2020
දේවමාළිගා සේවය හරහා දේවසේවය සිදුකිරීම
2020 මාර්තු


දේවසේවා මූලධර්ම, 2020 මාර්තු

දේවමාළිගා සේවය හරහා දේවසේවය සිදුකිරීම

දේවමාළිගාවේ ආශිර්වාද භුක්තිවිඳීමට අප අන් අයට උදව් කරන විට, අපි දේවසේවය සිදුකරමු.

ministering

පසුබිම ගෙටි රූප වලිනි; ටෙගුසිගල්පා හොන්ඩුරාස් දේවමාළිගාවෙහි ඡායාරූපය

දේවමාළිගාවට යාමේ උත්සාහය වටිනා එකකි. සභාපති රසල් එම්. නෙල්සන් ඉගැන්වූයේ “අපගේ ගැලවීම සහ උත්කර්ෂය සඳහාත් අපගේ පවුල් වලටත් දේවමාළිගාව ඉතා වැදගත් බවය. …

“… අප එකිනෙකාට ස්වාමින්වහන්සේගේ නිවහන තුළ පමණක් ලබාගත හැකි අඛණ්ඩ අධ්‍යාත්මික බැඳීම සහ ඉගැන්වීම අවශ්‍ය වේ.”1

දේවමාළිගාවට පැමිණීමට අපගේ කාලය, වගකීම් සහ සම්පත් කළමනාකරණය කිරීම මෙන්ම අධ්‍යාත්මිකව සූදානම්වීමද අවශ්‍ය වේ. අපගේ සහෝදර සහෝදරියන් දේවමාළිගාවෙන් ඈත්කර තැබීමට ඇති බාධක හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීමේදී අපි දේවසේවය සිදුකරන්නෙමු.

දේවමාළිගාව ඕනෑම කෙනෙකුට භුක්තිවිඳිය හැකි ආශිර්වාදයකි

මෑතකදී ආපසු පැමිණි ධර්මදූතයෙකු වූ, මෙග්, කෝනා හවායි දේවමාළිගාවෙහි දොරටු දෙසට ඇවිද යමින් සිටියදී තරුණියක් පිටත බංකුවක වාඩිවී සිටිනු දුටුවාය. ඇය තරුණියට කතා කළයුතු යැයි මෙග්ට හැඟුණි, නමුත් ඇයට කුමක් කිව කිවයුතුදැයි විශ්වාසයක් නොවීය. එබැවින් ඇය තරුණියගේ වළලුකර තිබූ පච්චයක තේරුම ගැන විමසුවාය. එය සංවාදයක් ආරම්භ කළ අතර, ලානි නම් වූ එම තරුණියට ඇගේ කථාව බෙදාගැනීමට අවස්ථාව ලබාදුන්නාය.

සභාවට නැවත පූර්ණ සහභාගීත්වයක් ලබාගැනීම සඳහා වූ ඇගේ අරගලය, ඇයට උදව් කළ යහපත් සාමාජිකයන් සහ කවදා හෝ ඇගේ ළදරු දියණිය සමග මරණින් මතු සදාකාලික එක්වීමේ බලාපොරොත්තුව ගැන ලානි මෙග්ට පැවසුවාය.

ඇය සමග දේවමාළිගා විවේක කාමරයේ වාඩිවී සිටින ලෙස මෙග් ලානිට ආරාධනා කළාය. ඔවුන්ට තවදුරටත් දේවමාළිගාවට යාමට නොහැකිවනු ඇත, නමුත් ඔවුන්ට එළිපත්ත තරණය කිරීමට හැකිවනු ඇත. ලානි ඊට එකඟ වූ අතර, ඔවුන් ප්‍රධාන දොරටු හරහා එක්ව ගමන් කළේය. දේවමාළිගා සේවකයෙක් ගැළවුම්කරුවාණන්ගේ සිතුවමක් යට බංකුවකට ඔවුන්ට මගපෙන්වීය.

ඔවුන් එකට වාඩිවී සිටින විට, ලානි රහසින්, “මට අද සැබවින්ම දේවමාළිගාවට එන්න ඕන වුණා, නමුත් මම භය වුණා” යැයි පැවසීය. මෙග් ආත්මයාණන් අනුගමනය කළ නිසා, ඇය ලානිගේ නිහඬ යාච්ඤාවට පිළිතුරු දීමට උදව් කළාය.

නිර්දේශයක් නොමැති අයට උපකාර කිරීමට අදහස්

දේවමාළිගාවක් තවම නිර්දේශ කර නොමැති අයට පවා දේවමාළිගාවෙන් ආශිර්වාද ලබාගත හැකිය.

  • දේවමාළිගාවේ වැඩ හරහා ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කර ඇති ආකාරය පිළිබඳ ඔබේ හැඟීම් බෙදාගන්න.

  • දේවමාළිගා විවෘත නිවහනකට හෝ අමුත්තන්ගේ මධ්‍යස්ථානයකට සහභාගීවීමට යමෙකුට ආරාධනා කරන්න. temples.ChurchofJesusChrist.org හි ඉදිරියේදී එන විවෘත නිවහන් සොයන්න.

