2020–2024
උන්වහන්සේගේ වියගහ පහසුය, උන්වහන්සේගේ බරද සැහැල්ලුය
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


10:39

උන්වහන්සේගේ වියගහ පහසුය, උන්වහන්සේගේ බරද සැහැල්ලුය

මේ පොළොවේ සිටින සෑම කෙනෙකුම දෙවියන්වහන්සේගේ දරුවෙකු බවත්, උන්වහන්සේ ඒ හැම කෙනෙක්ටම ප්‍රේම කරන බවත් අපි මතක තබාගමු.

මේ කතාවෙන් කියවෙන්නේ කුරුල්ලන් දඩයම් කරන කැසී නම් ආදරණීය බල්ලෙක් සිටි ජැක් කියලා මිනිසෙක් ගැන. ජැක් කැසී ගැන ආඩම්බර වූ අතර ඇය කෙතරම් දක්ෂ බල්ලෙක්ද යන්න ගැන බොහෝ විට පුරසාරම් දෙඩුවා. මෙය සනාථ කිරීම සඳහා ජැක් කැසීගේ රංගනය නැරඹීමට මිතුරන් කිහිප දෙනෙකුට ආරාධනා කළා. දඩයම් සමාජ ශාලාවට පැමිණීමෙන් පසු ජැක් විසින් එහි ලියාපදිංචි වීම සඳහා ඇතුළට යන අතරතුර, එහෙ මෙහෙ දුවන්න ඉඩදෙමින් ඔහු කැසීව මුදාහැරියා.

ආරම්භ කිරීමට කාලය පැමිණි විට, ජැක් කැසීගේ විස්මිත කුසලතා පෙන්වීමට උත්සුක වුණා. කෙසේවෙතත්, කැසී හැසිරුණේ අමුතු විදිහට. ඇය කලින් සාමාන්‍යයෙන් කැමැත්තෙන් කළ පරිදි ජැක්ගේ කිසිම අණකට කීකරු වුණේ නෑ. ඇයට අවශ්‍ය වූයේ ඔහු අසලම සිටීමට පමණයි.

ජැක් කැසී සමඟ කලකිරීමට හා ලැජ්ජාවට හා කෝපයට පත් වුණා; ඉක්මනින්ම ඔවුන්ට පිටත්ව යා යුතු බව ඔහු යෝජනා කළා. කැසී ට්‍රක් රථයේ පිටුපසටවත් පැන්නේ නෑ, ඒනිසා ජැක් නොඉවසිල්ලෙන් ඇයව ඔසවා කූඩුවට තල්ලු කළා. ගෙදර යන අතරතුර ඔහුගේ බල්ලාගේ හැසිරීම විහිළුවට ලක් කරන විට ඔහු සමඟ සිටි අය සමඟ ඔහු කෝපයට පත් වුණා. කැසී වැරදි ලෙස හැසිරෙන්නේ මන්දැයි ජැක්ට තේරුම් ගන්න පුළුවන් වුණේ නෑ. ඇයව හොඳින් පුහුණු කර තිබුණා, ඒවගේම මීට කලින් ඇගේ සම්පූර්ණ ආශාව වුණේ ඔහුව සතුටු කිරීම හා ඔහුට සේවය කිරීම.

නිවසට පැමිණි පසු, ජැක් සාමාන්‍යයෙන් කළ පරිදි, කැසීට තුවාල, කටු කොහොල් හෝ කිනිතුල්ලන් තිබෙනවාදැයි පරීක්ෂා කිරීමට පටන් ගත්තා. ඔහු ඇයගේ පපුව මත අත තැබූ විට, ඔහුට තෙත් දෙයක් දැනුණු අතර ඔහුගේ අත ලේවලින් වැසී තිබුණා. ඔහුගේ ලැජ්ජාවටත් භීතියටත් හේතුව කැසීගේ පපුවේ අස්ථියේ දිග පළල තුවාලයක් බව ඔහු සොයා ගත්තා. ඇගේ අස්ථිය දක්වාම දකුණු ඉදිරිපස කකුලේත්, ඒවගේම තුවාලයක් ඔහු සොයාගත්තා.

