“ශුද්ධලියවිලි: දෙවියන්වහන්සේගේ වචනය,” ලියහෝනා, 2022 ජූලි
මාසික ලියහෝනා පණිවිඩය, 2022 ජූලි
ශුද්ධලියවිලි: දෙවියන්වහන්සේගේ වචනය
ජුඩිත් ඒ. මෙර් විසින්, Old Testament Prophet [පරණ ගිවිසුමේ අනාගතවක්තෘවරයෙක්]
ශුද්ධලියවිලි යනු ප්‍රධාන වශයෙන් අනාගතවක්තෘවරුන් විසින් ලියන ලද ශුද්ධ වූ පොත් වේ. ශුද්ධලියවිලි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන අතර උන්වහන්සේගේ ශුභාරංචිය ගැන උගන්වයි. සභාවේ නිල ශුද්ධලියවිලි වන්නේ (පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම ඇතුළත්) බයිබලය, මොර්මොන්ගේ පොත, දහම සහ ගිවිසුම්, සහ අනගි මුතු ඇටයයි.
පරණ ගිවිසුම
පරණ ගිවිසුම යනු පුරාණ කාලයේ දෙවියන්වහන්සේ තම ගිවිසුම්ගත සෙනඟ සමඟ කටයුතු කළ ආකාරය පිළිබඳ වාර්තාවකි. මෝසෙස්, යොෂුවා, යෙසායා, යෙරෙමියා, සහ දානියෙල් වැනි අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් එයට ඇතුළත්ය. එය ලියා ඇත්තේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපතට වසර සිය ගණනකට පෙර වුවද, පරණ ගිවිසුමේ බොහෝ අනාගතවක්තෘවරුන් උන්වහන්සේ ගැන ලිවීය.
අලුත් ගිවිසුම
අලුත් ගිවිසුම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත, ලෞකික ජීවිතය, ඉගැන්වීම්, සහ වන්දිගෙවීම වාර්තා කරයි. ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරුන්ගේ සහ අනෙකුත් ගෝලයන්ගේ ඉගැන්වීම්ද එයට ඇතුළත්ය. වර්තමානයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත් වන්නේ කෙසේද යන්න තේරුම්ගැනීමට අලුත් ගිවිසුම අපට උපකාර කරයි.
මොර්මොන්ගේ පොත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමකි
මොර්මොන්ගේ පොත යනු පුරාණ අමෙරිකාවේ ජීවත් වූ මිනිසුන් කොට්ඨාශයකගේ වාර්තාවකි. එයට අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් ඇතුළත් වන අතර, එහි ප්‍රධාන අරමුණ වන්නේ යේසුස්වහන්සේ යනු ක්‍රිස්තුස් බව සියලු මිනිසුන්ට ඒත්තු ගැන්වීමයි. අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් එය දෙවියන්වහන්සේගේ දීමනාව සහ බලය මගින් රන් තහඩු වලින් පරිවර්තනය කළේය.
ඩැනියෙල් ඒ. ලුවිස් විසින්, Joseph Smith Jr. Receiving Revelation [ජෝසෆ් ස්මිත් කණිෂ්ඨ එළිදරව් ලබමින්]
දහම සහ ගිවිසුම්
ජෝසෆ් ස්මිත්ට සහ අනෙකුත් පසුදවස් වල අනාගතවක්තෘවරුන්ට ලබාදුන් එළිදරව් දහම සහ ගිවිසුම් හි අඩංගු වේ. ක්‍රිස්තුස්වහන්සේගේ සභාව සංවිධානය වී ඇති ආකාරය එහි එළිදරව් මගින් විස්තර කරයි. පූජකවරය, ශුභාරංචියේ නියෝග, සහ මේ ජීවිතයෙන් පසු සිදුවන දේ පිළිබඳ වැදගත් ශුභාරංචි ඉගැන්වීම්ද ඒවායේ අඩංගු වේ.
අනගි මුතු ඇටය
අනගි මුතු ඇටයෙහි මෝසෙස් සහ ආබ්‍රහම්ගේ පොත්, ජෝසෆ් ස්මිත්ගේ සාක්ෂිය, සහ සභාවේ ඇදහිල්ලේ කරුණු ඇතුළත් වේ. අලුත් ගිවිසුමේ ජෝසෆ් ස්මිත්ගේ පරිවර්තනයේ කොටසක් වන ජෝසෆ් ස්මිත්—මතෙව් ද එයට ඇතුළත්ය.
ශුද්ධලියවිලි අධ්‍යනය කිරීම
දිනපතා ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට අනාගතවක්තෘවරුන් අපට උගන්වා ඇත. එසේ කිරීමෙන් අපගේ ඇදහිල්ල වැඩි කරගැනීමටත්, ස්වර්ගීය පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමීප වීමටත් අපට සහය ලැබෙයි. අපි යාච්ඤාවෙන් ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, අපගේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට ශුද්ධාත්මයාණන්වහන්සේ අපට උපකාර කරයි.
නූතන අනාගතවක්තෘවරුන්
වර්තමානයේ අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් කතා කරන විට, ඔවුන්ගේ වචනත් ශුද්ධලියවිලි වලට සමානය. මෙයට එක් උදාහරණයක් වන්නේ ප්‍රධාන සම්මන්ත්‍රණයයි. අපට ලියහෝනා හි මැයි සහ නොවැම්බර් නිකුතු වල සම්මන්ත්‍රණයෙන් ඉගැන්වීම් අධ්‍යයනය කළ හැකිය.
ජෝසෆ් බ්‍රිකී විසින්, Moses Overcomes Satan [මෝසෙස් සාතන්ගෙන් ජයගනී]
© 2022 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly Liahona Message, July 2022 හි පරිවර්තනයකි. Sinhala. 18298 408