යෞවනයේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2026 අප්‍රියෙල්
ඔබේ වැරදිවලින් පසු—විශාල වැරදිවලින් පසුව පවා
ගැලවුම්කරුවාණන් ගැන, උන්වහන්සේගේ වන්දිගෙවීම සහ නැවත උත්සාහ කිරීම ගැන අපට පේත්‍රැස්ගෙන් බොහෝ දේ ඉගෙන ගත හැකිය.
කාල් බ්ලොච් විසින්, Peter’s Denial [පේත්‍රැස්ගේ ප්‍රතික්ෂේප කිරීම]
අපෙන් බොහෝ දෙනෙක් අපට සරලවම අමතක කර දැමිය හැකි වූවා නම් කියා සිතන අවම වශයෙන් එක් මතකයක්වත් තිබෙනවා. එය තනිකරම ලැජ්ජාවට කරුණක් වුවත්, වේදනාකාරී ශාරීරික අනතුරක් වුවත්, ඔබට ආපසු ගත හැකි යැයි ඔබ කැමති වචන පැවසූ විට ඇති වූ බහින්බස්වීමක් වුවත්, ජීවිතයේ “කරන්න” හෝ “මකන්න” බොත්තමක් පවා අතිශයින්ම ආකර්ශනීය ලෙස දැනෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා.
කටුක අනාවැකියක් ඉටු වීම
ප්‍රේරිතවර පේත්‍රැස් කියන්නේ අලුත් ගිවිසුමේ ආකර්ෂණීය පුද්ගලයෙක්. ඔහුට යේසුස්වහන්සේ දෙසට ජලය මත ඇවිදීමට ඇදහිල්ල හා ධෛර්යය තිබුණා, නමුත් සුළු මොහොතකට පසු ඔහු තම බිය ජය ගැනීමට ඉඩ දී ගිලෙන්නට පටන් ගත්තා, ඉන්පසු උපකාරය ඉල්ලා ස්වාමින්වහන්සේට මොරගැසුවා (බලන්න මතෙව් 14:28–31). පේත්‍රැස්ගේ ජීවිතයේ සියලු විස්තර අප නොදන්නා නමුත්, ඔහු එක් අවස්ථාවක දැඩි ලෙස හැඬුවා යැයි අපි දන්නවා.
කුකුළා දෙවරක් හඬලන්නට පෙර පේත්‍රැස් තුන් වතාවක් තමන්ව ප්‍රතික්ෂේප කරන බවට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේව සිර භාරයට ගැනීමට පැය කිහිපයකට පෙර අනාවැකි පළ කළා. පේතෘස් එවැනි අනාවැකියක් විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කළ අතර “මට ඔබවහන්සේ සමග නසින්ට වෙතත්, ඔබ නාඳුනමියි කියන්නේ නම් නැත”යනුවෙන් ඊටත් වඩා දැඩි ලෙස පැවසුවා (මාර්ක් 14:31).
ඇත්ත වශයෙන්ම, ගැලවුම්කරුවාණන්ගේ අනාවැකිය සැබෑ වුණා. ගැලවුම්කරුවාණන්ව අත්අඩංගුවට ගැනීම වටා ඇති භීතිය හා බියත් සමඟ, පේත්‍රැස්ගේ නිර්භීතකම ඔහුව අසාර්ථක කළා. තමා ගැලවුම්කරුවාණන්ව හඳුනන බව දෙවරක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, තුන්වන වරටත් පීඩනයට ලක් වූ පසු, පේත්‍රැස් “නුඹලා කියන ඒ මනුෂ්‍යයා නාඳුනමි” කියා දෙස් තබාගන්ට ද දිවුරන්ට ද පටන් ගත්තා (මාර්ක් 14:71).
කුකුළා දෙවරක් හඬලන විට පේත්‍රැස්ට ගැලවුම්කරුවාණන්ගේ අනාවැකිය මතක් වූ විට, “ඔහු … බලවත් දුකින් හැඬුවා” (මතෙව් 26:75).
නමුත් ඒ ඔහුගේ කතාවේ අවසානය නොවේ!
ඔහුගේ ජීවිතය සදහටම වෙනස් වුණා
ශුද්ධලියවිලිවලින් අපට ඉගෙනගත හැකි සියල්ල අනුව, පේත්‍රැස්ගේ බිය නැවත කිසිදා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔහුගේ සාක්ෂියට වඩා ඉහළින් ගියේ නැහැ. එසේ කිරීමේ දී පෞද්ගලික අවදානම කුමක් වුවත්, සෑම අවස්ථාවකදීම ඔහු ගැලවුම්කරුවාණන් ගැන නිර්භීතව සාක්ෂි දුන්නා. මතක තබාගන්න, පේත්‍රැස් උගන්වමින් සිටියේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව කුරුසියේ ඇණ ගැසූ සෙනඟකටයි! ඒ අනතුර සැබෑ එකක්.
උපතේ සිට කොර වූ මිනිසෙකුව පේත්‍රැස් සුව කළ විට, “නාසරිය යේසුස්වහන්සේගේ නාමයෙන්, ඇවිදින්න” (ක්‍රියා 3:6) කියමින් ඔහුට අණ කළ විට, ඔහුව යොහන් ද සමඟ අත්අඩංගුවට ගෙන මෙම ප්‍රාතිහාර්යය සිදු කළේ කෙසේදැයි ප්‍රශ්න කරනු ලැබුවා.
පේත්‍රැස් නිර්භීතව මෙසේ පිළිතුරු දුන්නා: “නුඹලා විසින් කුරුසියෙ හි ඇණ ගසන ලද්දා වූද දෙවියන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවන ලද්දා වූද නාසරිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ම මේ මනුෂ්‍යයා නුඹලා ඉදිරියෙ හි සුවපත්ව සිටීයයි නුඹලා සියල්ලෝ ද සියලුම ඉශ්‍රායෙල් සෙනඟ ද දැනගනිත්වා.