ජැක් කැසීව තම තුරුලට ගෙන හඬන්නට වුණා. ඔහු වැරදි ලෙස විනිශ්චය කර ඇයට සැලකූ ආකාරය ගැන ඔහුගේ ලැජ්ජාව අතිමහත් වුණා. කැසී කලින් අසාමාන්‍ය ලෙස හැසිරී තිබෙන්නේ ඇය තුවාල වී සිටි නිසයි. ඇගේ හැසිරීමට ඇගේ වේදනාව, දුක් විඳීම සහ ඇගේ තුවාල බලපා තිබුණා. ජැක්ට කීකරු වීමට ආශාවක් නොමැතිකම හෝ ඔහු කෙරෙහි ආදරයක් නොමැතිකම සමඟ එයට කිසිඳු සම්බන්ධයක් තිබුණේ නෑ.1

මේ කතාව මම ඇහුවේ මීට අවුරුදු ගාණකට කලින් ඒත් මට ඒක කවදාවත් අමතක වුණේ නෑ. තුවාල ලත් කී දෙනෙක් අපි අතර ඉන්නවාද? අන්‍යයන්ගේ බාහිර පෙනුම සහ ක්‍රියාවන්, හෝ ක්‍රියාවන් මදිකම මත පදනම්ව අපි කොපමණ වාරයක් ඔවුන්ව විනිශ්චය කරනවාද, අපි සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නවා නම්, අපගේ විනිශ්චය සමඟ ඔවුන්ගේ බර වැඩි කරනවා වෙනුවට අනුකම්පාවෙන් සහ උපකාර කිරීමට ඇති ආශාවෙන් අපි ප්‍රතිචාර දක්වනවා නේද?

මගේ ජීවිතයේ බොහෝ වාර ගණනක් මම මේ සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වෙලා තියෙනවා, නමුත් පෞද්ගලික අත්දැකීම් තුළින් සහ තවත් බොහෝ අයගේ ජීවිත අත්දැකීම්වලට සවන් දීමෙන් ස්වාමින්වහන්සේ ඉතා ඉවසීමෙන් යුතුව මට මේ ගැන උගන්වා තියෙනවා. අපගේ ආදරණීය ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය සම්පුර්ණයෙන්ම අගය කරන්න මම යොමුවෙලා තියෙනවා, මොකද උන්වහන්සේ උන්වහන්සේගේ කාලයෙන් බොහෝ කොටසක් වැය කළේ අනෙක් අයට ප්‍රේමයෙන් යුතුව දේවසේවය කරන්නයි.

මගේ බාල දියණියගේ ජීවිත අත්දැකීමට ඇය කුඩා දැරියක වූ කාලයේ සිටම මානසික සෞඛ්‍ය අභියෝග ඇතුළත් වුණා. ඇයගේ ජීවිත කාලය පුරාවටම ඇයට ඉදිරියට යා නොහැකි යැයි හැඟුණු අවස්ථා බොහෝයි. එම අවස්ථා වලදී ඇය සමඟ වාඩි වී සිටිමින්; ඇයට සවන් දෙමින්; ඇය සමඟ හඬමින්; ඒවගේම අද්විතීය ත්‍යාග, අධ්‍යාත්මික අවබෝධය සහ ප්‍රේමයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇය සමඟ බෙදාගනිමින්, එහි සිටි ලෞකික දේවදූතයන්ට අපි සදහටම කෘතඥ වෙනවා. එවැනි ආදරණීය තත්වයන් තුළ, බොහෝ විට දෙපැත්තෙන්ම ඒ බර ඉවත් කරලා තියෙනවා.

වැඩිහිටි ජෝසෆ් බී. වර්ත්ලින්, 1 කොරින්ති උපුටා දක්වමින්, මෙහෙම කිව්වා “මම මිනිසුන්ගේ සහ දේවදූතයන්ගේ භාෂාවලින් කතා කළත්, මට පිවිතුරු ප්‍රේමය නැතිනම්, මම ශබ්ද කරන පිත්තල හෝ ගිගුරුම් දෙන අත්තාලයක් මෙන් වන්නෙමි.”2

ඔහු තවදුරටත් මෙසේ කිව්වා:

“මෙම නව ශුද්ධවන්තයින් සමූහයට පාවුල්ගේ පණිවිඩය සරල සහ සෘජු යි: ඔබට පිවිතුරු ප්‍රේමය නොමැති නම් ඔබ කරන කිසිවක් විශාල වෙනසක් කරන්නේ නෑ. ඔබට අන්‍ය භාෂාවෙන් කථා කරන්න පුළුවන්, අනාවැකි කීමේ දීමනාව තිබෙන්න පුළුවන්, සියලු අභිරහස් තේරුම් ගන්න පුළුවන්, … ඒවගේම සියලු දැනුම තියෙන්න පුළුවන්; ඔබට කඳු චලනය කිරීමට තරම් ඇදහිල්ලක් තිබුණත්, පිවිතුරු ප්‍රේමයෙන් තොරව එය ඔබට කිසිසේත් ප්‍රයෝජනයක් වන්නේ නෑ.

