2022
නිවාස සන්ධ්‍යාව යනු කුමක්ද?
2022 අගෝස්තු


“නිවාස සන්ධ්‍යාව යනු කුමක්ද?” ලියහෝනා, 2022 අගෝ.

මාසික ලියහෝනා පණිවිඩය, 2022 අගෝස්තු

නිවාස සන්ධ්‍යාව යනු කුමක්ද?

මව, පියා, සහ කුඩා දැරිය එළිමහනේ වාඩිවී සිටිමින්

නිවාස සන්ධ්‍යාව යනු ඔබේ පවුලේ අයට එකතුවීම සඳහා සතිය තුළ වෙන්කර ඇති කාලයකි. මෙම කාලය තුළ, ඔබට “ශුභාරංචිය ඉගෙනගැනීමට, සාක්ෂි ශක්තිමත් කිරීමට, එකමුතුකම ගොඩනගා ගැනීමට, සහ එකිනෙකා සමඟ සතුටු වීමට” හැකිය (General Handbook: Serving in The Church of Jesus Christ of Latter-day Saints, 2.2.4, ChurchofJesusChrist.org). නිවාස සන්ධ්‍යාව එක් එක් පවුලට තරමක් වෙනස් විය හැකිය. නමුත් එහි ඉලක්කය වන්නේ එකිනෙකාට සමීප වීමට සහ ගැලවුම්කරුවාණන්ට සමීප වීමට මෙම කාලය භාවිතා කිරීමයි.

සූදානම් වීම

ඔබේ පවුලේ අය කැමති ක්‍රියාකාරකමක් සහ ඔබ එකට සාකච්ඡා කිරීමට සහ ඉගෙනගැනීමට කැමති ශුභාරංචි මාතෘකාවක් ගැන සිතන්න. එසේම, සෑම සතියකම පවුලේ සාමාජිකයින් වැඩි දෙනෙකුට හෝ සියලුමදෙනාට හමුවිය හැකි දිනයක් සහ වේලාවක් තෝරාගන්න. සභාව සාමාජිකයින්ව දිරිමත් කරන්නේ නිවාස සන්ධ්‍යාව සඳුදා රාත්‍රියේ පැවැත්වීමටයි. නමුත් තමුන් සඳහා සුදුසු ඕනෑම වෙලාවක පවුල් වලට හමුවිය හැකියි.

පවුලක් යාච්ඤා කරමින්

යාච්ඤාව

බොහෝ පවුල් යාච්ඤා කිරීමෙන් නිවාස සන්ධ්‍යාව ආරම්භ කර අවසන් කරයි. මෙමගින් ශුද්ධාත්මයාණන්වහන්සේට ඔවුන්ගේ නිවසට ආරාධනා කරයි. කුඩා කණ්ඩායමක් සමඟ යාච්ඤා කිරීමට ඉගෙනගැනීමට දරුවන්ට සහ වැඩිහිටියන්ට නිවාස සන්ධ්‍යාව යනු කදිම අවස්ථාවකි.

සංගීතය

බොහෝ පවුල් ආරම්භක සහ අවසන් ගීතයක්ද ගායනා කරයි. ඔවුන් සාමාන්‍යයෙන් ගීතිකා පොතෙන් හෝ ප්‍රාථමික ගීත පොතෙන් ගීතයක් තෝරාගනිති. සභාවේ ගීතිකා වල පියානෝ පටිගත කිරීම් ChurchofJesusChrist.org හි ඇත. ඔබට දේවමාළිගා චතුරශ්‍රයේ ඇති ටැබර්නකල් ගීතිකා කණ්ඩායමේ වීඩියෝද නැරඹිය හැකිය. නිවාස සන්ධ්‍යාවේ ගායනා කිරීමෙන් සාමාජිකයින්ට සභාවේ ගායනා කරන ගීතිකා ඉගෙනගැනීමට උපකාර වෙයි.