  • temples.ChurchofJesusChrist.org හි ඡායාරූප බලන්න සහ දේවමාළිගා ගැන තවත් දේවල් දැනගන්න.

දේවමාළිගාවට පැමිණීම අන් අයට පහසු කරන්න

නිර්දේශිත දේවමාළිගාවක් ඇති සාමාජිකයින්ට පවා, දේවමාළිගාවට පැමිණීම අභියෝගයක් විය හැකිය. සමහරුන්ට බොහෝ දුර ගමන්කිරීමට අවශ්‍ය විය හැකිය. තවත් සමහරුන්ට රැකවරණය අවශ්‍ය කුඩා දරුවන් හෝ වයස්ගත පවුලේ සාමාජිකයන් සිටිය හැකිය. සෑම කෙනෙකුටම හැකිතාක් දේවමාළිගා සේවය ලබාදීම සඳහා අපට එකට වැඩ කළ හැකිය.

රෝගාතුර වූ තම ස්වාමිපුරුෂයා සහ දරුවන් සිව්දෙනා රැකබලාගැනීමෙන් ලියෝලා චැන්ඩ්ලර් අධෛර්යයට පත්විය. එබැවින් සෑම අඟහරුවාදාවකම අසල පිහිටි දේවමාළිගාවකට යාමට කාලය වෙන්කිරීමට ඇය තීරණය කළාය. එය ඇගේ ජීවිතයේ සාමයේ සහ බලයේ ප්‍රභවයක් බවට පත්විය.

දිනක් ඇගේ කොට්ඨාශයේ සිටි වැඩිහිටි සහෝදරියන් කිහිපදෙනෙකුට දේවමාළිගාවට පැමිණීමට දැඩි ආශාවක් ඇති බව ඇයට දැනගන්නට ලැබුණ අතර ඔවුන්ට ප්‍රවාහන පහසුකම් නොතිබුණි. ලියෝලා ඔවුන්ව කැඳවාගෙන යාමට ඉදිරිපත් විය. ඊළඟ වසර 40 තුළ, ඇය තනිවම දේවමාළිගාවට ගියේ කලාතුරකිනි.2

ලියෝලාට ආශිර්වාද ලැබුණු අතර, ඇය සමග දේවමාළිගාවට රැගෙන යාමට ඉදිරිපත්වූ විට ඇය අන් අයට ආශිර්වාද කළාය.

දේවමාළිගාවට පැමිණීමට අන් අයට උපකාර කිරීමේ අදහස්

දේවමාළිගාවට නිතර නිතර යාමට අන් අයට උදව් කරන්නේ කෙසේද? එම අදහස් ඔබටත් උපකාරී වන බව ඔබට පෙනී යා හැකිය.

  • එකට යන්න. යමෙකු සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට හෝ සංවිධානය කිරීමට ඉදිරිපත්වන්න. දේවමාළිගාවට යාමට වෙනත් කෙනෙකුවද එය දිරිගැන්විය හැකිය.

  • විශේෂයෙන් ඔබට පවුල් නාම රාශියක් නියෝග සඳහා සූදානම් කරඇති විට, මුතුන් මිත්තන් සඳහා නියෝග ඉටුකිරීමට ඔබට උදව් කිරීමට ඔබේ පවුලේ හෝ කොට්ඨාශයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්න.

  • දෙමව්පියන්ට දේවමාළිගාවට යාමට හැකිවන ලෙස ඔවුන්ගේ දරුවන් රැකබලා ගැනීමට ඉල්ලන්න. නැතහොත් එකිනෙකාගේ දරුවන් මාරුවෙන් මාරුවට බලාගැනීමට කටයුතු කරන්න.

දේවමාළිගාව දුරින් ඇති විට

ශ්‍රී ලංකාවේ, කොළඹ, චන්ද්‍රදාස් “රොෂාන්” සහ ෂෙරොන් ඇන්ටනි දේවමාළිගාවෙහිදී මරණින් මතු සදාකාලික එක් වීමට තීරණය කළහ. ඔවුන්ගේ මිතුරන් වන ඈන් සහ ඇන්ටන් කුමාරසාමි ඔවුන් ගැන බෙහෙවින් සතුටු වූහ. නමුත් මැනිලා පිලිපීන දේවමාළිගාවට යාම පහසු හෝ ලාභදායී නොවන බව ඔවුන් දැනසිටියහ.

රොෂාන් සහ ෂෙරොන් ඔවුන්ගේ මුදල් ඉතිරි කර ඔවුන්ට දැරිය හැකි ගුවන් ගමනක් ලබාගැනීම සඳහා මාස කිහිපයකට පෙර ගුවන් ගමන් වෙන්කරවා ගත්තේය. අවසානයේදී, දිනය ළඟාවිය. කෙසේවෙතත්, ඔවුන් මැලේසියාවේ රැඳී සිටියදී, පිලිපීනයට යාමට ඔවුන්ට වීසා බලපත්‍රයක් හෝ වෙනත් ගුවන් සමාගමක් සමග පියාසර කිරීමට අවශ්‍ය බව ඔවුන් දැනගත්තේය. වීසා බලපත්‍රයක් ලබාගැනීමට නොහැකි වූ අතර, ඔවුන්ට වෙනත් ගුවන් සමාගමකින් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම දැරිය නොහැක්කක් විය. නමුත් සදාකාලික එක්වීමෙන් තොරව ආපසු නිවස බලා යාමේ අදහස ඔවුන්ට දරාගත නොහැකි විය.