“‘සැබෑ ප්‍රේමය යනු ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමයයි” (මොරෝනි 7:47). ගැලවුම්කරුවාණන් එම ප්‍රේමය නිදර්ශනය කළා.”3

යොහාන්ගේ පොතේ අපි මෙහෙම කියවනවා, “ඔබ සැම එකිනෙකාට ප්‍රේම කරනවා නම්, ඔබ සැම මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.”4

පිවිතුරු ප්‍රේමය, සමගිය, ආදරය, කරුණාව, දයානුකම්පාව, සමාව දීම සහ දයාව පිළිබඳ අපගේ සභාවේ නායකයන් බොහෝ කතා ඉදිරිපත් කරලා තියෙනවා. ගැලවුම්කරුවාණන් අපට ආරාධනා කරන්නේ වඩා උසස්, පරිශුද්ධ මාර්ගයක ජීවත් වීමට බව මම විශ්වාස කරනවා4උන්වහන්සේගේ ප්‍රේමයේ ආකාරය අනුව, ඔවුන් සැබවින්ම අයිති සහ අවශ්‍ය බව සැමට දැනෙන්නට ඉඩ සලස්වනවා.

අපට ආඥා කර ඇත්තේ අන් අයට ප්‍රේම කිරීමට6 මිස ඔවුන්ව විනිශ්චය කිරීමට නොවේ.7 අපි ඒ බර පසෙකින් තබමු; එය ඔසවාගෙන යා යුතු අපේ දෙයක් නොවේ.8 ඒ වෙනුවට, අපට ගැලවුම්කරුවාණන්ගේ ආදරය සහ දයාව නමැති වියගහ අපේ අතට ගන්න පුළුවන්.

“වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි”.

“මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා; …

“මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.”9

ගැලවුම්කරුවාණන් පාපය අනුමත නොකරන නමුත් අපි පසුතැවිලි වන විට උන්වහන්සේ තම ආදරය සහ සමාව අප වෙත දිගු කරනවා. කාමමිථ්‍යාචාරයේ යෙදී සිට හසුවූ ස්ත්‍රියට උන්වහන්සේ මෙසේ පැවසුවා, “මමත් ඔබව හෙළා නොදකිමි: යන්න, තවත් පව් නොකරන්න.”10 උන්වහන්සේ ස්පර්ශ කළ අයට උන්වහන්සේගේ ප්‍රේමය දැනුණු අතර එම ප්‍රේමය ඔවුන්ව සුවපත් කර පරිවර්තනය කළා. උන්වහන්සේගේ ප්‍රේමය ඔවුන්ගේ ජීවිත වෙනස් කරගැනීමට අවශ්‍යතාවයකින් ඔවුන්ව පෙළඹුවා. උන්වහන්සේගේ මාර්ගයෙහි ජීවත්වීම ප්‍රීතිය හා සාමය ගෙන දෙනවා, ඒවගේම මෘදුකමින්, කරුණාවෙන් හා ප්‍රේමයෙන් යුතුව ජීවත්වීමට උන්වහන්සේ අන් අයට ආරාධනා කළා.

වැඩිහිටි ගැරී ඊ. ස්ටීවන්සන් මෙසේ කිව්වා: “අපි ජීවිතයේ සුළඟ හා වැසි කුණාටු, අසනීප හා පීඩාවන් වලට මුහුණදෙන විට, අපගේ එඬේරා, අපගේ රැකබලාගන්නා වන ස්වාමින්වහන්සේ—අපව ප්‍රේමයෙන් හා කරුණාවෙන් පෝෂණය කරනවා. උන්වහන්සේ අපගේ හදවත් සුවකර අපගේ ආත්මයන් යථා තත්වයට පත්කරනවා.”11 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් අපිත් එසේ කළ යුතුයි නේද?