පාඩම

නිවාස සන්ධ්‍යාවට උපකාර කළ හැකි බොහෝ සම්පත් සභාව සතුව ඇත. ලියහෝනා, මිතුරා, හෝ යෞවනයින්ගේ ශක්තිය සඳහා තුළින් ලිපියක් කියවා සාකච්ඡා කිරීමට ඔබට විනාඩි කිහිපයක් ගතකළ හැකිය. මෙය සභාවේ වීඩියෝ නැරඹීමට සහ සාකච්ඡා කිරීමටද අවස්ථාවක් විය හැකිය. නැතිනම් ඔබට ප්‍රධාන සම්මන්ත්‍රණයෙන් කථාවක් කියවීමට, ශුද්ධලියවිලි පද කියවීමට, හෝ එම සතියේ එන්න, මා අනුගමනය කරන්න හි ඇති පාඩම සාකච්ඡා කිරීමට හැකිය.

කැවිලි හදන ළමයි

කැවිලි සාදන දරුවන්ගේ ඡායාරූපය මිචෙල් ලොයිනෙස් විසිනි

පවුලේ සහභාගීත්වය

දරුවන්ට නිවාස සන්ධ්‍යාවට සහභාගීත්වය ලබාදිය හැකිය. ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට, යාච්ඤා කිරීමට, හෝ ගීත තෝරාගැනීමට සහ මෙහෙයවීමට ඔවුන්ට උපකාර කළ හැකිය. ඔවුන්ට පාඩම් පවා ඉගැන්විය හැකිය. නිවාස සන්ධ්‍යාවට පෙර, ඔබට ඔබේ දරුවාට මිතුරා සඟරාවෙන් කතන්දරයක් කියවීමට හෝ ඔවුන්ගේ ප්‍රියතම ශුද්ධලියවිලි කතන්දරය කියවීමට උපකාර කළ හැකිය. එවිට දරුවාට පාඩමක් ලෙස එම කතාව පවුලේ අයට පැවසිය හැකිය. බොහෝ දරුවන් නිවාස සන්ධ්‍යාව සඳහා ශුද්ධලියවිලි කතන්දර රඟපාන්නට කැමැත්තක් දක්වයි. වැඩිහිටි දරුවන්ට පාඩම සැලසුම් කිරීමට හෝ ඔවුන් කියවීමට කැමති ප්‍රධාන සම්මන්ත්‍රණ කථාවක් තෝරාගැනීමට ඉඩදෙන්න. ඉන්පසු ඔවුන්ට සාකච්ඡාව මෙහෙයවන්නට ඉඩදෙන්න.

ක්‍රියාකාරකම්

බොහෝ පවුල් විසින් නිවාස සන්ධ්‍යාවේ කොටසක් ලෙස ක්‍රියාකාරකම් කිරීමෙන් සතුටක් ලබයි. ගෘහස්ථ ක්‍රියාකාරකම් වලට, ක්‍රීඩා කිරීම, අත්කම් නිර්මාණ කිරීම, හෝ එකට ආහාර පිසීම ඇතුළත් විය හැකිය.

එළිමහන් ක්‍රියාකාරකම් සඳහා ඔබට ඇවිදීමට, පවුලේ කඳු නැගීමකට යාමට, හෝ එකට එක්ව එළිමහන් ක්‍රීඩාවක් කිරීමට හැකිය. පවුලේ සියලුම සාමාජිකයින්ට කළ හැකි ක්‍රියාකාරකමක් සොයාගෙන එකට විනෝද වන්න. ආත්මය පලවා හැරිය හැකි තරඟකාරී අවස්ථාවන්ගෙන් වළකින්න.

සේවය

නිවාස සන්ධ්‍යාව යනු පවුලේ අයට අන් අයට සේවය කිරීමට හොඳ අවස්ථාවකි. ඔබට වැඩිහිටි අසල්වැසියන් කිහිපදෙනෙකුට උපකාර කිරීමට, නිවාස නොමැති නවාතැනකට ආහාර සැපයීමට, ධර්මදූතයින්ට ලිවීමට, හෝ කුණු කසළ ඉවත් කිරීමට හැකිය.