට දසයෙන් කොටසේ මුදල් භාවිතා කරයි. මෙයට දේවමාළිගා සහ අනෙකුත් සභා ව්‍යුහයන් තැනීම, ශුද්ධලියවිලි සහ වෙනත් ද්‍රව්‍ය මුද්‍රණය කිරීම, සභාවට අයත් පාසල්වලට අරමුදල් සැපයීම සහ පවුල් ඉතිහාසය සහ ධර්මදූත කටයුතු සඳහා උපකාර කිරීම ඇතුළත් වේ.
දසයෙන් කොටස ප්‍රකාශනය
වසරකට වරක්, සභාවේ සාමාජිකයන් ඔවුන්ගේ සභානායකවරයා (හෝ ශාඛාවේ සභාපති) මුණගැසෙන්නේ ඔවුන් සම්පූර්ණ දසයෙන් කොටස ගෙවන්නන්දැයි ඔහුට පැවසීමටය.
දසයෙන් කොටසින් ගෙවනු ලබන දේ
ඕක්ලන්ඩ් කැලිෆෝනියා දේවමාළිගාවේ ඡායාරූපය ලෝන්ගින් ලොන්ක්සයිනා කනිශ්ඨ විසිනි.
© 2022 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Liahona Message, December 2022 හි පරිවර්තනයකි. Sinhala. 18318 408