වෙන කුමක් කළ හැකිදැයි විශ්වාසයක් නොමැතිව, රොෂාන් ඇන්ටන්ව ඇමතීය. ඇන්ටන්ට සහ ඈන්ට දැඩි ලෙස උදව් කිරීමට අවශ්‍ය විය. දේවමාළිගාවෙහිදී සදාකාලිකව එක්ව සිටි ශ්‍රී ලංකාවේ යුවල කිහිපදෙනාගෙන් එක් අයෙකු වූ ඔවුන් එය මොනතරම් ආශිර්වාදයක්දැයි දැනසිටියෝය. නමුත් ඔවුන් මෑතකදී ඔවුන්ගේ ඉතුරුම් අවශ්‍යතා ඇති පවුලේ සාමාජිකයෙකුට උපකාර කිරීම සඳහා භාවිත කර තිබූ අතර, රොෂාන්ට සහ ෂෙරොන්ට නව ගුවන් ගමනක් සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට උදව් කිරීමට ඔවුන් සතුව ප්‍රමාණවත් මුදලක් නොතිබුණි.

තම ස්වාමිපුරුෂයා මිය ගියහොත් මනාලියට යම් මුදලක් ඉතුරුව පවතින ලෙස මනාලයා විසින් මනාලිය සඳහා රන් මාලයක් මිලට ගෙනදීම ශ්‍රී ලංකාවේ සිරිතකි. නව ටිකට්පත් මිලදී ගැනීම සඳහා ඈන් ඇගේ රන් මාලය විකිණීමට තීරණය කළාය. ඇයගේ ත්‍යාගශීලීභාවය නිසා රොෂාන් සහ ෂෙරොන්ට මැනිලා දේවමාළිගාවට යාමට අවස්ථාව ලැබුණි.

“දේවමාළිගාවෙහිදී සදාකාලික එක්වීමේ වටිනාකම මම දනිමි,” ඈන් පැවසුවා ය. “මම දැනගෙන හිටියා ෂෙරොන් සහ රොෂාන් ශාඛාවට විශාල ශක්තියක් වේවි කියලා. මම ඔවුන්ට මෙම අවස්ථාව මගහැරී යනවාට කැමති වූයේ නැහැ.”3

දේවමාළිගාවට පැමිණිය නොහැකි අයට උදව් කිරීමට අදහස්

දුර හෝ පිරිවැය නිසා නිතර හෝ කිසිසේත් දේවමාළිගාවට යා නොහැකි අයට දේවසේවය සිදුකිරීමට ඔබව කැඳවිය හැකිය. නමුත් දේවමාළිගාවේ ආශිර්වාද අගය කිරීමට ඔවුන්ට උදව් කිරීමට ඔබට තවමත් ක්‍රම සොයාගත හැකිය.

  • දේවමාළිගා සකස් කිරීමකට හෝ පවුල් ඉතිහාස පන්තියකට උගන්වන්න හෝ එක්ව සහභාගී වන්න.

  • ඔවුන්ගේ නිවසේ එල්ලීමට දේවමාළිගාවක ඡායාරූපයක් ඔවුන්ට ලබාදෙන්න.

  • ඔබ දේවමාළිගාවකට ගොස් තිබේ නම්, ඔබේ අත්දැකීම් සහ දේවමාළිගාවේ වත්පිළිවෙත් පිළිබඳ ඔබේ සාක්ෂිය පිළිබඳ ඔබේ හැඟීම් බෙදාගන්න.

  • ඔවුන් කර ඇති ගිවිසුම් සහ ඒවා තබාගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර දැනගැනීමට ඔවුන්ට උදව් කරන්න. “Understanding Our Covenants with God: An Overview of Our Most Important Promises,” in the July 2012 Liahona භාවිතා කිරීම පිළිබඳව සලකා බලන්න.

සටහන්

  1. රසල් එම්. නෙල්සන්, “උදාහරණාත්මක පසු-දවස්වල ශුද්ධවන්තයින් බවට පත්වීම,” ලියහෝනා, නොවැ. 2018, 114.

  2. See LaRene Gaunt, “Finding Joy in Temple Service,” Ensign, Oct. 1994, 8.

  3. දේවමාළිගාවට යාමට නොහැකි වූ සභාවේ සාමාජිකයින්ට එක් වරක් මූල්‍ය ආධාර ලබාදෙන, සභාවේ මහා දේවමාළිගා අනුග්‍රාහක ආධාර අරමුදල මගින් ප්‍රතිපූරණය කිරීමෙන් පසුව ඈන්ට සහ ඇන්ටන්ට ඔවුන්ගේ රන් මාලය ආපසු ලබාගැනීමට හැකිවිය.