“උන්වහන්සේ වනාහි ගෙවල් සාදන්නන් වන නුඹලා විසින් සුළුකරනු ලැබුවාවූ ද කොනේ ප්‍රධාන ගල කරනු ලැබුවාවූ ද ගලය. වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍ය වූ, මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේය” (ක්‍රියා 4:10–12).
මොනතරම් නිර්භීත පිළිතුරක් ද! සහ ඔහුගේ විශ්වාසයන් පිළිබඳ කෙතරම් පැහැදිලි සාක්ෂියක් ද.
අසම්පූර්ණ සේවකයෝ, සේවය කිරීමට පරිපූර්ණ ලෙස සමත් වෙති
අපි හැමෝම මේ ජීවිතයේ පව් කරනවා. අපගේ උපරිම උත්සාහය නොතකා, අපි වරින් වර අපගේ බලාපොරොත්තු සහ අභිප්‍රායන් සාක්ෂාත් කර ගැනීමට අසමත් වෙනවා. ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සභාපති, සභාපති ජෙෆ්රි ආර්. හොලන්ඩ් (1940–2025) වරක් ඉගැන්වූ පරිදි, “උන්වහන්සේගේ එකම පරිපූර්ණ පුත්‍රයාණන් හැර, දෙවියන්වහන්සේට සෑම විටම වැඩ කිරීමට සිදු වූ සියල්ලන් අසම්පූර්ණ මිනිසුන්ය.”
ඔබේ අධ්‍යාත්මික වටිනාකම ඔබේ වැරදි වලින්—විශාල වැරදිවලින් පවා—අර්ථ දක්වා හෝ සීමා කර නැහැ! ඔහු පසුතැවිලි වූ නිසා සහ ක්‍රිස්තුස්වහන්සේ ඔහුට සමාව දුන් නිසා, පේත්‍රැස් ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කිරීම, පසුව මහත් බලයෙන් සාක්ෂි දීම, ඉගැන්වීම සහ ආගමට හැරවීමෙන් ඔහුව වැළැක්වූයේ නැහැ. පව් කළ, පසුතැවිලි වූ සහ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ඉදිරියට ගිය අනෙකුත් ගෝලයන්ගේ උදාහරණවලින් ශුද්ධලියවිලි පිරී තිබෙනවා.
ඔබේ වැරදි තවත් වැඩි වන බවත් ඔබට කිසිදා ඒවා ජය ගත නොහැකි බවත් සාතන් සැමවිටම ඔබට ඒත්තු ගැන්වීමට උත්සාහ කරනවා. ඔහුගේ බොරු නොසලකා හරින්න!
තරුණ ගැහැණු ළමුන්ගේ ප්‍රධාන සභාපතිත්වයේ පළමු උපදේශිකා තමරා ඩබ්ලිව්. රූනියා සහෝදරිය මෙසේ ඉගැන්වූවා: “ඔබ මෙය ඇසිය යුතුයි, ඒ නිසා මම මේ වචන ශබ්ද නඟා කියන්නම්: ඔබ ඔබේ හිසෙ හි ඇසෙන හඬ හෝ ඔබ කළ වැරදිවලින් ඔබව නිර්වචනය වන්නේ නැහැ. ඔබට ඒ දේ ශබ්ද නඟා කියන්නත් අවශ්‍ය වෙන්න පුළුවන්. ‘අද බැහැ’ කියලා සාතන්ට කියන්න. ඔහුව ඔබගේ පිටුපසින් තියන්න.
“ඒ ඇදීම අත්විඳින්න, ඔබව ඔබේ ගැලවුම්කරුවාණන් වෙත හරවන දේව භක්තික දුක, සහ උන්වහන්සේගේ කරුණාව ඔබේ ජීවිතයට සහ ඔබ ආදරය කරන අයගේ ජීවිතවලට ඇතුළු වන ආකාරය නරඹන්න. අපි බිඳුණු හදවතක් සමඟ උන්වහන්සේ වෙත ධෛර්ය සම්පන්නව එන මොහොතේම, උන්වහන්සේ වහාම එහි සිටින බවට මම පොරොන්දු වෙනවා.”
කාර්ල් බොච් විසින්, Christus Consolator
ඔබේ ඉදිරි දීප්තිමත් දින
මෙම පාස්කු සමයේ දී, ඔබ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම ගැන වඩාත් හොඳින් මෙනෙහි කරන විට, පසුතැවිලි වී නැවත උත්සාහ කිරීමට ඇති හැකියාව ඔබට කවදා හෝ ලැබිය හැකි ශ්‍රේෂ්ඨතම ත්‍යාගවලින් එකක් බව මතක තබා ගන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා, ඔබගේ නරකම වැරදි වලට සමාව ලබා පසුව බර දම්වැල් මෙන් ඒවා ඉවත දමන්න පුළුවන්.
“ගැලවුම්කරුවාණන් සදහටම ලැජ්ජාවේ අන්ධකාරයට වඩා දීප්තිමත් ය,” ලෙස රූනියා සහෝදරිය උගන්වා තිබෙනවා.
ඔබ උන්වහන්සේ කෙරෙහි අවධානය යොමු කරන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා බලාපොරොත්තුව සැමවිටම දීප්තිමත්ව බැබළෙන්නට පුළුවන්.
© 2021 by Intellectual Reserve, Inc. All rights reserved. ඇඑජ හි මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly For the Strength of Youth Message, April 2026 හි පරිවර්තනයකි. Sinhala.. 20064 408