ගැලවුම්කරුවාණන්ගෙන් ඉගෙනගෙන12 උන්වහන්සේ කරනවා අප දුටු දේවල් කරන ලෙස13 උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ පිවිතුරු ප්‍රේමයේ ප්‍රතිමූර්තියයි. රාජකාරියෙන් හෝ අපට ලැබිය හැකි ආශිර්වාද සඳහා නොවේ, නමුත් උන්වහන්සේට සහ අපගේ ස්වර්ගික පියාණන්ට13 ඇති ප්‍රේමයෙන්—අපි උන්වහන්සේ අපෙන් ඉල්ලන දේ කිරීමට ක්‍රමානුකූලව ඉගෙන ගන්නා විට—උන්වහන්සේගේ ප්‍රේමය අප තුළින් ගලා යන අතර උන්වහන්සේ ඉල්ලන සියල්ල පමණක් ඉටු කරනවා පමණක් නොවේ, නමුත් ඒවා අවසානයේ අපට සිතාගත නොහැකි තරම් පහසු සහ සැහැල්ලු15 සහ ප්‍රීතිමත් වෙනවා. එයට පුහුණුව අවශ්‍යයි; එයට මට ගතවූවා මෙන් වසර ගණනාවක් ගත වෙන්න පුළුවන්, නමුත් ආදරය අපගේ අභිප්‍රේරණ බලවේගය කරගැනීමට ඇති අපේ කැමැත්ත නිසා, උන්වහන්සේට එම ආශාව, එම බීජය අරගෙන16 අවසානයේ එය මිහිරි පලතුරු වලින් පිරුණු ලස්සන ගසක් බවට පත් කරන්නට පුළුවන්.17

අපි අපේ ආදරණීය ගීතිකාවක මෙසේ ගායනා කරනවා: “මමත් අසම්පූර්ණ ලෙස ඇවිද යද්දී, තව කෙනෙක් විනිශ්චය කිරීමට තරම් මම කවුද? හදවත තුළ සැඟවුණු ශෝකය නොදකී අන් අයගේ දෙනෙත්.”18 අප අතර සැඟවුණු ශෝකය තියෙන්නේ කාටද? කැරලිකාර ලෙස පෙනෙන යෞවනයා, දික්කසාද වූ පවුලක දරුවන්, තනි මවක් හෝ පියෙක්, ශාරීරික හෝ මානසික සෞඛ්‍ය අභියෝග ඇති අය, ඔවුන්ගේ ඇදහිල්ල ප්‍රශ්න කරන අය, වාර්ගික සුළුතරය හෝ සංස්කෘතික බාධාවන් අත්විඳින අය, තනිකම දැනෙන අය, විවාහ වීමට කැමැත්තෙන් සිටින අය, අනවශ්‍ය ඇබ්බැහිවීම් ඇති අය, සහ තවත් විවිධාකාර අභියෝගාත්මක ජීවන අත්දැකීම් සමඟ කටයුතු කරන බොහෝ අය—බොහෝ විට ඔවුන්ගේ ජීවිත මතුපිටින් පරිපූර්ණ ලෙස පෙනෙන අය තුළ පවා එය තියෙන්න පුළුවන්.

අපෙන් කිසිවෙකුට පරිපූර්ණ ජීවිතයක් හෝ පරිපූර්ණ පවුල් නෑ; මට අනිවාර්යයෙන්ම එහෙම නැහැ. අභියෝග සහ අසම්පූර්ණකම් අත්විඳින අන් අය සමඟත් සංවේදනය කිරීමට අප උත්සාහ කරන විට, ඔවුන්ගේ අරගලවලදී ඔවුන් තනි වී නැති බව ඔවුන්ට දැනෙන්නට එය උදව් වෙන්න පුළුවන්. තමන් සැබවින්ම අයිති බවත්, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයට ඔවුන්ව අවශ්‍ය බවත් සෑම කෙනෙකුටම දැනිය යුතුයි.19 සාතන්ගේ මහත් ආශාව තමයි දෙවියන්වහන්සේගේ දරුවන් බෙදීම, ඒවගේම ඔහු ඉතා සාර්ථක වී තිබෙනවා, නමුත් සමගිය තුළ එවැනි බලයක් තිබෙනවා.20 මෙම අභියෝගාත්මක ලෞකික ගමනේදී අප එකිනෙකා සමඟ අත්වැල් බැඳගෙන ගමන් කිරීම කෙතරම් අවශ්‍යද!

