දේවසේවා මූලධර්ම, 2019 ඔක්තෝම්බර්
දේවසේවයේ මෙම වැදගත් කොටස ඔබට මගහැරී ඇත්ද?
දේවසේවය යනු “ප්‍රීති වන අය සමඟ ප්‍රීතිවීම” මෙන්ම “හඬා වැලපෙන අය සමග හඬා වැලපීම” යන්නයි (රෝම 12:15).
ඔගස්ටෝ සැම්බොනාටෝ විසින් කළ නිදර්ශනයන්
දේවසේවය කිරීම ගැන අප සිතන විට, අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම ගැන සිතීම පහසුය. වැන්දඹුව සඳහා ගෙවතු වගාව, රෝගීන්ට රාත්‍රී ආහාරය ගෙන යාම හෝ කරදරෙන් සිටින අයට දීම ගැන අපි කතා කරන්නෙමු. “හඬා වැලපෙන අය සමග හඬා වැලපෙන්න” කියා පාවුලු දුන් අවවාදය අපට මතකයි, නමුත් එම පදයේ පළමු කොටස වන - “ප්‍රීති වන අය සමඟ ප්‍රීති වන්න” කෙරෙහි අපි එතරම් අවධානයක් යොමු කරනවාද? (රෝම 12:15). අප දේවසේවය කරන අය සමඟ ප්‍රීතිවීම - යන්නෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ සාර්ථකත්වය සැමරීම හෝ දුෂ්කර කාලවලදී ප්‍රීතිය සොයා ගැනීමට ඔවුන්ට උපකාර කිරීම - ගැළවුම්කාරයාණන් මෙන් දේවසේවය කිරීමේ වැදගත් අංගයක් බවයි.
දෙවියන්වහන්සේ අපගේ ජීවිත තුළ තබන යහපත් දේ කෙරෙහි අවධානය යොමුකිරීමට අපේක්ෂා කරන විට අපට උදව් විය හැකි අදහස් තුනක් (සහ වළක්වා ගත හැකි අදහසක්) මෙන්න.
1. දැනුවත් වන්න
තරුණ කාන්තා ප්‍රධාන සභාපතිනිය බොනී එච්. කෝර්ඩන්, අප දේවසේවය කරන අයව දැකීමට අවශ්‍ය බව තේරුම් ගැනීමට අපට උපකාර කරයි - ඔවුන්ගේ බර හා අරගල පමණක් නොව ඔවුන්ගේ ශක්තීන්, කුසලතා සහ සාර්ථකත්වයන්ද එයට ඇතුළත්. අප “ඔවුන්ගේ තත්වයන් ගැන දන්නා සහ ඔවුන්ගේ අපේක්ෂාවන් හා අභිලාෂයන් සඳහා සහයෝගය දක්වන - ශූරයකු හා විශ්වාසවන්තයෙකු විය යුතු බව ඇය කියා සිටියාය.1
බැටළුවන්ගේ හා එළුවන්ගේ උපමාවෙන්, තම දකුණු පැත්තේ සිටින අය මෙසේ අසනු ඇති බව ගැලවුම්කරුවාණන් පැවසූ සේක: ස්වාමිනි, කොයි කලෙක ඔබවහන්සේ බඩගිනිව සිටිනවා දැක කෑම දුනිමුද? නොහොත් පිපාසිතව සිටිනවා දැක බොන්ට දුනිමුද?
“කොයි කලෙක ඔබවහන්සේ ආගන්තුකව සිටිනවා දැක පිළිගතිමුද?” (මතෙව් 25:37–38).
“සහෝදර සහෝදරියනි, ප්‍රධාන වචනය දැකීමයි” කෝර්ඩන් සහෝදරිය පැවසුවාය. “ධර්මිෂ්ටයන් අවශ්‍යතා ඇති අයව දුටුවේ ඔවුන් බලාසිටිමින් හා හඳුනාගත් නිසාය. අපටත් උපකාර කිරීමට සහ සැනසීමට, සැමරීමට හා සිහින දැකීමට සෝදිසියෙන් යුතු ඇසක් සහිතව සිටිය හැකිය.”2
2. සැමරීමට හේතු සොයන්න
විශාල හෝ කුඩා සාර්ථකත්වයන් සමරන්න. එය පිළිකාවක් වැළඳීම ඔස්සේ ගමන් කිරීම හෝ සබඳතාවක් කැඩී යාම ඔස්සේ ගමන් කිරීම, නව රැකියාවක් සොයා ගැනීම හෝ නැතිවූ සපත්තුවක් සොයා ගැනීම, ආදරණීයයෙකු අහිමි වීමෙන් මාසයක් තිස්සේ කම්පාවීම හෝ සීනි නොමැතිව සතියක් ජීවත්වීම විය හැකිය.
