“ජීවමාන අනාගතවක්තෘවරුන් විසින් මෙහෙයවනු ලැබේ,” ලියහෝනා, 2022 සැප්.
මාසික ලියහෝනා පණිවිඩය, 2022 සැප්තැම්බර්
ජීවමාන අනාගතවක්තෘවරුන් විසින් මෙහෙයවනු ලැබේ
අනාගතවක්තෘවරුන් යනු ස්වර්ගික පියාණන් විසින් උන්වහන්සේ වෙනුවෙන් කතා කිරීමට කැඳවනු ලැබූ මිනිසුන් ය. ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන අතර උන්වහන්සේගේ ශුභාරංචිය උගන්වති. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් පුරාණ සහ නූතන අනාගතවක්තෘවරුන් කෙරෙහි විශ්වාස කරති.
දෙවියන්වහන්සේ අනාගතවක්තෘවරුන් තුළින් කතා කරයි
අනාගතවක්තෘවරුන්ට දෙවියන්වහන්සේගෙන් එළිදරව් ලැබෙයි. අනාගතවක්තෘවරුන් අපට ඉගැන්වීමට ආනුභාව ලත් විට, එය දෙවියන්වහන්සේ අපට කතා කරනවා හා සමානය (බලන්න දහම සහ ගිවිසුම් 1:38). අප දැනගන්නවාට දෙවියන්වහන්සේ කැමති දේ ඔවුන් අපට පවසන බව අපට විශ්වාස කරන්නට හැකිය.
ටොම් ලොවෙල් විසින්, මොර්මොන් රන් තහඩු සංක්ෂිප්ත කරමින්
අනාගතවක්තෘවරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන උගන්වති
සියලුම අනාගතවක්තෘවරු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරති. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව ඔවුන් අපට උගන්වති. උන්වහන්සේගේ ජීවිතය, ආදර්ශය සහ වන්දිගෙවීම ගැනද ඔවුන් අපට උගන්වති. එමෙන්ම උන්වහන්සේව අනුගමනය කරන ආකාරය සහ උන්වහන්සේගේ ආඥා පිළිපදින ආකාරයද ඔවුන් අපට පෙන්වාදෙති.
අනාගතවක්තෘවරුන්ගේ වගකීම්
අනාගතවක්තෘවරු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය උගන්වති. ආඥා පිළිපැදීමෙන් අපට ලැබෙන ආශිර්වාද සහ එසේ නොකළහොත් අපට ලැබෙන ප්‍රතිවිපාක ඔවුන් පැහැදිලි කරති. සමහර අවස්ථාවලදී, අනාගත සිදුවීම් ගැන අපට පැවසීමටත් ඔවුන් පෙලඹෙන්නට හැකිය.
ජෙරී හාර්ස්ටන් විසින්, Moses and the Tablets [මෝසෙස් සහ පුවරු]
පුරාණ අනාගතවක්තෘවරුන්
දෙවියන්වහන්සේ ආරම්භයේ සිටම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් මිනිසුන්ට උගන්වා ඇත. පරණ ගිවිසුම කාලයේ ජීවත් වූ අනාගතවක්තෘවරුන් අතර ආදම්, නෝවා, ආබ්‍රහම්, මෝසෙස්, යෙසායා සහ තවත් අය සිටිති. මොර්මොන්ගේ පොතේ ජනතාව අතරද අනාගතවක්තෘවරු සිටියෝය. මෙම අනාගතවක්තෘවරුන්ට ලෙහි, මොසායා, ඇල්මා සහ මොරෝනි ඇතුළත් වේ. ශුද්ධලියවිලි කියවීමෙන් ඔවුන් ඉගැන්වූ දේ අපට ඉගෙනගන්නට හැකිය.
නූතන අනාගතවක්තෘවරුන්
ජෝසෆ් ස්මිත් යනු නූතන යුගයේ පළමු අනාගතවක්තෘවරයායි. ඔහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව පොළොවේ නැවත පිහිටෙව්වේය. රසල් එම්. නෙල්සන් යනු අද සභාවේ අනාගතවක්තෘ සහ සභාපතිවරයාය. පළමු සභාපතිත්වයේ ඔහුගේ උපදේශකයින් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාත්, අනාගතවක්තෘවරුන්, අනාගතය දකින්නන් සහ එළිදරව් කරන්නන් වෙති.
අනාගතවක්තෘවරයාට සවන්දීම
අනාගතවක්තෘවරයා ප්‍රධාන සම්මන්ත්‍රණයේදී සහ වෙනත් අවස්ථාවලදී අපට කථා කරයි. අද දින යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන්නේ කෙසේද යන්නත් අප දැනගැනීමට දෙවියන්වහන්සේ කැමති දේත් ඔහු අපට උගන්වයි. අපට ඔහුගේ ඉගැන්වීම් ලියහෝනා සහ ChurchofJesusChrist.org තුළින් සොයාගන්නට හැකිය.
අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීමෙන් ලැබෙන ආශිර්වාද
අපි අනාගතවක්තෘවරයාගේ ඉගැන්වීම් අනුගමනය කරන්නේ නම් අපිට ආශිර්වාද ලැබෙයි. අපි අනාගතවක්තෘවරයාව අනුගමනය කරන විට, අපි කරන්නේ දෙවියන්වහන්සේ කැමති දේ බව අපිට දැනගන්නට හැකිය. අපගේ ජීවිතයට සාමය දැනිය හැකි අතර අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ළං වෙන්නට හැකිය.
© 2022 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Liahona Message, September 2022 හි පරිවර්තනයකි. Sinhala. 18299 408