අපේ අනාගතවක්තෘවරයා, සභාපති රසල් එම්. නෙල්සන් මෙහෙම කිව්වා: “ජාතිය, වර්ගය, ලිංගික දිශානතිය, ස්ත්‍රී පුරුෂභාවය, අධ්‍යාපනික උපාධි, සංස්කෘතිය හෝ අනෙකුත් වෙන්කර හඳුනාගැනීම් නිසා සිදුකරන ඕනෑම අපයෝජනයක් හෝ අගතියක්, අපගේ මැවුම්කරුවාණන්ව අමනාප කරනවා! එවැනි අයහපත් සැලකිලි අපව උන්වහන්සේගේ ගිවිසුමේ දූ පුතුන් ලෙස අපගේ තත්වයට පහළින් ජීවත් වීමට හේතුවක් වෙනවා!”21

ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ වෙත ආපසු ගෙන යන ගිවිසුම් මාවතට ඇතුළු වී එහි රැඳී සිටින ලෙස සභාපති නෙල්සන් සියලු දෙනාටම ආරාධනා කර ඇති අතර, ඔහු පහත උපදෙස් ද ලබා දී තිබෙනවා: “මිතුරන් සහ පවුලේ අය … සභාවෙන් ඉවත්ව යනවා නම්, ඔවුන්ට දිගටම ආදරය කරන්න. ඇදහිලිවන්තව සිටීම ගැන ඔබ විවේචනය ලක්වීමට සුදුසු නොවෙනවා සේම අනෙක් කෙනෙකුගේ තේරීම් විනිශ්චය කිරීම ඔබට සුදුසු වන්නේ නෑ.”22

මිතුරනි, මේ පොළොවේ සිටින සෑම කෙනෙකුම දෙවියන්වහන්සේගේ දරුවෙකු බවත්23, උන්වහන්සේ ඒ හැම කෙනෙක්ටම ප්‍රේම කරන බවත් අපි මතක තබාගමු.24 විනිශ්චය කිරීමට ඔබ පෙළඹුණු පුද්ගලයින් ඔබේ මාවතේ ඉන්නවාද? එසේ නම්, ගැලවුම්කරුවාණන් ප්‍රේම කරන ලෙස ප්‍රේම කිරීමට පුරුදු වීමට අපට මේවා වටිනා අවස්ථා බව මතක තබාගන්න.25 අප උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරන විට, අපට උන්වහන්සේ සමඟ බැඳී සිටිය හැකි අතර අපගේ පියාණන්වහන්සේගේ සියලු දරුවන්ගේ හදවත් තුළ ප්‍රේමයේ සහ අයිතිවීමේ හැඟීමක් ඇති කිරීමට අපට උදව් වෙන්න පුළුවන්.

“උන්වහන්සේ මුලින්ම අපට ආදරය කළ නිසා, අපි උන්වහන්සේට ආදරෙයි.”26 අප ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමයෙන් පිරී සිටින විට, උන්වහන්සේගේ වියගහ සැබවින්ම පහසු වෙන්න පුළුවන්, ඒවගේම උන්වහන්සේගේ බර සැහැල්ලු ලෙස දැනෙන්න පුළුවන්.27 මේ ගැන මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. බලන්න Jack R. Christianson, Healing the Wounded Soul (2008), 27.

  2. 1 කොරින්ති 13:1; මොරෝනි 7:44–48.

  3. රසල් එම්. නෙල්සන්, “දෙවන උතුම් ආඥාව,” ලියහෝනා, නොවැ. 2007, 28.

  4. යොහාන් 13:35, අවධාරණය කිරීම් සහිතයි; තවත් බලන්න 34 පදය.

  5. බලන්න රසල් එම්. නෙල්සන්, “ආරම්භක පණිවිඩය,” ලියහෝනා, නොවැ. 2018, 6–8.

  6. බලන්න මතෙව් 22:36–40; යොහාන් 13:34–35.

  7. බලන්න මතෙව් 7:1–4; Dieter F. Uchtdorf, “The Merciful Obtain Mercy,” Liahona, May 2012, 70–77; තවත් බලන්න රොබර්ට් සී. ගේ, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප මත ගැනීම,” ලියහෝනා, නොවැ. 2018, 97–100.