සුභ පැතීමට අමතන්න, කාඩ්පතක් යවන්න, නැතහොත් දිවා ආහාරය සඳහා පිටතට යන්න. අපගේ ආශීර්වාද එකට බෙදාගැනීමෙන්, කෘතඥතාවෙන් යුතුව ජීවත්වීමෙන් සහ අන් අයගේ ආශීර්වාද හා සාර්ථකත්වයන් සැමරීමෙන් අපට “අපගේ සහෝදරයන්ගේ ප්‍රීතිය තුළ අපටද ප්‍රීති විය හැකිය” (ඇල්මා 30:34).
3. ස්වාමින්වහන්සේගේ හස්තය දකින්න
සමහර විට අන් අය සමඟ ප්‍රීතිවීම යනු අපගේ ජීවිතවලට කුමන දුෂ්කරතා හෝ ප්‍රීතියක් තිබුණත් - ප්‍රීතිවීමට හේතු දැකීමට ඔවුන්ට උපකාර කිරීමයි. ස්වර්ගික පියාණන් අප ගැන දන්නා අතර අපව නඟා සිටුවීමට සූදානම්ව සිටින බව දැනගන්නා සරල සත්‍යය ඇදහිය නොහැකි තරම් ප්‍රීතියක් විය හැකිය.
ස්වාමින්වහන්සේගේ හස්තය ඔවුන්ගේ ජීවිත තුළ දැකීමට, එය ඔබේ ජීවිතයේ දුටු ආකාරය බෙදාගැනීමෙන් ඔබට අන් අයට උදව් කළ හැකිය. ඔබගේ අභියෝග වලදී ස්වර්ගික පියාණන්වහන්සේ ඔබට උපකාර කළ ආකාරය බෙදාගැනීමට තරම් අවදානමට ලක්වන්න. මෙම සාක්ෂිය අන් අයට උන්වහන්සේ ඔවුන්ට උපකාර කළ ආකාරය හඳුනාගැනීමට සහ පිළිගැනීමට උපකාරී වේ (බලන්න මොසායා 24:14).
4. ප්‍රීතිවීමට ඇති ඔබේ හැකියාව සීමා කර නොගන්න
අවාසනාවකට මෙන්, සමහරවිට විශේෂයෙන් අපට පිරිනැමිය යුතු දේ හෝ අප ජීවිතයේ කොතැනද යන්න පිළිබඳව අපට අනාරක්ෂිත බවක් දැනෙන විට අපට අන් අය සමඟ ප්‍රීතිවීමට ඇති හැකියාව සීමා කළ හැකිය. තවත් කෙනෙකුගේ සතුටින් ප්‍රීතිය සොයා ගැනීම වෙනුවට, අපි සැසඳීමේ උගුලට වැටෙන්නෙමු. ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ ගණපූර්ණයෙහි වැඩිහිටි ක්වින්ටින් එල්. කුක් ඉගැන්වූ පරිදි: “ආශිර්වාද සංසන්දනය කිරීමෙන් ප්‍රීතිය දුරු වේ. අපට එකවර ස්තුතිවන්ත සහ ඊර්ශ්‍යා විය නොහැක.”3
ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූර්ණයේ වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් මෙසේ ඇසුවේය “සෑම කෙනෙකුටම පාහේ මෙවැනි ප්‍රවණතාවක් ජය ගන්නේ කෙසේද?” “… අපට බොහෝ ආශිර්වාද ගණන් කළ හැකි අතර අන් අයගේ ජයග්‍රහණ අගය කළ හැකිය. සියල්ලටම වඩා, අපට අන්‍යයන්ට සේවය කළ හැකිය. එය හදවත සඳහා මෙතෙක් නියම කර ඇති හොඳම ව්‍යායාමයයි.”4 සංසන්දනය කරනවා වෙනුවට, අප දේසේවය කරන අයව අපට වර්ණනා කළ හැකිය. ඔවුන් හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ගැන ඔබ අගය කරන දේ නිදහසේ බෙදාගන්න.
පාවුලු අපට මතක් කර දෙන පරිදි, අපි සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සමාජිකයන් වන අතර, “එක් සාමාජිකයෙකුට ගෞරවයක් ලැබුණු විට, සියලු සාමාජිකයන් ඒ ගැන ප්‍රීති වෙති” (1 කොරින්ති 12:26). ස්වර්ගික පියාණන්වහන්සේගේ උපකාරයෙන්, අපට අන් අයගේ අත්දැකීම් දැනගැනීමටත්, විශාල හා කුඩා ජයග්‍රහණ සැමරීමටත්, ස්වාමින්වහන්සේගේ හස්තය හඳුනා ගැනීමටත්, ඊර්ෂ්‍යාවෙන් මිදීමටත් හැකි වන අතර එමඟින් අන් අයගේ ආශීර්වාද, කුසලතා සහ සතුට ගැන අපි සැබවින්ම ප්‍රීති වන්නෙමු.
© 2019 by Intellectual Reserve, Inc. සියලු හිමිකම් ඇවිරිණි. ඇමරිකාවේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/18. පරිවර්තන අනුමැතිය: 6/18. Ministering Principles, October 2019 හි පරිවර්තනයකි. Sinhala.15771 408