  8. මෙයට ව්‍යතිරේකයක් ලෙස සභානායකවරුන් සහ ස්ටේක සභාපතිවරුන් ඇතුළත් වේ. “සෑම සභානායකවරයෙකුම සහ ස්ටේක සභාපතිවරයෙකුම ‘ඊශ්‍රායෙලයේ විනිශ්චයකරුවෙකි’ (දහම සහ ගිවිසුම් 107:72). මෙම අධිකාරිය මගින් ඔවුන් පාපය ගැන පසුතැවිලි වී පාපයට සමාව දෙන ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට සාමාජිකයින්ට උපකාර කරයි (බලන්න 32.1 සහ 32.3)” (General Handbook: Serving in The Church of Jesus Christ of Latter-day Saints, 31.1.7, ChurchofJesusChrist.org).

  9. මතෙව් 11:28–30; අවධාරණය කිරීම් සහිතයි.

  10. යොහාන් 8:11, අවධාරණය කිරීම් සහිතයි; තවත් බලන්න 3–10 පද.

  11. Gary E. Stevenson, “Hearts Knit Together,” Liahona, May 2021, 23.

  12. බලන්න මතෙව් 11:29.

  13. බලන්න 3 නෙපි 27:21–22.

  14. බලන්න මතෙව් 22:37–39.

  15. බලන්න මොසායා 24:15.

  16. බලන්න ඇල්මා 32:27.

  17. බලන්න ඇල්මා 32:41.

  18. “Lord, I Would Follow Thee,” Hymns, no. 220.

  19. බලන්න 1 කොරින්ති 12:12–27; තවත් බලන්න Jeffrey R. Holland, “Songs Sung and Unsung,” Liahona, May 2017, 49–51.

  20. බලන්න ශැරන් ඉයුබැන්ක්, “හැඟීම් ඒකාබද්ධ කිරීමෙන් අපි දෙවියන්වහන්සේ සමඟ බලය ලබාගන්නෙමු,” ලියහෝනා, නොවැ. 2020, 55–57; තවත් බලන්න ඩේල් ජී. රෙන්ලන්ඩ්, “ක්‍රිස්තුස්වහන්සේගේ සාමය සතුරුකම අහෝසි කරයි,” ලියහෝනා, නොවැ. 2021, 83–86; Sharon Eubank, “Turning Enemies into Friends” (Brigham Young University devotional, Jan. 23, 2018), speeches.byu.edu.

  21. Russell M. Nelson, “Choices for Eternity” (worldwide devotional for young adults, May 15, 2022), broadcasts.ChurchofJesusChrist.org.

  22. Russell M. Nelson, “Choices for Eternity,” broadcasts.ChurchofJesusChrist.org.

  23. බලන්න රෝම 8:16.

  24. බලන්න යෙසායා 49:16; රෝම 8:35, 38–39.

  25. බලන්න ලූක් 6:31–38.

  26. 1 යොහාන් 4:19. “අපි කතා කරන්නේ මිනිස් පවුලට දුන් පළමු ශ්‍රේෂ්ඨතම ආඥාව ගැනයි—එනම් වෙන්කිරීමකින් හෝ සම්මුතියකින් තොරව, එනම් අපේ මුළු හදවතින්, බලයෙන්, මනසින් සහ ශක්තියෙන් දෙවියන්වහන්සේට පූර්ණ කැපවීමෙන් ප්‍රේම කිරීමයි. දෙවියන්වහන්සේ කෙරෙහි ඇති මේ ප්‍රේමය විශ්වයේ ඇති පළමු ශ්‍රේෂ්ඨ ආඥාවයි. නමුත් විශ්වයේ ඇති පළමු ශ්‍රේෂ්ඨ සත්‍යය තමයි—දෙවියන්වහන්සේ අපට උන්වහන්සේගේ මුළු හදවතින්, බලයෙන්, මනසින්, හා ශක්තියෙන්, පූර්ණ කැපවීමෙන්, වෙන්වීමක් හෝ සම්මුතියක් නොමැතිව ප්‍රේම කරන බව.” (ජෙෆ්‍රි ආර්. හොලන්ඩ්, “උතුම්ම වස්තුව,” ලියහෝනා, නොවැ. 2021, 9).

  27. බලන්න මතෙව් 11:28–30.